The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

August 6, 2024 • 7:19 AM

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.
  • පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවට නීතිඥයකු ද වන පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.
  • ඒ පත්වීමට ද ජී ඇල් පීරිස් අධිකරණය ඉදිරියේ අභියෝග කළ බව ද මතක ය.
  • ආණ්ඩුවට සහයවීමේ පක්ෂ තීරණය උල්ලංඝණය කළ අයට ක්‍රියාත්මක නොවූ පක්ෂ විනය තමන්ට එරෙහිව ද ක්‍රියාත්මක නොවන බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු හොඳින්ම දන්නා බව පැහැදිලි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.

පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවට නීතිඥයකු ද වන පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. එසේ පක්ෂ තීන්දුවට එරෙහිව කටයුතු කළොත් විනය පියවර ගන්නා බවට අවවාද කරමින් කළුතර දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයෙකුට එවා ඇති ලිපියක් ඔහු මාධ්‍යයට ද පෙන්වනු දක්නට ලැබුණි. 

 

 

මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීන්දුවලට එරෙහිව බොහෝ කටයුතු එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරනු නිරීක්ෂණය වුවත් මේතරම් දැඩි ක්‍රියා මාර්ගවලට ඒ පක්ෂය පිවිසුණේ නැත. කොටින්ම පක්ෂයේ සභාපති යැයි ප්‍රසිද්ධ කර තිබුණු මහාචාර්‍ය ජී. ඇල්. පීරිස් පක්ෂ තීන්දුවක් උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුවේ පැවැත් වූ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය නොදී ඩලස් අලහප්පෙරුමව රනිල් හා තරඟ වැදීමට ඉදිරිපත් කළත් සාගර කාරියවසම් ඒ ගැන විනය ක්‍රියා මාර්ග ගැනීමට ගියේ නැත. කළ එකම දේ මහාචාර්‍ය ජී .ඇල් පීරිස් දැරූ සභාපති ධුරයට උතුරාවල ධම්ම රතන හිමියන් ව පත් කර ගෙන ජි ඇල් පීරිස්ව අමතක කර දැමීම පමණි. ඒ පත්වීමට ද ජී ඇල් පීරිස් අධිකරණය ඉදිරියේ අභියෝග කළ බව ද මතක ය. එහෙත්, ඔහුට හෝ පක්ෂ තීරණයට එරෙහිව ගිය අයට කිසිදු විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවුණේ ද නැත. ආණ්ඩුවට සහයවීමේ පක්ෂ තීරණය උල්ලංඝණය කළ අයට ක්‍රියාත්මක නොවූ පක්ෂ විනය තමන්ට එරෙහිව ද ක්‍රියාත්මක නොවන බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු හොඳින්ම දන්නා බව පැහැදිලි ය.

මේ අන්දමින් පිළිගත් දේශපලන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරබාගෙන සිටින්නේ කිසියම් උපන් “ගෙයි දෝෂයක්” වත් මත දැයි සොයාබැලීමට මම ද එම පක්ෂය පිළිබඳව යම් අධ්‍යනයක් සිදුකර බැලීමට උත්සාහ කළෙමි. එහිදී හෙලි වූ කරුණු අතිශය විස්මය ජනක ය.

 

ඇප මුදල් බාරගැනීම නවත්වයි :කැබිනට්ටුව හා මැතිවරණ කොමිසම බරපතල ගැටුමක!ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යටතේ පිළිගත් ගත් දේශපාලන පක්ෂ කවරේදැයි තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව ය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යටතේ පිළිගත් ගත් දේශපාලන පක්ෂ කවරේදැයි තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව ය. ඒ අන්දමින් පිළිගත් දේශපාලන පක්ෂ 84 ක තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව සිය නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර ඇත. 

 

slpp office bearers
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩලය හා පක්ෂ ව්‍යවස්ථාවන් ද එම වෙබ් අඩවියේ දක්වා ඇත. එහි දැක්වෙන විස්තරයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් හදුන්වා ඇති දේශපාලන පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ නම් හතරක් දැක්වේ. ඒ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ සභාපති උතුරාවල ධම්මරතන, පක්ෂ ලේකම් සාගර කාරියවසම් හා පක්ෂ භාන්ඩාගාරික පවිත්‍රා දේවී වන්නි ආරච්චි වශයෙනි. 

jathika peramuna

නමුත් පක්ෂ ව්‍යවස්‍ථාව පරීක්ෂා කිරීමේදී දක්නට ලැබෙන්නේ “ශ්‍රී ලංකා ජාතික පෙරමුණ” නමින් වන වෙනම පක්ෂයක ව්‍යවස්ථාවකි. මේ කවර අපප්‍රංශයක්දැයි සිතාගත නොහැකිව අවස්‍ථා කිහිපයකම මේ පරීක්ෂාව සිදු කළෙමි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් හදුන්වන ඉහත දක්වා ඇති පක්ෂ නිලධාරි මණ්ඩලය සහිත පක්ෂයේ ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවම බව ඒ සෑම අවස්තාවකදීම තහවුරු විය.

zqeq

 

මෙසේ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ව්‍යවස්ථාව ලෙස ප්‍රසිද්ධ කර ඇති ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි පක්ෂයේ නම ශ්‍රී ලංකා ජාතික පෙරමුණ වන අතර පක්ෂයේ ලකුණ ක්‍රිකට් පිත්ත වේ. එහෙත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලකුණ වන්නේ නෙළුම් පොහොට්ටුව ය. මෙසේ සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසින් නම වෙනස්කර ගෙන නෙළුම් පොහොට්ටුව සලකුණ ලෙස ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලෙස එවක මැතිවරණ බලධාරීන් විසින් පිළිගෙන තිබූ දේශපාලන පක්ෂයය යන නිගමනයට පැමිණ මෙම අපභ්‍රංශය බේරුම් කර ගන්නවා හැර වෙනත් විකල්පයක් මට නොතිබුණි.

එහෙත්, ඉන් මතුවන වෙනත් ගැටළු ගණනාවකි.

1981 අංක 1දරණ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 8(1)වගන්තියේ දක්වා ඇති ඇති පරිදි පිළිගත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්කරන විට එම පක්ෂයේ ව්‍යවස්ථාව මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය. එසේම ඉල්ලීම පිළිගත් දින සිට මාස තුනක් ඇතුලත පක්ෂයේ ව්‍යවස්ථාව කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. එසේ කාලයක් දී ඇත්තේ පක්ෂය පිළිගැනීමෙන් පසු වෙන් කරන සලකුණ ඇතුලත්කර ව්‍යවස්ථාව යාවත්කාලීන කර ඉදිරිපත් කිරීමට විය යුතු ය. ඒඅනුව ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නම් පක්ෂය එසේ නියම කර ඇති පරිදි එම පක්ෂයේ ව්‍යවස්ථාව එවක මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කර ඇත. එම ව්‍යවස්ථාව මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරි පත්කර ඇත්තේ 2013 වර්ෂයේ බව එහි ඇති මුද්‍රාවෙන් පැහැදිලි ය. ඉන් පසු එම ව්‍යවස්ථාව මැතිවරණ කොමිසම විසින් තම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර අද දක්වාම පවතියි.

zdgrr
එසේම එසේ පිළිගත් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් සිදු කළේ නම් හෝ නිලධාරි මණ්ඩල වෙනසක් සිදු වූයේ එකී සංශෝධනය සිදුව දින තිහක් යාමට පෙර මැතිවරණ කොමිෂන් සභාවට දැන්විය යුතු බව ඉහත පනතේ 8(3) වගන්තියේ දැක්වේ. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ලියාපදිංචි කළ මුල් අවස්ථාවේ සිට මේ දක්වා පක්ෂ ව්‍යවස්ථාවේ කිසියම් සංශෝධනයක් සිදු කර නැති බව එකී පැරණි ව්‍යවස්ථාවම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ අද දක්වාත් ප්‍රසිද්ධකර තිබීමෙන් පැහැදිලි ය. 

එසේ නම් ජාතික පෙරමුණේ පක්ෂ නාමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස වෙනස් කිරීමත් පක්ෂ සලකුණ නෙළුම් පොහොට්ටුව ලෙස වෙනස් කිරීමත් කළේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය නොකර බව මහජනතාවට පිළිගැනීමට සිදුවේ. ජාතික පෙරමුණ ලෙස තම පිළිගැනීමට ලක්ව තිබුණු පක්ෂ ව්‍යවස්ථාවේ පලමු වගන්තියේම දැක්වෙන පක්ෂ නාමය හා පක්ෂයේ සලකුණ එම පක්ෂය විසින් ව්‍යවස්ථා සංශෝධනයක් නොකර වෙනස් කළේ කෙසේද? එකී ව්‍යවස්‍ථා සංශෝධනය තමන් වෙත ඉදිරිපත්ව නොතිබිය දී පක්ෂයේ නාමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස වෙනස් කර ඊට නව පක්ෂ සලකුණක් භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නේ කෙසේද? යන්න අප විමසිය යුත්තේ ඊට සම්බන්ධ මැතිවරණ කොමිෂන් සභාවෙනි. 

පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නමින් මැතිවරණ සඳහා තරඟ කිරීම ජනතාව ඉදිරියේ පෙනී සිටීම පිළිගත් දේශපාලන පක්ෂයකට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳීම ජනතාව නියෝජනය කිරීමේ ආදී කටයුතුවල නීත්‍යානුකූල භාවය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නමින් මැතිවරණ සඳහා තරඟ කිරීම ජනතාව ඉදිරියේ පෙනී සිටීම පිළිගත් දේශපාලන පක්ෂයකට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳීම ජනතාව නියෝජනය කිරීමේ ආදී කටයුතුවල නීත්‍යානුකූල භාවය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවේ.

ඊළඟට මේ කරුණ අරබයා තවත් බරපතල ප්‍රශ්නයක් මතුවේ.

ඒ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 8(2) වගන්තිය පරිදි සෑම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින්ම වර්ෂයකට වරක් හෝ එම පක්ෂයේ ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති පරිදි මහසභා රැස්වීමක් පැවැත්විය යුතු ය. එම රැස්වීමේදී අනුගමනය කළ යුතු කාර්‍ය පටිපාටිය එම ව්‍යවස්ථාවේ නිශ්චිතවම දක්වා තිබිය යුතු බවද පනතේ උක්ත වගන්තියේ දැක්වේ. පිළිගත් දේශපාලන පක්ෂ වලට අදාල නීතියේ එසේ සඳහන් වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නම් පක්ෂයේ මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාවේ නම් මහ සභා රැස්වීමක් ගැන කිසිදු සඳහනක් දක්නට නොමැත.

 

453501999 1043788517116885 5717619703230405624 nමෙම සංවිධාන ව්‍යුහයේ කොතනකවත් පසුගියදා ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය ගත් දේශපාලන මණ්ඩලය නම් වූ ව්‍යුහයක්ද නැත.

එම පක්ෂ ව්‍යවස්ථාවේ 5වන වගන්තියෙන් දැක්වෙන්නේ පක්ෂයේ ඉහලම බලධාරිත්වය පක්ෂ නායකත්වය ලෙසයි. ඊළඟට මධ්‍යම කාරක සභාව, විධායක සභාව, උපදේශක මණ්ඩලය බුද්ධි මණ්ඩලය, දිස්ත්‍රික් කාරක සභාව මැතිවරණ බල ප්‍රදේශ කාරක සභා, ප්‍රාදේශීය සංවිධාන හා ශාඛා සමිති ආදී ව්‍යුහයන් අනු පිළිවෙලට පක්ෂ සංවිධාන ව්‍යුහය යටතේ දක්වා ඇත. මෙම සංවිධාන ව්‍යුහයේ කොතනකවත් පසුගියදා ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය ගත් දේශපාලන මණ්ඩලය නම් වූ ව්‍යුහයක්ද නැත. මෙම සංවිධන ව්‍යුහයේ වත් ව්‍යවස්ථාවේ වෙනත් තැනකවත් පක්ෂ මහ සභාවක් හෝ එහි කාර්‍ය පටිපාටියක් ගැන කිසිදු සඳහනක් නැත. එසේනම් පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 8(2)වගන්තියේ පිළිගත් පක්ෂයක ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වියයුතු යැයි නියම කර ඇති අවශ්‍යතාවයන් පක්ෂ ව්‍යවස්ථාවේ නොමැතිව තිබියදී ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂය පිළිගත් පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම හා එම පක්ෂයේ නම හා සලකුණ වෙනස්කර ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේ කවර හේතුවක් නිසාදැයි මීට සම්බන්ධ මැතිවරණ බලධරීන් රටේ ජනතාවට පැහැදිලි කළ යුතුය.

දැන් මේ හෙළිකිරීමෙන් පසු පක්ෂ බලධාරීන් පොලු පාරක් වැදුණු දිමිගොට්ටේ දිමියන්සේ කලබලවී සංශෝධිත පක්ෂ ව්‍යවස්ථාවන් සමඟ මැතිවරණ කොමිසමට දිවැවිත් නානාප්‍රකාර හේතු කාරණා ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව නම් පැහැදිලි ය. එසේ වුව ද දැනට පවතින ඔවුන්ගේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව නම් ඒ පක්ෂයට දැනට පවතින ව්‍යවස්ථා සංශෝධනය කිරීමක් කර ක්‍රියාත්මක කිරීමට ඉඩක් නැත.

 

පොහොට්ටුව ගත් තීරණය මෙන්නඅප රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉල්ලමින් ජනතාව ඉදිරියට එන ඇතැම් දේශපාලන පක්ෂ අඩුම තරමෙන් ගමේ ගැමියන් විසින් පවත්වාගෙන යන ගම්බද මරණාධාර සමිතියක තරම්වත් විධිමත් භාවයක් නැති සංවිධාන බව ය.
මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ ශ්‍රී ලංක පොදු ජන පෙරමුණ පක්ෂය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික පෙරමුණ ව්‍යවස්ථාවේ 12වගන්තියේ ව්‍යවස්‍ථා සංශෝධන යටතේ දක්වා ඇත්තේ “විධායක සභාවට ව්‍යවස්‍ථා සංශෝධන කෙටුම්පත් කළ හැකිය” යනුවෙන් වූ වාක්‍යයක් පමණි. එසේ කෙටුම්පත් කරන ව්‍යවස්ථා සංශෝධන අනුමත කළ යුත්තේ කෙසේදැයි කවර ව්‍යුහයක් මගින්ද යන්න ගැන සඳහනක් එම පක්ෂ ව්‍යවස්ථාවේ නැත. ඒ අනුව ඔය කලබල වී ගෙනැවිත් දීමට ඉඩ ඇති ව්‍යවස්ථා සංශෝධන වල ව්‍යවස්ථානුකූල භාවය ගැන දැන්වත් සැලකිලිමත් වීම මැතිවරණ කොමිසමේ අනිවාර්‍ය වගකීමක් බව පෙන්වාදිය යුතු ය.

මේ තොරතුරුවලින් හෙළිවන්නේ කුමක්ද? අප රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉල්ලමින් ජනතාව ඉදිරියට එන ඇතැම් දේශපාලන පක්ෂ අඩුම තරමෙන් ගමේ ගැමියන් විසින් පවත්වාගෙන යන ගම්බද මරණාධාර සමිතියක තරම්වත් විධිමත් භාවයක් නැති සංවිධාන බව ය. එසේ වුණත් මේවයේ තනතුරු දරන්නන්ගේ නම් ඉදිරියේ නීතීඥ කියාත් සඳහන්ව තිබේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වූ පක්ෂයේ ආරම්භක සභාපතිවරයා නීතිය පිළිබඳව මහාචාර්‍ය වරයෙකි. පක්ෂ නායක, පක්ෂ මහලේකම්, පක්ෂ භාන්ඩාගාරික, ජාතික සංවිධායක ආදී මේ කවුරුත් නීතීඥවරුන්‍ ය. නීතීඥ වරුන්‍ යනු නීතිය මැනවින් දන්නා අය බව අප රටේ බොහෝ දෙනෙක් විශ්වාස කරති. 

එහෙත් පිළිගත් පක්ෂ වශයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටින මේ අවිධිමත් කල්ලි කණ්ඩායම් වලට පිළිගත් දේශපාලන පක්ෂවල තත්වය ලබාදී ජනතා පරමාධිපත්‍ය බලය පරිහරණය කරන්නට ඉඩ සැලසූ රාජ්‍ය මැතිවරණ බලධාරීන් ද මැතිවරණ නීතිය අතැඹුලක් සේ දත් විශාරදයෝ ය. ඔවුන් ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කළ යුත්තේ මේ ව්‍යවස්ථාමය අලකලංචිය හමුවේ ගම්බද මරණාධාර සමිති සාමාජිකයන් පවා “අප්පට සිරි ගජ” යනුවෙන් හිසේ අත ගසා ගැනීමට ඇති ඉඩ කඩ සුළුපටු නොවන බැවිනි.

ඒ අනුව මේදෙගොල්ලන්ගේම ක්‍රියා කලාපයේ මොකක්දෝ දරුණු ආබාධිත බවක් පවතින බව නම් මේ සිද්ධියෙන් හුදීජනයාට වැටහෙනු ඇත.මේවා ගැන සොය බලා රටේ ව්‍යවස්ථාපිත නීතිය තම බලය යටතේ මනා ලෙස ක්‍රියත්මක වන බව රටට පෙන්වීම වත්මන් මැතිවරණ කොමිෂන් සභාව සතු කෙසේවත් පැහැරිය නොහැකි වගකීමකි.

(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...