The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

August 19, 2024 • 7:18 AM

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක් පුවත්පත්කලාවේ යාන්තමට පය ගසා ගත් හැත්තෑව දශකයේ අග භාගයේ දී රූපවාහිනී මාධ්‍යය ද අපේ රටට පැමිණ තිබිණි .
  • ඉන්පසු 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්ථාපිත කර ජාතික රූපවාහිනිය ආරම්භ විය.
  • ගමේම අය වේලාසනින් නිවසේ වැඩ ඉවර කර රූපවාහිනී යන්ත්‍රයක් ඇති නිවසකට එක්රොක් වී රෑ බෝ වනතුරු රූපවාහිනිය නැරඹීමේ සිරිතක් එකල පැවතියේ ය .
  • රුපියලෙහි අගය එකල කොතරම් ඉහළ මට්ටමක පැවතියේද , මේ වන වනවිට එය කොතරම් බාල්දු වී පවතින්නේ ද යන්න මෙමගින් තීරණය කළ හැකි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
  
තිලක් පුවත්පත්කලාවේ යාන්තමට පය ගසා ගත් හැත්තෑව දශකයේ අග භාගයේ දී රූපවාහිනී මාධ්‍යය ද අපේ රටට පැමිණ තිබිණි . නමුත් එවකට තිබූ එකම රූපවාහිනී චැනලය වූයේ ස්වාධීන රූපවාහිනී සේවය (ITN) යි. ඉන්පසු 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්ථාපිත කර ජාතික රූපවාහිනිය ආරම්භ විය. නමුත් එවක රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීමේ හැකියාව තිබුණේ සමාජයේ එහෙමත් කෙනෙකුට ය. එය ද කළු සුදු රූපවාහිනී යන්ත්‍ර වුණි. වර්ණ රූපවාහිනී අතිශයින් දුලබ විය. ගමේම අය වේලාසනින් නිවසේ වැඩ ඉවර කර රූපවාහිනී යන්ත්‍රයක් ඇති නිවසකට එක්රොක් වී රෑ බෝ වනතුරු රූපවාහිනිය නැරඹීමේ සිරිතක් එකල පැවතියේ ය .
8297850af61051dee4c4f6daa9fb3ce5 XLඑකම රූපවාහිනී චැනලය වූයේ ස්වාධීන රූපවාහිනී සේවය (ITN) යි
        
රූපවාහිනිය එතරම් ප්‍රචලිතව නොතිබූ අතීතයේ මිනිසුන්ගේ ප්‍රධාන විනෝද මාධ්‍යයක් වූයේ ගුවන් විදුලියට සවන් දීමට හැරුණු විට කියවීමයි. එනිසා පොත් සහ පුවත්පත්වලට ඒ කාලයේ විශාල ඉල්ලුමක් තිබිණි. රූපවාහිනිය පසුව කෙතරම් ප්‍රචලිත වුවත් මෑත භාගයේ සමාජ මාධ්‍යයන්හි ආගමනය දක්වාම පොත් සහ පුවත්පත්වලට තිබූ තැන නොනැසී පැවැතියේ ය.    
          
විශේෂයෙන් තරුණ පරපුර අතර නවකතා බෙහෙවින් ජනප්‍රියව පැවැති ඒ යුගයේ දී නවකතාකරුවන්ට ද තරුණ තරුණියෝ බොහෝ සෙයින් ආදරය කරන්නට පටන් ගත්හ. නවකතාවල මිල ද බොහෝ විට රුපියල් පහට වඩා අඩු විය. මෙයින් අදහස් කළේ නවකතා ඉතා ලාභයි යන්න නොවේ. රුපියලෙහි අගය එකල කොතරම් ඉහළ මට්ටමක පැවතියේද , මේ වන වනවිට එය කොතරම් බාල්දු වී පවතින්නේ ද යන්න මෙමගින් තීරණය කළ හැකි වනු ඇත.
 
IMG 20240817 WA0010එඩ්වඩ් මල්ලවාරච්චි
          
ප්‍රාර්ථනා, සුබා, සුබප්‍රාර්ථනා යන නවකතා ත්‍රිත්වය ඇතුළු තවත් ආදර කතා රාශියක් රචනා කළ එඩ්වඩ් මල්ලවාරච්චි ඒ යුගයේ තරුණ මහලු භේදයක් නැතිවම පාඨකයන් අතර අංක එකේ ජනප්‍රියත්වයක් දිනා සිටි නවකතාකරුවන් කිහිප දෙනා අතරින් කෙනෙකි. ඔහු එකල සිත්තර පත්තර කන්තෝරුවට නිතර ආවේ ගියේ ය. එවකට ඔහු තිලක් සේවය කළ සිහින පුවත්පතට "හේමන්ති" නමින් නවකතාවක් රචනා කිරීම ඊට හේතුවයි. මෙය පින්තූර කතාවකි. එනිසා නවකතාවේ චරිතවලට සැබෑ නළු නිළියන් යොදා ඡායාරූප ගැනීම සිදුවිය.        
මිනිසුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් පැවති දෘශ්‍ය මාධ්‍යයන් අතර එකල වේදිකා නාට්‍ය සහ සිනමාවට ඉහළම තැනක් හිමිවී තිබිණි. එඩ්වඩ් මල්ලවාරච්චිගේ මෙම හේමන්ති නවකතාවේ හේමන්තිගේ චරිතයට පණ පොවමින් ඡායාරූප සඳහා පෙනී සිටියේ කුසුම් රේණු ය. එකල ඇය වේදිකාවට පය තබා තිබූ මුල් යුගයයි. ඉතා පැහැපත් සිහින් යුවතියක වූ කුසුම් රේණුගේ බාහිර පෙනුමට කැපී පෙනෙන සුන්දරත්වයක් එක් කරන්නට එකල ඇයට තිබූ දිගු කෙස් කළඹ සමත් වී තිබිණි. සෙසු චරිතවලට එවකට වේදිකා නාට්‍ය ශිල්පියකු වූ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සේම කපිල සිගේරා, ඩන්ස්ටන් නන්දලාල් වැනි තවත් රංගන ශිල්පීන් කිහිප දෙනෙක් පෙනී සිටියහ. මෙහි ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළේ සිරිසේන ගමගේ ය. වෘත්තීය ඡායාරූප ශිල්පියකු වූ ඔහු ද එකල සිටම තිලක් ගේ සමීපතම මිතුරකු බවට පත්විය. නිකවැරටියේ ඉපිද හැදී වැඩුණු ගමගේ ජීවිතයේ නව යොවුන් වියේ දීම අගනුවරට සංක්‍රමණය වූයේ ඡායාරූප ශිල්පය හැදෑරීමට ය.පසුව එයම සිය ජීවන වෘත්තිය කර ගැනීමට තරම් ඔහු එහි සමතෙක් විණි. ඒ සමඟම "දවස" නිවසේ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කළ ඔහු එවක නතර වී සිටියේ වැල්ලම්පිටියේ නිවසකය. පසුව ඔහු වැල්ලම්පිටිය හන්දිය ආසන්නයේ "ස්නැප්ස්" නමින් ඡායාරූපාගාරයක් අරඹා එය ද සාර්ථකව පවත්වාගෙන ගියේ ය. එමෙන්ම "තමන් ගේ අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බෑයමක ලැගපන් මල්ලී "යන මහඟු උපදෙස තිලක්ට දුන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන් ද එවක පදිංචිව සිටියේ ඊට නොදුරු කොලොන්නාවේ තෙල් ටැංකි අද්දරින් හැරී යන පාරක ය.
 
IMG 20240817 WA0011එඩ්වඩ් මල්ලවාරච්චිගේ මෙම හේමන්ති නවකතාවේ හේමන්තිගේ චරිතයට පණ පොවමින් ඡායාරූප සඳහා පෙනී සිටියේ කුසුම් රේණු ය.
         
එඩ්වඩ් මල්ලවාරච්චි තිලක් ට වඩා වසර කිහිපයකින් වැඩිමහල් වුව ද සිහින පුවත්පත නිසා ඔවුන් දෙදෙනා අතර ගජ යාළුකමක් ඇතිවී තිබිණි. තිලක්ගේ පත්තර ජීවිතයේ ඔහුගේ පළමු සමීපතම මිතුරා වූයේ එඩ්වඩ් මල්ලවාරච්චි ය. ඔහු ද තිලක් අධ්‍යාපනය ලත් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. එවකට එඩ්වඩ් කඩදාසි සංස්ථාවේ ගිණුම් සහකාරවරයකු ලෙස රැකියාවක නිරතව සිටියේය. කඩදාසි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ඔහු සේවයේ නියුතුව සිටි අතර එම කාර්යාලය කොළඹ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබිණි. දෙදෙනා අතර තිබූ මිත්‍රත්වය නිසාම තිලක් එක්කෝ කඩදාසි සංස්ථාවේ එඩ්වඩ් ගේ කාර්යාලයට ගොස් ඔහු මුණ ගැසීම හෝ එඩ්වඩ් සිත්තර පත්තර කාර්යාලයට පැමිණ තිලක් හමුවීම හෝ බොහෝ සවස් යාමයන් හි සිදුවිය. මෙලෙස හමුවූ පසු ඉඳහිට දිනෙක ඔවුන් දෙදෙනා කොහේ හෝ තැනකින් මධුවිත සප්පායම් වූ දවස් ද තිබිණි.ඒ සඳහා වැඩිපුරම යොදා ගැනුණේ කොළඹ ආමර් වීදියේ මෙන්ෂන් බාර් එක ය. ජංගම දුරකථන කියා දෙයක් ලෝකය හඳුනාගෙනවත් නොතිබුණේ යැයි සැලකිය හැකි ඒ කාලයේ තිලක් එඩ්වඩ් ට කතා කළේ ඔහුගේ කාර්යාලීය දුරකථන අංකයට ය. එකල ස්ථාවර දුරකථනවලට තිබුණේ ඉලක්කම් පහකි. තිලක් කොයිතරම් එඩ්වඩ්ට දුරකථනයෙන් කතා කර තිබුණේ දැයි කිවහොත් ඔහුගේ කාර්යාලීය පොදු දුරකථන අංකය 24701 ලෙසින් අදටත් තිලක්ගේ මතකයෙහි තිබේ. එයට ඇමතුමක් දී 
 
"ෆොරින් පේමන්ට්" යනුවෙන් ඉල්ලීමක් කළ විට ඇමතුම එඩ්වඩ්ගේ අංශයට යොමු වෙයි. එවිට බොහෝ විට ඒ ඇමතුමට පිළිතුරු දෙන්නේ ද එඩ්වඩ් මය.
      
"හවස මොකද කරනේ?"
       
යනුවෙන් ඒ සමඟම නැගෙන පැනයෙන්ම තිලක් ව්‍යංගයෙන් කරන ඇරයුම ගැන සිතා ගන්නට එඩ්වඩ් ට හැකි විය.
 
IMG 20240817 WA0008බන්දුල පද්ම කුමාර
        
මේ කියන කාලයේ බන්දුල පද්ම කුමාර වයස තිහක, තිස් දෙකක තරමේ හුරුබුහුටි තරුණයෙකි. නොඋස්, සිහින් සිරුරකට උරුමකම් කී ඔහු බොහෝ දෙනෙකු ඇමතුවේ "බන්දු අයියා" යන ආදරණීය නාමයෙනි. ඔහු විසින් යෞවන යෞවනියන් උදෙසා හැත්තෑව දශකයේ අග භාගයේ දී ආරම්භ කර සිත්තර නිවසින්ම එළිදැක්වූ "කුමරි" පුවත්පත එකල ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම පැමිණ තිබිණි. තරුණ තරුණියන් උදෙසා එවැනි පත්තර කලාවක් ඉන් පෙර අපේ රටේ පැවතියේ නැත. කුමරි පත්‍රයක් අතේ තබා ගැනීම පවා යුවතියන්ගේ නවීනත්වය පෙන්වන කැඩපතක් බඳු වී තිබිණි. පසුකාලීනව නවතම මාදිලියක් නියෝජනය කළ මේවායේ පැවති අරුමැසි බව මුල් කොට ඇතැමුන් ඒවා "මල් පත්තර" නමින් හඳුන්වන්නට වූ අතර එමගින් එම ස්වභාවයේ පුවත්පත්වල කිසියම් නොමේරූ බොළඳත්වයක් හුවා දක්වමින් ඊට අවලාද නගන්නට ඇතැම් පිරිස් උත්සාහ කළහ. නමුත් යෞවනයට උරුම වූ අපූර්ව සුන්දරත්වයක් එවැනි පත්තර තුළින් පිළිබිඹු වීම නිසාම එය සමාජය තුළින් ප්‍රතික්ෂේප වීම වෙනුවට තව තවත් වැළඳ ගන්නා තත්ත්වයට පත්විය. ඒ අනුව කුමරියේ තිබූ ජනප්‍රියත්වය නිසාම ඉන්පසු වේගයෙන් මල් පත්තර කලාව මෙරට ප්‍රචලිත විණි. යුවති, සඳරේණු, සුවඳ ඉන් සමහරකි. කෙසේ හෝ එම අරුමැසි පත්තර සංස්කෘතියේ සමාරම්භකයා; පුරෝගාමියා ලෙස බන්දුල පද්ම කුමාරයන් මෙරට ඉතිහාසයට එක් වනු ඇත.         
WhatsApp Image 2024 08 19 at 14.08.45තිලක් සේනාසිංහ
 
තිලක්ට මේ වන විට ලිපි ලිවීම මෙන්ම සංස්කරණය පිළිබඳව ද සෑහෙන වැටහීමක් තිබිණි. ඒ ඉතා ඉක්මනින් ඔහු ඒ පත්තර කලාව අල්ලා ගත් නිසා ය. එනිසා සිහින පත්‍රයේ කර්තෘ පදවිය හෙබවූ පී. ඩී. නවරත්න බොහෝ විට තිලක්ට එහි සංස්කරණ කටයුතු භාර කර වෙනත් වෙනත් කටයුතුවල නිරත විය. චන්ද්‍රරත්න මාපිටිගම මෙය හැඳින්වූයේ "ක්ලීනර්ට ලොරිය එලවන්න දීලා ඩ්‍රයිවර් මාරුවෙලා" යනුවෙනි.        
 
IMG 20240817 WA0009 චන්ද්‍රරත්න මාපිටිගම ඒ කාලයේ චන්ද්‍රරත්න මාපිටිගම ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. එසේම එකල ඔහු සිත්තර පුවත්පතේ කතා රචකයකු සේම රංකැටි ළමා පුවත්පතේ උපදේශක කර්තෘවරයා ලෙස ද කටයුතු කරමින් සිටියේ ය. එසේම ඔහු සිහින පත්‍රයට මුල් කවරයේ ඡායාරූප ද සැපයීය. සිංහල සිනමාවට එක් වූ පුරුෂ සමලිංගිකත්වය තේමා කර ගත් මුල්ම චිත්‍රපටය වන 1982 වසරේ තිරගත වූ "මලට නොඑන බඹරු''චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වීම මත ඔහු එවක නිතර සේනක ටයිටස් ගේ සරදමට ලක් විණි. එය තිලක් ඇතුළු සෙස්සන් ගේ නොමඳ විනෝදයට හේතු විය. එම චිත්‍රපටය නැරඹීමෙන් පසු තමන්ට මාපිට්ගම සමඟ තනිව හිඳීමට පවා බියක් දැනෙන බව සේනක කී විට "ඔහොම හරි කමක් නෑ ෆිල්ම් එකට පබ්ලිසිටි ලැබෙනවා නම්"කියා අහිංසක ලෙස සිනාසීමට මාපිට්ගම පුරුදුව සිටියේය. ඒ ඔහු ද ඉතා සුහදශීලී චරිතයකින් යුක්ත වූවකු බැවිනි. 
මෙසේ තිලක් සිහින පත්‍රයේ රාජකාරී කටයුතු කරන්නට වී හය මාසයක් ද ඉක්ම ගොස් පැවතියේය. දිනක් තිලක්ට පත්තර කන්තෝරුවේ කොරිඩෝවේ දී තමන් පසු කර යන්නට එමින් සිටින බන්දුල පද්ම කුමාරව මුහුණට මුණ ගැසිණි. තිලක්ව පසුකර අඩි කිහිපයක් ගිය බන්දුල පද්ම කුමාර ආපසු හැරී එක්වරම "තිලක්" යැයි කතා කළේය. එසේ කියාගෙනම ඔහු ආපස්සට අඩි කිහිපයක් පැමිණි අතර තිලක් ද ඔහු ඉදිරියට අඩි කිහිපයක් ගොස් නතර වුණි.
        
" බන්දු අයියේ"
          
තිලක් ඔහු ඇමතුවේ ගරුසරු ඇතිව ය.
          
" මට කුමරි පත්තරේට තව එක්කෙනෙක් ඕන වෙලා තියෙනවා. තිලක්ට කැමති නම් අවස්ථාවක් දෙන්න පුළුවන්. කල්පනා කරලා බලලා මට කියන්න" යනුවෙන් පැවසූ බන්දුල පද්ම කුමාර තිලක්ගෙන් කිසිදු පිළිතුරක් අපේක්ෂා නොකරම තමන් යන්නට ආ ගමන කඩිනමින් යන්න ගියේය.
 
IMG 20240817 WA0006 සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා
           
තිලක් තුළ එක්වරම ඇතිවූයේ අවිනිශ්චිත හැඟීමකි. කුමරි පුවත්පත වැනි එවකට රටේ මහත් ජනප්‍රියතාවයක් දිනාගෙන සිටි, ඉහළ අලෙවියක් ද තිබූ පුවත්පතක වැඩ කරන්නට ලැබෙන්නේ නම් එය භාග්‍යයක් වෙයි. නමුත් සිහින පුවත්පත එකවරම හැර යාම කළ නොහැකිය. ඉන්පසු මාසික වේතනයක් යටතේ තමන්ට පුවත් පතක රැකියාවක් ලබා දුන් තම ප්‍රධානියා වන සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාට කෙසේ මුහුණ දෙන්නද ? මේ පිළිබඳව බොහෝ සෙයින් කල්පනා කළ තිලක් අවසානයේ තම හිත මිතුරු එඞ්වඩ්ගෙන් මේ සඳහා උපදෙසක් පැතීය.එවක කැමිලස් පෙරේරා සිත්තර පුවත්පතට ඇඳි ගජමෑන් කාටූනය කෙතරම් ජනකාන්ත වී ද යත් සමහරෙක් ඔහු ද එනමින් හඳුන්වන්නට වූහ.
        
" වැඩේ නම් හොඳයි තිලක්. ඒත් මිස්ටර් කැමිලස්ට නොකියා යන්න එපා. අනිත් එක ඕවා ගැන මිස්ටර් කැමිලස් එක්ක ඔෆිස් එකේදී කතා කරන්න යන්නත් එපා. හොඳම වැඩේ ඔයා හැන්දෑ වෙලාවක එයාගේ ගෙදරට යන්න. ගිහින් විස්තරේ කියන්න"
           
එඩ්වඩ් එලෙස උපදෙස් දුන්නේය.
           
" ඔයාගේ අදහස නම් හොඳයි. ඒත් මට තනියම යන්නත් මොකක්ද වගේ. ඔයාට බැරිද මා එක්ක යන්න එන්න"
          
" හරි; මම එන්නම්"
           
එඩ්වඩ් එකඟ විය.
 
IMG 20240817 WA0003සිරිසේන ගමගේ
           
ඉන්පසු එක් සන්ධ්‍යා භාගයකදී තිලක්, එඩ්වඩ් සමග කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සමිට් මහල් නිවාස නමින් හඳුන්වන දෙමහල් නිවාසවලින් එකක පදිංචිව සිටි කැමිලස් පෙරේරා හමුවන්නට ඔහුගේ නිවහන වෙත ගියේය. ඒ මොහොතේ විවේකයෙන් පසුවූ කැමිලස් පෙරේරා, තිලක් සහ එඩ්වඩ් ව පිළිගත්තේ මහත් සතුටිනි.
         
" හොඳ වෙලාවට ඔය දෙන්නා ආවෙ. අද රෑට මම ආප්ප හදනවා. ආප්ප කාලම යන්න ඉන්න"
          
ඉතාමත් කාරුණික කාන්තාවක වූ කැමිලස් පෙරේරා මහතාගේ බිරිඳ කොන්සීලියා මහත්මිය මේ දෙදෙනාට ඇරයුම් කළා ය.
           
සුහද පිළිසඳර කතාවකින් පසු අවසානයේ එඩ්වඩ් නියමිත මාතෘකාවට මුල පිරුවේය.
         
" මිස්ටර් කැමිලස් , තිලක්ට බන්දුල කතා කරලනේ කුමරි පත්තරේට එන්න කියලා"
 
IMG 20240817 WA0004
          
කැමිලස් පෙරේරා ස්වභාවයෙන්ම ඉතාමත් සන්සුන් නිහඬ පුද්ගලයෙකි. කිසිවකට කලබල නොවන ඔහුගේ මුහුණේ නිරන්තරයෙන් තැවරුණු මඳ සිනාවක් විය. මේ මොහොතේ ද ඔහුගේ සිනාව නොවියැකීම පැවතියේය.
          
" තිලක් මොකද කරන්න හිතන් ඉන්නේ ? "
          
කැමිලස් පෙරේරා පෙරළා ප්‍රශ්න කළේය.
           
" මම එහෙම කිසි දෙයක් තීරණය කරලා නෑ මිස්ටර් කැමිලස්" තිලක් වහා පැවසීය.
          
" මේකයි එඩී ...." දිගු කතාවකට මුල පුරමින් කැමිලස් පෙරේරා එඩ්වඩ් දෙසට හැරුණි.
           
" බන්දුට අපි හිතනවට වඩා ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් හොඳ දක්ෂතා තියෙනවා. ඒ වගේම හොඳ දැක්මකුත් තියෙනවා. මිනිහට හොඳ අනාගතයක් තියෙනවා. තිලක් වගේ කෙනෙකුට ඒකෙන් යහපතක් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා තිලක් යන්න. මම සිහින එකට වෙන කෙනෙක් ගන්නම්"
         
තිලක් බොහෝ උනන්දුවෙන් තම පුවත්පතේ වැඩ කටයුතු කරගෙන යද්දීත් ඔහුට ඊට වඩා යහපතක් සිදුවේ යැයි අනුමාන කර කුමරි පුවත්පතට යාමට ඉඩ දීමට තරම් කැමිලස් පෙරේරා පියෙකු මෙන් මානුෂීය විය .  
 
IMG 20240817 WA0005මලට නොඑන බඹරු
         
" හැබැයි, බන්දු හදිසියේම ඔයාව අතරමගදී එළියට දැම්මොත් මට කියන්න. ඒකටත් අපි මොනවා හරි කරමු නේද එඩී" ඒ සමගම ඔහු කීයේ දෑස සිහින් කොට සිනාමුසුව ය.
           
එ වදන් තිලක් තුළ ඇති කළේ දෙගිඩියාවකි.
          
" කමක් නෑ මිස්ටර් කැමිලස්. එහෙම අවදානමක් තියෙනව නම් මම මේ පත්තරේම ඉන්නම්"
          
තිලක් වහා පිළිතුරු දුනි.  
         
" බයවෙන්න එපා බන්දු ඔයාට එහෙම දෙයක් කරන්නෙ නෑ. අනික එහෙම වුණොත් මට කියන්නකො "
          
කැමිලස් පෙරේරා පැවසුවේ මුහුණ පුරා පැතිරුණු සිනාවෙන් යුතුව ය.
          
ඉතාම කාරුණික ලෙසත්, සුහදවත් කැමිලස් පෙරේරා තිලක් ගේ ගැටලුවට විසඳුමක් දුන්නේය.
 
upulඋපුල් ශාන්ත සන්නස්ගල, ධම්මික බණ්ඩාර        
ඉන්පසු තිලක් සිහින පුවත්පතෙන් ඉවත් වී කුමරියට සම්බන්ධ විය. එවකට එහි කර්තෘ මණ්ඩලයෙහි කුමාර සිරිවර්ධන, ප්‍රදීප් කුමාර බාලසූරිය, ජෙහාන් නවාස් සහ ඡායාරූප ශිල්පී ගාමිණී මෙන්ඩිස් යන අය සිටි අතර බාහිර ලේඛකයන් ලෙස ප්‍රණීත් අභයසුන්දර (එවකට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි අතර පසුව ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට මාරු වී තිබිණි.) මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු, ජයන්ත කළුපහන, මෙල්රෝයි ධර්මරත්න, ශාන්ත කුමාර විතාන, චන්දි කොඩිකාර, පුෂ්පා රෝහිනී රාජගිරිය වැනි තවත් කිහිප දෙනෙක් සිටියහ. ඊටත් සෑහෙන කාලයකට පසුව උපුල් ශාන්ත සන්නස්ගල, ධම්මික බණ්ඩාර , ලලිත ප්‍රියංකර ඇතාකඩ යන තම තමන්ගේ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් බවට පසුකාලීනව පත්වූ මේ තිදෙනා ද කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටි අවදියේ කුමරි පුවත්පතට බාහිර ලේඛකයන් ලෙස සම්බන්ධ වී කටයුතු කර තිබිණි.
        
එකල තිලක් පුවත්පත්වලට තමාගේ නම භාවිතා කළේ තිලක් ප්‍රියන්ත ලෙසිනි .
       
" මේක නම් හරියන්නෙ නෑ මල්ලි. මේක මේ පොඩි එකෙකුගෙ නමක් වගේනෙ "
          
තිලක් කුමරියට සම්බන්ධ වූ පසු බන්දුල පද්ම කුමාර තිලක් ගේ නම ප්‍රතික්ෂේප කළේය.
        
තිලක්ට තම සැබෑ නම වෙනුවට ආරූඪ නාමයකින් තමාව හඳුන්වා ගන්නට ද සියුම් කැමැත්තක් තිබිණි. ඊට හේතු කිහිපයක් ම බලපෑවේය.
        
 
10148844අදට ද ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක්ව පවතින, පාසල් සිංහල පෙළපොතට පවා " නෙල්ලි කැලේ" නම්වූ එක් පරිච්ඡේදයක් උපුටා ගන්නා ලද "දිගාමඩුල්ලේ ආශ්චර්ය" කෘතිය ලියූ මායාරංජන් නැමති ලේඛකයාගේ සැබෑ නම එය නොවේ . තිලක් දහ දොළොස් වතාවකට වඩා ඉමහත් ආශාවෙන් කියවා තිබූ " දිගාමඩුල්ලේ ආශ්චර්ය" ලියූ ඒ අසහාය ලේඛකයා වේයන්ගොඩ, මගලේගොඩ පදිංචිව සිටි මහානාම රාජපක්ෂ නම් වූ පාසල් ගුරුවරයකු බව මුල් වරට සමාජයට හෙළි කරන ලද්දේ පියසේන කහඳගමගේ නමැති ප්‍රවීණ ලේඛකයා විසිනි.
       
එසේම අතීතයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සිය පුවත්පත් කලා දිවියේ දී " සඳරුවන් " ලෙසිනුත්,පසුකාලීනව ගුණදාස ලියනගේ සූරීන් "ජෝන් ජයනායක" ලෙසිනුත් අන්වර්ථ නාමයන් භාවිත කළ බව තිලක් දැන සිටියේය. ඒ අනුව තම සැබෑ නමට වඩා ආරූඪ නාමයක් භාවිතා කිරීම තුළින් " පොරක්" වන්නට හැකි වේ යැයි ඔහුට සිතෙන්නට ඇත . නමුත් මානවසිංහ, ගුණදාස ලියනගේ වැනි අය අන්වර්ථ නාම භාවිතා කළේ තමා සැබෑ නමින් " පොරක්" වී සෑහෙන කලකට පසුව බව එවකට පුවත්පත් ක්ෂේත්‍රය පිළිබඳව පමණක් නොව ජීවිතය පිළිබඳව පවා හරි හැටි අත්දැකීම් ලබා නොසිටි ඔහුගේ තරුණ සිතට සිහිපත් නොවුවා විය හැකිය.
          
මේ සියල්ල සිත තබාගෙන ඔහු බන්දුල පද්ම කුමාර ඉදිරියේ " මට ආසයි බන්දු අයියෙ පෙන් නේම් එකකින් ලියන්න" යැයි පැවසුවේ මඳ පැකිලීමක් ද සමගිනි.
          
" ඒ මොන පිස්සු වැඩක්ද, එහෙම කරන්න ඕන නෑ. මොනවද ඔයාගේ තියෙන අනික් නම්? කියන්න බලන්න"
          
" සේනාසිගේ තිලක් ප්‍රියන්ත සිල්වා තමයි" තිලක් තමාගේ සම්පූර්ණ නම පවසා සිටියේය.
 
IMG 20240817 WA0001බන්දුල පද්ම කුමාර අවසන් ගමන් ගිය දා            
" හරි , එහෙනම් අපි මෙහෙම කරමු. තිලක් සේනාසිංහ කියලා දාමු. ඒක හොඳයි "  
        
බන්දුල පද්ම කුමාර පැවසුවේ අවසන් නිගමනයට එළඹි අයුරිනි. තිලක් ඊට එරෙහි වූයේ නැත. ඒ අනුව තිලක්, "තිලක් සේනාසිංහ" ලෙසින් බෞතීස්ම කිරීමේ ගෞරවය දැනට මෙලොව හැර ගොස් සිටින බන්දුල පද්ම කුමාර ප්‍රවීණ මාධ්‍යවේදියාණන්ට හිමිවෙයි.
       
තවත් කොටසකින් හමුවෙමු
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...