The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

November 11, 2024 • 8:35 AM

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රැජින නමින් අලුත් කාන්තා පුවත්පතක් වෙළෙඳපොලට 1986 වසරේ ජූලි මාසයට ද ආසන්නව පැවතිණි.
  • ඒ අනුව සිත්තර ආයතනය මගින් ගෙවන ලද වැටුපට අමතරව බන්දුල පද්ම කුමාර විසින් තිලක් ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට එම කටයුතු වෙනුවෙන් මාසිකව වෙනම දීමනාවක් ගෙවනු ලැබීය.
  • එවකට අපේ රටේ පැවති ප්‍රධාන ධාරාවේ කාන්තා පුවත්පත් කිහිපයට වඩා නව මගක් ගත් කාන්තා පුවත්පතකට වෙළඳපොළෙහි ඉඩක් පවතින බව බන්දුල පද්ම කුමාර විසින් විවිධාකාරයෙන් කරන ලද තොරතුරු ගවේෂණය මගින් සොයා ගෙන තිබිණි.
  • බන්දුල පද්ම කුමාර එම පුවත්පත සඳහා "රැජින" යනුවෙන් නමක් යෝජනා කළ බන්දුල එතෙකින් නොනැවතී එහි පාඨය "හැම ගැහැනියක්ම රැජිනක්" ලෙස යොදන්නට තීරණය කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
     
රැජින නමින් අලුත් කාන්තා පුවත්පතක් වෙළෙඳපොලට
 
1986 වසරේ ජූලි මාසයට ද ආසන්නව පැවතිණි. ඒ වන විට  තිලක්ගේ පුතු පස් මසක් පමණ වයසැති සිඟිත්තෙකි. තිලක් සිත්තර නිවසේ ස්ථිර සේවයෙහි යෙදෙමින් කුමරි පුවත්පතෙහිත්, මුතුහර සඟරාවෙහිත් කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කරන අතරේ එම ආයතනයේ ම හිඳිමින් එහි පාලනාධිකාරියේ අවසරය ඇතිව එම පුවත්පත්වල ප්‍රධාන  කර්තෘ බන්දුල පද්ම කුමාර සමාධි ප්‍රකාශන මගින් ආරම්භ කරන ලද සරසි සහ සත්සර පුවත්පත්වලට ද  සම්බන්ධ වී කටයුතු කළේ ය. ඒ අනුව සිත්තර ආයතනය  මගින්  ගෙවන ලද වැටුපට අමතරව බන්දුල  පද්ම කුමාර විසින් තිලක් ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට එම කටයුතු වෙනුවෙන්  මාසිකව වෙනම දීමනාවක්  ගෙවනු ලැබීය.
 
මේ වන විට නව ආරකින් යුත් කාන්තා පුවත්පතක්  ආරම්භ කිරීමේ දැඩි වුවමනාවක් බන්දුල පද්ම කුමාරට තිබිණි. ඔහු නිතර නිතර ඒ සම්බන්ධයෙන් තම පුවත්පත්  කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ඡා කළේ ය. එවකට අපේ රටේ පැවති ප්‍රධාන ධාරාවේ කාන්තා පුවත්පත් කිහිපයට වඩා නව මගක් ගත් කාන්තා පුවත්පතකට වෙළඳපොළෙහි ඉඩක් පවතින බව බන්දුල පද්ම කුමාර විසින් විවිධාකාරයෙන් කරන ලද තොරතුරු ගවේෂණය මගින් සොයා ගෙන තිබිණි. ඔහු නිතර නිතර ඒ පිළිබඳව සාකච්ඡා කළේ ය.
 
 
IMG 20241110 WA0007බන්දුල පද්ම කුමාර
 
එම පුවත්පත සඳහා "රැජින" යනුවෙන් නමක් යෝජනා කළ බන්දුල එතෙකින් නොනැවතී එහි  පාඨය "හැම ගැහැනියක්ම රැජිනක්" ලෙස යොදන්නට තීරණය  කර තිබිණි. ඒ පිළිබඳව  තම කාර්ය මණ්ඩලයෙන් ද ඔහු අදහස් විමසා සිටියේ ය.
 
අවසානයේ රැජින යන ලාංඡනය ඇඳීම  බන්දුලගේ සියලු පුවත්පත්වල පිටු සැලසුම් ශිල්පියකු ලෙස එවකට කටයුතු කළ  ජගත් ජයසුන්දර ට භාර කෙරිණි.
 
සාමාන්‍යයෙන් "රැජින" යන්න ලියන විට දන්තජ න යන්න  භාවිතා වුවද  එම ලාංඡනය  ඇඳ තිබුණේ "රැජිණ" ⁣ලෙසින් මූර්ධජ න යන්න යොදා ය. නමුත්  එම ලාංඡනය  ඔහු ඉතාමත් අලංකාර ලෙස ඇඳ තිබූ බැවින්  සහ එය  පුවත්පතක් සඳහා යොදන හුදු නාමයක් පමණක් බැවින් මුර්ධජ අකුර දන්තජ කරන්නට කිසිවෙක් උත්සාහ කළේ නැත.
 
"ඔන්න තිලක්ට  අලුත් පෝස්ට් එකක් හම්බ වෙන්නයි යන්නේ. ලෑස්ති වෙලා ඉන්න"
 
දිනක් ජගත්,  තිලක්ට කීය.
 
"මොකක්ද පෝස්ට් එක?" තිලක් ඇසුවේ  විමතියෙනි.
 
"බන්දු අයියා අලුත් පත්තරේ තිලක්ට භාර දෙන්නයි හදන්නේ"
 
"අනේ මේ පිස්සු කෙලින්නෙ නැතුව හිටපන් මල්ලී"
 
තිලක් කීවේ ජගත්ගේ කතාව නියපොත්තෙන් උඩටවත් මායිම් නොකර ය.
 
IMG 20241110 WA0009කුමරි මංගල කලාපය
 
"බලන්නකෝ බොරුද කියලා" ජගත්  නැවත ද කීය.
 
 "ජගත්; මේ විහිළුවල සීමාවක් තියා ගනින්"
 
"විහිළු ?  හරි එහෙනම් විහිළුද කියලා බලන්නකෝ"
 
එවර තිලක් තුළ ඇතිවූයේ කෝපයකි.
 
"යකෝ මම කාන්තා පත්තරයක් කරනව තියා පෙරළලා බලල තියෙන එකෙක්වත් නෙවෙයි. විහිළුවකටවත් ඔහොම ඒවා කියන්න එපා. විහිළු තමයි අන්තිමේ ඇත්ත වෙන්නේ. එහෙම වුණොත් මම ඉවරයි"
 
"හරි ඉතින් ඔයාට මාව විශ්වාස නෑනේ"
 
ජගත් එපමණක් කියා සිනාසී නිහඬ විය.මෙය වරක් දෙකක් නොව කිහිප වරක්ම සිදු විය.
 
IMG 20241110 WA0010 සරසි මංගල කලාපය
 
එනිසාම තිලක්ට පසුව මේ කතාව පවා මහත් වදයක් වී තිබිණි. එසේම ජගත් කිහිප වතාවක්ම  මේ කරුණ පැවසූ නිසාම එය නිකන්ම නිකන්  හිතළුවක් සේ සලකා බැහැර කිරීමට ද තිලක්ට හැකි වූයේ නැත. එනිසා බන්දුල තම කාර්ය මණ්ඩලය සමඟ මෙම අලුත් පුවත්පත පිළිබඳ අදහස් බෙදා හදාගන්නා විට තිලක් එම ස්ථාන මඟහැර යාමට පුරුදු විය.
 
"ඒයි තිලක්, කොහෙද යන්නෙ?මෙහෙ එන්නකො ටිකක් කතා කරන්න" ඒ වෙලාවට ජගත් කරන්නේ සිනාසෙමින් එසේ පවසා තිලක්  තවදුරටත් අපහසුවට පත්කිරීම ය.
 
ජූලි මාසය අවසානයේදී පමණ බන්දුල දිනක් තිලක් ව කැඳෙව්වේය.
 
"මල්ලී; මම ඔයාට අලුත් වැඩක් පවරන්නයි යන්නේ"
 
බන්දුල පවසන්නට යන දේ තිලක් අසා සිටියේ සාවධානව ය.
 
IMG 20241110 WA0006අනුල ද සිල්වා
 
 "මම සැප්තැම්බරේදී  රැජින පත්තරේ එළියට දාන්නයි හිතාගෙන ඉන්නේ. මම මේ පත්තරේට කර්තෘ විදිහට ගන්න කතා කරල තියෙන්නේ අනුල ද සිල්වාට. ඒත් අනුලට මෙහෙ ෆුල්ටයිම් වැඩ කරන්න විදිහක් නෑ. එයා තරුණ සේවා සභාවේ "යව්වන" මැගසින් එක කරනවනෙ. එයා හවස් වෙලාවට මෙහෙ ඇවිත් පාර්ට් ටයිම් කරයි. තිලක්  ෆුල් ටයිම් ඉඳගෙන එයත් එක්ක රැජින පත්තරේ කරන්න.අනික එයාගෙන් ඔයාට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්,මොකද අනුල කියන්නේ දැනට මේ ෆීල්ඩ් එකේ ඉන්න ලීඩින් කැරැක්ටර් එකක් නේ"
 
තිලක් ගේ ඇඟට හීන්දාඩිය දැම්මේය. 
 
"බන්දු අයියේ වෙන මොන පත්තරයක් කළත් මට කාන්තා පත්තරයක් නම් කරන්න බැරි වෙයි.අඩුම ගාණේ  මම තනියම තේ එකක්වත් හදාගන්න පුළුවන් එකෙක් නෙමෙයි. උයන පිහන හැටි, මැහුම් ගෙතුම් වගේ ගෑනු  අය කරන දේවල්  මට ග්‍රීක් වගේ. මට මේ වැඩේ නම් බාරගන්න බෑ බන්දු අයියේ"
 
"මල්ලි ඔයාට දැන්  දරුවෙකුත් ඉන්නවා නේද? තුන් දෙනෙකුට කෑම බීම ඇඳුම් පැළඳුම් වගේ දේවල්වලට කොයිතරම් වියදමක්  යනවා කියලද හිතන්නේ? හදිස්සියේ කාට හරි අසනීපයක් වුණා. ඔයාට වියදම් කරන්න සල්ලි තියෙනවද? නෑනෙ. අනික ඔයා කොහොමත් ජොලි කාරයෙකුත් නේ. ඒවටත් මාසෙකට සෑහෙන ගාණක් යනවානේ. මම මේ හදන්නේ ඔයාගේ ආදායම වැඩි කරලා දෙන්න. රැජින පත්තරේ කරනවට මම ඔයාට වෙනමම ගාණක් ගෙවනවා."
 
IMG 20241110 WA0008සත්සර මංගල කලාපය
 
"සල්ලි ප්‍රශ්න නෙමෙයිනෙ බන්දු අයියේ මට තියන ප්‍රශ්නය. මම කොහොමද මට කොහොමටවත් දැනීමක්  නැති දේකට අත ගහන්නේ? මට දැනීමක් නැති දෙයක් ගැන තව කෙනෙකුට දැනීමක් දෙන්නෙ කොහොමද මම? මේක නම් ගඟේ මාළුවෙක් අල්ලගෙන ගිහින් මුහුදට දානවා වගේ වැඩක් බන්දු අය්යෙ"
 
තිලක් මැසිවිලි නැගුවේය.
 
"ඒක මං බලාගන්නම්, තිලක් මම කියපු දේ කරන්න"
 
එසේ කී බන්දුල තව මොහොතක් වත් නොරැඳී තම මේසය මත වූ මෝටර් රියේ යතුර ගෙන වහා එතැනින් නික්ම ගියේ තිලක් අන්ද මන්ද කරමිනි.
 
මෙය දෙසතියකට වරක් නිකුත් වන  පුවත්පතක් ලෙස එළිදැක්වීම බන්දුලගේ අරමුණ විය. අනුල ද සිල්වා සිය වෘත්තීය කටයුතු අවසන් වී සවස් කාලයේ සිත්තර  ආයතනයට පැමිණ වැඩ පටන් ගත්තාය.  බන්දුලගේ කීමට පිටින් යා නොහැකි බැවින් තිලක් අනුලට උදව් කළා මිස, නිර්මාණශීලී සහයෝගයක්  ඇයට දෙන්නට තරම් මේ සම්බන්ධ උනන්දුවක් ඔහු තුළ නොවිණි.
 
IMG 20241110 WA0002රැජිණ මංගල කලාපය
 
1986 සැප්තැම්බර් 15 දා රැජිණ කාන්තා පුවත්පතේ මංගල කලාපය එළි දක්වනු ලැබිණි. එය  ඉතා ආදරයෙන්  පාඨකයන් වැළඳ ගත් බව අලෙවිය අනුව පැහැදිලි විය. හැම මසකම පළමු වෙනිදා සහ පහළොස් වැනිදා රැජිණ එළි  දක්වන්නට තීරණය කර තිබූ නිසා දෙවන කලාපය සඳහා එම මස 20 වෙනිදා පමණ සිට  අවශ්‍ය ලිපි ආදිය සපයා ගනිමින් සූදානම් විය යුතු විණි. නමුත්  එහි කර්තෘවරිය ලෙස සේවයට ගෙන තිබූ අනුල ද සිල්වා 20 දා පැමිණියේ නැත. 21 ත් නැත. 22 දාත් ගෙවී ගියේය. තිලක් ද  කිසි හැලහොල්මනක් නැත.  ඔහු මේ පුවත්පතේ වැඩට අත ගැසුවේම මෙය තමාට කිසිසේත්  කළ නොහැකි ආගන්තුක  විෂයක් ලෙස පූර්ව නිගමනයක පිහිටා ය. එබැවින් මින් ඉවත් වන්නට මිස මීට දිගින් දිගටම සම්බන්ධ වීමේ හිතක් ඔහුට තිබුණේ නැත.
 
"මල්ලි මේ සතියේ අනුලක්කට එන්න වෙන්නේ නැහැලු.  මේ පාර රැජින  ඔයා කරන්න"
 
බන්දුල  පවසන විට තිලක්ට දැනුණේ  තම සිරුරම හිරි වැටී ගියාක් මෙනි.
 
"අනේ බන්දු අයියේ  ඔළුවෙන් හිටගෙන කතුරු  ඔංචිල්ලාවේ යනවා වගේ වැඩක් මට මේක නම්"
 
"හරි, හරි කොහොමත් මම මේකට එඩිටර් කෙනෙක් හොයා ගන්නව. ඔයා  අනික් අයගෙත් උදව් අරගෙන මේ කලාපෙ විතරක් මට කරලා දෙන්න"
 
IMG 20241110 WA0005ලක්ෂ්මන් මල්ලවාරච්චි
 
බන්දුලගේ වැඩකට කර ඇරීමේ හැකියාවක් තිලක්ට  නොතිබිණි. ඔහු මහන්සි වී කාන්තා පුවත්පතකට ගැළපෙන ලිපි  සොයා ගත්තේය. එලෙස රැජිණ දෙවන කලාපය ඔක්තෝබර් පළවෙනිදා නිකුත් කෙරිණි. එය ද ඉතාමත් සාර්ථක විය. දෙවෙනි කලාපයේ ද අලෙවිය  වැඩි වී තිබෙන බව අලෙවි අංශයෙන් දන්වා තිබිණි. පොරොන්දු වූ පරිදි මුල් කලාප දෙක කර අවසන් වූ පසු තිලක් නිහඬ වූයේ ය .
 
තුන්වන කලාපයට සූදානම් විය යුතු දින ද ආසන්න විය. නමුත් කර්තෘවරයකු පැමිණියේ නැත.
 
"කෝ දැන් ලෑස්ති වෙන්නෙ නැද්ද ඊළඟ කලාපෙට?"
 
බන්දුල, තිලක්ගෙන් ඇසීය.
 
 "බන්දු අයියා කිව්වේ කලාප දෙකක් කරන්න නේ"
 
"තිලක්; මට අනවශ්‍ය ලෙඩ දාන්න එන්න එපා තේරුණාද?. ලෑස්ති වෙන්න ඊළඟ කලාපෙට"
 
බන්දුල කීයේ තර්ජනාත්මක ස්වරයෙනි. ඉන්පසු ඔහු එතැනින් නික්ම ගියේ තිලක්ට  තව කිසිවක් කතා කරන්නට ඉඩ නොතබා ය.
 
IMG 20241110 WA0001තිලක් සේනාසිංහ
 
 
මේ අයුරින් තිලක් තවත් අවස්ථා කිහිපයකදීම මෙම කාර්යයෙන් ඉවත් වෙන්නට උත්සාහ කළත් බන්දුල ඊට ඉඩක් තැබුවේම නැත. අවසානයේ තිලක්ට  ඉබේම  වාගේ රැජිණ සංස්කරණය හුරු විය. යමක් එක දිගට කරන විට  එය තමන්ගේ දෙයක් බවට පත් වන්නේ ඉබේම ය. එම හිමිකාරත්වය සිතේ තහවුරු වූ පසු තමන් කරනු ලබන කාර්යය කෙරෙහි නිරායාසයෙන්ම රුචියක් සහ උනන්දුවක් ඇතිවේ. තිලක්ට ද මෙය පොදු විය. ඉන්පසු මුලින් ඔහුගේ සිතේ පැවති කාන්තා පත්තරයක් කිරීමෙහි තිබූ නොකැමැත්ත සහමුලින්ම වාගේ දුරුවී ගියේය. නිතරම අලුත් දෙයක් කිරීමට ඔහුගේ පැවැති හිතුවක්කාර සිත විසින් රැජිණ වෙනුවෙන්  වෙනස් දේවල් කිරීම කෙරෙහි ඔහු යොමු කර තිබිණි. වර්තමානයේ මෙන් අන්තර්ජාල පහසුකම් නොතිබූ ඒ යුගයේ අලුත් දේවල් සොයාගනු පිණිස ෆෙමිනා, ඉලස්ට්‍රේටඩ් වීක්ලි  වැනි  ඉන්දියානු සඟරා ඇතුළු නොයෙකුත් විදේශ සඟරා පරිශීලනය කිරීම,  නුදුරින් පිහිටි දිවයින පුවත් පතට සම්බන්ධ වී ප්‍රාදේශීය වාර්තාකරුවන් වෙතින් කාන්තාවන්ට ඵලදායී වන සිද්ධිමය වශයෙන් ලබාගත හැකි තොරතුරු ලබා ගැනීම ආදී නොයෙකුත් දේවල් තුළින් ප්‍රයෝජනවත් කාන්තා පුවත්පතක් පාඨකයන්ට තිළිණ කිරීමට හැකි වී තිබිණි.
 2 3080 දශකයේදී විශාල වශයෙන් අපේ රටේ කාන්තාවෝ මැද පෙරදිග රටවල්වල ගෘහ සේවය පිණිස ඇදී ගියහ.
 
 
80 දශකයේදී විශාල වශයෙන් අපේ රටේ කාන්තාවෝ මැද පෙරදිග රටවල්වල ගෘහ සේවය පිණිස ඇදී ගියහ. එම කාන්තාවන් වෙනුවෙන් මැද පෙරදිග රටවල් සඳහා ම විශේෂයෙන් සැකසූ පුවත්පතක් කිරීමේ අදහසක් ද මේ වනවිට බන්දුල තුළ පැවතියේය. මීට වසර ගණනකට ඉහතදී අභාවප්‍රාප්ත වූ  චන්දි කන්නන්ගර නමැති  ප්‍රකට ව්‍යාපාරිකයා බන්දුලගේ සමීප හිතවතෙක් විය. ඔහු එකල ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල්  නම්  නැව් බඩු සමාගමෙහි හිමි කරු විය. ඔහුගේ ආයතනය ද තිලක්ලාගේ පත්තර  කන්තෝරුව වන සිත්තර  ආයතනය පැවති බ්ලුමැන්ඩල් පාරෙහිම පිහිටා තිබිණි.
 
"තිලක් මට චන්දි හම්බවෙන්න වුවමනාවක් තියෙනවා. යමුකෝ මාත් එක්ක"
 
තිලක්, බන්දුල සමග එහි ගියේ බන්දුලගේ මෝටර් රථයෙනි.
 
මීට පෙර කිසි දිනක හමුවී නොතිබුණද චන්දි කන්නන්ගර යනු අතිශය සුහදශීලී පුද්ගලයකු බව තිලක්ට  එම පළමු හමුවීමෙන් ම වැටහිණි. බන්දුලගේ  මිතුරකු  වූ චන්දි , එදින හඳුනා ගත් තිලක්ට "උඹ" යනුවෙන් අමතමින් කතාබහ කළේ ද වසර ගණනාවක පටන් දැන හඳුනාගෙන සිටි අයෙකු  පරිද්දෙනි. මැදපෙරදිග රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් "මැද පෙරදිග" නමින්ම පුවත්පතක් කිරීමට එහිදී ඔවුන් අතර පූර්ණ එකඟතාවයක් ඇති විය. එම පුවත්පතෙහි සංස්කරණ වගකීමද තමා වෙතම පවරන්නට බන්දුලට අදහසක් ඇති බව ඔහුගේ කතා බහෙන් තිලක්ට කනින් කොනින් වැටහිණි. නමුත් කිසිදු ආකාරයකින් බන්දුලව දිරිගන්වන වචනයක්වත් තම මුවින් පිට නොකරන්නට තිලක් වග බලා ගත්තේය.
 
මේ අතර තවත් සිදුවීමක් වෙමින් පැවතිණි.
 
IMG 20241110 WA0004සෑම් පෙරේරා
 
 
සමාධි ප්‍රකාශන යටතේ බන්දුල මේ වනවිට සරසි, සත්සර සහ රැජිණ යන පුවත්පත් තුනම කරගෙන යමින් සිටියේය. අලෙවිය අතින් මේවා අති සාර්ථක වී තිබිණි.  මෙම පුවත්පත් මුද්‍රණය කරනු ලැබුවේ මිලිනා සුමතිපාල මහත්මියගේ අධිපතිත්වයෙන් යුතු, ඇගේ පුතනුවන් දෙදෙනා වන ජගත් සුමතිපාල  සහ තිලංග සුමතිපාල යන දෙදෙනාගේ කළමනාකාරීත්වය යටතේ පැවති සුමති  මුද්‍රණ සමාගම මගිනි. මෙම පුවත්පත් තුනේ කටයුතු සමඟ මතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වන "මැද පෙරදිග" පුවත්පතේ ද වැඩ කටයුතු ඇති බැවින්  පුවත්පත්  බෙදාහැරීම,  ඒවායේ ගිණුම් කටයුතු, සේවක පරිපාලනය වැනි බොහෝ දේවල් ද පෙරට වඩා පුළුල් වෙයි. එනිසා  මෙම පුවත්පත් තම කර්තෘත්වය යටතේ වෙනත් ආයතනයකට පැවරීමට බන්දුලට අවශ්‍ය විය. මේ වන විට මෙම පුවත්පත් තුනෙහිම ප්‍රධාන කර්තෘවරයා වශයෙන් හිඳිමින් සිත්තර ආයතනයේ කුමරි පුවත්පතෙහි ද කර්තෘවරයා ව සිටි බන්දුල රැජිණ පුවත්පතට  තමා යටතේ වෙනම කර්තෘවරයකු  පත්කර ගත්තේය. ඒ අන් කිසිවකු නොව තිලක් ය. තිලක් යටතේ වැඩ කිරීමට උප කර්තෘවරයකු වශයෙන්  එවකට ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදියෙකු ව සිටි සෑම් පෙරේරාව බඳවා ගනු ලැබිණි. නමුත් වැඩි කාලයක් ඔහු රැජිණ පුවත්පත සමග සිටියේ නැත. එතැනින්  ඔහු වෙනත් පුවත්පතකට යාම නිසා ඉන් පසු එම තනතුරට පත් කර ගනු ලැබුවේ එවකට ප්‍රවීණ නවකතාකරුවකු ලෙස රටේ ජනප්‍රසාදයක් දිනාගෙන සිටි ලක්ෂ්මන් මල්ලවාරච්චි ය. ලක්ෂ්මන් ඒ කාලයේ බාහිර ලේඛකයකු ලෙස රැජිණ ට මෙන්ම සරසි සහ සත්සර පුවත්පත්වලට ද සම්බන්ධ වී කටයුතු කරමින් සිටියේය.  ඒ හැරුණු විට තවත් බාහිර ලේඛක ලේඛිකාවෝ රාශියක් මෙම පුවත්පත්වලට සම්බන්ධ වී කටයුතු කළහ.
 
කුමරි  පුවත්පතෙන් සහ සිත්තර ආයතනයෙන් ඉවත් වී සුමති ප්‍රකාශන ආයතනය වෙත සිය පුවත්පත් සහ සේවකයන් සමඟම යාමට බන්දුල  තීරණය කර  ඒ බව සිත්තර ආයතනයේ පාලනාධිකාරියට දන්වා තිබිණි. මේ අනුව බන්දුල කුමරි පුවත්පතේ කර්තෘත්වයෙන් ඉවත් වන නිසා  කලක් කුමරි පුවත්පතේ හිඳ පසුව ශ්‍රීමාලී කැසට් නිෂ්පාදන ආයතනයෙහි ප්‍රධාන වගකීමක් දැරූ තිලක් ගේ ලෙන්ගතු මිතුරකු ද වන ප්‍රවීණ මාධ්‍යවේදී, ගීත රචක ධර්මරත්න පෙරේරා නැවත සිත්තර ආයතනය වෙත ඉ පැමිණ කුමරි පුවත්පතේ කර්තෘ පදවිය භාර ගත්තේය. මේ අතර රැජින, සරසි, සත්සර යන සියලු පුවත්පත් සේවකයන් සමඟම පවරා ගන්නට සුමති ප්‍රකාශන  කළමනාකාරිත්වය  එකඟතාවය පළ කර තිබිණි.නමුත් පුවත් පත් කලාවේ හොඳ හොඳ අඩව් කරනම් ගැසීමට බලාපොරොත්තුවෙන් සිටි  තමන්ට ඒ සඳහා ඉඩක් නොලැබීම ගැන තිලක් ඒ වන විට ද සිටියේ තරමක කනස්සල්ලකිනි.
 
IMG 20241110 WA0003ධර්මරත්න පෙරේරා
 
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
පැරණි පුවත්පත්වල ජායාරූප සපයා දුන් ප්‍රදීප් චතුරංග මහතාට ස්තුතියි.
  
සටහන - ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි :
 

තිලක මතක : තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම (පළමු කොටස)

තිලක මතක (2): බළලා ගේ මළගම වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...