මේ කියන්න යන්නෙ තනිකරම බෝනික්කෝ ගැන කතාවක්.
රුසියානු බෝනික්කෝ කියන්නෙ අපි හිතන විදියේ බෝනික්කන්ට නම් නෙවෙයි ඕං.
බෝනික්කන් කිව්වම අපිට ඉතින් එක සැරේට ඔලුවට එන්නෙ, රීදි පාට කඩා හැලෙන කොණ්ඩේ... නිල් ඇස්... සිහින් දිගටි කකුල්... හුරුබුහුටි හැඩකාර ඇඳුම් ඇඳපු බෝනික්කෝ නේ. ඒ වුනාට රුසියානු සාම්ප්‍රදායික බෝනික්කෝ කියන්නේ මේ කිසිවක් ම නෙවෙයි.
මගේ අල්ලපු ගෙදර ඉරීනා ආච්චිව මතකයි නේ. එයාගේ ගෙදර සැරසිලි අස්සේ රුසියානු සංස්කෘතියට අනන්‍ය ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්. ආන්න එයාගේ විසිත්ත කාමරේදි තමයි මම මුලින්ම හැබෑවටම මේ මතෘෂ්කා බෝනික්කෙක් දැක්කේ. එයාගේ දරු මුණුබුරන්ගේ පින්තූර... චිත්‍ර සටහන්... අකාලේ මිය ගිය පවුලේ උදවියගේ රාමු කරපු පින්තූර අස්සේ මේ රුසියානු බෝනික්කෙකුත් හිටියා.
මල් සැරසිලි වලින් විතරක් නෙවෙයි එක එක සැරසිලිවලින් අලංකාර වෙන රුසියානු බෝනික්කෝ...
මේ රුසියානු බෝනික්කෝ විවිධ නම් වලින් හැඳින්වුවට හැමෝම වගේ දන්නේ මාතෘෂ්කා බෝනික්කෝ*(Matryoshka doll) කියල තමයි. මේ මාතෘෂ්කා කියන නම එන්නෙ රුසියානු භාෂාවෙන් Matryona හෙවත් කුඩා පාලිකාව කියන නමින් බිඳිලා කියලයි කියන්නෙ.
මේ ලමනසෝව් විශ්වවිද්‍යාලය ඉදිරිපසින් පේන විදිය. මහා විසාල භූමි භාගයක පැතිරුණු මේ විශ්වවිද්‍යාලයේ මේ හැඩරුව ඇති ගොඩනැගිලි හතක් මොස්කව් නගරයේ විසිරිලා තියෙනවා. පුදුම තරම් විශිෂ්ට ගෘහ නිර්මාණයක්
බොහොම සුමටව ලී වලින් නෙලපු මේ මාතෘෂ්කා බෝනික්කෝ කියන්නේ එක අතකට රුසියානු කලා සම්ප්‍රදායේ වෙනස්ම හැඩයක්. මොකෝ රුසියානු ගෘහ, මූර්ති නිර්මාණ කියන්නේ කලාකරුවෙක්ට රස විඳින්න තියෙන වෙනම ම කලාපයක්. සුප්‍රසිද්ධ ලමනසෝව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් බල්ෂෝයි නාට්‍ය ශාලාව ගත්තත්... ඔය ඔක්කොම පැත්තකින් තියල මොස්කව් නගරේ මෙට්‍රෝ ස්ටේෂන්වල කැටයම්, මූර්ති සහ චිත්‍ර ගත්තත් මොනතරම් කලාවෙන් පොහොසත් රටක් ද කියල හිතෙනවා. ඒ අලංකාරය ගැන කියන්න මගේ වචන පොහොසත් නෑ. ඒ නිසාම තමයි ලෝකේ සුන්දරතම මෙට්‍රෝ නැවතුම් තියෙන රටක් විදියට රුසියාව සලකන්නෙ. රුසියානු මෙට්‍රෝ ගැන කතාවක් වෙන දවසක කියන්නම්.
කොහොම හරි ආයෙත් මගේ බෝනික්කෝ ගැන කතාවට ආවොත්,
මේ තරබාරු බෝනික්කන්ගේ බඳ කොටසින් වෙන් කරල, ඇතුළත, ප්‍රමාණයෙන් කුඩා වෙමින් යන එකම හැඩයේ බෝනික්කෝ ප්‍රමාණයක් එක බෝනික්කෙක් ඇතුලේ තියෙනව. ආන්න එහෙම ඇතුළේ බාහලා තියෙන බෝනික්කෝ ප්‍රමාණය තුනේ වගේ ඉඳලා දහයක් හෝ ඊටත් වැඩි වෙන්න පුලුවන්.
හැබැයි ඉතින් රුසියානුවන් ගොඩක් වෙලාවට ඔත්තේ ඉලක්කම්වලට තමයි වැඩි තැනක් දෙන්නෙ. මේ මාතෘෂ්කා බෝනික්කන් ඇතුළේ බාහන බෝනික්කෝ ප්‍රමාණය ගැනත් එහෙම අදහසක් තිබුනට අද නම් ඒ තත්ත්වය වෙනස් වෙලා. රුසියානුවන්ගේ මේ සුපර්ස්ටිෂස් (superstitious) ස්වභාවය රුසියානු සංස්කෘතිය ඇතුළේ මඟ නොහැරෙන දෙයක්. ඒ ගැනත් වෙන දවසක කියන්නම්.
මේ තියෙන්නේ මාකට්ටුවේ විකිණිමට තියෙන podstakannik හෙවත් mug holder. හැබැයි දැන් නම් මේවා රුසියානු ගෙවල් දොරවල්වල සාමාන්‍ය භාවිතයේ නැති තරම්...
කොහොම වුනත් මේ තරබාරු මාතෘෂ්කා බෝනික්කන්, රුසියානු ගොවිපවුල්වල පිරිපුන් නිරෝගී මව එහෙම නැත්නම් ගෙවිලිය නිරූපණය කරනවා කියලයි කියන්නෙ. සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුන සමහර රටවල් මේ බෝනික්කන්ව බාබුෂ්කා ඩෝල් කියලත් හඳුන්වනවා. රුසියානු භාෂාවෙන් බාබූෂ්කා කියන්නෙ ආච්චිට නේ. නිරෝගිමත් මවගෙන් එහෙම නැත්නම් ආච්චිගෙන් ඇරඹෙන දරු පරම්පරාව මෙයින් අර්ථගන්වනවා කියන අදහස තියෙනවා.
මාතෘෂ්කා බෝනික්කන්ගේ ඉතිහාසය ගැන කියවද්දි 1890 ගණන්වලදී තමයි මේ බෝනික්කන් කට්ටලයක් මුලින්ම හැදුවා කියල කියන්නේ. මේ ලී බෝනික්කන් බොහෝම තද අලංකාර පාටවලින් වලින් තමයි වර්ණ ගන්වන්නෙ. හුඟාක් වෙලාවට සාම්ප්‍රදායික මාතෘෂ්කා බෝනික්කන් හැඩවුනේ අලංකාර මල් මෝස්තර වලින්. දැන් නම් ඉතින් ඒවා වෙනස් වෙලා විවිධ හැඩතල වලින් හැඩවුන බෝනික්කන් දකින්න පුලුවන්.
ඕං ඔහොම අයත් මේ මාතෘෂ්කා බෝනික්කෝ හැටියට හැදෙනවා... ඉන්න අය අදුරගන්න පුලුවන් නේහ්.
මේ බෝනික්කන් සාම්ප්‍රදායික රුසියානු ගෙවිලියන් අදින, හැඩයකින් තොර සරාෆන්* (sarafan) එහෙම නැත්නම් පිනපෝ ඇඳුමෙන් සහ ස්කාෆයෙන් තමයි සරසවලා තියෙන්නෙ.
මෙන්න මේ ජපන් හොන්ෂු බෝනික්කන්ගෙන් තමයි මාතෘෂ්කා බෝනික්කන් හැදෙන්න ආභාෂය ලැබුවේ කියලයි කියන්නේ
මාතෘෂ්කා බෝනික්කන් කලාව, ජපානයේ හොන්ෂු එහෙම නැත්නම් කොකේෂි බෝනික්කන්ගෙන් ආභාෂය ලැබූවක් කියල තමයි කියන්නෙ.
කොහොමවුනත් අද වෙන කොට රුසියානු කාන්තාව විතරක් නෙවෙයි රුසියානු දේශපාලන නායකයන්, ලෝක දේශපාලන බලවතුන්, සුරංගනා කතාවල චරිත වගේම ප්‍රකට පුද්ගලයන්වත් මේ ලී බෝනික්කන් හැඩයෙන් දකින්න පුලුවන්.
රුසියානු කඩසාප්පුවල නම් ඉතින් පුතින්, ස්ටාලින්, බෝනික්කොත් බොහොම සුලභයි. මාතෘෂ්කා බෝනික්කන් කියල කීමට කිව්වට දැන් මේ වගේ පිරිමි බෝනික්කොත් ඉන්නවා.
මේ රුසියානු සාම්ප්‍රදායික මාකට්ටුවේ ලෑලි තට්ටු සරසන මාතෘෂ්කා බෝනික්කෝ
මම දවසක් ගියා රුසියානු සාම්ප්‍රදායික මාකට්ටුවකට. එතන හැම කඩේකම ලෑලි තට්ටුවල කුඩාම ප්‍රමාණේ ඉඳලා ක්‍රමයෙන් විශාල මාතෘෂ්කා බෝනික්කන් අසුරලා තිබුනා. ඒවා එකකට එකක් නොපරදින අලංකාර දිලිසෙන පාටවලින් වර්ණ ගන්වලා තිබුනේ.
මේ සාම්ප්‍රදායික මාකට්ටුවල මාතෘෂ්කා බෝනික්කන් විතරක් නෙවෙයි, මේ බෝනික්කන් සැරසිලා ඉන්න රුසියානු ගෙවිලියන්ගේ සාම්ප්‍රදායික ඇඳුම වෙන පිනපෝ ඇඳුම් මෝස්තර... සත්ත්ව හම්වලින් සකස් කරපු සීත කබා... පුදුම තරම් අලංකාර සමෝවාර... පරණ බඩු... මාල කරාබු වගේ විසිතුරු බඩු තමයි විකුණන්න තියෙන්නෙ.
මේ තියෙන්නේ රුසියානු ගෙවිලියන්ගේ සාම්ප්‍රදායික ඇදුම, සරාෆන් ... මාතෘෂ්කා බෝනික්කෝ සරසන්නේ මේ සුන්දර සරාෆන් සහ ස්කාෆ වලින්...
මාතෘෂ්කා බෝනික්කෝ තෝරනවට වඩා ඒවා විකුණන අසර්බයිජාන්... තජිකිස්ථාන්... වෙළෙන්දන්ගේ කියවිල්ල... ගිම්හාන කාලෙත් ගිනි අව්වෙ සීත කබා පොරවලා විකුණගන්න හදන එකෙන් නම් මේ වෙළෙන්දන්ගෙන් බේරෙන්න ලේසි නෑ ඕං.
බොහොම සරුවට වෙළෙඳාම් තිබුන මේ මාකට්ටුවේ ගොඩක් කඩවල් දැන් වැහිලා ගිහින්... සංචාරකයෝ නැතිම තරම්... සෝවියට් දේශය බිඳ වැටිලා බටහිර සමාගම්වල ආගමනයත් එක්ක මේ සාම්ප්‍රදායික මාකට්ටුවල වටිනාකම් අහෝසි වෙලා ගිහින්...
මොනා වුනත් ඒ විසිතුරු ලෑලි කඩ අස්සේ ඇවිදින එක ඉතින් වෙනම සතුටක්...
මම අර මාකට්ටුව හොයාගෙන ගියෙත් මාතෘෂ්කා බෝනික්කන් බලන්න තියෙන ආසාවටම තමයි. ඉතින් නිකන් එන්න බෑනේ... රතු කොළ පාටින් මෝස්තර වැටුණු... රවුම් ලොකු ඇස් තියෙන... මාතෘෂ්කා බෝනික්කෙක් අරන් තමයි මාත් ආවේ.
මේ බෝනික්කන් නිර්මාණය බොහොම සියුම් කාර්යයක් කියලයි කියන්නේ. යාන්ත්‍රානු සාරයෙන් තොරව තනිකරම නිර්මාණකරුවන්ගේ ඉසියුම් ලී කැපුම්වලින් තමයි මේ මාතෘෂ්කා බෝනික්කන් හැදෙනවා කියන්නෙ. ආන්න එහෙම හැදෙන තුනේ බෝනික්කන් කට්ටලයක් රූබල් 300 වගේ ඉඳලා ඉහළ මිල ගණන්වලට අලෙවි කරනවා.
මේ ගාණ ඉතින් අඩු වැඩි වෙනවා මිලදි ගන්න තැනේ හැටියටත්.
මාතෘෂ්කා බෝනික්කන් රුසියානු සංස්කෘතියේ සලකුණක් වුනත් අවට රටවලත් මේ මාතෘෂ්කා බෝනික්කන් බොහොම ජනප්‍රිය සංස්කෘතික නිර්මාණයක්.
මේ හුරුබුහුටි මාතෘෂ්කා බෝනික්කන් කියන්නෙ රුසියාවට එන සංචාරකයන් ආපහු තමන්ගේ රටට ගෙනියන්න අමතක නොකරන සිහිවටනයක්.
හැම ආදරණීය රුසියානුවෙක්ම සිහිකරවන මගේ මාතෘෂ්කා බෝනික්කා
මම අර මාකට්ටුව හොයාගෙන ගියෙත් මාතෘෂ්කා බෝනික්කන් බලන්න තියෙන ආසාවටම තමයි. ඉතින් නිකන් එන්න බෑනේ... රතු කොළ පාටින් මෝස්තර වැටුණු... රවුම් ලොකු ඇස් තියෙන... මාතෘෂ්කා බෝනික්කෙක් අරන් තමයි මාත් ආවේ.
විශ්වාස කරන්න, හැමවෙලාවකම ආදරෙන් මට කතා කරපු... ආදරණීය හිනාවකින් සංග්‍රහ කරපු... හැම ආදරණීය රුසියානුවෙක්ම සිහිපත් කරවන උණුසුමක් ඒ මාතෘෂ්කා බෝනික්කගේ ඇස් දෙකට තියෙනවා.
(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර )
(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
සබැඳි පුවත් :
ජයනිගේ රුසියානු කතා : රුසියානු ඉස්කෝල, දරුවන් සහ බාබූෂ්කලා...
ජයනිගේ රුසියානු කතා : මාළු වැල් එක්ක බියර් බොන රුස්සන්, ජෝර්ජියන් කචාපූරි සහ උස්බෙක් ප්ලෝෆ්
ජයනිගේ රුසියානු කතා : රුස්සන්ගේ මල් පිස්සුව සහ එලවලු පලතුරු පිකල්
ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ
බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ
රුසියානු කතා - (ජයනි අබේසේකර)






