තිලක් සැමදාමත් තම ජීවිතය මෙහෙය වූයේ හුදෙක් තමන්ගේ අභිමතය පරිදි නැතහොත් හිතුවක්කාර ලෙසිනි. අධ්‍යාපනය සහ රැකියාව සම්බන්ධයෙන් වුව සම්මතය පිටු දැක තමන් කැමති ආකාරයෙන් කටයුතු කළ ඔහු විවාහ වූයේ ද හදිසියේ සිතට නැගුණු සිතිවිල්ලකට අනුව ය. අනුන්ගේ කේලම් බසකට රැවටී අම්මා අතින් ලතාට සිදුවූ අසාධාරණය පිටු දකින අරමුණින් ඇති වූ හිතවත්කම මත, ඇය තමාට සුදුසු සහකාරිය වේ යැයි පසුව තීරණය කොට ඇතිකර ගත් සම්බන්ධතාවය, මාස කිහිපයක් තුළ දී හදිසි විවාහයක් බවට පත් විය. වාසනාවකට ඔහුගේ මේ ගති ස්වභාවයන් ක්‍රම ක්‍රමයෙන් හඳුනාගත් ලතා ඔහුට අනුගත වූවා මිස එරෙහි වූයේ නැත.
විවාහයෙන් දින කිහිපයකට පසු තිලක් ට ඒ මාසයේ වැටුප ලැබිණි. තිලක් ගේ මතකයට අනුව ඔහුගේ මාසික වැටුප රුපියල් තුන් හාරසීයකට වඩා වැඩි වූයේ නැත. ඒ කාලයේ ඇමරිකානු ඩොලරයේ අගය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් විසි අටක් පමණ විය. එකල අපේ රටේ රුපියල් දාහක වැටුපක් වුව ද විශාල වැටුපක් ලෙස සැලකිණි, එනම් ඉලක්කම් හතරේ අගයක වැටුපක් යනු, ඉහළ තනතුරකට හිමි විශාල වැටුපකි.

ඒ කාලයේ ඇමරිකානු ඩොලරයේ අගය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් විසි අටක් පමණ විය
තමන්ගේ වැටුපෙන් දෙදෙනෙකු මාසයක් ජීවත් විය යුතු බව හැඟෙන විට තිලක්ට ජීවිතය ගැන වෙනදා නොදැනී තිබූ අන්දමේ වගකීමක් සිතට දැනිණි. මේ කාර්යය කළ හැකි ආකාරයක් ඔහුට වැටහුණේ ම නැත. ඔහු කළේ එම කාර්යය ලතාට භාර දෙමින් වැටුප ලබාගත් දිනයේ ලියුම් කවරය පිටින්ම සම්පූර්ණ වැටුප ඇය අත තැබීම ය. ලතා, තිලක් සමග කතා කර ඔවුන් දෙදෙනා සඳහා අත්‍යවශ්‍යම බඩු ලැයිස්තුව සකස් කළා ය.
බත් උයන්න මුට්ටි පොඩියක්, ඇතිලි තුනක්, නෑඹිලියක්, මැටි කෝප්පයක්, තේ බොන කෝප්ප දෙකක්, පිඟන් දෙකක්, හිරමනයක් වැනි දේවල් ලතා, තිලක් සමග ටවුමට ගොස් රැගෙන ආවා ය. ඒ හැරුණු විට හාල්, සීනි, තේ කොළ ආදී අත්‍යවශ්‍ය දේවල් ද මිලට ගැනිණි. මෙලෙස පවුලක් ලෙස ඔවුහු තමන්ම උයා පිහා ගැනීම ආරම්භ කළහ.
මේ විවාහය සිදුවී මසකට පමණ ආසන්න වෙද්දී ලතාගේ දෙමාපියන් සහ වැඩිමල් සොයුරිය ඇතුළු තව කිහිප දෙනෙක් ඔවුන් බලන්නට පැමිණෙන බව දන්වා ලිපියක් එවා තිබිණි. කලින් සිටම තිබූ ඇඳ හැරුණු විට වෙනත් කිසිදු ගෘහ භාණ්ඩයක් මේ වන විටත් ඔවුන්ගේ නිවසට ගත හැකි වී තිබුණේ නැත. තිලක් ගේ දෙමාපියන්ගේ නිවසේ පරණ පුටු සෙට් එකක් තිබූ අතර එය රැගෙන යන්නැයි අම්මාත්, තාත්තාත් කිහිප විටක්ම කියා තිබිණි. නමුත් තිලක් එයට උනන්දුවක් දැක්වූයේ නැත. මොකුත්ම නැතිව තිබෙන මෙම හිස් ගෙදරට ඔහු ප්‍රිය කළේය. නමුත් ප්‍රායෝගික සමාජය තුළ එලෙස ජීවත් වීම අපහසු නිසා කෙසේ හෝ මුදල් ටිකක් එකතු කර ගෙදරට පුටු ටිකක්, කෑම මේසයක් වැනි අත්‍යවශ්‍යම ගෘහ භාණ්ඩ කිහිපය මිලදී ගැනීමට ලතා ඉටාගත්තා ය.
ලතාගේ මව සහ පියා මංගල දිනයේතමාගේ නිවස හිස් ව තිබීම ගැන තිලක්ගේ සිතට බරක් නොදැනුණු අනෙක් හේතුව වූයේ ඔවුන් හමුවීමට කවුරුන් පැමිණියත් ඒ ඕනෑම කෙනෙකු එන්නේ දෙමාපියන්ගේ නිවසට වීම ය. එලෙසින් ලතාගේ මව් පිය දෙදෙනා, ලොකු අක්කා සහ තවත් දෙදෙනෙක් දිනක් ඔවුන් බලන්නට පැමිණියහ. තිලක්ගේ දෙමාපියන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. දිවා ආහාරය ද ගත් පසු අමුත්තන් තිලක් සහ ලතා පදිංචි වී සිටින නිවසට යාමට ද අමතක කළේ නැත. ඔවුන් එන්නට පෙර ලතා තම පියාගේ ස්වභාවය තිලක්ට කල් තියාම දන්වා තිබිණි.
"අපේ තාත්තා ඔයා වගේ අමුතු කෙනෙක්.හැබැයි තාත්තා ඕනම දෙයක් කාට වුණත් කමක් නෑ මූණටම කියනවා. කාටවත් ඔළුව පාත් කරන කෙනෙකුත් නෙමෙයි.තාත්තා ඔයාට මොනවා හරි කිව්වොත් ඒක එච්චර හිතට ගන්න එපා."
"මං වගේ නම් ඉතින් අවුලක් නෑ නේ"
ලතාගේ අවවාදය ගැන තිලක් එතරම්ම තැකීමක් නොකළ තිලක් කීය.
මඳ වෙලාවක් ඔවුහු එහි රැඳී සිටියහ.
ලතාගේ පියා" හැබැයි ඉතින් මහත්තයා කසාදයක් කරනකොට ඒක නම් කලඑළියට කරන්නම ඕනෙ. මෙහෙම කරපු එක ඒ තරම් හොඳ නෑ. හොර රහසේ කසාදයක් කළාම ජීවිත කාලෙම මිනිස්සුන්ගෙන් එක එක කතා අහන්න වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ඔහොම හොර රහසේ හදිස්සියේම කසාද බැඳලා තියෙන්නේ කියන එක මිනිස්සු අනිවාර්යෙන් කියනවා. දන්නවනේ මිනිස්සුන්ගේ කටවල්"
"අපි බඳිනවා කියලා තාත්තට කිව්වෙ නැද්ද?" තිලක් ලතාගේ තාත්තාගෙන් ඇසීය.
"මට එහෙම මොකුත් කවුරුවත් කිව්වේ නෑ. චූටි හාමිනේට මංගල්ලයක් තීන්දු වුණු කතාවක් නම් කිව්වා. ඒත්, මේ හදිස්සියේ කසාදෙ කෙරෙන බවක් මට කවුරුවත් කිව්වේ නෑ"
තිලක් ඊට වඩා යමක් ඒ ගැන නෑසුවේය.
"හැබැයි මම අපේ හාමිනේව කැන්දගෙන ආවේ බොහොම කලඑළියට. සේරුගහහේනෙ ලොකු මහත්තයාගේ මඟුලට නෑවිත් කාගේ මඟුලට යන්නද කියලා මුළු ගමම එදා අපේ ගෙදර"
තාත්තා කීවේ බොහෝ ආඩම්බරයෙනි.
ලතාගේ මව්පියන්ගේ මංගල උත්සවය දා (1947) පියාගේ මහගෙදර ඉදිරිපස දී ගත් සමූහ ඡායාරූපයක් බෙලිඅත්තේ සේරුගහහේන යනු තාත්තාගේ මහ ගෙදර තිබූ ඉඩම බව ලතා පසුව කීවා ය. ලතාගේ පියා එකල ගම්මුන් හඳුන්වා ඇත්තේ සේරුගහහේනේ ලොකු මහත්තයා යනුවෙනි. ලතාගේ සීයා ඇතුළු එම පවුලට ගම්මුන්ගේ විශේෂ සැලකිල්ලක් තිබී ඇත.
"ඒත් තාත්තා තීරණ ගන්නේ තාත්තා කැමති විදිහට නේ?"
තිලක් ඒ මොහොතේ ලතාගේ තාත්තාගෙන් ඇසීය.
" නැතුව; මට ඕන විදිහට තමයි මම කොයි දේත් කරන්නේ"
"ඉතින් මමත් ඉතින් මට ඕන විදිහට තමයි මගේ කසාදෙ කළේ තාත්තේ. චූටි හාමිනේට කියලා එයාගෙත් කැමැත්ත ඇතිවයි මේක සිද්ධ වුණේ.අනික රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ විදිහට ජීවත් වෙන එකත් මහ කරදරයක් නෙ තාත්තේ"
තිලක් එකවරම කී කල ලතා ගේ තාත්තා සිනාවක් පා නිහඬ විය.
නෑදෑයන් පිටත්ව ගිය පසු " අපි කසාද බඳිනවා කියලා තාත්තට කවුරුවත් කිව්වෙ නැද්ද ?" යනුවෙන් තිලක් ලතාගෙන් විමසීය.
"බුදු අම්මෝ! තාත්තට කියන්න ගියා නම් ලොකු ගිනි විජ්ජුම්බරයක් තමයි වෙන්නේ"
ලතා ගත් කටටම කීවා ය.
තිලක් සේනාසිංහ " ඇයි තාත්තා එපා කියයිද?"
" එපා කියන එකක් නම් නෑ. ඒ වුණාට අර විදිහට කරන්න ඕනේ මේ විදිහට කරන්න ඕනේ කිය කියා එයාට ඕන විදිහට සේරම කරන්න වෙයි. තාත්තට කිය කියා කරන්න ගියොත් ඔය මගුල කරන්න වෙන එකක් නෑ කියලා තමයි අයියා වුණත් සද්ද නැතුව මේක මේ විදිහට කරන්න කැමති වුණේ. අයියාට ඔයාගෙ හැටිත් තේරෙන්න ඇතිනේ. අනික කෝකියෝ දෙන්නෙක් හදන සුප් එක සවුත්තු වෙනවා කියනවා නේද? " ලතා කාරණය පැහැදිලි කළා ය.
එහෙත්, ඔවුන් එම ගමන ඇවිත් ගියාට පසුව "ඒ බෑණත් මං වගේම මිනිහෙක් තමයි" යනුවෙන් ලතාගේ තාත්තා සිනාමුසුව පවසා ඇති බව පසුව තිලක් ට දැනගන්නට ලැබිණි.
සිය දියණියගේ විවාහ මංගල උත්සවයක් ගන්නට අවස්ථාවක් නොලැබුණු බැවින් එදා ලතාගේ තාත්තා ආපසු යන්නට සූදානම්ව, ලතාගේ අතට යම් මුදලක් දී තිබේ. ඒ පසු කලෙක පිය උරුමයෙන් හිමි කර දුන් දේපළවලට අමතරව ය. එහෙත් කීයක්දැයි තිලක් ඇසුවේ නැත. ඔහු තවමත් ඒ ගණන නොදනී. ඒ එය නීච කමක් සේ ඔහු සිතූ බැවිනි. එහෙත් එම මුදල වැය කර ගෙදරට ලී බඩු ටිකක් ගන්නට ලතා අදහස් කළා ය.
"මට නම් ඕව ගැන තේරුමක් නෑ. ඔයා අපේ තාත්තත් එක්ක ගිහින් ඕන කරන දෙයක් අරගන්න."
තිලක් කීය.
ලතා ඔහු ගේ මනැස තුළ යම් යම් විශේෂ කුසලතා ගොනු වී තිබුණත් ඔහු ගේ පාරිභෝගික ඥානය ඉතා දුර්වල ය. අදටත් මිල දී ගන්නා භාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ හැකියාවක් ඔහු තුළ ඇත්තේම නැති තරම් ය.
ගණේමුල්ලේ, කඩවත පාර අද්දර පදිංචිව සිටි ජයනේරිස් අප්පුහාමි තිලක් ගේ පියාගේ හිතවතෙකි. තිලක් ගේ පියා, මව සමග විවාහ වූ දිනයේ මනාලිය කැඳවාගෙන ඒම සඳහා මංගල රථය ලෙස භාවිත කර තිබුණේ ද ජයනේරිස් අප්පුහාමිගේ මෝටර් රථයයි. තිලක් දැන සිටි අන්දමට ඔහු එවක ලී බඩු ව්‍යාපාරයකටත් සම්බන්ධව සිටියේ ය
"අපේ ජයනේරිස්ට වැඩේ බාර දුන්නා නම් විශ්වාසවන්ත කමට, කීයක් හරි අඩුවටත් කරගන්න තිබුණා"
ලී බඩු මිලදී ගැනීම පිළිබඳ කතාව මතු වූ අවස්ථාවක තිලක්ගේ පියා පැවසීය.
"එහෙනම් තාත්තෙ මෙයා එක්ක ගිහින් ඒක පොඩ්ඩක් බලනවද?"
"හරි; මම ඒක කරලා දෙන්නම්"
තාත්තා එම කාර්යය භාරගත්තේ එලෙසිනි.
ප්‍රදීප් කුමාර බාලසූරිය කාර්යාලයෙහි තිලක් ගේ සමීපතම හිතවතෙකු වූ, මින් වසර කිහිපයකට ඉහත දී අභාවප්‍රාප්ත වන්නට යෙදුණු ප්‍රදීප් කුමාර බාලසූරිය පදිංචිව සිටියේ ගම්පහ ය.
" උඹ අපි කාටවත් නොකියා කසාද බැන්දට දවසක අපි එනව ඒ වෙනුවෙන් උඹලගෙ ගෙදර සෙට් වෙන්න"
තිලක් මැදි වුණේ විශාල ගැටලුවකට ය.
"මචං, අපේ ගෙදර වාඩි වෙන්න පුටුවක්වත් තවම නෑනෙ. උඹලට බණ අහන්න වගේ පැදුරු දාලා තමයි ඉන්න දෙන්න වෙන්නේ"
එය ඇසූ ප්‍රදීප්ගේ මුහුණ අමුතුම ප්‍රබෝධයකින් පිරී ගියේය.
"ඉතින් මරුනෙ මචං. අපි හොඳ පැදුරු සාජ්‍ජයක් දාමු"
"හරි එහෙම නම් ඉතින් දවසක වරෙන්"
"මචං, අපේ ගෙදර වාඩි වෙන්න පුටුවක්වත් තවම නෑනෙ. උඹලට බණ අහන්න වගේ පැදුරු දාලා තමයි ඉන්න දෙන්න වෙන්නේ"බොහෝ ධනපති නිවෙස්වල පැදුරු සාජ්‍ජ දමන්නේ ජීවිතයට වෙනස් ආශ්වාදයක් විඳීම අරමුණු කර ගනිමින් සහ නව පන්නයක් ලෙස ය. නමුත් තිලක්ට පැදුරු සාජ්‍ජයක් දමන්නට සිදුව තිබුණේ පැදුරු හැර වාඩි වන්නට වෙනත් කිසිවක් ගෙදර හරියේ නොතිබුණු නිසා ය.
හේම ශ්‍රී අමරසිංහ නියමිත දිනයේ ප්‍රදීප් පැමිණියේ තනිව නොවේ. හේලීස් ආයතනයෙහි සේවය කළ තෙන්නකෝන් නමැති නිකවැරටියේ තරුණයකු රැකියාවට යාම් ඊම් කිරීමේ පහසුව තකා එකල ප්‍රදීප්ගේ නිවසෙහි නතර වී සිටියේය. ප්‍රදීප් නිසාම හඳුනා ගන්නට ලැබුණු තෙන්නකෝන් ඉතා යහපත් තරුණයෙක් විය. අවාසනාවට තෙන්නකෝන් ද දැන් ජීවතුන් අතර නැත. ප්‍රදීප් සහ තෙන්නකෝන් ගම්පහ සිට පැමිණෙද්දී තිලක් ගේ තවත් සමීප මිතුරන් දෙදෙනෙක් ගණේමුල්ලේ සිට ඊට එක් වුහ. එක් අයකු වන්නේ මේ වන විට ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු ලෙස කටයුතු කරන එවකට තිලක් සේවය කළ පත්තර කන්තෝරුවෙහිම පිටු සැලසුම් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ ගුවන් විදුලි සරල ගී ගායකයෙකු ද වන හේමශ්‍රී අමරසිංහ ය. ඔහු තිලක් ගේ පාසල් මිතුරකු ද වෙයි. සිවු වැන්නා එකල, එනම් 80 දශකයෙහි ඉතා ජනප්‍රිය ගායකයෙකි. එදා මෙන්ම අදටත් ජනප්‍රිය බව නොනැසී පවතින " ආවාට තිබුණත් නිසසල සඳ මත, නංගිලාට වාසි බෝ වගේ දැන්" වැනි ගීත රාශියක් ගායනය කර තිබූ ඔහු නිමල් ගුණසේකර ය. ගණේමුල්ලේ පදිංචිව සිටි නිමල් ද තිලක්ගේ සමීප මිතුරකුව සිටියේය. තිලක් ගේ පැදුරු සාජ්ජයට පැමිණියේ මේ සිව් දෙනායි.
හිස් සාලයෙහි පැදුරු එලා ඒ මත මත්පැන් ,සෝඩා, කට ගැස්ම ආදිය තබාගෙන වාඩිවී කමින්, බොමින් ප්‍රීති වූ එම සාජ්ජයෙහි දී තිලක් සිය මිතුරන් හට කල් තබාම කළ විශේෂ ඉල්ලීමක් තිබිණි. ඒ, කියන ඕනෑම සින්දුවක් වැඩි හඬක් නොනගා කියන ලෙස ය. ඕනෑවට වඩා ගෝෂාව වැඩි වුවහොත් අම්මා පැමිණෙනු නියත ය. ඇය තිලක්ලාගේ මත්පැන් පානයට දැඩි සේ විරුද්ධ ය. එනිසා අම්මා කඩා වැදුණොත් පැදුරු සාජ්‍ජය "හබක් වීමට" බැරි කමක් නැත. මිතුරෝ තිලක් ගේ ඉල්ලීම ට අවනත වූහ. ලතා ඔවුන්ට කටගැස්ම ආදිය සකස් කර දෙමින් අවශ්‍ය උපකාර කළා විනා සිය සැමියා ගේ සහ ඔහුගේ මිතුරන් ගේ විනෝදය ට බාධා කරන්නට උත්සාහ කළේ නැත. මේ ලෙස රෑ මැදියමට ආසන්න වෙද්දී පැදුරු සාජ්‍ජය ඉතා සතුටින් නිමා විය.
"මචං මේ ගෙදර ලී බඩු තිබුණේ නෑ කියලා උඹලට මුකුත් අඩුවක් තේරුණේ නෑ නේද?" සාදය නිමාවේ තිලක් තම මිතුරන් ගෙන් ඇසීය.
"මචං උඹ ඔය කියන කාරණේ මාත් ගෙඩියපිටින්ම පිළිගන්නවා. සරල චාම් සැහැල්ලු බවේ තියන ආතල් එක වෙන කිසිම විදිහකින් ගන්න බෑ. නමුත් තිලක් අපි මේ ශිෂ්ඨාචාරය ඇතුළේ හිර වෙලානෙ ඉන්නෙ. ඒ හින්දා අපිටත් අකමැත්තෙන් හරි ඒ ගැන හිතන්න වෙනවා"
එවිට සිනාසී කී නිමල් ගුණසේකර තිලක් ගේ බිරිඳ ලතා දෙසට හැරුණි.
නිමල් ගුණසේකර "නංගී මූ ඔය ගමන එන්න බෑ කියනවා නම් ඔයා මූව නාස් ලනුවක් දාලා හරි ඔය ගමන එක්ක යන්න. නැත්නම් මූ මැරෙනකම්ම මේ පැදුරෙ තමයි" කී අයුරු තිලක් ට හොඳින් මතක ය.
එසේම ඊට පසු දිනෙක තිලක් රැකියාවට ගොස් නිවසට එන විට නිවසේ පොලිෂ් සුවඳ වහනය වන අලුත් පුටු කට්ටලයක් ඇතුළු අලුත් ගෘහ භාණ්ඩ කිහිපයක් තබා ඇති අයුරු දක්නට ලැබිණ.ඒවා ලතා ගේ පියා සේම තිලක් ගේ පියා දුන් මුදල්වලින් තිලක් ගේ පියා සමඟම ගොස් මිල දී ගත් බව ලතා කීවා ය.එමෙන්ම ඉන් ඉතිරි මුදල් තම බැංකු ගිණුමේ තැන්පත් කළ බව ද ඇය කී අතර ඒ කිසිවක ගණන් හිලව් අසන්නට එවකට බැංකු ගිණුමක්වත් නොතිබුණු තිලක් ට නොසිතුණි. ඒ වන විට ඔහු තුළ වූයේ තම වෘත්තීය ජීවිතය හිතුවක්කාර ලෙස තමන්ගේ අභිමතය පරිදි ගෙන යෑමේ අරමුණ පමණි.
නැවත හමුවෙමු.
සටහන - ඉන්දු පෙරේරා
තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි)




