The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

October 28, 2024 • 8:52 AM

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක්  (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක් ගේ පවුල් ජීවිතය නිස්කලංකව ගත වෙමින් තිබිණි.
  • නමුත් ගෙදරට එළවළු මාළු ඇතුළු ඉවුම් පිහුම් කළමනා කිසිවක් තෝරා බේරා ගැනීමේ දක්ෂතාවයක් ඔහුට අද මෙන්ම එදා ද නොතිබිණි.
  • එළවළුවක් ග්‍රෑම් 250ක් ගෙනෙන්නැයි කිව්වොත් එය අමතක වී ඔහු මිලදී ගන්නේ ග්‍රෑම් 500ක් නැත්නම් කිලෝ එකකි.
  • "ඇත්තටම මට මෙච්චර දෙයක් තේරුණේ නැත්තෙ ඇයි?" තිලක් තමාගෙන්ම විමසා ගත්තා මිස නිකමටවත් එය ලතාට නොහඟවන්නේ ලජ්ජාවට ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
තිලක් ගේ පවුල් ජීවිතය නිස්කලංකව ගත වෙමින් තිබිණි. හැම මාසයකම ගන්නා වැටුපෙන් තමන්ට කීයක් හෝ තියාගෙන ඉතිරි සම්පූර්ණ මුදල ඔහු ලතා අතට පත් කළේය. නමුත් ගෙදරට එළවළු මාළු ඇතුළු ඉවුම් පිහුම් කළමනා කිසිවක් තෝරා බේරා ගැනීමේ දක්ෂතාවයක් ඔහුට අද මෙන්ම එදා ද නොතිබිණි. එළවළු ගෙනාවොත් එක්කෝ එයින් වැඩි කොටසක් මේරූ ඒවා ය. සමහර ඒවා තැනින් තැනින් කුණු වී ගොසිනි. එළවළුවක් ග්‍රෑම් 250ක් ගෙනෙන්නැයි කිව්වොත් එය අමතක වී ඔහු මිලදී ගන්නේ ග්‍රෑම් 500ක් නැත්නම් කිලෝ එකකි. එතරම් ප්‍රමාණයක්  දෙන්නෙකුට වැඩි නේදැයි ඔහුට නිකමටවත් මතක් වෙන්නේ නැත.
 
"මෙච්චර ගොඩක් මොකටද? අනේ අපරාදෙ සල්ලි"
 
"මේ බලන්නකෝ මෙතන තියෙන ඒවයින් බාගෙට බාගයක් මෝරපුවා "
 
" කුණු වේගෙන එන බඩු ටිකක්  ඔයාගේ ඇඟේ ගහලා. මේ බලන්න. ඇයි මේවා හොඳට බලලා ගෙනාවෙ නැත්තෙ?"
 
ඉඳ හිට හෝ තිලක් බඩු ගෙනා දවසට මෙවැනි මැසිවිලිවලින් පිරී යයි. ඇය කියන්නේ සැබෑවකි.
 
"ඇත්තටම මට මෙච්චර දෙයක් තේරුණේ නැත්තෙ ඇයි?" තිලක්  තමාගෙන්ම විමසා ගත්තා මිස නිකමටවත් එය ලතාට නොහඟවන්නේ ලජ්ජාවට ය.
 
"හරි; එහෙනම් මීට  පස්සේ  ඔයාම තෝරලා බලලා ගේන්නකෝ"
 
තිලක්
 
අනතුරුව ඔහු පරාජය පිළිගත්තේ එලෙසිනි. අද පවා හදිසියකට ගෙදරට වුවමනා එළවළුවක් ගෙන ඒමට සිදු වුවහොත් ඒවා තමන්ටම තෝරා ගත හැකි වෙළඳසල්වලට නොයාමට ඔහු වග බලා ගනී. ඒ තමන් තෝරා ගන්නා එළවළුවල කුමක් හෝ දොසක් තිබෙන බව හොඳාකාරව දන්නා බැවිනි. වරක් එක්  වෙළෙන්දකු "අයියෝ මේ හරි නැති ඒවාමනේ තෝරලා තියෙන්නේ.මහත්තයා මේවා අරන් ගියොත් නෝනා අපිටත් එක්කම තමයි බනින්නේ" යනුවෙන් එහි සිටි සෙස්සන්ට ද ඇසෙන සේ සිනාසී කියා ඒවා ඉවත් කොට වෙනත් එළවළු ටිකක් කිරා දුන් බව ද තිලක්ට මතක ය. ඔහු අදටත් අවංකවම විශ්වාස කරනුයේ එවැනි තේරීම් සඳහා වන සෛල තම මොළය තුළ නිසි ලෙස වැඩී නොමැති බවකි.
 
ලතාට නිවසේ පරිපාලන කටයුතු සියල්ල භාර දුන් තිලක් ඒ කිසිවකට ඇඟිලි ගසන්නට ගියේ නැත. ඔහු දුන් මුදල් ගාණට මිම්මට පිරිමසාගෙන ගෙදර වියදම කළ ලතා හැම මාසයකම කීයක් හෝ ඉතිරි කර ගන්නට ද වගබලා ගත්තා ය. තිලක් ට එය විශාල සහනයක් විය. නිවසේ ගැටලුවලින් මනැස අයින් කරගෙන තම රැකියාව වෙනුවෙන්  මුළුමනින්ම සිත යොදවන්නට මේ නිසා ඔහුට හැකිවී තිබිණි. ඒ වන විට තිලක් තම නමින් සේම අන්වර්ථ නාමයන්ගෙන්  ද පුවත්පත් සඳහා විවිධ ලිපි විශේෂාංග ලියමින් සිටියේය. ඔහු  කුමරි පුවත්පත සඳහා සිය නම නොයොදා ලියූ "චින්තන රේඛා"නම් විශේෂාංගය එවක මහත් සේ ජනප්‍රිය වී තිබිණි.
 
رؤية الحمل في المنام للمتزوجة 1
මේ වන විට ඔවුන්ගේ විවාහය සිදුවී සිව් මසක් පමණ  ගතවී පැවතියේ ය. ලතා තුළ ඇති වෙමින් තිබූ විවිධ ශාරීරික වෙනස්කම් මත ඇය ගැබ් ගෙන ඇති බවට දෙදෙනා තුළ ම සැකයක් ඇති විණි. පසුව ඒ සම්බන්ධයෙන් කළ මුත්‍රා පරීක්ෂණයෙන් ද එය තහවුරු විය. එය දැනගත් පසු තිලක් ගේ මව්පියන් සේම නැගණිය ද බෙහෙවින් සතුටට පත් වූහ. පවුලට මුලින්ම එකතු වන්නට යන අලුත් අමුත්තා පිළිගන්නට එතැන් සිට හැම දෙනා තුළ ම වූයේ ලොකු උනන්දුවකි.
"කොහොමද තිලක් දැන් ගෙදර තොරතුරු ?"
 
ප්‍රධාන කර්තෘ බන්දුල පද්මකුමාර ද වරින් වර එලෙස විමසන්නට අමතක කළේ නැත. තමන්ගේ වෘත්තිය  ගැන මිස, ජීවිතය ඇතුළු අන් කිසිවක් ගැන බරට නොගන්නා තිලක් උන්හිටිහැටියේ කර ගත්  හිතුවක්කාර විවාහය ගැන බන්දුල සිටියේ තරමක කම්පනයකිනි. "මේ මිනිහා මොනවා කරගන්න හදනවාද මම දන්නේ නෑ" යනුවෙන් ඔහු තිලක් ඉදිරියේම කිහිප දෙනෙකුටම එකල කියා තිබිණි. මේ නිසාම ඔහු ඉඩක් ලද හැම විටම තිලක් ගේ පවුලේ විස්තර අසන්නට අමතක නොකළේය. තිලක් ගේ අම්මා කුඩා කල සිට ඔහු හැඳින්වූ විශේෂ නමක් තිබිණ. එනම් "පිනෝකියෝ" යන්න ය. බන්දුල ද එලෙසින් තමන් ඉදිරියේ ප්‍රකාශ නොකළ ද,ඔහු තුළ ද තමන් පිළිබඳව ඇත්තේ එබඳුම අදහසක් බව තිලක් දැන සිටියේ ය.
 
 "එයා ප්‍රෙග්නන්ට් බන්දු අයියේ"
 
බන්දුල තිලක් ගේ පවුලේ තොරතුරු විමසූ  අවස්ථාවක දී තිලක් බන්දුලට  පැවසීය.
 
"ආ.....එහෙමද?" බන්දුලගේ මුහුණට බැරෑරුම් පෙනුමක් නැගිණි.
 
" දැන් මොනවට හරි සල්ලි එහෙම ඕනෙද?"
 
 "ඕනෙ නෑ බන්දු අයියේ සල්ලි ටිකක් තියෙනවා"
 
"මොනවා හරි වුවමනාවක් වුණොත් කියන්න"
 
"හොඳයි බන්දු අයියේ"
 
6cafeb893daa3572494ff59f9b9dcc50 XL
ලතා ගැබිනි සායන සඳහා ලියාපදිංචි කරවන ලද්දේ උතුරු කොළඹ මහ රෝහල නමින් හඳුන්වන රාගම මහ රෝහලෙහි ය. ඇය සායනවලට  කැඳවාගෙන යා යුතු ඕනෑම දිනයකදී කලින් දන්වා නිවාඩු ලබා ගන්නා ලෙස බන්දුල පවසා තිබුණත් තිලක් ට එවැනි නිවාඩු ලබා ගැනීමක් අවශ්‍ය නොවූයේ ඒ සෑම අවස්ථාවකම ලතාව රෝහලට කැඳවාගෙන යාමට ඒමට  තිලක් ගේ අම්මා හෝ නංගී ඉදිරිපත් වීම නිසා ය.
 
 "ඔයා නිකම් බොරුවට නිවාඩු ගන්න ඕනෙ නෑ. අම්මයි නංගියි කිව්වා ඕන වෙලාවක කතා කරන්න එයාලා එන්නම් කියලා"
 
ලතා කල් තබාම තිලක්ට කීවා ය. එය ඔහුට විශාල සැහැල්ලුවක් විය.
 
IMG 20241026 WA0003ලතා
 
මෙසේ ලතා ගේ දරු ගැබට මාස හත ද පිරුණි. විවාහක කාන්තාවක් කුළුඳුලේ ගැබ් ගත් පසු කුසට මාස හත පිරෙන විට ඇගේ දෙමාපියන්ගේ ගෙදරට එක්කරගෙන යාමේ චාරිත්‍රයක් අතීතයේ තිබිණි. විශේෂයෙන් දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල මේ චාරිත්‍ර අකුරටම ඉටු කරනු ලැබීය. ඒ නිසා කුසට මාස හත පිරෙන විට ගමට එන ලෙස මතක් කරමින් ලතාට අම්මාගෙන් වරින් වර ලිපි ලැබිණ.
 
ලතාගේ දෙමව්පියන් ඇවිත් ගිය අවස්ථා කීපයකදීත් ඔවුන් මේ ගැන තිලක් ට මතක් කරන්නට අමතක කළේ නැත. කුසේ සිටින දරුවා සහ මව වෙනුවෙන් මාස හතේ සිට සාම්ප්‍රදායිකව ඉටු කරනු ලබන පූජා චාරිත්‍ර ඉටු කිරීම සඳහා ගමට පැමිණි පසු දරුවා ලැබෙන තුරුම ගමේ රැඳී සිටින්නැයි ඔවුන් ඉල්ලා සිටින්නට තවත් විශේෂ හේතුවක් බලපෑවේය.
 
news post 2හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රංජිත් අතපත්තු මහතා
 
1986 කාලයේ පැවති ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ දොස්තර රංජිත් අතපත්තු මහතා ගේ මැතිවරණ ආසනය බෙලිඅත්ත ය. එතුමා සෞඛ්‍ය ඇමතිවරයාව සිටි ඒ කාලයේ ⁣බෙලිඅත්ත රෝහල සියලු පහසුකම් සහිතව නවීකරණය කර තිබිණි. එහි සේවා කටයුතු ද ඉහළම මට්ටමක පැවතියේය. එනිසා දරු ප්‍රසූතිය සඳහා බෙලිඅත්ත රෝහලට යාම සුදුසු බව ඔවුන්ගේ අදහස විය. මේ සියලු දේ ගැන සිතා බලා  දරුවා බිහි කිරීම සඳහා ලතා බෙලිඅත්තේ යාම ගැන තිලක් විරුද්ධත්වයක්  දැක්වූයේ නැත.
 
මේ අනුව එක් සති අන්ත සෙනසුරාදා දිනයක ලතාව බෙලිඅත්තට ඇරලවන්නට තිලක් තීරණය කළේය. ඒ කාලයේ දකුණු පළාතේ දුම්රිය මාර්ගය අවසන් වූයේ මාතරින් ය. ලතා විවාහ කරගත් පසු  තිලක් ඇය සමඟ බෙලිඅත්තේ නෑදෑයන් බලන්නට ගියේ මාතර දක්වා දුම්රියෙන් ගොස් එතැන් සිට බෙලිඅත්ත දක්වා බසයෙනි. මේ ගමනත් එලෙසින් ම යමුයැයි යෝජනා කළේ ලතාම ය. දරුවා පිළිසිඳ ගත් මුල් කාලයේ කෑම අරුචිය වැනි සුළු සුළු අපහසුතා හැරුණු විට ලතාට සිරුරට ලොකුවට දැනෙන වෙනත්  කායික අපහසුතා කිසිවක් නොතිබිණි. ඒ නිසා දුම්රියෙන් ගොස් බසයෙන් යාමේ වරදක් නැතැයි තිලක් ද කල්පනා කළේය. මෙසේ ලතාව ගමට ඇරලවූ තිලක්, හදිසි වැඩක් යෙදුණු  දිනයකදී හැර අනෙක් සෑම සති අන්තයකම පාහේ ඇය දකින්නට බෙලිඅත්තේ ගියේ ය.
 
images 1බෙලිඅත්ත රෝහල
 
1986 වසරේ පෙබරවාරි 23 යනු ඉරිදා දිනයකි. එම සති අන්තයේ ද පත්තරේ හදිසි වැඩක් යෙදීම හේතුවෙන්  තිලක් ට  බැහැරකට යාමට සිදු විය. එනිසා එදින ද බෙලිඅත්තට යාමට හැකියාවක් නොලැබිණි. දරුවා බිහි වන දිනය වශයෙන් වෛද්‍යවරයා ලබාදී තිබුණේ මාර්තු 02 දා ය. තව ඉදිරියට දින අටක්ම පවතින බැවින් එම ඉරු දිනයේ යන්නට නොලැබීම පිළිබඳව තිලක් ට එතරම් කණගාටුවක් තිබුණේ නැත. එසේම ඔහුගේ වැඩ කටයුතු පිළිබඳ ලතාට මනා අවබෝධයක් තිබූ බැවින් ඇතැම් සති අන්තවල ඔහුගේ නොපැමිණීම ඇයට කිසිසේත්ම අමනාපයට කාරණයක් නොවීය.
 
24 වෙනි සඳුදා දිනයේ උදෙන්ම තිලක් කාර්යාලයට ගියේය. ඔහු කාර්යාලයට ඇතුළු වනවිටම ජයතිස්ස නම් ආරක්ෂක නිලධාරියා විසින් ඔහු වෙත දෙකට නවන ලද තුණ්ඩු කැබැල්ලක් දිගු කළේය.
 
" ඊයෙ මෙතන ඩියුටි හිටපු විජේසිංහ මේක ලියලා ගිහින් තිබුණේ. තිලක් මහත්තයාට මේක දෙන්න කිව්වා " තුණ්ඩු කැබැල්ල දෙන ගමන්  එලෙස පැවසීමට ද ආරක්ෂක නිලධාරියා අමතක කළේ නැත.
 
තිලක් එය දිගහැර බැලුවේය. පෙර දිනයේ රාජකාරි කළ ආරක්ෂක නිලධාරියා විසින් එහි මෙලෙස ලියා තිබිණි.
 
matara01 2මාතර දුම්රිය පල
 
" තිලක් මහත්තයාගේ නෝනට පුතෙක් හම්බ වෙලා කියලා ඊයෙ ගෑනු කෙනෙක් කෝල් එකක් දීලා කිව්වා."
 
එම පණිවිඩය අවසානයේ වරහනක් දමා මෙලෙස ද එහි වැඩිදුරටත් සටහන් කර තිබිණ..
 
"(ලණුවක්ද දන්නෙ නෑ)"
 
මෙය කාගේ හෝ විහිළුවක් වන්නට වුව බැරිකමක් නැතැයි ආරක්ෂක නිලධාරියාගේ සිතට නැගුණු සැකයෙහි අසාධාරණයක් නැත. ඒ මෙවැනි විහිළු කන්තෝරු තුළ ඕනෑ තරම් එකි`නෙකා අතර සිදු කරගන්නා නිසා ය. හැරත් තිලක්ගේ බිරිඳ දරු ප්‍රසූතියකට සූදානම්ව සිටින බව ආරක්ෂක නිලධාරියා තබා කාර්යාලයේ බොහෝ දෙනෙක් ද දරන සිටියේ නැත. ඊට ප්‍රසිද්ධියක් දී ඇතැමුන් ගේ අනවශ්‍ය සරදම්වලට ලක් නොවන මෙන් බන්දුල ද තිලක්ට අවවාද කළේ ජීවිතයේ හැම දෙයක්ම විහිළුවට නොගන්නා ලෙස උපදෙසක් ද දෙමිනි. එබැවින් මෙය "ලණුවක්ද දන්නේ නෑ" යනුවෙන් පණිවිඩය ලියූ ආරක්ෂක නිලධාරී විපේසිංහ සඳහන් කර තිබුණේ තිලක්ගේ වැඩි හොඳට ය. කෙසේ  වුවද මේ පණිවිඩය තුළ ව්‍යාජයක් නොමැති බව දන්නා නිසා එදින බන්දුල කාර්යාලයට පැමිණි වහාම තිලක් ඔහු වෙත ගොස් මේ කාරණය සැල කර සිටියේය.
 
hands taking out money wallet street indian rupee man 171691201තම පසුම්බිය  හැර තිලක්ට  කිසියම් මුදලක් දෙන්නට සූදානම් වුණි. නමුත් තිලක් එය ප්‍රතික්ෂේප කළේය.
 
"එහෙනම් තිලක් දැන් ඔයා යන්න" එසේ කී බන්දුල තම පසුම්බිය හැර තිලක්ට කිසියම් මුදලක් දෙන්නට සූදානම් වුණි. නමුත් තිලක් එය ප්‍රතික්ෂේප කළේය.
 
 " කවදද දරුවවයි වයිෆ්වයි ගෙදර එක්කගෙන එන්න හිතාගෙන ඉන්නේ"
 
 " තාම නම් ඒ ගැන මොකුත් තීරණයක් කළේ නෑ බන්දු අයියේ"
 
"හරි කමක් නෑ ඔයා දැන් යනවද බෙලිඅත්තේ?"
 
"ඔව් මම අද වේලාසනින් යන්න කියලා බැලුවේ"
 
 "හරි මල්ලී එහෙම නම් දැන් ඔයා යන්න. එතකොට ඔයාට වේලාසනින් යන්න පුළුවන් වෙයි. මෙහේ වැඩ ගැන හිතන්න එපා ඒවා අපි බලා ගන්නම්"
 
බන්දුලගේ කාරුණික වදන් තිලක්ගේ සිතට එක් කළේ සැනසීමකි.
 
පිය පදවිය ලැබීමේ සතුට තිලක් ගේ සිතේ ඉහ වහා ගොස් පැවතියේය. ඒ මොහොතේම කාර්යාලයෙන් පිටත්වූ ඔහු මුලින්ම ගෙදර ගියේ දෙමාපියන්ට මේ පණිවිඩය කියන්නට ය.
 
Maternity 6එවක අද මෙන් උපදින දරුවා ගේ ස්ත්‍රී පුරුෂභාවය ස්කෑන් පරීක්ෂාවන් මගින් කලින් පැවසීමේ ක්‍රම නොතිබිණි. ඊට හේතුව අද මෙන් දියුණු ස්කෑන් යන්ත්‍ර එකල නොතිබීම යි.
 
"අම්මේ ලතාට පුතෙක් හම්බවෙලා" ඔහු කීවේ ඒ ආසන්නයේ සිටි තාත්තාටත් එක්කම ය. දෙදෙනාගේම මුහුණුවල  ඇඳුණේ පුදුමාකාර සතුටු සිනාවකි. නංගී ද එතැනට පැමිණියේ මේ ආරංචිය ඇසීම නිසා ය. එවක අද මෙන් උපදින දරුවා ගේ ස්ත්‍රී පුරුෂභාවය ස්කෑන් පරීක්ෂාවන් මගින් කලින් පැවසීමේ ක්‍රම නොතිබිණි. ඊට හේතුව අද මෙන් දියුණු ස්කෑන් යන්ත්‍ර එකල නොතිබීම යි. එම තාක්ෂණය මෙතරම් දියුණු නොවීම නිසා ස්කෑන් පරීක්ෂණද සුලභ නොවීය. ඒ කාලයේ ගැබිනි  මවකට ස්කෑන් පරීක්‍ෂාවක් කරන්නේ ද අවශ්‍යම වුවහොත් පමණි. 
 
" දැන් පුතා යන්නද එහෙ?" තාත්තා ඇසීය.    
 
"ඔව් තාත්තෙ දැන්ම පිටත් වෙන්න කියලා බැලුවේ. රෑ වෙන්න කලින් එතකොට යන්න පුළුවන් වෙයි.           
                 
"අතේ සල්ලි තියනවද?" තාත්තාගේ ඊළඟ පැනය වූයේ එයයි.         
                                             
" දැනට තියෙනවා උවමනාවක් වුණොත් කියන්නම් තාත්තේ" තිලක් කීවේය.  
 
"කවදද පුතා අම්මවයි දරුවවයි ගෙදර එක්කගෙන එන්නේ?"
 
 "එහේ ගිහින්  කතා කරල බලන්න ඕනෙ අම්මෙ"     
 
ඉන්පසු තිලක් බෙලිඅත්තේ යාමට පිටත් විය. මඟ දිගට ඔහු සිතමින් ගියේ තම සිඟිති පුතු ගැන ය. ඔහු ගේ සිතට මින් පෙර නොදැනුණු පුදුමාකාර සතුටක් දැනෙයි. ඒ වන විට කුමරි ඇතුළු පුවත් පත් සඳහා ඔහු නිති පතා ලිපි විශේෂාංග ගණනාවක් කොයිතරම් උපමා උපමේය අලංකාර යොදා විස්තර කර ලිව්වත් මේ සතුට විස්තර කළ හැකි වචන කිසිවක්  ඔහුගේ සිතට නම් නැගුණේ ම නැත.
 
IMG 20241026 WA0002තිලක්ගේ මහගෙදර රාමු කර තබා තිබූ ඔහුගේ ළමා වියේ ඡායාරූපය
 
එසැණින් ඔහුට තම පියා සිහිපත් වුණි. අම්මාගේත්, තාත්තාගේත් කුළුඳුල්  දරුවා ලෙස තමා උපන් දවසේ මේ සතුටම එදා තාත්තාත් අත්විඳින්නට ඇත. තිලක් ගේ දෑසට කඳුළු ඉනුවේය. එකෙනෙහිම තමන්ට වසරක් පිරෙන දා ගන්නා ලදුව තම නිවසේ රාමු කොට තිබූ සේයා රුව ද ඔහු ගේ මනැස හමුවේ මැවී පෙනුණි.
 
බසය යන්නේ ඉබි ගමනින් යැයි තිලක්ට  සිතිණි. මේ යන අතරතුර දී ඔහුගේ සිත සිය දහස් වාරයක්  පුතු වෙත පියඹා ගොස් යළි පැමිණෙන්නට ඇත. සවස් කාලයේ රෝගීන් බලන වෙලාවට රෝහලට යන්නට  කෙසේවත් ඉඩක් නොලැබේ. පුතු දකින්නට වෙන්නේ පසුදින උදේ පාන්දර ය. 
 
කෙසේ වුවද බෙලිඅත්තට යන විට  රාත්‍රී හත පමණ විය. මේ මොහොතේ  රෝගීන් බලන්නට ඉඩක් නොලැබේ. දුක, කාන්සිය වැනි එකි`නෙක වෙන් වෙන්ව විස්තර කළ නොහැකි හැඟීම් රාශියක්  සිත වසා ගෙන පෙළමින් පැවතියේය. දරු පැටියා දැක ගන්නට පසුදා පාන්දර වන තෙක්  ඉවසන්නට සිදුව තිබේ. සිතේ දුකින් යුතුව ⁣ බෙලිඅත්තෙන් බැස ගත් ඔහු ලතාගේ මහගෙදර වෙත පිය නගන්නට විය.
ගෙට ගොඩවන විට සුනඛයා ගේ සතුටු කෙඳිරි ගෑම අසා ආලින්දයට පිවිසියේ තාත්තා ය. ඔහුගේ මුහුණ සතුටින් පිරී තිබේ. තාත්තා යමක් කියන්නටත් පෙරම ඉදිරියට දිව ආ ලතාගේ නංගී "අක්කවයි, බබාවයි ගෙදර එක්ක ආවා" යි කියන විට තිලක් ට ලෝකයම අමතක විය. ඔහු වහා කාමරයට යන්නට ගියේය.
 
"පුතේ ඔහේ ඔය කොළඹ ඉඳල නෙව එන්නේ. ඒ හින්දා ඇඟපත හෝදල ඇඳුම් මාරු කරගෙනම දරුව ගාවට යන්න"
 
දාඩිය පිටින්ම මෙලෙස බිළිඳු දරු⁣වකු ළඟට නොයා යුතු බව තිලක් ට ඒ මොහොතේ ඇත්තෙන්ම අමතක වී තිබිණි. දෝරෙ ගලා යන සතුට විසින් සියල්ල සිතින් මොහොතකට අකා මකා දැමූ අයුරු  විස්මය ජනක ය. ඔහුට එය මතකයට නැගුණේ ලතාගේ අම්මා මෙලෙස සිහිපත් කර දුන් පසුව ය.
 
Mother holding her baby boy in the nursery room
ළිඳ ළඟට ගොස් ඇඟපත සෝදා ඇඳුම් ද මාරු කරගෙන තිලක් කාමරයට යනවිට ලතා ඇඳ මත හාන්සි වී දරුවා සිය උණුසුමේ තබා ගෙන සිටියාය. රෝස පැහැති කිරිකැටියා අම්මා ගේ උණුසුමට වී අපූරුවට නැලවෙයි. තිලක් ට දැනුණු හැඟීම් සමුදාය විස්තර කරන්නට බැරි තරම් ය. සිය හදගැස්ම වේගවත් වී ඇති අයුරු ඔහුට දැනෙයි. මෙතරම් හැඟීම්බර බවක් ඔහුට ජීවිතයේ මින් පෙර කිසිදාකත් දැනී නොතිබිණි. මිනිස් ජීවිතයක උත්කෘෂ්ඨම අවස්ථාව මෙයම මිස අන් කිසිවක් නොවේ. පිය පදවිය ලද මුල්ම අවස්ථාව....! මීට වඩා සොඳුරු පදවියක් පිරිමියකුට සිය ජීවිතය තුළ තිබිය හැකිද?
දරුවා තම දෑතට ගන්නට තිලක් තුළ දැඩි ආසාවක් ලියලා වැඩුණු මුත් ඔහු ඊට පසුබෑවේය. කවදාවත් ඔහු මීට පෙර මෙවන් සිඟිත්තකු අතට ගෙන තිබුණේ නැත. තමාගේ ඒ නුහුරු බව නිසා පුතාට රිදේවියයි ඔහුට බියක් දැනිණි. අසීමිත වූ දරු සෙනෙහසින් ඔහු  තම සිඟිති පුතු මිට මොළවාගෙන සිටි රෝස පෙත්තක් වැනි අත්ල මත සිය ඇඟිල්ලක් තැබුවේය. ඒ සමගම පුතු පුංචි සිය අතැඟිලි අතර ඔහුගේ ඇඟිල්ල සිර කර ගත්තේය. එය සිඟිත්තා අතින් ඉබේටම සිදුවන්නට ඇත. නමුත් සොබා දහමට අනුව කිරි කැටියා මේ ඉල්ලන්නේ තමන් ගේ ආරක්ෂාව සහ රැකවරණය නොවේ දැයි තිලක් ට සිතිණි.
 
IMG 20241026 WA0001තිලක් ගේ පුතු සහන් ළදරු වියේදී
 
පුතු නිදි නැත. රෝස පැහැති සිරුරත්, නිල් පැහැති දෑසත් බෝනික්කකුගේ මෙනි. තිලක් "මගෙ චූටි පැටියෝ" කියමින් පුතු දෙසට මුහුණ මඳක් ළං කළේය. දෑත දෙපා ගසමින් සිටි පුතු එකවරම මුත්‍රා විදින්නට වූ අතර තිලක් ගේ මුහුණේත්, පපුව ප්‍රදේශයේත් මුත්‍රා ඉහිරී ගියේය. තිලක් ගේ මුහුණට සිනාවක් නැගිණි. එය උපන් මොහොතේ සිට බිළිඳියන්ට අහිමි, බිළිඳුන්ට පමණක් හිමි විශේෂ "දක්ෂතාවක් "බව ඔහු ජීවිතයේ මුල් වරට දැන ගත්තේ ද එදා ය.                                 
"දැන් අපිට හෙට අනිද්දම බබාව ගෙදර එක්ක යන්න පුළුවන් නේද?"
 
තිලක් තරමක් හඬ නඟා එසේ විමසද්දී ලතා ඉතා සෙමින් තිලක් ගේ සවනට මුව ළං කළා ය.
 
"මේවා අපිට ඕන ඕන  විදිහටම  කරන්න බෑ අනේ. අම්මලා බබාට රත ගාය හැදෙනවද, බාලගිරි දෝසේ තියනවද කියලා එහෙම බැලුවට පස්සේ  තමයි අපිට අරන් යන්න වෙන්නේ"යැයි කියද්දී තිලක්ට ඉබේටම සිනා පහළ විය.
 
adorable toddler is playing with toy airplane ball sunny room 14117 434047
"ඒ කියන්නේ පොඩි එකා ගෙදර අරන් යන්න කලින් මෙහෙදි තොවිලෙකුත් නටන්න වෙයි ද?අනික කොල්ලන්ට පුංචි කාලේ ඉඳලම ඔය රත ගාය තියනවා තමයි. ඒකනෙ උන් වාහනයක් දැක්ක හැටියේ "බෲම් බෲම්" කියන්නේ.අනික උන් හැම තිස්සෙම සෙල්ලම් කාර් අර ගෙන දඟලන්නේ. අනික ඉතින්  ඔය බාලගිරිට නම් "බාලගිරි හෙට නොවේ අද" ද මොකක්ද කියලා අපේ ගේ ඉස්සරහ උළුවස්සේ බෝඩ් එකක් එල්ලන්න බැරියැ. හැබැයි බාලගිරි සිංහල දන්නවද කියන එකත් ටිකක් හොයලා බලන්න වෙයි."
 
එම වදන කණපිට හරවා තිලක් කීයේ සිනාසෙමිනි.   
 
"ඔයාට පිස්සුද අනේ, පුතාව අල්ලා ගෙන එහෙම විකාර වැඩ කරන්න. අනික අම්මලා හිතන්නෙ අපි හිතනවට වඩා වෙනස් විදිහට. ඒ හින්දා අපිට අම්මලා කියන දේවලුත් අහන්න වෙනවා"
 
එසේ කී ඇය තම ස්වරය තවත් බාල කොට  "දැන්වත් ඉතින් ඔය හිතුවක්කාරකම් ටිකක් හරි අඩු කළොත් හොඳයි නේද? දැන් ඔයා පුතෙකුගෙ තාත්තා කෙනෙක්" යනුවෙන් පැවසුවේ තමන් වෙත එල්ල කරන සියුම් අවලාදයක් ලෙසින් බව තිලක්ට වැටහුණි.
 
දරුවකු ලත් පසු කාන්තාවක ගේ මානසික ස්වභාවය විවිධ වෙනස්කම්වලට ලක් වන බවත්, ඇය ඉන්පසු මුළුමනින්ම පාහේ තම දරුවා කේන්ද්‍රීයව සිතන්නට පටන් ගන්නා බවත් ඔහු ඒ වන විට පොත පතින් කියවා තිබිණ. එබැවින් ලතා ගේ ඒ කතාවට සිනාසී නිහඬ වීමට ඔහු තීරණය කළේ ඒ අනුව ය.
           
නැවත හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
 
 
 
 
 
 
 

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)
 
  
 

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...