තිලක් කටුනායක නිදහස් වෙළඳ කලාපයට පා නඟන ලද්දේ කුමරි පුවත් පත සඳහා ඔහු විසින්ම ඇරඹූ "යුවතියන් ගේ අඩවිය" නම් සතිපතා විශේෂාංගයට කරුණු සම්පාදනය කිරීම සඳහා ය. සතිපතා ප්‍රකාශනයක් වූ කුමරි පුවත්පතේ අලෙවිය ඒ වනවිට ලක්ෂය ද ඉක්මවා තිබිණ. යුවතියන් පමණක් නොව වයස් භේදයකින් තොරව ඕනෑම තරාතිරමක කාන්තාවක් කුමරි පුවත්පත කියවන තරමටම එය කාන්තාවන්ට සමීප විය. විශේෂයෙන් කාර්යාලයීය කතුන් අත එකල කුමරි පුවත්පතක් තිබීම පන්නයක් සහ විලාසිතාවක් බවට පත්ව තිබිණි . මෙම නව සංස්කෘතියෙහි නිර්මාතෘවරයා වූයේ බන්දුල පද්ම කුමාර ය. ඒ අනුව මෙවැනි පුවත්පතක් යුවතියන්ගේ පුරයක් බඳු වූ කටුනායක වෙළඳ කලාපය තුළ අති විශාල අලෙවියක් තිබිය යුතුයැයි යමකුට පොදුවේ නිගමනය කළ හැකිය. නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව තිලක්ට එහි පා නැඟූ මුල් දිනවලම අවබෝධ විය.
විශේෂයෙන් කාර්යාලයීය කතුන් අත එකල කුමරි පුවත්පතක් තිබීම පන්නයක් සහ විලාසිතාවක් බවට පත්ව තිබිණිමුලින් කම්හල් කිහිපයක් ලෙසින් ආරම්භ වූ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙහි මුල් කාලයේ රැකියාවන් සඳහා පැමිණියේ කටුනායක අවට ජීවත් වූ තරුණියන් ය. කලාපයෙහි රැකියාවන්වල තරුණයන් ද නියුතුව සිටින මුත් මෙහි තරුණියන් යනුවෙන් විශේෂයෙන් සඳහන් කරන්නේ වැඩි රැකියා අවස්ථා තිබෙන්නේත්, එහි රැකියාවන්හි නියුතු වූවන්ගෙන් ඉතාමත් වැඩි ප්‍රතිශතයක් දරන්නේත් තරුණියන් වන නිසා ය.
පසුව විදේශ ආයෝජකයන් වැඩි වැඩියෙන් මෙරටට සංක්‍රමණය වීම හේතුවෙන් වේගයෙන් කම්හල් ඉදි වූ අතර ඊට සාපේක්ෂව රැකියා අවස්ථා ද ශීඝ්‍රයෙන් වර්ධනය විය. ලංකාවේ උතුර නැගෙනහිර හැර අනෙකුත් පළාත්වලින් විශාල වශයෙන් තරුණියෝ කටුනායක වෙත සංක්‍රමණය වන්නට වූහ. කටුනායක අවට තරුණියන් රැකියාවලට පැමිණෙන විට ඔවුන්ට නවාතැන් අවශ්‍යතාවයක් පැන නැඟුණේ නැත. නමුත් පිට පළාත්වලින් විශාල වශයෙන් තරුණියන් කලාපයේ රැකියාවලට පැමිණෙද්දී මතුවූ ප්‍රබල ගැටලුවක් වූයේ නවාතැන් ප්‍රශ්නයයි.
කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපය (කලින් නිදහස් වෙළඳ කලාපය )වර්තමානයේ මෙන් නොව මුල්ම කාලයේ වෙළෙඳ කලාපයේ රැකියාවලට කෙතරම් පිළිගැනීමක් සහ ඉල්ලුමක් පැවතියේ ද යත් එහි රැකියාවක් ලබා ගැනීම සඳහා පළාතේ දේශපාලනඥයන් හමුවී ලියුම් ලබා ගත් යුගයක් ද තිබිණි.
කම්හල් ඉදිවන වේගයට අනුව රැකියා අවස්ථා ද වේගයෙන් හෙළිපෙහෙළි වුවත් එම වේගයට අනුව කම්හල් සේවිකාවන් සඳහා නවාතැන්, සෞඛ්‍ය, ජලය ආදී වූ යටිතල පහසුකම් නිර්මාණය වූයේ නැත. මුලින් මුලින් එම ප්‍රදේශවල නිවෙස්වල කාමර බෝඩිම් බවට පරිවර්තනය වූ අතර අසුරු සැණින් වාගේ එම බෝඩිම් ද පිරුණි. කටුනායක අවට ජීවත්වෙන ජනතාවට එකල මෙය ලොතරැයි ටිකට් පතක් ඇදුනාක් බඳු හදිසියේ ලැබුණු ඉතා පහසු ආදායම් මාර්ගයක් විය. නිකම්ම වාගේ මාසය අවසානයේ අතට ලැබෙන මුදල ගැන සිතන විට මෙය ලේසියෙන් ඉවත දැමිය හැක්කක් නොවන බව ඔවුන්ට වැටහිණි. එනිසා නිවසේ ඉඩකඩක් නැත්නම්, ගෙමිදුලේ තිබෙන ඉඩකඩ අනුව ලෑලි ගසා ටකරන් හෝ ඇස්බෝස්ටෝස් සෙවිලි කර කුඩා කාමර සකස්කර තරුණියන් හට නවාතැන් පිණිස දීම පසුව බොහෝ දෙනෙක් සිදු කළහ.
කටුනායක මීගමුව අවට ජනතාව අතරින් බොහෝ දෙනෙක් කලෙක සිට ඌරන් සහ කුකුළන් ඇති කිරීම කරගෙන ගියහ. ටකරන් මඩුවක් ගසා ගන්නට තරම්වත් සැලකිය යුතු ඉඩක් ගෙවත්තේ නොමැති වෙළඳ කලාපය අවට ඇතැම් පදිංචිකරුවන් තමන් එතෙක් පවත්වාගෙන ආ ඌරු කොටු, කුකුල් කොටු ආදියෙහි එම සතුන් ඉවත් කර හොඳින් ශුද්ධ පවිත්‍ර කර ඒවා බෝඩිම් කාමර බවට පරිවර්තනය කර තිබිණ. මේවායේ ඉඩ පහසුව ඉතාමත් සීමිත විය. කාමර ගණනාවක් තිබූ බෝඩිමකට වුව ද වැසිකිලි තිබුණේ එකක් හෝ දෙකකි. ඇතැම් බෝඩිම්වල නල ළිං ය. නෑම ඇතුළු සියලු ජල පහසුව ඔවුන් සපයා ගත්තේ එම නල ළිඳෙනි. තවත් බෝඩිම්වල පනහකට හැටකට නෑමට ෂවර් දෙක, තුනක් වතුර ටැප් එකක් වැනි දෙයක් සවිකර තිබිණි. උදය කාලයටත් සැන්දෑ කාලයටත් මේ වතුර පයිප්ප ළඟ සහ වැසිකිලි ළඟ බෝඩිම්වල තරුණියෝ පෝළිමේ බලා සිටියේ තමාගේ වාරය එනතුරු ය. ඇතැම් විට උදය වරුවේ පෝළිම් ඇරඹෙන්නේ පාන්දර හතරේ පමණ සිට ය. මොන තරම් කටුක වුවද මේ අහිංසක තරුණියෝ ඒ සියලු දුක් වින්දාහ. කෙසේ හෝ ඒවා දරාගැනීම මිස ආපසු හැරීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිණි. ආපසු හැරී ගමට ගොස් කරන්නට දෙයක් නැත. එනිසා ඔවුහු මෙහි බොහෝ දුක් විඳිමින් වුවද කීයක් හෝ උපයා ගත්හ. එයින් තමාගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් ජීවත් කළහ. කීයක් හෝ තමාගේ අත මිට ගැවසීම ඕනෑම මනුෂ්‍යයකුට මහත් සතුට උපදවන කාරණයකි. ගමට ගියොත් ඒ සතුට නැත. එසේම කොතෙක් කටුක දුක් අනුභව කළත් ගමෙන් පිටවී මෙලෙස මිතුරියන් සමග ජීවත් වීම එක්තරා අතකින් නිදහසකි. ඒ නිදහස හැරදා නැවත ගමට ගොස් කොටු වූ ජීවිතයක් ගත කිරීම ද ඔවුන්ට රිසි නොවීය. සියල්ලටමත් වඩා තමා කැමති ඇඳුමක් පැළඳුමක් මිලදී ගන්නට, කවදාවත් දෙමාපියන් වෙතින් ඉටු නොවන සිහිනයක් වූ රත්තරන් චේන් පොටක්, වළල්ලක්, බ්‍රේස්ලට් එකක් සාදා ගැනීමට මේ කටුක දුකම අනුභව කිරීම මිස අන් විකල්පයක් ඔවුනට නොතිබිණි.
කටුනායක ඇඟලුම් කම්හල් යුවතියන් පිරිසක්වෙළඳ කලාපය ඉදි වී වැඩි කලක් යන්නට මත්තෙන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳ සැල් එක පිට එක බිහි වන්නට විය. එසේම රන් ආභරණ උකස් මධ්‍යස්ථාන ද කටුනායක වැඩි වැඩියෙන් බිහිවෙමින් පැවතියේ ය.
තරුණ වියේ දී පවා ජැන්ඩි පහට ඇඳීමේ සුවිශේෂී උනන්දුවක් නොදැක්වූ තිලක් බොහෝ විට චාම් සරල ඇඳුමකින් සැරසීම පුරුද්දක් කර ගත්තේ ය. නිතිපතා සෙරෙප්පු පැළඳි ඔහු සපත්තු පැළන්දේ ද විශේෂ අවස්ථාවක දී පමණි. තිලක් කටුනායක ගියේ ද තමන්ට සුපුරුදු ඒ සරල ආකාරයෙන්ම ය.
තිලක් සේනාසිංහ මුලින් දැන හඳුනා ගත් බෝඩිම් හිමියන් ගේ අවසරය මත තිලක්ට ඔවුන්ගේ බෝඩිම්වල නතර වී සිටි යුවතියන් දැන හඳුනා ගැනීමේ ඉඩක් ලැබිණ. එහෙත් වයස් භේදයෙන් තොරව ඔවුන් "තිලක් අයියා"යනුවෙන් තිලක් හා සුහදකම් පෑවේ ඔහු තරුණ මාධ්‍යවේදියකු නිසා නොවේ. තරාතිරම කුමක් වුව ද ඔහු චාම් සරල දිවි පැවැත්මක් සහිත අහිංසක තරුණයකු ලෙස එම යුවතියන් වටහා ගෙන තිබූ නිසා බව ඔවුන්ගේ කතාබහින් තිලක් අවබෝධ කරගෙන සිටියේය.
එහි සිටි ඇතැම් යුවතියන් එවකට අතිශය ජනප්‍රියව පැවැති කුමරි පුවත්පත පිළිබඳව අසාවත් නොතිබුණි. ඒ අනුව ඔවුන් ගේ බාහිර සමාජ දැනුම කෙතරම් දැයි සිතා ගත හැකිය. නමුදු ඒ වන විට තිලක් ඔවුන් ගේ ඒ දුක්ඛිත ජීවන රටාව සියුම් ලෙසින් වටහා ගනිමින් සිටියේය. ඒ සඳහා තම සරල චාම් පෙනුම සහ ජීවන රටාව බෙහෙවින් උපකාරී වන බව ද තිලක්ට වැටහිණ. ඉන්පසුව විවිධාකාර සමාජමය කියැවීම්වල දී එලෙසින් සරල හා චාම් ස්වරූපයක් දැරීමට ඔහු නිරායාසයෙන් පෙළඹුණේ එය මාධ්‍යකරුවකුට වැඩිපුර අස්වනු ප්‍රමාණයක් නෙළා ගත හැකි කදිම උපාය මාර්ගයක් බව වැටහුණු නිසා ය.
තරුණියන්ට නාන්නට වෙල අයිනේ ළිඳක් තිබූ අතර එකවර තරුණියෝ 15 -20 ක් පමණ මෙම ළිඳේ දිය නෑහඉඩමක කෙළවර කුඹුරක් ගොඩකර ලෑලි ගසා සකසා තිබූ තවත් බෝඩිමක් ද එකල තිලක්ට හමුවී තිබිණි. ඒ එහි හිමිකරුවකු ගේ උපකාරයෙනි. එහි තරුණියන්ට නාන්නට වෙල අයිනේ ළිඳක් තිබූ අතර එකවර තරුණියෝ 15 -20 ක් පමණ මෙම ළිඳේ දිය නෑහ. රාත්‍රී දහයේ වැඩ මුරය නිමා කර එන තරුණියන් පවා එම රාත්‍රියේ දිය නා සිය වෙහෙස මහන්සිය නිවා ගන්නා බව තිලක්ට දැනගත හැකි විය.
මේ තරුණියන් කෑමට යමක් උයා පිහා ගත්තේත් මේ කාමරවලම ය. එය ද දර හෝ භූමිතෙල් ලිප භාවිතයෙනි. ඔවුන්ගේ ජීවිතවලට විවේකයක් කියා දෙයක් තිබුණේම නැති තරම් ය. කාමරවලට තිබුණේ වොට් 40 ක පමණ අඩු දාරිතාවයකින් යුතු බල්බයකි. සමහර බෝඩිම් තාවකාලිකව ලෑලි හෝ බෝඩ් ගසා වෙන් කරන ලද කාමර ලෙසින් නොව තරමක ශාලාවක් ලෙසින් පැවතියේය. ඒ මුළු ශාලාවටමත් ඇතැම් විට තිබුණේ යාන්තමට අඳුර පලවා හැරිය හැකි තරමේ විදුලි බල්බයකි. බොහෝ විට මේවායේ තරුණියන් නිදා ගත්තේ පැදුරු දමා ගෙන ය.
නවීන ඇඟලුම් කම්හලක්මෙවන් කඨෝර ජීවිත ගත කළ මේ තරුණියන්ට පුවත්පතක් යනු ඔවුන්ගේ ජීවිතවලින් බොහෝ දුරස්ථ වූ දෙයකි. නමුත් නාගරික යුවතියන්ට සාපේක්ෂව ගම්බද ප්‍රදේශවලින් පැමිණි මෙම යුවතියන් අතිශය අවංක සෘජු අදහස් පළ කරන්නියන් බව තිලක් මඳින් මඳ වටහා ගත්තේ ය. පසුකලෙක සහෝදර බැඳීමෙන් තිලක්ට සමීප වූ ඇතැම් යුවතියෝ තම පවුල් තොරතුරු සේම තම රෝග පීඩා පිළිබඳ පෞද්ගලික තොරතුරු පවා තිලක් හමුවේ කීයේ යම් මානසික අස්වැසුමක් අපේක්ෂාවෙනි. ඒවාට ඉතා සානුකම්පිතව සවන් දුන් ඔහු ඒ සඳහා වන සහනශීලී විසඳුම් ද ලබා දුන්නේ ය.
නිදහස් වෙළඳ කලාපයේ රැකියාවලට පැමිණි යුවතියන්ගෙන් වැඩිම පිරිස දකුණු පළාතේ අය වූහ. ඒ හැරුණු විට ඌව, උතුරු මැද, මධ්‍යම ආදී උතුර සහ නැගෙනහිර හැර රටේ අනෙකුත් පළාත්වලින් ද විශාල වශයෙන් තරුණියෝ කටුනායක පැමිණ කලාපයේ රැකියාවල් කරමින් එහි නතර වී සිටියහ. එක වර්ගයේ කුරුල්ලෝ එක ගහක ලැගුම් ගන්නාක් මෙන් බොහෝ විට මේ බෝඩිම්වල ද එකට ගත කළේ එකම පළාත්වල අයයි. එක් එක් පළාත්වල අයගේ කතාබහ, සිරිත් විරිත්, සංස්කෘතිය ආදියෙහි යම් යම් වෙනස්කම් තිබීම මීට බලපෑ තවත් හේතුවක් විය. විශේෂයෙන් දකුණු පළාතේ භාෂාවෙහි වෙනස්කම් වැඩියෙන් කැපී පෙනිණි.
දකුණේ ඇතැම් යුවතියන් හිරමනයට භාවිතා කළේ "බොරොන්දෙ" යන වචනයයි. පොල් ගානවා යන්නට "පොල් ඔයනවා" යනුවෙන් භාවිතා කළහ.ඔවුන් යමකු ආමන්ත්‍රණය කිරීම පිණිස යොදා ගත් "ඔහේ"යන වදන ඉන් බැහැර පළාත්වල තරුණියන්ට වැටහුණේ බැනුමක් හෝ අපහාසයක් ලෙසිනි. දකුණේ ඇතැම් යුවතියන් හිරමනයට භාවිතා කළේ "බොරොන්දෙ" යන වචනයයි. පොල් ගානවා යන්නට "පොල් ඔයනවා" යනුවෙන් භාවිතා කළහ. මධ්‍යාහ්නය "හිටි පියවර ජාමය" ලෙසිනුත්, වේලාසනින් යන්න "දවාලියෙන්" ලෙසිනුත් ඔවුහු යෙදූහ. මේ ඔවුන් ගේ භාවිතයන් අතරින් කිහිපයක් පමණි. මෙවැනි වදන් සෙසු පළාත්වල තරුණියන්ට නුහුරු විය. එනිසාම ඔවුන් ඒ අයගේ සිනාවට භාජනය විණි. නමුත් ඒ ඒ පළාත්වල අයට ද ඔවුනොවුන්ට ආවේණික වූ පාරිභාෂික වදන් තිබිණි. එක් එක් පළාත්වල තරුණියන් තම තමන්ගේ පළාත්වල අය සමග ඒකරාශී වීමට බලපෑ තවත් හේතුවක් වන්නට ඇත්තේ සෙසු පළාත්වල යුවතියන් කෙරෙහි බලපාන මේ සුළු සුළු භාෂාත්මක නොගැලපීම් විය හැකිය .

මේ තරුණියන් තුළ සුලභව දක්නට ලැබුණු සමානතාවයක් වූයේ ඔවුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් තම පවුලේ තිබූ දරිද්‍රතාවය නිසා මෙම රැකියාවලට පැමිණි අය වීම ය. බොහෝ තරුණියන්ගේ මව්පියෝ ගම් පළාත්වල කුලී වැඩ කළහ. පවුලේ දරුවන් ද සංඛ්‍යාත්මකව වැඩි නිසා ඔවුන්ට ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය යන මූලික අවශ්‍යතාවයන් ටිකවත් අඩුවක් නැතුව සරි කර දෙන්නට එම දෙමාපියන් අසමත් විණි. ඇතැම් පවුල්වල දරිද්‍රතාවය කොතෙක් වීද යත් කර කියා ගන්නට දෙයක් නැති කමට "අඩු ගාණේ කාල හරි ඉන්නේ නැතෑ" කියමින් සමහර පිරිමි දරුවන් පන්සලේ මහණ කර තිබිණි. බොහෝ විට මේ දේවල්වල අවසන් ප්‍රතිඵලය වූයේ පවුලේ වැඩිමහල් දියණිය කලාපයේ රැකියාවකට පැමිණීමයි. දරිද්‍රතාවයෙන් ඉහ වහා ගිය ජීවිත ගත කළ ඔවුන්ගේ පවුල්වලට මේ තරුණියන්ගෙන් ලැබුණු මෙහෙය ඉතා වැදගත් විණි. නමුත් මැරී ගෙන වැඩ කළත් පවුලේ වියදම් හියදම්වලට ඔවුන් ලද මාසික වැටුපද නොසෑහෙන අවස්ථා බොහෝ විය. මේ නිසා මුදල් වෙනුවෙන් ඉතා පහසුවෙන් මේ තරුණියන් නොමග යැවිය හැකි උපාය මාර්ගද කලාපය අවට බොහෝ සෙයින් නිර්මාණය වෙමින් පැවතියේය. නමුත් මෙම අසරණ තරුණියන්ගේ ජීවිතවල අඳුරු පැතිකඩ පුවත්පතකින් එළිදැක්වීම කිසිසේත්ම කළ නොහැකි විණි. එය ඔවුන්ගේ ජීවිත තව තවත් අඳුරට ඇද හෙළීමකි. එසේම මේ තරුණියන්ව බාගන්නට දැල් එළමින් සිටින පිරිස්වලට මෙවැනි විස්තර "පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්" වනු ඇති බව තිලක් කල්පනා කළේය. මේ පිළිබඳව තිලක් වරක් ප්‍රධාන කර්තෘ බන්දුල පද්ම කුමාර සමඟ ද කතාබහ කර තිබිණි.
" ඒ ළමයි මොන තරම් අසරණ ද කියනවා නම් එයාලත් එක්ක සුහදව කතා කරන ඕනෙ කෙනෙක්ව විශ්වාස කරනවා. ඒක හරිම අනතුරු දායකයි" වරක් තිලක් බන්දුල පද්ම කුමාරට කීය.
" පිස්සුද මල්ලි ඒව නම් ලියන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔය ළමයින්ගේ ජීවිත තවත් අඳුරට ඇද වැටෙන එක විතරමයි. මල්ලි කියපු අර අනික් විස්තර ගොඩක් හොඳයි.ඒවා විතරක් ලියන්න"
මේ තරුණියන් තුළ සුලභව දක්නට ලැබුණු සමානතාවයක් වූයේ ඔවුන්ගෙන් අතිවිශාල ප්‍රමාණයක් තම පවුලේ තිබූ දරිද්‍රතාවය නිසා මෙම රැකියාවලට පැමිණි අය වීම ය.බන්දුල පද්ම කුමාර මෙම ලිපි පෙළ සම්බන්ධයෙන් තිලක්ට එලෙස උපදෙස් දුන්නේය. එමෙන්ම මෙම තරුණියන් කටුනායක නිදහස් වෙළඳ කලාප රැකියා මුල් කොට විඳින දුක්බර දිවි පෙවෙත එළෙසින්ම එළි දැක්වීම ඔවුන්ගේ ආත්ම ගෞරවය හීන කරන්නකි. ඔවුන් ගේ ගම් රටවල පිරිස් ඒවා දැන ගැනීම ද ඒ තරුණියන් ගේ අයහපතට මිස යහපතට හේතු නොවන බව තිලක්ට වැටහිණ. නමුදු එම තත්වය අද වන විටත් එලෙසින්ම පවතින්නේ ද යන්න පිළිබඳව කරුණු කීමට දැන් ඔහුට හැකියාවක් නැත්තේ මේ ඔහු ස්මරණය කරන්නේ වසර හතලිහකට ආසන්න වූ අතීතයක් වන නිසා ය.
ඒ අනුව එවක බොහෝ දුක්ඛිත ජීවිත ගත කරමින් තම පවුලේ ජීවන සටනට උරදුන් මේ අහිංසක යුවතියන් වෙනුවෙන්ම කුමරි පුවත්පතට තිලක් සතිපතා ලියූ "යුවතියන්ගේ අඩවිය" සඳහා ලිවිය යුතු හා ලිවිය යුතු නැති දේ මනා සිහි නුවණින් තෝරා බේරා ගැනීමට ඔහුට සිදු විය. ඔය අතරේ වැඩි කලක් යන්නට මත්තෙන් පාඨකයන්ගේ නොමද ප්‍රසාදය දිනා ගන්නට එම ලිපි පෙළ සමත් වී තිබිණි. එසේම මේ වන විට තිලක් සමග හිතවත්ව සිටි වෙළඳ කලාපයේ යුවතියන් අතුරින් කිහිප දෙනෙක් තිලක් ගේ ලිපිවලට පදනම් කර ගත යුතු අනේක විධ ජීවන අර්බුදවලට මුහුණ දුන් චරිත සොයා දීමට ස්වේච්ඡාවෙන් කැප වී සිටියහ. ඒ අතරේ පොලොන්නරුව ප්‍රදේශයෙන් පැමිණ සිටි එක් යුවතියක් උදේ සේවා මුරය නිමාවී එවන් ගැටලුවකට මුහුණ දුන් යුවතියක කටුනායක ගුවන් තොටු පළේ නැරඹුම් මණ්ඩපය අද්දරට එක්කරගෙන ආවේ ඇගේ කතාව තිලක්ට අසා දැන ගැනීමට ඉඩ සැලැස්වීමට ය. ඇගේ ඒ කතාව දැන් තිලක්ට මතක නැත. එහෙත් ඒ හමුවීම අවසානයේ සිය මිතුරිය තමන්ට හඳුන්වා දුන් යුවතිය ඔහු ගේ කණට මුව ළංකොට කී වචන කීපය තිලක්ට කිසිදා අමතක නොවේ.
"අයියට වියදමට සල්ලි නැත්නම් කියන්න. මම කීයක් හරි දෙන්නම්:අපිට ඊයේ පඩි" ඇගේ එම කතාව තිලක්ට දැනුණේ තම ළය තුළට කිඳා බසින ලද හී පහරක් මෙනි."මට සල්ලි එපා නංගී, මගේ වියදමට සල්ලි තියෙනවා. ඒත් ඔයා අද මට රුපියල් ලක්ෂයක් දුන්න කියලා මම හැමදාටම මතක තියා ගන්නම්. නංගිගේ ඔය අවංක වචන ටික මට රුපියල් ලක්ෂයකට වඩා වටිනවා"
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ යුවතියන් ගේ මිල මුදල්, කණකර, ඉන ඉහ මෙන්ම ඔවුන් ගේ චරිත පාරිශුද්ධිය ද ගසා කන අධමයන් ගැන පුවත් තිලක් අසා සිටියේ තම හදවත තුළ මළගමක් තනා ගනිමිනි.තිලක් කීයේ තම හදවතින් ගලා ආ කඳුළු ධාරාව දෙනෙත්වලින් පිටවීම වළකා ගනිමිනි.
නමුත් පසු කලෙක කටුනායක නිදහස් වෙළඳ කලාපයේ යුවතියන් ගේ මිල මුදල්, කණකර, ඉන ඉහ මෙන්ම ඔවුන් ගේ චරිත පාරිශුද්ධිය ද ගසා කන අධමයන් ගැන පුවත් තිලක් අසා සිටියේ තම හදවත තුළ මළගමක් තනා ගනිමිනි. තිලක්ට එදා එලෙස මුදලින් උපකාර කිරීමට සැරසුණු පොලොන්නරුවේ යුවතියගේ නම දැන් තිලක් ගේ මතකයේ නැත. ගත වූ කාලය අනුව බලන විට දැන් ඇය මුණුපුරු මිණිපිරියන්ගේ සුරතල් බලන මිත්තනියක වීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත්, ඇය එදා එම වදන්වලින් පළ කළ උතුම් මානුෂීය බව අදටත් තිලක් ගේ හදවත පත්ලේම තැන්පත් වී තිබේ.
තවත් කොටසකින් යළි හමුවෙමු.



