The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

November 18, 2024 • 9:23 AM

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිලක්ව තම මෝටර් රථයෙහි නංවාගෙන බන්දුල ගියේ සුමති කාර්යාලයට ය.
  • අශෝකා සිනමාහල පිහිටි ගොඩනැගිල්ලේම කොටසක් වුවද එම කොටසට ඇතුළු වීම සඳහා ප්‍රධාන පාරට මුහුණලා වෙනමම පිවිසුම් දොරක් තිබිණි.
  • ආරක්ෂක නිලධාරියකු විසින් එහි යකඩ පටිවලට ඉබි යතුරු දමා වසා තිබූ දොර හැර දුන් පසු බන්දුල, තිලක් සමග එහි ඇතුළට ගියේ ය.
  • උඩුමහලෙහි දකුණු පස කොටසෙහි සිනමා ශාලාවෙහි දූවිලිවලින් වැසී ගිය විවිධ චිත්‍රපට කටවුට්, පෝස්ටර්, තීන්ත බාල්දි, තීන්ත ආලේප කරන බුරුසු ඇතුළු විවිධ ලට්ට ලොට්ට රාශියකින් පිරී පැවතියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
   
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  බන්දුල පද්ම කුමාර විසින් සමාධි ප්‍රකාශන මගින් ආරම්භ කරන ලද සරසි, සත්සර, රැජිණ පුවත්පත් තුන කොළඹ 14, සුමති ප්‍රකාශකයෝ වෙත පැවරීමෙන් අනතුරුව බන්දුල සහ ඔහුගේ කාර්ය මණ්ඩලය වන තිලක් ඇතුළු සෙසු පිරිස ද කොටහේන සිත්තර ආයතනයෙන් ඉවත් වූහ.  ඒ වන විට සුමති ප්‍රකාශකයන්ට අයත් ග්‍රෑන්ඩ්පාස් හි,  අතීතයේ වේල්ස් කුමාර මාවත නමින් හඳුන්වන ලද  කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි අශෝකා  සිනමාහල් ගොඩනැගිල්ලේම කොටසක් ලෙස එහි වම් පසින් පිහිටි මහල් ගොඩනැගිල්ල පුවත්පත්වල කර්තෘ මණ්ඩලයට  ලබා දීමට සුමති ප්‍රකාශන සභාපතිනිය වූ මිලිනා සුමතිපාල මහත්මිය ඇතුළු  කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන ජගත් හා තිලංග යන පුතුන් දෙදෙනා තීරණය කර තිබිණි.  
 
"මල්ලි පොඩ්ඩක් එන්නකො මාත් එක්ක සුමති එකට ගිහින් එන්න." සිත්තර කාර්යාලයෙන් ඉවත් වීමට පෙර දිනෙක  බන්දුල තිලක් ව කැඳවා පැවසීය.
 
තිලක්ව තම මෝටර් රථයෙහි නංවාගෙන  බන්දුල ගියේ සුමති කාර්යාලයට ය. අශෝකා  සිනමාහල පිහිටි ගොඩනැගිල්ලේම කොටසක් වුවද එම කොටසට ඇතුළු වීම සඳහා ප්‍රධාන පාරට මුහුණලා වෙනමම පිවිසුම් දොරක් තිබිණි. ආරක්ෂක නිලධාරියකු විසින් එහි යකඩ පටිවලට ඉබි යතුරු දමා වසා තිබූ දොර හැර දුන් පසු  බන්දුල, තිලක් සමග එහි ඇතුළට ගියේ ය. සෑහෙන කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා තිබූ එම ගොඩනැගිල්ලේ දූවිලිවලින් මෙන්ම මකුළු දැල්වලින් ද කිසිදු අඩුවක් තිබුණේ නැත. උඩුමහල දක්වා වූ පියගැට පෙළෙහි අත්වැට පවා  දූවිලි තට්ටුවලින් පිරී තිබිණි. උඩුමහලෙහි දකුණු පස කොටසෙහි සිනමා ශාලාවෙහි දූවිලිවලින් වැසී ගිය විවිධ චිත්‍රපට කටවුට්, පෝස්ටර්, තීන්ත බාල්දි,  තීන්ත ආලේප කරන බුරුසු ඇතුළු විවිධ ලට්ට ලොට්ට රාශියකින් පිරී පැවතියේය. එසේම සිනමාහලේ  නතරවී සිටි සේවකයින්ගේ ඇඳුම් දැමූ රෙදි වැලක් ද පසෙක විය.
පසුව සුමති කළමනාකාර අධ්‍යක්ෂවරුන් දින කිහිපයක් තුළ එම ගොඩනැගිල්ල අමුතුවෙන් පිරිසිදු කරවා නවීකරණය කොට බන්දුල පද්ම කුමාරට  පුවත්පත් කාර්යාලය සඳහා භාරදී තිබිණි. 1988 වසරේ මැද භාගයේ පමණ සුබ මොහොතින්  බන්දුල තම කාර්ය මණ්ඩලය ද සමඟ එම අලුත් ගොඩනැගිල්ලෙහි නැකතට කිරි උතුරවා වැඩ ආරම්භ කරනු ලැබීය.  
 
බන්දුල පද්ම කුමාර චාරිත්‍රානුකූලව කිරි උතුරවමින් සුමති සුමති කර්තෘ මණ්ඩල කාර්යාලයට ගෙවදුනු මොහොත (වමේ සිට ) අර්නස්ට් වඩුගේ, තිලක් සේනාසිංහ, සුදේශ් කරුණාතිලක, ආනන්ද පද්මසිරි, ලක්ෂ්මන් මල්ලවාආරච්චි, ජගත් ජයසුන්දර, ආනන්ද ප්‍රේමලාල්, උපුල් ශාන්ත සන්නස්ගල සහ ප්‍රදීප් කුමාර බාලසූරිය
 
ගොඩනැගිල්ලෙහි උඩුමහලට පිවිසි පසු එම පියගැටපෙළ කෙළවර වන තැන  වම්පස වූ ලොකු කාමරය  පත්තර තුනේ කර්තෘ මණ්ඩලය වෙනුවෙන් වෙන් කරන ලද අතර එම කාමරයට යාබදව පිහිටි තවත් කොටසක පිටු සැලසුම් අංශය පිහිටුවනු ලැබිණි.  ප්‍රධාන කර්තෘ ලෙස බන්දුල සිටියේ දකුණු පස කොටසේ ය. අද වන විට අශෝකා සිනමාහල නොමැති අතර එම ගොඩනැගිලි ද මුළුමනින්ම වෙනස් කර අලුතින් නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය.
 
තම මේසයේ වාඩි වී තිලක්  රාජකාරී වැඩක නියුතුව සිටියේ ය.
 
"තිලක් මහත්තයා කෝල් එකක්" බන්දුල ගේ කාර්යාල කාර්ය සහයක රෙනෝල්ඩ් එහි පැමිණ කීය. 
එකල මුළු කාර්යාලයටම තිබුණේ  එකම  දුරකථනයක් පමණි. ජංගම දුරකථන එකල අපේ රටේ පැවතියේ නැත.  කෝඩ් අංකය හැරුණු විට ඒ කාලයේ දුරකථන අංකවලට තිබුණේ අංක හයකි.   011-435225 එකල එම කාර්යාලයේ දුරකතන අංකය විය.
බන්දුලගේ මේසය මත තිබූ දුරකථනයට ඇමතුමක් ලැබී තිබුණේ පිටින් නොව එම ආයතනයේ බෙදාහැරීම් අංශයේ කළමනාකාරවරයා වෙතිනි. සරත් ටෙනිසන් නම් වූ ඔහු ලේක්හවුස් සහ විජය ප්‍රකාශන ආයතනයේ ද  ඊට පෙර බෙදාහැරීම් කළමනාකාරවරයා ලෙස කටයුතු කර එම ක්ෂේත්‍රයෙහි පෘථුල දැනුමක් තිබූ ජ්‍යෙෂ්ඨයෙකි. පුවත්පත්  බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බිම් මට්ටමේ සිටම  අත්දැකීම් තිබූ සහ ඒ සියලු දේවල් පිළිබඳ මනා අවබෝධයක් තිබූ ටෙනිසන් මහතා  පුවත්පත් අලෙවි කරන පදික වෙළඳුන්ගේ පවා කරට අත දමාගෙන,  පුතා යනුවෙන් අමතමින් ඒ සියලු මට්ටම්වල අයගේ හිත දිනා ගෙන සිය රාජකාරිය කිරීමට තරම් දක්ෂ විය.  ඒ වන විට ඔහු සේවය ලබා දෙමින් තිබුණේ සුමති ප්‍රකාශන ආයතනයට ය.
 
තිලක් දුරකතනය අතට ගත්තේය.
 
එකල මුළු කාර්යාලයටම තිබුණේ  එකම  දුරකථනයක් පමණි.
 
 
"හලෝ"
 
අනෙක් පසින් ඇසුණේ ටෙනිසන් මහතාගේ කටහඬයි.
 
"තිලක්;  අසූහාරදාහට නැගලා තියෙන්නේ;හරිද?" ටෙනිසන් මහතා පැවසුවේ වේගවත් උස් හඬකිනි. කුමක් සිදුවී ඇතිදැයි සිතා ගත නොහැකිව තිලක් අන්දුන් කුන්දුන් විය.
 
"ඇයි ටෙනිසන් මහත්තයා?"
 
තිලක් බිය මුසු  ලෙසින් ඇසීය.එහෙත් ඊට කිසිදු පිළිතුරක් නොදුන් ඔහු දඩාස් ගා රිසීවරය තබන හඬ තිලක් ට ඇසිණ."යකෝ;මේ මොන මරාලයක්ද?"කිසිවක් සිතා ගත නොහැකි ඔහු තනිව මුමුණා ගත්තේ ය.
 
පත්‍ර බෙදා හැරීම් අංශය තිබුණේ අශෝකා සිනමාහලට පසුපසින් තිබූ පැරණි ගොඩනැගිල්ලක උඩුමහලක ය. ඊට නඟින පියගැට පෙළ වක්‍රාකාව පිහිටීම නිසා කාර්යාලයේ බොහෝ දෙනෙක් එය වංකගිරිය ලෙස හැඳින්වූහ.
 
 කැළඹුණු මනැසින් යුතු තිලක්  වංකගිරියට යන විට බෙදාහැරීම් අංශයෙහි විවිධ තනතුරු දැරූ සරත් කුමාර, විජේසිංහ, පුෂ්පා, නිරෝෂා යන අය ද එතැන සිටි බව ඔහුට තවමත්   මතක ය. සරත් කුමාර පසු කලෙක එම ආයතනයෙහි බෙදාහැරීම් කළමනාකාර තනතුරට පත් වූ අතර මේ වන විට  ටෙනිසන් මහතා මෙලොව හැර ගොසිනි.
 
"ටෙනිසන් මහත්තයා "  තිලක්, ටෙනිසන් මහතාගේ මේසය ඉදිරිපස සිටගත්තේය.
 
"මොකද?" ඔහු විමසුවේ සුහදශීලී හඬකින් නොවේ.
 
"මොකක්ද මට කෝල් කරලා කිව්වේ?මට හරියට තේරුණේ නැහැ" තිලක් අහිංසක ලෙසින් කීය.
 
IMG 20241117 WA0002තිලක් සේනාසිංහ
 
"ඔව් ඉතින් ඔතනින් වාඩි වෙන්නකො"
 
තිලක් ඔහු ඉදිරිපසින් වාඩිවූයේ "මොන ගිනි ගෙඩියක්ද දන්නෙ නෑ" යි සිතමිනි.
 
"මොකද දැන් තිලක් කියන්නේ?"
 
ටෙනිසන් මහතාගේ මේ හතර බීරි කතාව කුමක්දැයි  තිලක්ට තේරුණේ ම නැත.
 
"ටෙනිසන් මහත්තයා අර කිව්වේ අසූහාර දාහට නැගලා කියලා. මොකක්ද වුණේ?" තිලක් විමසුවේ මඳ  පැකිලීමකිනි.
 
 "ඔව් බං; මම කිව්වේ රැජිණ  ප්‍රින්ට් ඕඩරේ අසූහාර දාහට නැගලා කියලනේ.  ඇයි මොකක්ද ප්‍රශ්නේ?"
 
එතැන සිටි සියලු දෙනාම උස් හඬින්  සිනාසෙද්දී තිලක්ට දැනුණේ  බලවත්  ලජ්ජාවකි.
 
"කොහොමද? සතුටුයි නේද?" ටෙනිසන් මහතා එවර ඇසුවේ සුහද සිනාවක් පාමින්  සාමාන්‍ය අයුරිනි.
 
"අනේ මෙන්න මේ යෝදයාට ප්ලේන්ටී එකක්වත් හදලා දීපල්ලා.මේකා හොඳටම බය වෙලානේ" සරත් ටෙනිසන් මහතා යළි සිනාසුණි.
 
IMG 20241110 WA0002
රැජිණ  පුවත්පත නිකුත්වීම ආරම්භ කළේ දෙසතියකට වරක් වශයෙන් වුවද ඉතා කෙටි කලකින්ම විශාල පාඨක ප්‍රසාදයක් දිනාගත් නිසා  ඉන්පසු එය සතිපතා නිකුත් වන කාන්තා පුවත්පතක් බවට පත් විය. ටෙනිසන් මහතා  සරදමක් ස්වරූපයෙන් මේ පවසා සිටින්නේ  රැජිණ පුවත්පත මේ වන විට සතියකට  මුද්‍රණය කරනු ලබන පිටපත්  ප්‍රමාණය අසූ හාර දාහක් දක්වා  ඉහළ ගොස් ඇති බව ය. තිලක්ට  ඒ බව දැන්වීම සඳහා "අසූහාර දාහ දක්වා  ඉහළ  යාම" යන වචනය  "අසූ හාර දාහට නැගලා" යනුවෙන් අපේ සමාජය කෝපය සඳහා යොදන වදනක් ලෙසට හරවා ටෙනිසන් මහතා ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණේ  විහිළුවක් කරන අටියෙනි. ඊටත් ටික කලකට පසු රැජිණ සතියකදී අලෙවි වන පිටපත් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගියේය.
රැජිණ අනෙකුත් සාමාන්‍ය කාන්තා පුවත්පත්වලට වඩා වෙනස්  ස්වරූපයක් ගෙන තිබීම එහි විශේෂත්වය විය.  අනෙකුත් කාන්තා පුවත්පත් දෙස බලා ඉන් අදහස්  ගෙන තම පුවත්පත නිර්මාණය කිරීමට තිලක් ට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැත. වෙනත් කාන්තා පුවත්පත්වල සාමාන්‍යයෙන් සුලභව දැකිය හැකි පොදු අංග වූයේ මැහුම් ගෙතුම්,ඉවුම් පිහුම්, මල් වැවීම්, නොයෙකුත් අත්කම්, ගෘහ පාලනය ආදී කාන්තාවන් සඳහාම වූ විශේෂාංගයන් ය.  නමුත් තිලක් මුල සිටම බන්දුලට දන්වා සිටි අන්දමට මේ කිසිවක් පිළිබඳ කිසිදු දැනීමක් නොතිබූ නිසා ඔහු රැජිණ පුවත්පත යොමු කළේ නව මානයකට ය. බන්දුල ඔහුට පුවත්පත කරගෙන යාමට නිදහස දුන්නා විනා ඊට ඇඟිලි ගසන්නට ගියේ නැත. එසේම රැජිණ ට ලැබුණු ප්‍රතිචාර ද බොහෝ විය.
 
"අනේ මල්ලී, ආයිත් මෙහෙම දේවල් දානවා නම් මට කලින් කියන්න. මම පත්තරේ ගෙදර ගෙනියන්නෙ නැතුව ඉන්නම්. මොකද අපේ ගෙදර පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා"
 
තිලක් රැජිණ පත්‍රයේ ලිංගිකත්වයට නැඹුරු යමක් පළ කළ විට බන්දුල කළේ එවන් සොඳුරු ව්‍යංගාත්මක අවවාදයක් දීම පමණි. තිලක් ද ඊට පිළිතුරු ලෙස " පොඩි උන්ට මේ වැල් වටාරම් තේරෙන්නෙ නෑ. අනික පොඩි උන්ට නම් අකුරු කියවන්නත් බෑනෙ බන්දු අයියේ" යනුවෙන් ඇසෙන නෑසෙන ගාණට කීව ද බන්දුල ඉන් කිපුණේ නැත. එහෙත් බන්දුලගේ ඒ ව්‍යංගාත්මක අවවාද මඟින් තිලක් තම වෘත්තිය සම්බන්ධයෙන් ස්වයං විනයක්, වාරණයක් ඇති කර ගැනීමට පෙළඹුණි.
 
නමුත් ඒ අතර " වෙන  පත්තරවල ලොකුවට පින්තූර දාලා පිටු පුරවලා   මිසක් කියවන්න දෙයක් නෑ" කියමින් රැජිණ  පුවත්පතට නැඹුරු වූ පාඨකයෝ බොහෝ වූහ.
 
2 30මැද පෙරදිග පුවත්පතට ද එම රටවල සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් බොහෝ සෙයින් ලිපි ලියූ අතර ඒවායෙහි වැඩිපුරම වූයේ ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ට අත්විඳින්නට  සිදු වී තිබෙන නොයෙකුත් ආකාරයේ කරදර ආදියයි.
 
එසේ වුවද  මෙතෙක් හිතුවක්කාරී ලෙස තම පත්තර කලාව  මෙහෙයවනු ලැබූ තිලක් ට ඒ හිතුවක්කාරකම් රැජිණ පුවත්පත තුළ සිදුකරන්නට හැකියාවක් නොතිබිණි. එය කාන්තා පුවත්පතක් වීම හේතු කොට ගෙන තිලක් තුළ ඒ සඳහා යම් පසුබෑමක් පැවතියේ ය. මේ වනවිට බන්දුල පද්ම කුමාර විසින් "මැද පෙරදිග"  පුවත්පත ද ආරම්භ කර තිබූ අතර එහි සංස්කරණ කටයුතු කළේ ද තිලක්ම ය. එම පුවත්පත මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බොහෝ සෙයින් ප්‍රචලිත වී තිබිණි. එහි කිසිදු පිටපතක් ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරුණේ නැත. එය දෙසතියකට වරක් නිකුත් කරන ලද අතර තිලක් රැජිණට වඩා නිදහස් මනසින් යුතුව  කාන්තාවන්ට වැදගත් වන සියලුම ආකාරයේ ලිපි ඊට එක් කරන්නට  වග බලා ගත්තේය. ඒ කාලයේ විදෙස් ගත වූ අය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදනය සිදු වූයේ ලිපි මගිනි. මැද පෙරදිග පුවත්පතට ද එම රටවල සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් බොහෝ සෙයින් ලිපි ලියූ අතර ඒවායෙහි වැඩිපුරම වූයේ ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ට අත්විඳින්නට  සිදු වී තිබෙන නොයෙකුත් ආකාරයේ කරදර ආදියයි. තම මව් රටේ දී  බුදුන් සේම නොයෙකුත් දෙවිවරුන් ද ඇදහූ ඔවුන්ට එම රටේදී අදහන්නට කෙනෙක් සිටියේ නැත. තනිව සිටින කෙනෙකුට දෙවියකු හෝ  ඇදහීම තුළ මානසිකව රැකවරණයක් ලැබේ. එනිසාම සමහරු අල්ලා දෙවියන් ඇදහීමට පවා යොමු වූහ. මේ සියලු දේවල් ඔවුන්ගේ ලිපිවල අඩංගු වී තිබිණි. එම ලිපි ඒ ඒ රටවල්වල  ට්‍රයිකෝ කාර්යාල මගින් ලබාගෙන  සතියකට වරක් ලොකු ලියුම් පාර්සලයක් ලෙස ට්‍රයිකෝ ආයතනය මගින්ම සුමති කාර්යාලයට එවනු ලැබිණි. මෙම ලිපිවලින්  තෝරාගත් පොදු කරුණු  සුදුසු පරිදි  මැද පෙරදිග පුවත්පතේ පළ කරන ලද අතර ඇතැම් ලිපිවලින් තෝරාගත් දේවල් රැජිණ පුවත්පතටද යොදා ගනු ලැබීය.
 
IMG 20241117 WA0001අහුන්ගල්ලේදි අනතුරට පත් බස් රථය
  
තිලක්ගේ මාධ්‍ය ජීවිතයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වූ සිදුවීම ද මේ අතර සිදු විය. එනම් 1989 වසරේ ජනවාරි මස 17 දා ය. එදින පස්වරු 2.00 ට අම්බලන්ගොඩ සිට ඌරගස්මංහන්දිය දක්වා ගමන් ඇරඹූ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් 23 ශ්‍රී 8293 දරන ලංගම බස් රථය එවකට ගේට්ටු ආදී කිසිවක් නැතිව අනාරක්ෂිත ලෙස පැවති අහුන්ගල්ල දුම්රිය හරස් මාර්ගයේ දී ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රියෙහි ගැටිණි. එම අනතුරින් ඒ බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු ඉතාමත් ඛේදනීය අන්දමින් මියගිය අතර එයින් 38 දෙනෙකුම  පාසල් නිම වී නිවෙස් බලා යන දරුවෝ වූහ. අනතුරෙන් මරණයට පත් වූ ඉතිරි දෙදෙනා මුස්ලිම් ජාතික ගුරුතුමියක් හා එම ප්‍රදේශයේ වැසියෙකි. ඒ දිනවල පුවත්පත් පිටු මෙම කණගාටුදායක සිද්ධිය සම්බන්ධ තොරතුරුවලින් පිරී තිබිණි. ඒ අනුව වෙනත් කෝණයකින් බලා මෙම සිද්ධිය  පිළිබඳව මැදපෙරදිග පුවත්පතට ලියන අදහසින්   තිලක්, ප්‍රදීප් කුමාර බාලසූරිය,  ඡායාරූප ශිල්පීන් වන ඇන්ටන් ජෝ සහ මනෝජ් රූපසිංහ සමඟ එම සති අන්තයේ   ඉරිදා දිනයේ අහුන්ගල්ල බලා ගියේය.
"අපේ දරුවට නම් මාරක අපල  තිබුණේ නෑ.  සුළු සුළු අපල වගයක් තිබිලා පහුගිය කාලේ ඒවට පොඩි කෙම්පහන් ටිකක් කළාම නිකම්ම මග ඇරිලා ගියා"
 
ඒ එක් මවක් තම මිය ගිය දියණිය ගැන සිහි කරමින් හැඬූ කඳුළෙන් කී කතාවයි.
 
තවත්  එක්  මවක් පැවසුවේ  තම පුතු ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට නියමිත නිසා කේන්ද්‍රය බැලූ විට පුතුට රාජ යෝගයක් තිබුණු බවත් ඒ අනුව ජන නායකයකු හෝ ගිහි  පඬිරුවනක් හෝ පැවිදි වුවහොත් මහානායක හිමිනමක් වන බව ඔහුගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබූ බවයි.
 
IMG 20241117 WA0003 අහුන්ගල්ලේදි අනතුරට පත් බස් රථය
 
මේ කාලයේ තිස් වෙනි වියේ පමණ පසුවූ තිලක් තුළ ද ජ්‍යෙතිෂය  පිළිබඳව සේම  සාමාන්‍ය සමාජය තුළ පවතින ගුප්ත දේවල් කෙරෙහි ද යම් පමණකට  විශ්වාසයක්  තිබිණි.  ඒ නිසාම කේන්ද්‍රවලින් කියවුණු දේ සහ යථා තත්ත්වය අතර මෙතරම් විශාල වෙනසක් පවතින්නේ කෙසේදැයි  තිලක්  එම ගමන ගොස් පැමිණි පසුවත්  කල්පනා කරන්නට විය.  යළි එම ප්‍රදේශයට තනිව ගොස් මේ පිළිබඳව වෙනම විමර්ශනයක් කිරීමට  තිලක්  තීරණය කළේය. කල් නොයවාම ඊළඟ සති අන්තයේ  උදේ  පාන්දරින්ම පිටත් වී ඔහු අහුන්ගල්ල ප්‍රදේශයට ගියේ එබැවිනි.
 
අහුන්ගල්ලේ  විශේෂත්වය නම් නූතන ජ්‍යොතිර්වේදයෙහි පියා බඳු වූ ඈපා ලිතෙහි නිර්මාතෘ  දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ගේ ගුරුවරයා වන දහ නව වන සියවසේ විසූ අහුන්ගල්ලේ ගුරුතුමා අහුන්ගල්ලේ ජීවත් වූ පඬිවරයෙකි.  එනිසා එම ප්‍රදේශයේ ජීවත් වූ සාමාන්‍ය සමාජය ද ජ්‍යොතිෂවේදය කෙරෙහි දැක්වූ  නැඹුරුව වැඩි බව සිතිය හැකිය. මිය ගිය දරුවන්ගේ උපන් වෙලාවට අනුව කේන්ද්‍රවල දැක්වුණු කරුණු සහ යම් යම් අවශ්‍යතා මත  පසුකාලීනව ඒ දරුවන්ගේ කේන්ද්‍රය බැලූ විට  ජ්‍යොතිෂවේදීන් පවසා තිබූ කරුණුද  විමර්ශනය කරන විට  ජ්‍යොතිෂය සහ සැබෑව අතර පැවැති මේ පරස්පරය පිළිබඳව ප්‍රධාන  කරුණු කිහිපයක්  අනාවරණය කර ගැනීමට  තිලක්ට හැකි විණි.
 
මියගිය දරුවන් ගේ  දෙමාපියන් වැඩි දෙනෙකු පැවසුවේ කේන්ද්‍රයට අනුව  තම දරුවාට කිසිදු අපලයක්  පිළිබඳව නොදැක්වුණු බවත්, ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කර රටේ උසස්ම තැනකට යන බවත්, රාජ යෝග පවා තිබුණු බවත් ය.
 
8 1 1මියගිය දරුවන් ගේ  දෙමාපියන් වැඩි දෙනෙකු පැවසුවේ කේන්ද්‍රයට අනුව  තම දරුවාට කිසිදු අපලයක්  පිළිබඳව නොදැක්වුණු බවත්, ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කර රටේ උසස්ම තැනකට යන බවත්, රාජ යෝග පවා තිබුණු බවත් ය.
 
සුළු සුළු අපල තිබුණත් ඒවාට ඔබින වත් පිළිවෙත් කිරීම මගින් ඒවා මඟ හැර ගත හැකි බව  ජ්‍යොතිෂවේදීන් පැවසූ බව තවත් සමහරෙක් කීහ.
 
අවසානයේ බලන විට මාරක අපල තිබුණේ දරුවන් සිව් දෙනෙකුට පමණි.
 
මේ විස්තර අනාවරණය කරගත් පසු  අකල් මරණ සම්බන්ධයෙන් මාරක අපලවලට වඩා රාජයෝග බලපාන්නේදැයි  තිලක් දිවා රෑ මුළුල්ලේ කල්පනා කරන්නට විය. සැබවින්ම ඔහුට දැනුණේ  තමා "කරකවා අතහැරියාක් බඳු"  ස්වභාවයකි.
 
නමුත් මේ විස්තර පුවත් පතකට ලිවීමෙන්  ජ්‍යෙතිෂවේදීන් වෙතින් මෙන්ම සමාජය තුළින්ද තමාටත්,  පුවත්පතටත් නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වේවි යැයි එවැනි අත්දැකීම් ලබන්නට තරම් මුහුකුරා ගිය වයසක නොසිටි  තිලක් තුළ බියක් ඇති විය. එනිසා ඔහු ඒ සම්බන්ධයෙන්  කිසිවක් නොලීවද ගුප්ත විශ්වාස පිළිබඳ ගවේෂණය තමාට සුදුසුම මාවත බව එදා අවබෝධ කරගත්තේ ය. පසුකාලීනව ගුප්ත විද්‍යාවට සම්බන්ධ ඉතාමත් පුළුල් වූ  විමර්ශන සහ ගවේෂණ සිදු කිරීමටත්,  එම ගවේෂණ ඇසුරින්  පොත්පත් ලියා මේ රටේ අනාගත පරපුර වෙත දායාද කිරීමටත් ඔහුට මූලික වශයෙන් ම මඟ පාදන ලද්දේ මෙම අහුන්ගල්ලේ ඛේදවාචකයයි.
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
සටහන - ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි :
 

තිලක මතක : තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම (පළමු කොටස)

තිලක මතක (2): බළලා ගේ මළගම වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...