උතුරේ රාජකාරියේ යෙදෙමින් සිටි දහ තුන්දෙනකු ගෙන් යුතු යුද හමුදා කණ්ඩායමක් ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් බිම් බෝම්බයකට හසු කොට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එක්වර ඝාතනය කිරීම මෑතකාලීන ලක් ඉතිහාසයේ ප්‍රබලතම සිදුවීමක් විය. ඒ හේතුවෙන් දකුණේ කුපිත වූ සිංහල ජන කණ්ඩායම් ජාතිකත්වය මත නිරායුධ සිවිල් දෙමළ වැසියන් ඝාතනය කරමින් ඔවුන්ගේ දේපළ විනාශ කරමින් 1983 වසරේ ජූලි මාසයේ සිදු කරන ලද මහා මිනිස් හා දේපළ සංහාරය මෙරට ඉතිහාසයට එක් කළේ නොමැකෙන කළු පැල්ලමකි. "කළු ජූලිය" ලෙසින් හඳුන්වන ලද මෙම සිවිල් අරගලය පැවති සමයේ තිලක් සේවය කළේ කුමරි පුවත්පතේ ය. එසේම ඊට මාස තුනකට පෙර;1983 අප්‍රේල් මාසයේ එහි ප්‍රධාන කර්තෘ බන්දුල පද්ම කුමාර ස්වාධීනව අරඹා තිබූ "සරසි" සිනමා පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස ද තිලක්ව තෝරාගෙන තිබිණි. ඒ "මම සිනමාව ගැන මොකුත්ම දන්නේ නැතැ"යි යන තිලක් ගේ අඬෝවැඩියාව තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. ඕනෑම පැනයක් දෙස අසාම්ප්‍රදායික කෝණයකින් බලා එය කදිමට විසඳීමට බන්දුල සතුව තිබුණේ අපූරු හැකියාවකි. එවකට විසිපස් වියැති තරුණයකු වූ තිලක්ට සරසි පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ පදවිය ලබා දීම ද බන්දුල ගේ එවන් අරුමැසි තීරණයක් විය හැකිය.
1983 කළු ජූලිය1983 වසරේ ජූලි මාසයේ දිගට හරහට දකුණේ අහිංසක දෙමළ වැසියන් සිංහල පිරිස් අතින් ඝාතනය වුවද, එක දෙමළ ජාතිකයෙකුගේවත් සිරුරට අතක් තබන්නට ඉඩ නොදී ඔවුන් ගේ ජීවිත මැනවින් ආරක්ෂා කර දුන් සිංහල සහ මුස්ලිම් ජාතික පිරිසක් ද අපේ රටේ සිටියහ. ඒ ඔවුනටම ආවේණික වූ අපූරු උප සංස්කෘතියක් සහිත බාහිර සමාජය මුඩුක්කු ලෙසින් හඳුන්වන, අගනුවර "වතු" ලෙසින් හඳුන්වා ගත් අඩු ආදායම්ලාභී පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව ය. මේවායෙහි සිංහල මුස්ලිම් සහ දෙමළ ජනතාව මිශ්‍රව ජීවත් වෙති. ඔවුන් තුළ ජාති භේදයක් නොමැති සේම, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආදී වශයෙන් කිසිදු ආගම් භේදයක් ද නොවිණි. මේ සියලු ජාතීන්වලට සහ ආගම්වලට අයත් උත්සව ද ඔවුහු පොදුවේ සමරති. ඔවුන් එකි`නෙකා අතරේ මොන වාද භේද මතු වුවත්, කොතෙක් ඔවුනොවුන් ගහ මරා ගත්තත් එම "වත්ත" තුළ ජීවත්වන කිසිවෙකුටත් බාහිරින් පැමිණෙන කිසිවකුට හෝ අබමල් රේණුවක තරමේවත් හිංසාවක් වචනයකින් වුව කළ හැකි වන්නේ නැත. එවිට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වත්තේ සියලු ජනතාව තම තමන් අතර ඇති අමනාපකම්, පරණ කෝන්තර ආදිය පසෙක ලා නැගී සිටින්නේ එකාවන්ව එක හඬිනි. පාතාලය සේම ඒ හැරුණු විට ගැට කපන්නන්, පිටකොටුවේ නාට්ටාමිවරුන්, එකල කොළඹ මාළු කඩේ මාළු කපන්නන්, අගනුවර කාර්යාල ආදියෙහි වැසිකිළි පිරිසිදු කරන සනීපාරක්ෂක කම්කරුවන් වැනි වෘත්තීන්වල යෙදෙන්නන් මේවායෙහි බහුලව දැක ගත හැකි වුණි. වර්තමානය වන විට මේවායෙහි ඉතාමත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම පැතිර තිබෙන අතර එතුළින් බිහි වූ කෝටිපතියෝ ද දැන් මේ පරිසරයන් හි ජීවත් වෙති.
සමිට් පුරය ජනාවාසය ආශ්‍රිතව කොළඹ, මට්ටක්කුලිය ආසන්නයේ පිහිටි මෙවැනි නාගරික පැල්පත් නිවාසවල හෙවත් මුඩුක්කු ලෙස හඳුන්වනු ලබන "වත්තක" ජීවත් වූ වේළු සනීපාරක්ෂක කම්කරුවෙකි. එකල සිත්තර පත්තර කන්තෝරුවේ වැසිකිලි පිරිසිදු කළේ වේළු ය. උදේට පැමිණ වැසිකිලි පිරිසිදු කර පිටව යන ඔහු නැවතත් සවසට පැමිණ එම කාර්යයම කරයි. මෙලෙස ඔහු විවිධ කාර්යාල කිහිපයකම වැසිකිළි පිරිසිදු කිරීමේ කාර්යයෙහි නිරත වූ අතර එය ඔහු දවස් කුලියට කරන ලද රාජකාරියක් විය. දෙමළ ජාතිකයකු වූ වේළු ගේ ජීවිතය අසූ තුනේ කළු ජූලියෙහි දී නිරුපද්‍රිතව රැකී තිබුණේ එම වත්තෙහි ජීවත් වූ සිංහල සහ මුස්ලිම් ජනතාව බාල මහලු ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිවම කුමක් හෝ ආයුධයක් අත තබාගෙන, ආයුධයක් නොතිබූ අය ගෙදර තිබූ පාන් කපන පිහිය හෝ ගෙන බාහිර කිසිවෙකුටත් වත්තට ඇතුළු වන්නට ඉඩ නොදී දිවා රෑ නොබලා තම සහෝදර දෙමළ වැසියන් ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අගනුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක පිහිටි නාගරික පැල්පත් නිවාසවල ජීවත් වූ ද්‍රවිඩ ජනතාවට අසූ තුනේ කළු ජූලියේදී මෙලෙස ආරක්ෂාව සැලසී තිබිණි .මට්ටක්කුලියේ මෙම ප්‍රදේශය පමණක් නොව මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, කොටහේන, මාදම්පිටියේ කිඹුලාඇල, මෝදර, මරදානේ මරියකඩේ, බොරැල්ල ආදී වශයෙන් එවකට අගනුවර ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක පිහිටි නාගරික පැල්පත් නිවාසවල ජීවත් වූ ද්‍රවිඩ ජනතාවට අසූ තුනේ කළු ජූලියේදී මෙලෙස ආරක්ෂාව සැලසී තිබිණි .
සමාජයට අවතීර්ණ වී එතුළින් ලබන අත්දැකීම් ඔස්සේ සිය දැනුම අධ්‍යාපනය මුවහත් කරගන්නට නිරන්තරයෙන් උනන්දු වූ තිලක්ට වේළු ද එලෙස හමුවූ අපූරු චරිතයකි.
සලංගෙයි ඔලි චිත්‍රපටියේ කමල් හාසන්1983 දී මෙරට තිරගත වූ ජනකාන්ත නළු කමල් හාසන් ප්‍රධාන චරිතය රඟපෑ ‘සලංගෙයි ඔලි’ නම් දෙමළ චිත්‍රපටය තිලක් ගේ වයසේ තරුණ මාධ්‍යවේදීන් අතර බෙහෙවින් කතා බහට ලක්වී තිබිණි. ඔවුන් අතරට වී නිහඬව එම කතා බස් ශ්‍රවණය කළ තිලක්ට දැනුණේ ඔවුන්ගෙන් සමහරකු ඒ සිනමා කෘතිය කෙරෙහි මෝහනය වී සිටි ආකාරයේ හැඟීමකි. එනිසාම ඇතිවූ කුතුහලය මත තිලක් සලංගෙයි ඔලි නරඹන්නට තීරණය කළේය. අනෙක දැන් තමන් බලෙන් හෝ ඇද දමන ලදුව සිනමා පුවත් පතක නියෝජ්‍ය කර්තෘවරයකු වීම මත එවන් චිත්‍රපටයක් හෝ නරඹා තිබිය යුතු යැයි තිලක් ට නොසිතුණා නොවේ.
දිනක් ඔහු කිසිවකුටත් නොදන්වා එම චිත්‍රපටය තිරගත වන මරදානේ සිනමා හලකට ගොස් (දැන් එම සිනමාහලේ නම ඔහුගේ මතකයේ නැත.) පැය ගණනක් පෝලිමේ තෙරපී අඩු මිල ප්‍රවේශ පත්‍රයක් ගෙන එම සිනමා කෘතිය නැරඹීය. සලංගෙයි ඔලි නරඹා හමාර වී සිනමා හලෙන් පිටතට එන විට තම හෘද ස්පන්දනයේ පවා යම් වෙනසක් ඇති වී තිබෙන ආකාරයක් තිලක්ට දැනිණි. ඊට හේතුව කමල් හාජසන් නම් ඒ සුවිශේෂ රංගධරයාගේ රංගන ප්‍රතිභාව සේම එහි ඔහු රඟපෑ ‘බාලු’ නම් චරිතයෙන් වහනය වූ උත්තරීතර මනුෂ්‍යත්වයේ අමිල සුගන්ධය වන්නට ඇත. එහෙත්, දෙමළ මළ පොතේ අකුරක්වත් නොදත් තිලක් ට එම සිනමා කෘතිය නැරඹීමෙන් පසු එහි දෙබස් ඇසුරින් සම්පූර්ණ කතාවම දැන ගැනීමට නොතිත් ආශාවක් ඇති වුණි. ඒ සඳහා කළ යුතු හොඳම කාරිය වනුයේ දෙමළ බස තේරුම් ගත හැකි කෙනකු සමඟ ගොස් නැවත එම සිනමා කෘතිය නැරඹීම බව ඔහුට වැටහිණ. එහෙත්, එසේ දෙමළ බස තේරුම් ගත හැකි කිසිවකුත් ඒ වන විට ඔහුගේ මතකයේ හතර මායිමකවත් නොවීය.
සලංගෙයි ඔලි චිත්‍රපටයේ කමල් හාසන් සහ ජයප්‍රදා මෙම පත්තර කන්තෝරුවේ සියලු දෙනාට ඔවුන් ගේ සේවා අංශවලටම ගොස් පෙරවරුවේත් පස්වරුවේත් තේ සපයන ලද්දේ ‘ඩීන් අයියා’ ය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඩීන් අයියා තේ සපයන විට ඔහුගේ අත් උදව්වට පිටුපසින් පැමිණෙන හීන්දෑරී තරුණයකු ද සිටියි. ‘ආරුමුගම්’ නම් වූ මෙම දෙමළ ජාතික තරුණයා ද සිත්තර පත්තර කන්තෝරුවේම සේවකයෙකි. ඒ දිනවල වැඩි දෙනෙකු අතර මහත් ප්‍රසාදයක් දිනා සිටි සලංගෙයි ඔලි ආරුමුගම් නොබලා හිඳින්නට හේතුවක් නැතැයි තිලක් තනිව තීරණය කළේය. එබැවින් එම සිනමා කෘතිය ගැන ආරුමුගම්ගෙන් අසා දැන ගන්නට සිතූ තිලක් ඔහු නිදහසේ සිටින වේලාවක් බලා ඔහු හමු විය.
’‘ආරුමුගම් සලංගෙයි ඔලි බැලුවද?”
’‘අනේ මම ඔය ෆිල්ම් බලන්නේ නෑ; ඕවා නිකම් බොරු වැඩ නේ මාතියා”
ආරුමුගම් ක්ෂණිකව පිළිතුරු දුන්නේ තිලක්ගේ පැතුම් සුන්කරමිනි. ඒ ගැන ඊට වඩා කතා කරන්නට දෙයක් නොමැති නිසා තිලක් නිහඬ විය.
ඔහු දැන සිටි අන්දමට ඊළඟට එම ආයතනයට සම්බන්ධ එකම දෙමළ ජාතිකයා වූයේ වේළු ය. ඉඳහිට දිනයක කපනු ලබන අතනින් මෙතනින් සුදු වූ රැවුලකින් යුතු කාල වර්ණ සිරුරකට උරුමකම් කී වේළු ගේ වයස ඒ වන විට අවුරුදු පනහක් පමණ වන්නට ඇත. දිනපතා උදේ සහ සවස පමණක් එම ආයතනයට පැමිණි නිසා දිවා කාලයට වේළු පෙනෙන්නට සිටියේ නැත.
අනෙක් කිසිවෙකුටත් වඩා වේළු ගේ හැසිරීමෙහි සුවිශේෂත්වයක් තිබිණි. ආයතනයේ කොරිඩෝ දිගේ ඔහු ගමන් කරනුයේ අයිනක් අල්ලා ගත්වනම ය. යමකු ඔහුගේ මුහුණ දෙස බැලූ සැණින් මුහුණ ඉවතට ගෙන සඟවා ගන්නා පුරුද්දක් ද වේළු තුළ විය. වැසිකිලිය පිරිසිදු කරමින් සිටින තරේ වුව ඊට කිසියම් කෙනෙකු පිවිසියහොත් දඩස් ගා පැත්තකට වීම වේළුගේ සිරිත ය. මේ සියල්ලට වඩා තිලක්, වේළු කෙරෙන් දුටු විශේෂත්වය වූයේ පෙරවරු හතට අටට පවා ඔහුගේ මුවින් දැඩි මත්පැන් දුගඳක් වහනය වීම ය.
තිලක් සේනාසිංහ "වේළු සලංගෙයි ඔලි බැලුවද? "
දිනක් කාර්යාල කටයුතු ඇරඹීමට පෙර වැසිකිලියට ගිය තිලක් එහි පවිත්‍රතා කටයුතුවල යෙදෙමින් සිටි වේළුගෙන් ඇසීය .
විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් එම පැනයෙන් තිගැස්සුණු වේළු පිළිතුරක් දීම වෙනුවට එක්වරම තිලක් ගේ මුහුණ දෙස ඍජුව මොහොතක් බලා ක්ෂණයෙන් සුපුරුදු පරිදි ඉවත හැරිණි. ඔහුගේ බැල්මෙහි වූයේ අති මහත් විස්මයානුකූල බවකි.
"බැලුවද?’‘ තිලක් යළි සුහද ලෙසින් ඇසුවේ තම පැනයෙන් වේළු වික්ෂිප්ත බවකට පත්ව ඇති බව වටහා ගත් නිසා ය.
’‘දෙසැරයක් බැලුවා මාතියා” ඇසෙන නොඇසෙන ගාණට වේළු දුන් ඒ පිළිතුරෙන් තිලක් ට දැනුණේ අප්‍රමාණ සතුටකි.
"වේළුට ඒකේ කමල් හසන් කියන ඒවා තේරෙනවද?” තිලක් එසැණින් ඇසීය.
"ඔව් මාත්තියා” එවර වේළු තම දුර්වර්ණ දසන් පා සිනාසෙන අතරේ පැවසීය. එහෙත් ඒ මොහොතේ ද ඔහු තුළ යම් තැති ගැන්මක් ඇති වගක් තිලක්ට පෙනිණ.
එහෙත්, ඉන්පසුව සලංගෙයි ඔලි සිනමා කෘතිය සම්බන්ධයෙන් වේළුගෙන් කළ විමසීම්වල දී ඔහු දුන් පිළිතුරු අදහා ගත නොහැකි වූයේ ඔහු එම සිනමා කෘතිය සම්බන්ධ බොහෝ බාහිර කරුණු පවා කියවා දැනුවත් ව සිටි බැවිනි. වේළු කී පරිදි එය "සාගර සංගමම්" යනුවෙන් මලයාලම් බසින් ද ඉන්දියාවේ තිරගත ව ඇති අතර එරට අතිමහත් ජනප්‍රියත්වයක් දිනා ගෙන තිබූ චිත්‍රපටයකි.
සලංගෙයි ඔලි නිසාම තිලක් සහ වේළු අතර ඇති වූයේ අපූරු පයුරු පාසානයකි. එනිසාම තිලක් මේ මිත්‍රත්වය ඇතිවී තුන්වන හෝ හතරවන දිනයේ දී වේළුගෙන් මෙලෙස ඇසීය .
" වේළු මට ඔය සලංගෙයි ඔලි සම්පූර්ණ කතාව දැන ගන්න ඕනේ. වේළුට බැරිද මට පොඩි උදව්වක් කරන්න'
“මොකක්ද මාතියා?” වේළු අසා හිඳින ලද්දේ විස්මයෙන් යුතු දෙනෙතිනි.
“දවසක වේළු එනවද මගෙත් එක්ක ඔය ෆිල්ම් එක බලන්න යන්න. එතකොට ඒ අතරේ මට පුළුවන්නේ ෆිල්ම් එකේ නළු නිළියෝ කියන්නේ මොනවද කියලා වේළුගෙන් හෙමිහිට අහගන්න”
තිලක් එසේ පවසත්ම වේළු හුන් තැනින් අඩි කිහිපයක් පසුපසට විසි වූවාක් මෙන් විය. එම අලුත් මිත්‍රත්වය තුළ වුවත් වේළු ට මෙය අදහා ගන්නට බැරි වන්නට ඇත.
“මේක මට වේළු කරන ලොකු උදව්වක්. මට මේ උදව්ව ඉල්ලන්න මෙහේ වෙන කවුරුවකුත් නෑනේ, අනික වේළු ඒ ෆිල්ම් එක ගැන හොඳටම දන්න එකනේ”
නමුත් මහත්තයෙක් තමන් සමග එකට වාඩවී චිත්‍රපටයක් බලන්නට යාම තමාට අනුව කිසිසේත් නොගැළපෙන්නකි. වේළු එලෙස කල්පනා කරන්නට ඇත. ඒ අනුව වේළු ට මෙය ඒත්තු යනතුරුම හත් අට වතාවක් නැතිනම් දහ දොළොස් වතාවක් කන්නලව් කරන්නට තිලක්ට සිදුවී තිබිණි. ඉන්පසු තිලක් සමඟ "සලංගෙයි ඔලි" නරඹන්නට වේළු අකමැත්තෙන් මුත් කැමති විය.
මෙලෙස පසුදිනෙක දෙදෙනා එක්ව සලංගෙයි ඔලි නරඹන අතරේ තමන්ට හැකි අයුරින් වේළු එහි එන දෙමළ දෙබස් සිංහලයට නංවා තිලක් හා පැවසීය. සිනමා කෘතියෙන් පැවසෙන දේ පිළිබඳ අවබෝධයෙන් ම එය නරඹන්නට ලැබීමෙන් ලද භාවමය ප්‍රබෝධය තම සිරුරේ සෑම ශෛලයක් පුරාම පැතිර ගොස් ඇත්තාක් මෙන් චිත්‍රපටය නරඹා අවසානයේදී තිලක්ට හැඟිණ.
“වේළු, අපි පුංචි අඩියක් ගහමුද?"
සිනමා කෘතිය නරඹා සිනමා ශාලාවෙන් පිටතට පැමිණි තිලක් වේළුගෙන් රහසින් ඇසීය .
"එපා මාතියා ඕන් නෑ" වේළු ක්ෂණික ව පැවසීය .
"බය වෙන්න එපා මගේ ළඟ සල්ලි තියනවා. අපිට ඊයෙනේ පඩි”
කිහිප වතාවක් එසේ පෙරැත්ත කළ පසු වේළු ඊට ද අකැමැත්තෙන් කැමති විය.
ඒ වන විට තිලක් විසි පස් වියැති තරුණයෙකු වුවද ගෙදරට හොරෙන් ඉඳහිට මිතුරන් සමඟ මත්පැන් පානය කොට තිබිණි. මේ මොහොතේ වේළු ද තමන් ගේ සුහද මිතුරකු ලෙසින් පෙනී යාම ඔහුට ඒ ඇරයුම කිරීමට තිලක් ට හේතු වන්නට ඇත. එහෙත්, තිලක් ඔහුගෙන් ඉල්ලා සිටි අන්දමට මරදානේ සාමාන්‍ය අවන්හලකට යාම වේළු තරයේම ප්‍රතික්ෂේප කළේය.
“මේ ළඟ වෙන තැනක් තියෙනවා. එහෙනම් එතනට යමු මාතියා; අපි යන්නෙ එතනට” අවසානයේ ඔහු කීය.
මරදානේ ඩීන්ස් පාරඒ අනුව වේළුගේ මග පෙන්වීම මත මරදාන පොලීසිය හන්දියෙන් ඇස්වාට්ටුව දෙසට වැටී ගත් ඩීන්ස් පාරේ පටු පැසේජයක් තුළ සැඟවුණු, බැලූ බැල්මට ගුබ්බෑයමක් සේ පෙනෙන තැනකට වේළු තිලක්ද සමඟ ඇතුළු විය .
බාහිරට කිසිදු සම්බන්ධයක් තබා, යහපත් වාතාශ්‍රයක්වත් නොවූ කුඩා කොටුවක් බඳු ඒ ස්ථානයේ අපිළිවෙළට හැඳගත් කිහිප දෙනෙකු ලෑලි බංකු මත වාඩිවී ඒ ඉදිරියේ වූ මේස මත තබා ගත් මත්පැන් බොමින් සිටියහ. එහි පසෙක රේස් තුන්ඩු දමන කොටසක් ද විය. ඒ ස්ථානයෙන් අලියා බීම බෝතලයක අලියා ගේ පා සතර තෙමෙන තරමට පිරවූ බාල වර්ගයේ අරක්කු බාගයක් සෝඩා බෝතලයක් සහ කටගැස්ම ලෙස තවත් යමක් මිලට ගත් තිලක් එම බංකුවේ වාඩි වී වේළු ද සමඟ මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය.
"වේළු හැමදාම අඩි ගහනවා නේද? උදේට හිටන්?” බෝතලයේ මත්පැන් ටිකෙන් ටික අඩු වන අතරේ තිලක් හා තරමක මිතුරු දමකට මුල පුරා සිටි වේළුගෙන් තිලක් ඇසීය.
“මට උදේට ටිකක් බොන්නේ නැතුව බෑ මාතියා” වේළු පැකිළීමකින් තොරව පිළිතුරු දුනි.
කුඩා කොටුවක් බඳු ඒ ස්ථානයේ අපිළිවෙළට හැඳගත් කිහිප දෙනෙකු ලෑලි බංකු මත වාඩිවී ඒ ඉදිරියේ වූ මේස මත තබා ගත් මත්පැන් බොමින් සිටියහ. "ඒ මොකටද උදේට බොන්නේ. දවල් වෙලා බොන්න පුළුවන්නේ”
“උදේට මම නොබී වැඩට ආවොත් මට කවුරුහරි වේළු කියලා හයියෙන් කතා කරපු හැටියේ මට උජ්ජ යනවා මාතියා; ඒකයි උදේට බොන්නේ”
වේළු කියා සිටියේ තිලක් උපන් දා සිට සිහිනයකින්වත් අසා නොතිබුණු අන්දමේ කතාවකි.
" ගෙදරදිත් එහෙමද ? "
තිලක් ඇසුවේ මෙය විශ්වාස කරන්නට අපහසු වූ නිසාම ය.
“අපේ වත්තෙදි එහෙම වෙන්නෙ නෑ. පිට තැන්වලදී තමයි එහෙම වෙන්නේ"
වේළුගේ එම පිළිතුර තිලක් තුළ සාතිශය කම්පනයක් ඇති කිරීමට සමත් විය. සාමාන්‍ය සමාජයේදී ඔහු මෙලෙස බියෙන් ත්‍රස්තව ජීවත්වීමට ළමා වියේ සිට ඔහු අත් විඳි දැඩි සමාජමය පීඩනය බලපාන්නට ඇතැයි තිලක් තනිව නිගමනය කළත් ඒ පිළිබඳව කිසිවක් ඔහු වේළුගෙන් විමසුවේ නැත.
ඔවුන් දෙදෙනා ඒ අරක්කු බෝතල් බාගය පානය කර හමාර වීමට ඔන්න මෙන්න කියා තිබියදී වාඩි වී සිටි අසුනින් නැගී හුන් වේළු මඳක් ඉවතට ගියේය. ඔහු වැසිකිලියට යන්නට ඇතැයි සිතු තිලක් ඔහු එනතුරු බලා සිටියේය. එහෙත්, තිලක් විස්මයට පත් කරමින් වේළු යළි ඔහු ඉදිරියේ පෙනී සිටියේ තවත් අරක්කු බාගයක් අතැ`තිව ය.
“මේ මගේ ගාණේ මාතියා”
ඔහුගේ එම ක්‍රියාව දෙස දෑස් නෙරවා බලා සිටි තිලක් ට වේළු කීය. ඒ අනුව තිලක් ද තම වයස් සීමාව සහ මත්පැන් පානය කිරීමේ සීමාව ද ඉක්මවමින් ඔහු සමඟ ඒ අරක්කු බාගය ද බොන්නට පටන් ගත්තේය .
ඒ අතරේ තිලක් ගේ පිටිපසින් පැමිණි කිසිවකු හිටිහැටියේ ඔහුගේ පිටට අත්ල තබනු දැනීමෙන් තිලක් තුළ ඇති වූයේ මහත් වික්ෂිප්ත බවකි. ඒ එම අප්‍රකට අවන් හල තුළ; එවන් නුහුරු පරිසරයක් තුළ තමා දන්නා හඳුනන කිසිවකු සිටිය හැකියැයි ඔහුට කොහෙත්ම විශ්වාස කිරීමට නොහැකි වූ නිසා ය.
“මොකද මෙහේ කරන්නේ?”
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් හොරේෂස්ඒ සමඟම නැඟුණු පැනයෙන් තිලක් ආපසු හැරී බලත්ම දැකගත හැකිවූයේ එවකට මෙරට සිටි ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදියකු වූ සුනිල් හොරේෂස් ය. ඔහු ඒ වන විට සරසවිය සිනමා පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් සිටියේය.අලුතින් පටන් ගත් සරසි ද සරසවිය බඳු සිනමා පුවත් පතක් වූ බැවින් ඒ වන විට තිලක් හා සුනිල් අතර සුළු දැන හැඳුනුමක් තිබිණ,
“මාත් පොඩි එකක් දාගන්න ආවා මචං , යන්නම්"
තිලක්ගෙන් පිළිතුරක් අපේක්ෂා නොකරම එසේ පැවසූ එම සහෘදයා ඒ සමගම ක්ෂණයෙන් නොපෙනී ගියේය. තනිකඩයකු වූ ඔහු ඒ වන විට නතර වී සිටියේ ද ඒ අද්දරම වූ මරියකඩේ අඩු ආදායම්ලාභී නිවාස පෙළක බව තිලක් ට පසුව දැන ගත හැකි විය. සිය ජීවිතය තුළ කිසිදා සමාජමය තරාතිරමක් පිළිබඳ නොසැලකූ බොහීමියානු දිවි පෙවෙතක් ගත කළ මේ සැබෑ සොඳුරු මිනිසා කඳාන නගරයේ දී වාහනයක හැපී වසර ගණනකට ඉහතදී අකල් මරණයට පත් විය.
ගුණදස ලියනගේ සූරීන් සංස්කරණය කළ මහජන බැංකුව මඟින් ප්‍රාකාශිත කල්පනා සඟරාවේ නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවීය.ඒ අවස්ථාවේ තම ශරීරගත වූ ඇල්කොහොල් ප්‍රමාණය අනුව ඉන්පසුව සිදු වූ දේ සම්බන්ධ නිරවුල් මතකයක් අදටත් තිලක් සතුව නැත. නමුත් සැබෑ පුවත් පත් කලාවේදියාට සමාජ තරාතිරමක් තිබිය නොහැකිය යනුවෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන කිරිවත්තුඩුව සූරීන් විසින් 1979 වසරේදී කියාදුන් පාඩම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඇරඹූ ඒ සිදුවීම කිසි දිනෙක තිලක්ගේ මතකයෙන් බැහැර නොවේ. "කිරි අයියා" ගේ ඒ කතාව අනුව ගිය තිලක්ට එදින පටන් සමාජ තරාතිරම කුමක් වුව ඉතා ගුණ යහපත් මිනිසකු වූ වේළු තම සුහද මිතුරකු කර ගැනීමට ඉඩ ලැබිණි චන්ද්‍රසේන කිරිවත්තුඩුව ඒ වන විට ගුණදස ලියනගේ සූරීන් සංස්කරණය කළ මහජන බැංකුව මඟින් ප්‍රාකාශිත කල්පනා සඟරාවේ නියෝජ්‍ය කර්තෘ පදවිය හෙබවීය.
වෘත්තියෙන් සනීපාරක්ෂක කම්කරුවකු වුවද වේළු පැසුණු බුද්ධිඅයක් සහිත ඉතා හොඳ බුද්ධියකින් යුතු විය.
"ටොයිලට් හෝදන මිනිහෙක්, මුඩුක්කුවක ජීවත් වෙන මිනිහෙක්, උදේ හිට හැන්දෑ වනතුරු බීලා කුණු වෙලා ඉන්න මිනිහෙක් , ඒ නිසාම කොයිවෙලාවකවත් හොඳ සිහියකින් නොඉන්න මිනිහෙක් " මේ ආදී නොයෙකුත් දේවල් වේළු දෙස බාහිරින් බලන ඕනෑම කෙනෙකුට පැවසිය හැකිය. මේ සියලු දේමත් ඇත්ත ය. නමුත් ඒ කිසිවෙකුවත් නොදන්නා බොහෝ දේ තිලක් වේළු ඇසුරු කිරීම තුළින් වටහාගෙන සිටියේය. තමා පිළිබඳව සෙස්සන් කවර ආකාරයෙන් වටහාගෙන සිටියත් වේළුට ඒ කිසිවක් ගැන වගක් නොවිණි. වත්ත ඇතුලේ දී නිදහසේ ඔහු තමන්ට රිසි ජීවිතය ගත කළත්, වත්තෙන් පරිබාහිර පොදු සමාජයේදී ඔහු සාමාන්‍ය මිනිසුන් හා පෑහෙන්නට ගියේ නැත. කිසිවකු නොදැන සිටියත් ඔහු පොත් ගුල්ලෙකි. ආමර් වීදියේ අන්සාරි පොත් හල, මරදානේ ගාමිණී සිනමාහල ආසන්නයේ තිබූ පැරණි පොත් සාප්පු ආදියට ගොස් ඔහු තමන් අත මුදල් ඇති විට නොයෙකුත් දෙමළ පොත් මිලදී ගෙනැවිත් ඒවා කියවීය. කියවීම තුළින් ඔහු ලබා තිබූ දැනුම පිළිබඳව කිසිවෙකුත් නොදැන සිටි අතර කොළඹ මුඩුක්කු පරිසරයක ජීවත් වූ සනීපාරක්ෂක කම්කරුවකු සම්බන්ධ එවැනි පුවතක් සමාජයේ කිසිවෙකුවත් විශ්වාස කරන්නට නොපෙළඹෙනු නොඅනුමාන ය.
දිනක් වේළු තම මව මියගිය බව පවසමින් මුදල් ටිකක් ඉල්ලා ගන්නට සිත්තර පත්තර කන්තෝරුවට පැමිණ තිබිණ. ඒ මොහොතේ ආයතනයේ වගකිව යුත්තකු නොසිටි බැවින් තමාට අවශ්‍ය මුදල ඉල්ලා ගන්නට වේළුට සෑහෙන වෙලාවක් රස්තියාදු වන්නට සිදුවී තිබේ. කෙසේ හෝ තමන්ට අවශ්‍ය මුදල ඉල්ලාගෙන වේළු පසුව පිටවී ගොස් තිබූ අතර ඉන්පසුවත් කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කළ සිරිවර්ධන, වේළුට අවලාද නගමින් සිටියේය.
" ඕකුන්ගේ බොරු. සල්ලි ඉල්ලගෙන යන්න ඕන වුණාම එකම මනුස්සයා දහ දොළොස් වතාවක් හරි මැරිලා කිය කියා එයි. දන්නවනේ ඕකුන්ගේ මළ ගෙවල්වල කන්තෝරුවේ මහත්තුරු නෝනලා යන්නේ නැති බව"
අඩු ආදායම්ලාභී නිවාසවල ජීවත් වෙන බොහෝ දෙමළ කම්කරුවන් තමන්ගේ කම්කරු සේවය ලබාදෙන කාර්යාලවලට ගොස් මෙවැනි මුසාවාද පවසා මුදල් ඉල්ලා ගෙන යන බව තිලක් දැන ගත්තේ ඒ මොහොතේ ය. එකම ආච්චි, එකම සීයා, එකම අම්මා, එකම තාත්තා දහදොළොස් වතාවක් පමණ මිය යන්නේ මෙම මුසාවාදවලට අනුව ය. මුදල් දෙනු මිස එවැනි පැල්පත් නිවාසවල මළ ගෙවල්වලට සහභාගී වීමක් කන්තෝරු මහත්තුරු සහ නෝනලා විසින් සිදු නොකරන බව දන්නා නිසා එකම මුසාවාදය මෙලෙස යළි යළිත් පවසන්නට ඔවුන් පැකිලෙන්නේ ද නැත.
එය එසේ වුවද කන්තෝරුවේ කාටත් වඩා හොඳින් තිලක් වේළු ගැන දනී.
මාර්ග අංක 155 මට්ටක්කුලිය බසයක් වේළුගේ තරාතිරම කුමක් වුවද එලෙස මුසාවාදයක් පවසන්නට තරම් පහත් ගති ඔහු තුළ නැති බව තිලක්ට විශ්වාස ය. වේළු වාසය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි වත්තට එක් දිනයක අහඹු ලෙස තිලක් වේළු සමග ගොස් තිබිණි. එකල දෙහිවල සිට තොටළඟ දක්වා යන මාර්ග අංක 155 නමින් බස් සේවයක් පැවතියේය. මෙම බසය ගියේ බ්ලූමැන්ඩල් පාරේ තිලක්ලාගේ කාර්යාලය ඉදිරිපිටිනි. සවස කාර්යාලයෙන් පිට වූ තිලක් කිසිවකුටත් නොදන්වාම 155 බසයක නැගී වේළු පදිංචිව සිටි වත්ත ආසන්නයෙන් බැස ගත්තේය.
එකකට එකක් බද්ධ වී ඉතා කුඩා කොටු ආකාරයෙන් පැවති එම නිවාසවල අගක් මුලක් සොයා ගැනීම පවා අසීරු විය. ගෙවල්වල ප්‍රමාණයට නොසෑහෙන තරමට එහි ජීවත් වන පිරිස වැඩි බවක් පෙනිණි . රැඳී සිටින්නට තරම්වත් ඉඩක් නොතිබූ ඇතැම් ගෙවල්වල සාලයේ එවකට පැවැති ලොකුම ප්‍රමාණයේ රූපවාහිනියක් තබා තිබෙනු දැක ගත හැකි විය. මුළු සාලයම රූපවාහිනියෙන් ඇහිරී පැවතිණි.
අමුතුම ලෝකයකට ගියාක් බඳු හැඟීමකින් තිලක් වේළු සෙව්වේය. කිහිපදෙනකුගෙන් අසා දැන අන්තිමේ වේළුගේ නිවස සොයා ගන්නා විට ඔහු සිටියේ හොඳටම බීමත්ව ය. ඔහු සමඟ තවත් පිරිසක් එක්ව මත්පැන් පානයේ යෙදී සිටියහ. කිසි විටෙකත් නොසිතූ ආකාරයෙන් තමා ඉදිරියේ පෙනී සිටින මේ කන්තෝරු මහත්තයා දැක වේළුගේ සිත සතුටින් පිනා ගිය බවක් පෙනිණි.
එකකට එකක් බද්ධ වී ඉතා කුඩා කොටු ආකාරයෙන් පැවති එම නිවාසවල අගක් මුලක් සොයා ගැනීම පවා අසීරු විය." මාතියා, මාතියා ආවද අපේ අම්මගේ මළ ගෙදර?"
" ඔව්, දැන් කෝ මිනිය? තාම ගෙනාවෙ නැද්ද?"
" යං මාතියා "
එසේ පැවසූ වේළු ඊළඟ නිවසකට තිලක් කැඳවාගෙන ගියේය. එහි කුඩා ඉඩකඩක් තුළ වේළුගේ මවගේ දේහය තැන්පත් කර තිබිණි.
තිලක්ගේ පැමිණීමෙන් ඇතිවූ සතුට වැඩිකමටම වේළු සහ ඔහු සමග සිටි වත්තේ සෙසු පිරිස තිලක්ට බොහෝ සෙයින් සංග්‍රහ කළහ.
ඔවුන් සමග කළ කතා බහේදී දැනගන්නට ලැබුණු දේවල් අතර තිලක්ගේ සිත මහත්සේ සසල කළ සිද්ධියක් විය.
එම වතුවල පාරම්පරිකවම බෞද්ධාගමිකයන් වූ ද්‍රවිඩ ජාතිකයෝ සිටියහ. වේළුගේ මව ද එබඳුය. නමුත් අසූ තුනේ කළු ජූලියෙන් පසු දෙමළ බෞද්ධයන්ට පන්සල් යාමේ මග ඇහිරී ගියේය. මේ නිසා ඔවුන්ට පන්සලට ගොස් තම ආගම ඇදහීම කළ නොහැකි විණි. මේ පිළිබඳව දැන ගත් ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි මෙවැනි දෙමළ බෞද්ධයන්ගේ නිවෙස්වලටම පැමිණ දේශනා කරන්නට පටන් ගත්හ.

" නුඹලාට බුදුහාමුදුරුවෝ පන්සලට එන්න දෙන්නෙ නෑ. ඒ නිසා දෙවියන් වහන්සේ නුඹලාට එන්න කියනවා. දෙවියන් වහන්සේ ළඟ නුඹලාට සැනසීම තියෙනවා. දෙවියන් වහන්සේ හැමදාමත් නුඹලා ගැන බලා ගන්නවා"
ආදී වශයෙන් ඔවුන්ගේ සිත නම්මවා ගත හැකි බොහෝ දේ පවසමින් අවසානයේ දෙමළ බෞද්ධයන් සියලු දෙනාම පාහේ තම ආගම වෙත කැඳවාගන්නට මේ මූලධර්මවාදී කල්ලි සමත් වී තිබිණි .
මෙලෙස අවුරුද්දක් හමාරක් තිලක් සහ වේළු අතර මිත්‍රත්වය පැවතිණි. නමුත් එය කන්තෝරුවේ කිසිවෙකුත් දැන සිටියේ නැත. හිටිහැටියේ වේළු ආගිය අතක් නැතිවිය. වැසිකිළි පිරිසිදු කරන්නට වෙනත් කම්කරුවකු සොයාගන්නට සිත්තර පත්තර කන්තෝරුවේ බලධාරීන්ට සිදුවිය. නමුත් තම හිත මිතුරා ආගිය අතක් නැතිවීම තිලක්ට පහසුවෙන් අමතක කළ හැකි නොවිණි. ඔහු කාටත් නොදන්වා දිනක් වේළු පදිංචිව සිටි වත්තට ගියේය.
එම රාජධානියෙන් පිට, බාහිර පුද්ගලයන් සමග එම කාන්තාවන් ගැටුණේ අවම වශයෙනි. එනිසාම එම ද්‍රවිඩ කාන්තාවෝ පිටස්තරයන් හමුවේ කුලෑටි හැසිරීම්වලින් යුතු වූහ. වේළුගේ මව මියගිය අවස්ථාවේ සහ ඊට පෙර දිනයක මෙහි පැමිණ තිබුණද වේළුගේ නිවස කුමක්ද යන්න ගැන තිලක්ට නිසි අවබෝධයක් නොතිබිණි. එකිනෙකට බැඳී තිබූ එම නිවාස පේළි අතරේ කිසිදු නිවසක් වෙන්කර හඳුනා ගැනීම තිලක්ට පහසු වූයේ නැත. වේළුට බිරිඳක් සහ දරුවන් සිටි බව දැන සිටි මුත් " මේ මගේ පවුල, මේ මගේ පුතා, මේ මගේ දුව" ආදී වශයෙන් තම පවුලේ සාමාජිකයන් අමුත්තන්ට හඳුන්වා දීමේ ක්‍රමයක් ඔවුන්ගේ එම සංස්කෘතිය තුළ නොවිණි. "වත්ත" ඔවුන්ගේ රාජධානිය බඳු වූ අතර එම රාජධානියෙන් පිට, බාහිර පුද්ගලයන් සමග එම කාන්තාවන් ගැටුණේ අවම වශයෙනි. එනිසාම එම ද්‍රවිඩ කාන්තාවෝ පිටස්තරයන් හමුවේ කුලෑටි හැසිරීම්වලින් යුතු වූහ. මේ අනුව වේළු සොයා ගිය තිලක්ට වේළුගේ පවුලේ යැයි සැලකිය හැකි කිසිවෙකු හමු වූයේ නැත.
" වේළුට සනීප නැතුව ගියානෙ. නංගිලාගේ ගෙදරලු "
එක් පිරිමි අයෙකු පැවසීය. මෙලෙස කිහිප දෙනෙක් කිහිප ආකාරයට පැවසුවා මිස වේළු ගැන හරි තොරතුරක් කිසිවෙකුවත් දැන සිටි බවක් නොපෙනිණි. තිලක් ආපසු ආවේ වේළු ගැන නිසි තොරතුරක් නොලබාම ය. කෙසේ හෝ ඉන්පසු නැවත කවදාවත් තිලක්ට වේළු හමුවූයේ නැත.
තවත් කොටසකින් හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)




එහෙත්, ඉන්පසුව සලංගෙයි ඔලි සිනමා කෘතිය සම්බන්ධයෙන් වේළුගෙන් කළ විමසීම්වල දී ඔහු දුන් පිළිතුරු අදහා ගත නොහැකි වූයේ ඔහු එම සිනමා කෘතිය සම්බන්ධ බොහෝ බාහිර කරුණු පවා කියවා දැනුවත් ව සිටි බැවිනි. වේළු කී පරිදි එය "සාගර සංගමම්" යනුවෙන් මලයාලම් බසින් ද ඉන්දියාවේ තිරගත ව ඇති අතර එරට අතිමහත් ජනප්‍රියත්වයක් දිනා ගෙන තිබූ චිත්‍රපටයකි.