The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (17) - තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

September 16, 2024 • 8:29 AM

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට තිලක් වයස අවුරුදු 26 ක තරුණයෙකි.
  • පත්තර කලාවට පැමිණ සිටි මෙම කෙටි කාලය තුළ ඔහු වටහා ගෙන තිබූ දෙයක් නම් අපේ රටේ බොහෝ පුවත්පත් මාධ්‍යවේන් පත්තර කලාව හඳුනාගෙන සිටියේ "යමක් දැක හෝ අසා දැන ලිවීමක්" ලෙස පමණක් බව ය.
  • නමුත් යම් දෙයක් පිළිබඳව ඊට අදාළ අයෙකුගෙන් විමසා ලිවීමට වඩා ස්වයං අධ්‍යයනයක යෙදී ලිවීමේ මනා අවකාශයක් පත්තර කලාවේ පවතින බව තිලක්ට මේ වන විට හැඟී තිබිණි.
  • ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවේදීන්, තමන්ගේ ජීවිතය පවා කැප ක‍රමින් ජනතාව වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර පිළිබඳව පුවත් තිලක් අසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
1984 වසර ද උදාවී තිබිණි. මේ වන විට තිලක් වයස අවුරුදු 26 ක තරුණයෙකි. පත්තර කලාවට පැමිණ සිටි මෙම කෙටි කාලය තුළ ඔහු වටහා ගෙන තිබූ දෙයක් නම් අපේ රටේ බොහෝ පුවත්පත් මාධ්‍යවේන් පත්තර කලාව හඳුනාගෙන සිටියේ "යමක් දැක හෝ අසා දැන  ලිවීමක්" ලෙස පමණක් බව ය. නමුත් යම් දෙයක්  පිළිබඳව ඊට අදාළ අයෙකුගෙන් විමසා ලිවීමට වඩා ස්වයං අධ්‍යයනයක යෙදී ලිවීමේ මනා අවකාශයක් පත්තර කලාවේ පවතින බව තිලක්ට මේ වන විට හැඟී තිබිණි. ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවේදීන්,  තමන්ගේ ජීවිතය පවා කැප ක‍රමින් ජනතාව වෙනුවෙන්  සිදු කරන ලද මෙහෙවර පිළිබඳව පුවත් තිලක් අසා ඇත. සමහර යුද වාර්තාකරුවන් යුද්ධය වාර්තා කළේ  තම ජීවිතය  පවා පරදුවට තබමින් යුද බිම මැද හිඳගෙන ය. තමන් වෙඩි හෝ බෝම්බ ප්‍රහාරයකට ලක් ව අසාධ්‍ය තත්වයක පසුවන විට පවා ඒ දක්වා සපයා ගත් තොරතුරු ජනතාව අතට පත් කිරීම සඳහා තම මාධ්‍ය සගයන් අතරට  ඒවා විසි කර යුද බිමේදී අවසන් හුස්ම හෙලූ මාධ්‍යවේදීන් පිළිබඳව ද තිලක් අසා තිබිණි. යුද වාර්තාකරුවකු නොවූවත් එබඳු  ගවේෂණාත්මක පුවත්පත් කලාවක නියැලීමේ තදබල කැමැත්තක්  මේ වන විට තිලක් ගේ සිත තුළ ද මෝරා වැඩෙමින් පැවතියේ ය.
 
what if Richard Nixon presidential resignationහිටපු  ඇමරිකානු ජනාධිපතිවරයකු  වූ රිචඩ් නික්සන්  එම පදවියෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ වෝටර්ගේට් සිද්ධියයි
  
අපේ රට කුඩා  වූවා සේම පත්තර කලාව ද පැවතියේ ළදරු අවධියක ය. ඉන් අදහස් කළේ  පත්තර කලාව වයසින් අඩුවීමක් නොව, පරිණත භාවයෙන් වැඩෙන්නට තිබෙන අවස්ථාව අඩුවීමකි. ලෝකයේ බොහෝ රටවල් හා සංසන්දනාත්මකව බලන කල ගවේෂණාත්මක පුවත්පත් කලාවක් අපේ රටේ පැවතියේ නැති තරම් ය. තිබුණත් ඒ මුහුකුරා නොගිය තත්වයකිනි. හිටපු  ඇමරිකානු ජනාධිපතිවරයකු  වූ රිචඩ් නික්සන්  එම පදවියෙන් ඉල්ලා අස්වීමට හේතු වූයේ වෝටර්ගේට් සිද්ධියයි. ඔහු විසින් සිදුකරන ලද දේශපාලන විෂමාචාරයක් පිළිබඳව සම්පූර්ණයෙන්ම ගවේෂණය කළේ  එරට තරුණ මාධ්‍යවේදීන් දෙදෙනෙකි. එම මාධ්‍යවේදීන් දෙදෙනා විසින්  වෝටර්ගේට් සිද්ධිය පසුපස හඹාගොස් ඒ සම්බන්ධයෙන් කරන ලද ගැඹුරු ගවේෂණයෙහි ප්‍රතිඵලය වූයේ ලොව ප්‍රබලම පුරවැසියා වශයෙන් පිළිගැනෙන  ඇමරිකානු ජනපති රිචඩ්  නික්සන් පවා  නිරුත්තර වීම ය.  අවසානයේ රිචඩ් නික්සන් ඉල්ලා අස්විය. එපමණකට එවැනි රටවල මාධ්‍යය බලවත් ය. එසේම මාධ්‍යයේ සතු බලය ලෝකයටම කියාපෑ එක් සිද්ධියක් ලෙස ද එය දැක්විය හැකිය. 
 
මාධ්‍යවේදීන් වීරයන් ලෙස සලකන්නට ඔහුට බලපෑ ප්‍රබල සිද්ධියක් වූයේ මෙයයි. අපේ රටේ ද මෙවැනි හැකියාවන් ඇති මාධ්‍යවේදීන් කොතෙකුත් සිටින්නට ඇත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව දැන සිටියාට ක්‍රීඩා කරන්නට සුදුසු පිට්ටනියක් නැත්නම් එම හැකියාවෙන් පළක් ගැනීමට අවකාශ නොලැබේ. අපේ පුවත්පත් කලාව තුළ ඇත්තේ ද එම තත්වයම ය. එනිසා හැකියාවක් ඇති මාධ්‍යවේදීන්ගේද එම හැකියාවන් උපන් ගෙයිම මිය යන්නට මිස, එය වර්ධනය කරගන්නට හැකි සාධක අපේ රටේ දක්නට නැත. එබැවින්  ගවේෂණාත්මක  මාධ්‍ය කලාවක් මෙහි නොමැත.  එවැන්නක් කෙරෙහි කෙතරම් උනන්දුවක් තිබුණත්  තමන්ට වැඩ කරන්නට සිදුවන්නේත් ඒ සියල්ල අමතක කර මෙම " එදා වේල ටුවර්ස්" මාධ්‍ය කලාව තුළ  නොවේදැයි තිලක්  සිහිපත් කළේ කිසියම් කම්පාවකින් යුතුව ය. යම් සිද්ධියක් පිළිබඳව දිගින් දිගටම ගවේෂණය කරමින් ඒ පිළිබඳ අලුත් තොරතුරු දිනෙන් දින එකම පුවත්පතක් තුළ පළ කරන්නට ගියහොත් " අයියෝ තමුසේ උදේට පානුයි පරිප්පුයි දවල්ට පරිප්පුයි පානුයි වගේ මේ එකම ලිපිය නේද කරකව කරකවා ලියන්නේ හැමදාම? මෙහෙම  ලිපි ලියලා කොහොමද පත්තර විකුණන්නේ? අයිසෙ මේ පත්තරවල තමුසෙටයි මටයි ඕනෙ දේවල් පුරවලා හරියන්නෙ නැහැ. අපි ලියන්න ඕනෙ මිනිස්සුන්ට ඕන ⁣දේවල්. රටේ මිනිස්සු ඉල්ලන දේවල්" යනුවෙන් ගෝරනාඩු නඟන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයකු පිළිබඳව ද තිලක් අසා තිබිණ. එක් අතකින් බලන විට ඔහු ගේ කතාවෙහි ඇත්තක් තිබේ. පුවත්පත් කර්මාන්තය ව්‍යාපාරයකි. එනිසා පුවත්පතක තිබිය යුත්තේ පාඨකයන් කැමති දේවල් ය. කර්තෘ මණ්ඩලය කැමති කැමති දේවල් කරන්නට ගියහොත් අවසානයේ පත්තරය  පාඩු පිට  කරගෙන යා නොහැකි යැයි කියමින් සමාගමේ හිමිකරුවන් එය වසා දැමීමට තිබෙන හැකියාව අතිශයින්ම ඉහළ ය. අවසානයේ රැකියා විරහිතයින් බවට පත්වී අසරණ වන්නට එම සමාගමේ සේවක සේවිකාවන්ට සිදුවනු ඇත. අපේ රටේ පත්තර කලාව " එදා වේල ටුවර්ස්" යැයි පැවසුවේ එනිසා ය.
 
images 37පුවත්පත් කර්මාන්තය ව්‍යාපාරයකි
 
විද්‍යාව, කලාව, දර්ශනය මේ ආදී වූ නොයෙකුත් ක්ෂේත්‍රයන් ඔස්සේ පරතෙරට ගිය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ සැලකුවහොත් එය එතරම් සාර්ථක නැත. තවත් සරලව කිවහොත් ලෝකය වෙනස් කළ බොහෝ පුද්ගලයන් සාර්ථක පවුල් ජීවිත ගත නොකළ අයයි. ඒ පැත්තෙන් සාර්ථක වූවා නම් ඔවුන්ට තමන්ගේ ක්ෂේත්‍රයෙහි පරතෙරට යාමට අවකාශයක්  නොලැබෙන්නට පුළුවන. පුවත්පත් කලාව තුළ මෙවැනි ගමනක් යාමේ නොතිත් ආශාවක් තිලක් තුළ පැවතියේය. ඒ නිසාම මේ වයසේ වෙනත් තරුණයන්ට මෙන් පෙම්වතියක ඇසුරු කිරීමේ අවශ්‍යතාවයක් තිලක් තුළ පැන නැගුණේ නැත. පුවත්පත් කලාවේදියා යනු සමාජ අසාධාරණයට එරෙහි හුදෙකලා සටන්කරුවෙකි. ඔහුගේ ජීවිතය එක්තරා අතකින් ලෞකිකත්වය අත් හළ ශ්‍රමණ දිවියකට සමාන වෙයි. හරියටම හදවතින්ම මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වුවහොත් ගෙවල් දොරවල් හෝ අනෙකුත් පෞද්ගලික කාරණා පිළිබඳ අවශ්‍යතාවයක් පවා නොමැති බොහීමියානුවකුගේ තත්ත්වයට පුවත්පත් කලාවේදියා පත් විය හැකිය. ඉන්පසු පිරිසිදුවට මිස පිළිවෙළකට ඇඳුමක් පැළඳුමක් කිරීමට පවා ඔහුගේ උනන්දුව හීන වී යයි. ඒ ඔහු ආටෝපය මුළුමනින්ම පිටු දකින බැවිනි. ඔහු මුළු කාලයම යොදවන්නේ තමන්ගේ ඉලක්කය වෙත ය. තිලක්ට අපේක්ෂා කළේ ද එබඳු දිවි පෙවෙතකි.
 
ඔහුගේ මහගෙදර පිහිටි ඉඩමට යාබද  ඉඩමේ  පදිංචිව සිටියේ මාලනී නමින් හැඳින්වූ ඥාති සොයුරියකි. මාලනී මෙන්ම ඉඩමේ අනික් පැත්තට මායිම් වූ තවත් ඉඩමක පදිංචිව සිටි බන්දුල ද තිලක් හා සම වයසේ සිටි අතර මේ තිදෙනා සහ තිලක්ගේ නැගණිය දීප්ති ත්  කුඩා වියේ  දී එකට සෙල්ලම් කළහ. බන්දුල පසු කලෙක ග්‍රාම නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා තිබිණි. තරමක වත්පොහොසත්කම් සහිත පවුලක උපන් මාලනී  විසි වයස් එළඹෙන්නටත් පෙරම  යුග දිවියට පිවිසියා ය. මාලිනීට සහෝදර සහෝදරියන්  කිසිවෙක් සිටියේ නැත. ඇගේ මහගෙදර තරමක් විශාල වූවකි. එනිසා එවක එම නිවසේ වෙන් වූ කොටසක පදිංචියට ගිය මාලිනීගේ දෙමාපියෝ  එහි ප්‍රධාන කොටස කුලියට දුන්හ.
 
IMG 20240914 WA0007 මාලනී
 
මේ නිවස කුලියට ගෙන පැමිණියේ කුඩා දියණියක ද සිටින යුවළකි. ප්‍රේමතිලක නම් වූ එම සැමියා වෘත්තියෙන් දුම්රිය ස්ථානාධිපතිවරයකු ව සිටි අතර ඔහුගේ බිරිඳ විමලා ඒ වන විට තම දෙවන දරුවා බිහිකිරීම සඳහා සූදානමින් සිටියා ය. ඔවුන්ගේ ගම බෙලිඅත්ත ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස කලින් කලට විවිධ දුම්රිය ස්ථානයන්ට මාරු වීමට සිදුවීම  හේතුවෙන් ඒ වන විට කොළඹට ආසන්න දුම්රිය ස්ථානයක සේවය කළ නිසා ඔවුන්  මෙම නිවස කුලියට ගෙන තිබිණි.
 
ගැබිනි මවක ව සිටි එම බිරිඳට සහාය පිණිස ඇගේ නැගණිය ලතා ද ඒ වනවිට එහි පැමිණ  සිටියාය. ලතාව ඇගේ පවුලේ සියලු දෙනා "චූටි හාමිනේ" යන ආදරණීය නාමයෙන් හැඳින්වූහ.
 
IMG 20240914 WA0006ලතා
 
තිලක් කුමරි පුවත්පතේ වැඩ කරන බව ලතා දැන ගෙන තිබුණේ මාලනීගෙනි. ඒ වන විට අවුරුදු විසි තුනක, විසි හතරක තරමේ වයසක සිටි ලතා, කුමරි පුවත්පත කියවන්නට දැඩි රුචියක් දක්වන්නට ඇත. තිලක් නිවසේ සිටින වෙලාවට ඔහුගේ ගෙදර ඉදිරිපසට පැමිණ එළිපහළියේම ඔහුට කතා කර ඇය කුමරී පත්තරය ඉල්ලාගන්නට පෙළඹුණේ  එබැවිනි.
 
මෙසේ ගෙමිදුලටම පැමිණ සතිපතා කුමරි පත්තරය ඉල්ලා ගැනීම හැරුණු විට වෙනත් කිසිදු තොරතුරු කතාබහ කිරීමක්වත් ඔවුන් අතර සිදුවූයේ නැත. නමුත් මෙය බලා සිටි අසල්වැසි කාන්තාවක් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇතැයි තමන්ම තීරණයකට එළැඹ තිලක් ගේ මව හමු වී මෙම කේළම කියා තිබිණි. ඒ තිලක් හා ලතා තැන තැන රවුම් ගහන බවට ද ආරංචි ද පැතිර ගොස් ඇති බව පවසමිනි. මෙය අසා තිලක් ගේ මව මහත්සේ කුපිත වූවා ය.
 
" ඇත්තද උඹ අර මාලනී ලෑ ගෙදර කුලියට ඉන්න කෙල්ලත් එක්ක එහෙ මෙහෙ රවුම් ගහනවා කියන්නේ?"
 
 ඇය එදිනම මේ පිළිබඳව තිලක්ගෙන් විමසන්නට අමතක කළේ නැත.
 
" අම්මට පිස්සුද? මට වෙන වැඩ නැතුවට? " තිලක් එක්වරම උදහස්ව ඇසීය.
 
" එහෙනම්. උඹල පත්තර හුවමාරු කරගන්නේ නිකන්ද?"
 
 " අම්මෙ පින්සිද්ද වෙයි වැඩක් නැත්නම් පැත්තකට වෙලා නිකන් ඉන්න බහුබූත කියවන්නෙ නැතුව. පත්තර ගහන්නෙ මිනිස්සුන්ට කියවන්න නේන්නම්"
 
ඉන් එහාට අම්මා කුමක් කියන්නේ දැයි අසා සිටින්නට තිලක් එතැන රැඳී සිටියේ නැත.
 
ඉන්පසු නැවත එවැනි කතාවක් ඇති නොවූ අතර තිලක් ගේ මතකයෙන් මේ සිද්ධිය ගිලිහී තිබිණි. ටික දිනකට පසු තිලක්ට මාලිනී හමුවිය.
 
IMG 20240914 WA0009 තිලක් මව සමග
 
 " ඔයාලෑ අම්මත් මාර වැඩක් නෙ කරලා තියෙන්නෙ"
 
 " ඇයි මොකක්ද වෙලා තියෙන්නේ?"
 
කිසිවක් සිතාගත නොහැකි ව වික්ෂිප්ත වූ තිලක් පෙරළා ඇසීය.
 
සිද්ධිය කියන්නට ඉක්මන් නොවූ මාලනී මඳක් විමසිල්ලෙන් වටපිට බැලුවාය. ඇගේ එම ස්වභාවයෙන්ම ඒ බැරෑරුම් කතාවක් බව තිලක්ට හැඟිණි. ඔහු නොඉවසිල්ලෙන්  යුතුව මාලනී දෙස බලා සිටියේය.
 
 " ඔයාලෑ අම්මා අපේ ගෙදර කුලියට ඉන්න මහත්තයා හම්බවෙලා කියලලු ලතා ඔයත් එක්ක යාළුවෙන්න එනවා කියලා....."
 
" මං එක්ක? දෙයියෝ සාක්කි "
 
 තිලක් ඇසුවේ විස්මයෙනි.
 
" ඔයාලෑ අම්මා තව කියල තියෙනවා අපි එහෙම දේකට කැමති නෑ. ඒ හින්දා ඉක්මනින්ම මේකට මොකක් හරි කරන්න කියලා"
 
IMG 20240914 WA0005තිලක් ගේ මහගෙදර පිහිටි ප්‍රදේශය
 
 " අයියෝ; ඒ මොන අපරාදයක්ද?" තිලක් පැවසුවේ විස්සෝපයෙනි.
 
 " අම්මා ඔයාගෙන් ඇහුවෙ නැද්ද ඔය කතාව?"
 
 " ඇහුවා. මං බැන්නා. ඊට පස්සේ අහන්න ආවෙ නෑ. දැන් ඉතින් මොකක්ද වෙලා තියෙන්නේ?"
 
" එයාව ආපහු එක්ක ගිහින්. පව්. මමත් ලතාගෙන් ඇහුවා මොනවා හරි ඔයාලගේ සම්බන්ධයක් තිබුණද කියලා. එයත් කිව්වා එහෙම  දෙයක් තුන් හිතකවත් තිබුණෙ නෑ කියලා. ඒ වුණාට ඔයාලගේ අම්මා මෙහෙම කිව්වට පස්සේ ඉතින් තවත් ලතාව මෙහේ තියාගෙන ඉන්න බැරි හින්දයි එයාව ආපහු ඇරලවලා තියෙන්නේ"
 
" ගමේද ගිහින් දාල තියෙන්නෙ?"
 
IMG 20240914 WA0008තිලක් සේනාසිංහ
 
 " නෑ නෑ කතරගම. එයාගෙ අයියලගෙ ගෙදරටලු "
 
 " පව් ඒ ගෑනු ළමයා මොනවා හිතනවද දන්නෙ නෑ. පත්තරේ ඉල්ලගන්නවා මිසක් එතනින් එහාට වචන දහයක්වත් කතා කරල නෑ. අපරාදෙ කෙල්ලට මම නිසා වෙච්ච දෙයක්......"
 
" දැන් ඉතින් මොකක් කියලා කරන්නද? ඕව ඔයා අම්මගෙන් අහන්න යන්න ඕන නෑ. අනිවාර්යෙන් එතකොට එයා දැනගනියි මම කිව්වා කියල.  අන්තිමේ මටත් දොස් අහන්න වෙයි"
 
 "' පුළුවන් නම් මාලනී මට ලතා ඉන්න තැනක එඩ්රස් එක හොයලා දෙන්න. මම නිසා වෙච්ච දේ පැහැදිලි කරලා මම සමාව ඉල්ලන්නම්"
 
shallow depth of field image of caucasian hand holding fountain pen writing a letterඒ කාලයේ එකි`නෙකා අතර තිබූ ප්‍රබලම සන්නිවේදන මාධ්‍ය වූයේ ලියුම් ලිවීමයි.
  
ජංගම දුරකතන කොහෙත්ම නොතිබුණු, ස්ථාවර දුරකථන අතනින් මෙතනින් තැනක පමණක් තිබුණු ඒ කාලයේ එකි`නෙකා අතර තිබූ ප්‍රබලම සන්නිවේදන මාධ්‍ය වූයේ ලියුම් ලිවීමයි. තිලක්ට ලතා සිටින නිවසක ලිපිනය සොයා දීමට මාලනී පොරොන්දු වූවා ය.
  
දිනක් දෙකක් ඇතුළතදීම මාලනී වෙතින් ලතාගේ සොහොයුරා ගේ නිවසේ ලිපිනය සොයා ගැනීමට තිලක් ට හැකි විය. තිලක් තම කාර්යාලීය ලිපිනය යොදා ලතා ට කෙටි ලිපියක් ලිවීය.
 
 " අපේ අම්මාගේ  වැරදි වැටහීමක් නිසා ඔයාට ගෙදරින් යන්න සිදුවුණු බව මට මාලනී කිව්වා. මම නිසා ඔයාට ලොකු වරදක් සිද්ද වුණේ. ඒකට මට සමාවෙන්න."
 
තිලක් සිය ලිපියෙහි අඩංගු කළේ එපමණි. ඉන්පසු ඔහු එය තැපෑලට දැමුවේය.
 
දින කිහිපයකට පසු ලතා ද ඊට කෙටි පිළිතුරක් එවා තිබුණේ තිලක්ගේ කාර්යාල ලිපිනයටම ය.
 
 " ඒ ගැන මගේ තරහක් නෑ. ඕක අමතක කරලා දාමු. මම දැන් අපේ අයියගේ ගෙදර හොඳින් ඉන්නවා"
 
ඒ ඇය දුන් පිළිතුරයි.
 
එම පිළිතුරු ලිපියෙන් පසු තිලක්ගේ සිතට යම් සහනයක් දැනිණි. ඉන්පසු ඔහු එම සිදුවීම සිතින් අමතක කර දැමීය.
 
sn 23328තිලක් වැඩිපුරම ප්‍රිය කළේ එකල ඉතා ජනප්‍රිය ගායකයකු වූ සනත් නන්දසිරිගේ ගීත ගැයීමට ය.
 
 
ගීත ගැයීමෙහි විශේෂ හැකියාවක් නොතිබුණත්, නිවසේ විවේකීව සිටින විට මහ හඬින් ගීත ගැයීම තිලක් ගේ එකල පැවති පුරුද්දකි. ඔහු වැඩිපුරම ප්‍රිය කළේ එකල ඉතා ජනප්‍රිය ගායකයකු වූ සනත් නන්දසිරිගේ ගීත ගැයීමට ය. තිලක් ඊට පෙර මොන විදිහේ ගීතයක් ගැයුවත් ඔහුගේ මවට එය අමුතුවෙන් සිතන්නට හෝ සිත සිතා වෙහෙස වන්නට කාරණයක් නොවිණි. නමුත් ලතා සමඟ තිලක් ගේ සම්බන්ධයක් ඇති බවට අසල්වැසි ගැහැනියක විසින් පැවසූ දා සිටම තිලක් ගේ ගීත ගායනය පවා ඔහුගේ මවගේ කෝපය වැඩි කරන්නට සමත්ව තිබිණි.
 
ඔහු සනත් නන්දසිරි ගැයූ "සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී නික්මෙන" ගීතය ගායනා කරන විට මව
 
 
 "උඹට හරි අමාරු ඇති නේද ඒ කෙල්ලව ගමේ ගිහින් දාපු එකට"
 
යනුවෙන් පවසමින් මහහඬින් දොස් නඟන්නී ය. තිලක් එය නෑසුණාක් මෙන් සිය ගීතය එලෙසින්ම ගායනා කරන්නට වන්නේ මව සිතන විදියේ  කිසිවක් තම සිතකවත් නොවන නිසාවෙනි.
 
තවත් වරෙක තිලක් සනත් නන්දසිරි ගැයූ " මා හද අසපුව" ගීතය ගායනා කළේය. එම ගීතයේ අන්තරා කොටසක පවතින " දායාදය ලෙස අබැටක් නොතකන ඇගෙ නිකැළල් හද මට සෑහේ" යනුවෙන් ගයනු ඇසෙන විට මවට යකා ආරූඪ වෙයි.
 
 
 " හිතාගෙන ඉන්න ඇති මොකුත් දෑවැද්දක් නැතුව අරගෙන ඉන්න .හැබැයි මතක තියා ගනින්. මේ සම්මජ්ජාතියෙ උඹට ඕක නම් කරන්න හම්බ වෙන්නෙ නෑ"
 
ඒ තිලක් ගයන ගීතයට මවගෙන් ලැබෙන පිළිතුර ය. එහෙත් මවගේ මෙවන් ගෝරනාඩුවලට එක් වදනකින්වත් දායක නොවූ පියා එම අවස්ථාවන් සියුම් ලෙස මඟ හරින බවක් ද තිලක්ට වැටහී තිබිණ."අනේ මන්දා; ඕවා අම්මා එක්කම බේරුම් කර ගන්න එකයි ඇත්තේ" වරක් ඒ අවනඩුව පියා හමුවේ හෙළි කළ තිලක්ට පියා ගෙන් ලැබුණු පිළිතුර එය විය.
 
මුලින් මවගේ මෙවැනි වදන් පිළිබඳ වැඩි තැකීමක් නොකර සිටියත්, ඇය එවැනි ඇනුම් පද කීම නොනවත්වන කල තිලක්ගේ සිතට දැඩි කෝපයක් ඇතුළු විය. අබමල් රේණුමක තරමින්වත් තමාගේ සිතේ එතෙක් නොසිටි තරුණියක වෙනුවෙන් දොස් අසන්නට සිදුවීම එක පැත්තකිනි. අනෙක් අතට බැලුවොත් එම තරුණිය ද නිරපරාදේ තමන්ගේ මව නිසා ගැරහුම් ලබයි. මව තමන්ට නිතර දෙවේලේ නඟන දොස් ඇය නොදැන සිටියත්,  මවගේ ක්‍රියාකලාපය නිසා තම සොයුරියගේ නිවසින් ඇයට පිට මං වන්නට සිදුවුණේ විශාල අවමානයක් ද රැගෙන ය. සැබැවින්ම තමා නිසා ඇයට සිදුවූයේ මහත් අසාධාරණයක් යැයි තිලක් ගේ සිතට නැවත නැවතත් හැඟෙන්නට විය. ඇය ගිය පසු මව නිහඬව සිටියේ නම් තිලක්ටත් මේ සිද්ධිය අමතකව යනු ඇත. නමුත් කිසිදු හේතුවක් නැතිව නිරන්තරයෙන් කරනු ලබන මෙම දොස් නැගීම් තුළින් නොදැනීම හෝ මව කරමින් සිටියේ තිලක් ගේ සිතට යළි යළිත් එය සිහිපත් කර දීම ය. මේ සියල්ලට මුල පවුලේ එකම පිරිමි දරුවා වන තමන් කෙරෙහි මව තුළ පවත්නා ආදර කරුණාව බව තිලක් දැන සිටියේ ය. අබ මල් රේණුවක තරමින්වත් තම දරුවෙකුට අහිතක් කරදරයක් සිදුවනු දකින්නට අම්මාවරුන් කැමති නැත. නමුත් තමාගේ තුන් සිතකවත් ලතා ගැන හැඟීමක් නොතිබුණු සේම, ලතාගේ ද එවැනි කිසිදු හැඟීමක් නොතිබුණු බව තිලක්, මාලනී වෙතින් ඉඳුරා දැන ගත්තේය. එසේ වී තිබියදී ඇයගෙන් තම ජීවිතයට කිසිදු බලපෑමක් ඇතිවන්නට කොහෙත්ම ඉඩක් නැත. මේ නිසාම තිලක් මේ වනවිට  සිටියේ මවගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ඉමහත් අප්‍රසාදයකිනි.
 
නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
 
  
 

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...