The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

October 14, 2024 • 9:15 AM

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "අපි දෙන්නා⁣ කසාද බැන්ද බව මම අපේ ගෙදරට කිව්වා.
  • මම 23 දා පාන්දරට වෙනදා වගේ කතරගම එන්නම්.
  • ලතා සමග ජීවිතය බෙදා හදා ගනිමින් යහපත් ලෙස එය ගත කළ හැකි බවට ඇතිවූ විශ්වාසය මත ක්ෂණිකව සිතට නැගුණු සිතිවිල්ලකට අනුව ඊට පසුදිනම විවාහ විය.
  • හොඳින් සිමෙන්ති මැද තිබූ ගෙබිම ද අතිශය සිසිල් බවින් යුතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
  
"අපි දෙන්නා⁣ කසාද බැන්ද බව මම අපේ ගෙදරට කිව්වා. මුල දී අම්මා ටිකක් හිතේ අමාරුවෙන් හිටියත් දැන් අම්මාගෙන් ප්‍රශ්නයක් නෑ. තාත්තා කිව්වා ඔයාව ගෙදර එක්ක ගෙන එන්න කියලා. මම 23 දා පාන්දරට වෙනදා වගේ කතරගම එන්නම්. 24 දා උදේ මාත් එක්ක අපේ ගෙදර එන්න ලෑස්ති වෙලා ඉන්න. වැඩිදුර විස්තර අපි හමු වුණාම කතා කරමු."
IMG 20241012 WA0004තිලක් සේනාසිංහ  
ලතාට ලියූ කෙටි ලිපිය තිලක් එදිනම තැපෑලට දැමුවේ ය. ඔහුගේ සිතෙහි වූයේ අස්වැසිල්ලකි. ලතා සමග ජීවිතය බෙදා හදා ගනිමින් යහපත් ලෙස එය ගත කළ හැකි බවට ඇතිවූ විශ්වාසය මත ක්ෂණිකව සිතට නැගුණු සිතිවිල්ලකට අනුව ඊට පසුදිනම විවාහ විය. නමුත්  "විවාහය" යන්නෙහි බර ඔහුගේ සිතට එතරම් දැනී තිබුණේ නැත. එහෙත් දැන් දැන් ඒ බර සිතට නොදැනෙන්නේ ද නොවේ.
 
ලතා කැඳවාගෙන විත් දැනට වසා තිබෙන මහ ගෙදර පදිංචි වන්නැයි තාත්තා කියන තුරුම ලතා සමඟ එක වහලක් යට ජීවත් වන්නේ කොහේද? යන්න ගැන තිලක් සිතා තිබුණේ නැත. ඒ වන විට අඩ සිය වසක් පමණ ඉක්මවා තිබූ පැරණි මහ ගෙදරට තිලක් බොහෝ කැමති ය. කලින් සොල්දර ගෙයක්ව පැවති එහි පසු කලෙක සොල්දරය ගලවා දමා තිබිණි.  එවිට එහි ඉහළ වා කවුළුවලින්  ගෙතුළට නිරන්තරයෙන් සුවදායක සුළං හැමීය. හොඳින් සිමෙන්ති මැද තිබූ ගෙබිම ද අතිශය සිසිල් බවින් යුතු විය. ඒ මුළුගෙටම තිබුණේ අඩි 4×6 ප්‍රමාණයේ එකම එක තනි ඇඳක් පමණි. නිවාඩු දිනවල ගෙදර සිටින විට දිවා ආහාරයෙන් පසු තිලක් මේ ඇඳට වී පැයක් හමාරක් නිදාගන්නට පුරුදුව සිටියේ නිවසේ පැවති එම අපූරු සිසිල් නිස්කලංක බව නිසාම ය.
 
"තිලක්, ⁣එන සඳුදා වැඩට එන්න පුළුවන් නේද ඔයාට? "
 
කාර්යාලයේ  තිලක්ගේ නිවාඩු දින දෙක ඉරිදා සහ සඳුදා ය. 
 
සිකුරාදා දිනයේ පමණ උදේ  බන්දුල පද්ම කුමාර, තිලක්ගෙන් ඇසීය. ඔහුට එක්වරම සිහි වූයේ ලතාට වූ පොරොන්දුවයි. කාර්යාලයේ තිලක්ගේ නිවාඩු දින දෙක ඉරිදා සහ සඳුදා ය. ඒ අනුව ලතාව ගෙදර එක්කරගෙන එන්නට ඔහු තීරණය කර තිබුණේ සඳුදා දිනයේ ය. නමුත් මෙවර සඳුදා දවසේ රාජකාරියට පැමිණිය හැකිදැයි බන්දුල විමසා සිටී. එදින නොපැමිණෙන්නට තිබෙන හේතු කාරණාව කිව්වොත්, බන්දුල කිසිසේත් ඊට අකුල් නොහෙළන බව ද තිලක් දනී.
 
 "කමක් නෑ එහෙනම් ඔයා යන්න. මං මොකක් හරි බලන්නම්" ඔහු එලෙස පවසනු නිසැක ය. නමුත් ඔහු වැඩට එන්නට කීවේ අවශ්‍ය රාජකාරී  කටයුත්තක් සඳහා ය. ඊට තම සහභාගීත්වය අත්‍යවශ්‍ය වූවක් ලෙස බන්දුල සලකන්නට ඇත. එසේ නම් වෘත්තිය උදෙසා ආත්මීය වශයෙන්  කැපවීමට තීරණය කළ තමන්ට රාජකාරියට වඩා වැදගත්  අන් කිසිවක් තිබිය නොහැකිය. තිලක් තීරණයක් ගත්තේය. ඒ, සුපුරුදු පරිදි සෙනසුරාදා රාත්‍රී බසයෙන් කතරගම ගොස් ඉරිදා දිනයෙහි එහි නොරැඳී එදින උදෙන්ම ලතා ද කැටුව ආපසු පැමිණීමට ය.
 
"හරි බන්දු අයියේ;මට පුළුවන්. මම සඳුදා එන්නම්" තිලක්, ඒ බවක් නො අඟවා බන්දුලට පැවසීය.  
 
ඒ කාලයේ ස්ථාවර දුරකථන තිබුණේ කලාතුරකින් නිවසක පමණි. එය සුපිරි පන්තියේ පාරිභෝගික භාණ්ඩයක් විය
 
නමුත් සඳුදා නැවත සේවයට යා යුතු බැවින් තමන් කතරගමට ඉරිදා උදේ පය තැබූ සැනින් ආපසු පැමිණෙන්නට සිදුවන බව ලතාට කලින් දැන්විය හැකි ක්‍රමයක් තිබුණේ නැත. වර්තමානයේ මෙන් ජංගම දුරකථන කොහෙත්ම නොතිබූ ඒ කාලයේ ස්ථාවර දුරකථන තිබුණේ කලාතුරකින් නිවසක පමණි. එය සුපිරි පන්තියේ පාරිභෝගික භාණ්ඩයක් විය. සාමාන්‍ය ජනතාව පණිවිඩ හුවමාරු කර ගත්තේ ලිපි මගිනි. හදිසි පණිවිඩයක් නම් විදුලි පණිවිඩ යැවීම සිදු විය.
 
මේ නිසා කතරගම ගෙදරට ගිය පසු සිදුවී ඇති දෙය පැහැදිලි කර එදිනම ලතා සමඟ ආපසු එන්නට තිලක් තීරණය කර ගත්තේ වෙනත් විකල්පයක් නොතිබූ නිසා ය.  තමන් පසුදා සවස ලතා ද කැටුව එන බව සෙනසුරාදා උදේ කාර්යාලයට යන විට තිලක් මාපියනට කීය.
 
22 වන සෙනසුරාදා රාත්‍රී කොළඹින් පිටත්ව 23 දා අලුයම තිලක් කතරගම බාල මහත්තයාගේ නිවසට යන විට සුපුරුදු පරිදි ලතා අවදි වී තිලක්‌ ගේ පැමිණීම අපේක්‍ෂාවෙන් බලා සිටියාය.
 
"හරි වැඩේනෙ. මට හෙට උදේ ඔෆිස් යන්න වෙලා තියෙනව"
 
එය අසා ලතා මඳකට නිහඬ වූවා ය. ඇය හඬ අවදි කළේ තත්පර ගණනකට පසුව ය.
 
IMG 20241012 WA0005ලතා
 
"හෙට එහෙනම් මට ඔයාලගෙ ගෙදර යන්න බැරි වෙයි නේද?" ඇයගේ කටහඬෙහි දොම්නසක් තැවරී තිබිණි.
 
"නෑ, නෑ හෙට වෙනකල් ඉන්න ඕනේ නෑ. අපි දෙන්නා අදම යමු. මම අපේ ගෙදරටත් කියලා ආවේ අද හවස ඔයාව එක්ක එනවා කියලා. ඔයා තව ටිකකින් යන්න ලෑස්ති වෙන්න"
 
එවර ලතාගේ සිතේ ඇති වූයේ දෙගිඩියාවකි.
 
"අයියත් ගෙදර නෑ. ඔයා අද ආවම හෙට උදේ වෙනකල් ඉන්නවනේ කියලා අය්යා ගමේ සමිතියක වැඩකට කට්ටියක් එක්ක බුත්තල ගියා. එයා එන කොට දවල් වෙයි."
 
"හෙට මට වැඩට නොගිහින් ඉන්න විදිහක් නෑ. පද්මා අක්කා ඉන්නවනෙ. එයාට කියල යමු. වෙන දවසක ඇවිත් අය්යට කතා කරමු"
 
IMG 20241012 WA00031980 දශකයේ ගණේමුල්ල නගරය
 
එතැනින් එහාට ලතා කිසිවක් නොකීවා ය. ඇය නෑණාව සොයාගෙන මුළුතැන්ගෙයට ගියේ තිලක් සමග එදිනම ⁣පිටත් වීමට සිදු වන බව කියන්නට ය.  
 
මඳ වේලාවකට පසුව බාල මහත්තයාගේ බිරිඳ පද්මා සාලයට ආවා ය.
 
 "අනේ ඉතින් එහෙම ගිහින් කොහොමද? අයියත් ඉන්න වෙලාවකම එයාටත් කියලා නංගිව එක්ක ගියා නම් නේද හොඳ ?"
 
නෑණා පැවසුවේ බැගෑපත් ස්වරයෙනි.
 
"ඔව් ඒකම තමයි වෙන්න ඕනෙ. ඒත් මට හෙට අනිවාර්යෙන් ඔෆිස් යන්න වෙලා තියෙනව. රාජකාරිය පැහැර අරින්න මම කැමති නෑ මොන හේතුවකටවත්"
 
"එහෙනම් ඉතින් මොනව කරන්නද නේද ? මම අය්යට ආවම කියන්නම්කො"
 
තිලක් සමග ලතාගේ නික්මයාම වෙනුවෙන් නෑණා අනුමැතිය දුන්නේ එලෙසිනි.
 
Girl embracing to comfort to her sad best friend after break up sitting on a couch in the living room at home නෑණා ලතාගේ මුහුණ සිප සමු දෙන විට ඇයට හැඬිණි
 
ලතා එදින ද සාරියකින් සැරසුණා ය. ඇගේ ඇඳුම් පැළඳුම් ආදිය සූට්කේසයක අසුරා ගෙන තිබිණි. නෑණා ලතාගේ මුහුණ සිප සමු දෙන විට ඇයට හැඬිණි. මෙතෙක් කඳුළු සිර කරගෙන සිටි ලතාගේ දෙනෙත්වලින් ද කඳුළු පහළට කඩා වැටෙන්නට විය.
 
පුරා පැය හත අටක ගමනකින් පසු කතරගම සිට කොළඹට පැමිණි ඔවුන් දෙදෙනා කොටුව දුම්රියපලට පැමිණියේ ගණේමුල්ලට යාම සඳහා දුම්රියකට නගින්නට ය.
 
ගණේමුල්ලෙන් බසින විට බොහෝ සෙයින් සවස් වී පැවතියේය. හා හා පුරා කියා සිය බිරිඳව ගෙදරට එක්කරගෙන යන ගමනේ දී සූට්කේසයකුත් එල්ලාගෙන පයින් යාම නුසුදුසු නිසා තිලක් ගණේමුල්ල ටවුමෙන් කුලී කාරයක් බැලුවේය. ඒ කාලයේ ගම් රටවල ත්‍රිරෝද රථ කියා දෙයක් නොතිබුණු නිසා මෙවැනි ගමනක් යාමට සොයාගත යුතු වූයේ කුලී කාර් එකක් ය. වාසනාවට ගලහිටියාවේ ෂෙල්ටන්ගේ කුලී කාරය දුම්රිය පළ අද්දරම  තිබිණි. තිලක් ලතා ද සමඟින් ඊට නැග ගත්තේය.
 
ගේ අසලින් බැසගත් පසු ලතාගේ අත වූ සූට්කේසය ගන්නට තිලක් උත්සාහ කළේ ඇය බොහෝ විඩාබරව සිටිනු දුටු නිසා ය.
 
IMG 20241012 WA0002ගණේමුල්ල දුම්රියපොළ
 
" ඕනෙ නෑ මං ගන්නම්. ඉස්සෙල්ලාම දවසේ අම්මලා මොකුත් හිතන්න පුළුවන් "
 
එසේ කී ඇය එය වැළැක්වූවා ය.
 
ඔවුන් දෙදෙනාගේ පැමිණීම අම්මාත්, තාත්තාත්, නංගීත් බලාපොරොත්තුව සිටියහ. තිදෙනාම දොරකඩට පැමිණි අතර " එන්න දුවේ ගෙට" යනුවෙන් පළමුව ආරාධනා කළේ අම්මා ය.
 
සූට්කේසය පසෙක තැබූ ලතා මුලින්ම කළේ හොඳින් දෙදණ බිම ගසා අම්මාට වැඳීම ය.
 
අම්මා, ලතාගේ හිස මධ්‍යයට අත සියුම් ලෙස තද කර තබාගෙන ආශිර්වාද කළාය. එවක සිටම කිරි අම්මලාගේ දානවලට සහභාගී වීම නිසා අම්මාට එවැනි දේ හොඳින් හුරු පුරුදු ය.   
 
" පහුගිය දේවල් අපි අමතක කරමු දුවේ. ඔයා දැන් අපේ පවුලේ කෙනෙක්නෙ. අපි දෙන්නා ඔයාගෙත් අම්මයි තාත්තයි කියලා හිතාගන්න. දෙන්නම සතුටින් සමගියෙන් ආදරෙන් ජීවත් වෙන්න"
 
IMG 20241012 WA0000තිලක් ගේ මව  
විනාඩි ගණනක් ලතාගේ හිසට අත තබා ආශිර්වාද කිරීමෙන් අනතුරුව අම්මා එලෙස පැවසුවේ හැඟීම්බරව ය.
 
ඊළඟට ලතා තාත්තා වෙත ද ගොස් එලෙසින්ම වැන්දා ය.
 
"අම්මා කියපු දේම තමයි මටත් දුවට කියන්න තියෙන්නේ. අපේ පවුලට හිටියේ දරුවෝ දෙන්නයි. දැන් තව දරුවෙක් එකතු වුණා. අපි දෙන්නට දැන් දරුවො තුන් දෙනෙක්. ඔය දෙන්නා හොඳින් ජීවත් වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ එච්චරයි"
 
දෙදෙනාටම රසකැවිල්ලක් සමග අම්මා තේ පිළියෙළ කර දුන්නාය. මහන්සිය මඳක් නිවුණේ ඉන්පසුව ය.
 
නව යුවළට නතර වීමට ඒ ගෙදර එතෙක් තිලක් පරිහරණය කළ ඉදිරිපස කාමරය සූදානම් කර තිබිණි. නමුත් තිලක් එහි රැඳෙන්නට රිසි වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ වසා දමා තිබූ, තමා බොහෝ සෙයින් ප්‍රිය කරන මහ ගෙදරින් සිය අලුත් ජීවිතය පටන් ගන්නට ය.
 
"කමක් නෑ අපි අරෙහටම යන්නම්"
  
IMG 20241015 WA0001නිවස දිගු සාලයකින්, නිදන කාමර තුනකින් සහ මුළුතැන් ගෙයකින් සමන්විත තරමක් ලොකු එකකි.
 
 
තිලක් යතුරු කැරැල්ල ද රැගෙන මහ ගෙදරට ගියේය. ලතා ද සූට්කේසයත් අතින් ගෙන ඔහු පසුපසින් ආවාය. නිවස දිගු සාලයකින්, නිදන කාමර තුනකින් සහ මුළුතැන් ගෙයකින් සමන්විත තරමක් ලොකු එකකි. නමුත් එක කාමරයක තබා තිබූ කුඩා ඇඳ, පැදුරු දෙකක් සහ සාලයේ මුල්ලක තිබූ කොස්ස හැරුණු විට වෙනත් කිසිදු බඩු මූට්ටුවක් ගෙදර හරියේම නැත. ලතාට ඒ බව තිලක් කලින් ම කියා තිබිණි. ඒ ගැන කිසිදු අහිතක් හෝ අසතුටක් ඇය පළ නොකළා ය. සූට්කේසය බිමින් තැබූ ලතා ඇඳ මතින් වාඩි වූයේ විඩාබර බව වැඩිකමට ය. එය හැරුණු කොට වාඩිවීමටවත් තැනක් නිවසේ නොතිබිණි.
 
කිසිදු භාණ්ඩයක් නොවූ නිසාම හෙමින් කතා කළත් එය ගෙතුළ දෝංකාර දෙමින්  නැවත ඇසිණි. මේ හිස් බවට තිලක් බොහෝ සෙයින් ප්‍රිය කළේ ය.
 
අඩුම තරමින් වළඳක්, කෝප්පයක්, පිඟානක් වැනි කිසිවක් එම නිවසේ නොවීය. තිලක්ගේ සන්තකයටම ඒ වන විට ඉතිරි වී තිබුණේ රුපියල් තිස් පහක් පමණි. ඒ කාලයේ වැටුප් ලැබෙන්නේ අතට නිසා අඩු තරමින් ඔහුට බැංකු ගිණුමක්වත් තිබුණේ නැත. කවදාවත් මුදල් ඉතිරි කරන පුරුද්දක් ද තිලක් ට නොතිබිණි. මූලික වියදම් හැරුණු කොට ඔහු තමා උපයන මුදල්  සියල්ලම පාහේ විනෝදය වෙනුවෙන් වැය කළේය. ඒ වන විට රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් සිටි තාත්තාට විශ්‍රාම වැටුප ලැබුණු නිසා ගෙදර වියදමට යැයි කියා අම්මා අතට මුදලක් දීමට ද අවශ්‍යතාවයක් පැන නැගු⁣ණේ නැත. යම් හෙයකින් එලෙස මුදලක් දුන්නා නම් "ගෙදරට සල්ලි දෙන්න ඕනෙ නෑ. ඔය සල්ලි ටික පුතා ඉතුරු කරගන්න" යැයි අම්මා මෙන්ම තාත්තා ද කියනු නිසැක ය. එනිසා ඔහුට කිසිදාකත් ජීවිතයේ බර දැනී නොතිබිණි. හැම මාසයකම විසිපස් වෙනිදාට වැටුප්  ලැබෙයි. මෙවර වැටුප ලැබුණු පසු ලතා සමඟ සාකච්ඡා කර ගෙදරට අත්‍යවශ්‍යම බඩු ටිකක් මිලදී ගන්නට තිලක් ඉටා ගත්තේ ය. එතෙක් අම්මා කො⁣හොමත් ඔවුන් දෙදෙනාටත් සමඟම කෑම පිළියෙල කරන නිසා කෑම බීම පිළිබඳ ගැටලුවක් පැන නඟින්නේ නැත. නමුත් දැන් පවුලක්  ලෙස තවදුරටත් අම්මලාට කරදර නොකර ස්වාධීනව ජීවත් වීම ඇරඹිය යුතුය.
 
 
 IMG 20241015 WA0002මෙවර වැටුප ලැබුණු පසු ලතා සමඟ සාකච්ඡා කර ගෙදරට අත්‍යවශ්‍යම බඩු ටිකක් මිලදී ගන්නට තිලක් ඉටා ගත්තේ ය.
 
 
ලතා සමග අම්මලාගේ ගෙදරට ගොස් දෙදෙනාම රාත්‍රී ආහාරය ගත්හ. සාමාන්‍යයෙන් තිලක්ලාගේ නිවසේ රෑට බත් පිසුණේම නැත. ඊට හේතු වූයේ ඒ වන විටත් ඔහු ගේ පියාට දියවැඩියා රෝගය වැළඳී තිබීම රාත්‍රියට සරල ආහාරයක් අනුභව කිරීම ය. පවුලේ සියලු දෙනාම ඊට හුරුවී තිබිණි. 
 
IMG 20241012 WA0001 
ඒ අනුව එදින සාමාන්‍යයෙන් "හෝම් කමින්" ලෙස හඳුන්වන අවස්ථාව සඳහා පිළියෙල වී තිබුණේ තාත්තාට ද ආහාරයට ගත හැකි රතු ඉඳි ආප්ප ය. හෝම් කමින් ආහාර වේලට  එක් වූයේ ද තිදෙනෙකි. ඒ තිලක් ගේ මව, පියා සහ එකම නංගී ය. 
 
ඉන්පසුව එළඹියේ ඔවුන්ගේ මංගල රාත්‍රිය යි. කතරගම දී විවාහ වූ දිනයේ ද  මංගල රාත්‍රියක් කියා දෙයක් ඔවුන්ට තිබුණේ නැත. ඊට හේතුව  විවාහ වූ දා මැදියම් රැය පසුවන තෙක් බාල මහත්තයාගේ මිතුරන් සමඟ ටික ටික මත්පැන් පානය කරමින් හිඳ අවසානයේ වෙරි මතින් ගොස්  එම නිවසේ වෙනදා නිදා ගන්නා ඉදිරිපස කාමරයෙහි ඇඳට වැටුණු නිසා ය. ඉන්පසු අලුයමින්ම අවදි වී ඔහු  සුපුරුදු ආකාරයට කොළඹ පැමිණියේ පසුදින කාර්යාලයට යාමට අවශ්‍ය වූ  බැවිනි.
 
wedding night 240930කතරගම දී  විවාහ වූ දිනයේ ද  මංගල රාත්‍රියක් කියා දෙයක් ඔවුන්ට තිබුණේ නැත.
 
එනිසා මංගල රාත්‍රිය මෙයයි. නමුත් නිදා ගන්නට තිබෙන්නේ දෙදෙනකුට හැරෙන්න පෙරළෙන්නවත් බැරි සිංගල් ඇඳකි. පෙරදා මුළු දහවලම කාර්යාලයේ වැඩවල යෙදී සිටි තිලක් එදින රාත්‍රියම සිටියේ කතරගම බසය තුළ  නිදිවර්ජිතව ය. කි.මී 280 ක පමණ දුරක් ගෙවා ඒ රාත්‍රියේ  කතරගම ගොස් යළි පැය දෙක තුනකට පසු අනෙක් අතට එම දුරම ගෙවා ආපසු සිය මනාලිය ද කැටුව කොළඹට පැමිණෙන්නට ඔහුට සිදු විණි.  කොළඹ සිට තිලක්ලා පදිංචි ගණේමුල්ලට දුර කි.මී. 20 කි. ගමන් වෙහෙස, නිදිමත සහ පසුදින උදේම යළි රැකියාවට පිටත් ව යාමේ අභියෝගය හමුවේ මේ නව යුවළගේ මංගල රාත්‍රිය පරම රමණීයත්වයෙන් යුතු වී ද යන්න නොදනිමි. 
 
ඒ කෙසේ වුවද "ඔයා මේකටම වෙලා ඉන්න එපා. පහළ ගෙදරට ගිහින් අම්මලත් එක්ක කතා බහ කරලා ඉන්න" යැයි පවසමින්, පසුදා උදේ රැකියාවට යාමට පෙර තම පතිනියට තිලක් සමු දුන්නේ ය.
 
" මම පෙරේදා රෑ කතරගම ගිහින් ඊයෙ ලතාව අපේ ගෙදර එක්ක ආවා බන්දු අයියේ"    
 
පසුදා උදේ කාර්යාලයට ගිය තිලක් බන්දුලට කීය.
 
1520043438700
 
"ඇත්තටම තමුසෙ නම් මොන නැකතකින් ඉපදුණු එකෙක් ද මන්දා අයිසේ. ඇයි මට නිකමටවත් මතක් නොකළේ "
තිලක් ගේ මුහුණ දෙස මඳ වේලාවක් බලා සිටි බන්දුල ඇසීය. එහෙත් ඔහු ගේ මුහුණින් දයානුකම්පාවක් මිස කිසිදු කෝපයක් හෝ අප්‍රසන්නතාවක් පළ නොවූ බව තිලක්ට හොඳින්ම මතක ය.
 
නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
 
  
 

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...