සුමති ප්‍රකාශකයන්ගේ මුද්‍රණාලය පිහිටියේ අසෝකා සිනමාහල පිටුපසට වන්නට තිබූ පැරණි ගොඩනැගිල්ලක ය. මේ ගොඩනැගිලි සියල්ලටම මැද්දෙන් විශාල හිස් බිම් කඩක් පැවති අතර එම කොටසේ වාහන ගාල් කරනු ලැබිණි.
තිලක් රැජිණ පුවත් පත මුද්‍රණය කරන දවසට මෙන්ම, වරින් වර නොයෙකුත් අවශ්‍යතාවයන්ට මුද්‍රණාලයට යෑමේ සිරිතක් පැවතියේ ය. ඒ යන ඇතැම් දිනක දී ඔහුට ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන කිරිවත්තුඩුව හමුවෙයි. ඔහු සුමති ආයතනයට සම්බන්ධ වී සිටියේ නැත. එවකට මහජන බැංකුවේ ප්‍රකාශනයක් ලෙස මාස්පතා දොරට වඩින ලද "කල්පනා" සඟරාවේ මුද්‍රණ කටයුතු කළේ සුමති ප්‍රකාශකයෝ යි. කෘතහස්ථ මාධ්‍යවේදී, ලේඛක ගුණදාස ලියනගේ සූරීන් එහි කර්තෘ වූ අතර නියෝජ්‍ය කර්තෘ ලෙසින් කටයුතු කළේ කිරිවත්තුඩුව යි. තිලක්ට ඔහු සුමති කාර්යාලයේ දී ඉඳ හිට දිනෙක හමුවුණේ කල්පනා සඟරාවේ මුද්‍රණ කටයුතු භාර දුන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට සුමති කාර්යාලයට පැමිණෙන දිනවලදී ය.
චන්ද්‍රසේන කිරිවත්තුඩුව
තිලක් ව දුටු කල " මල්ලි මෙහෙ වරෙන්කෝ" කියමින් තිලක්ගේ අතකින් අල්ලාගෙන වැඩි සද්දබද්ද නැති තැනකට ගොස් ඔහු තිලක් ගේ තොරතුරු විමසා ඊළඟට කතා කරන්නේ බොහෝ විට රටේ තත්ත්වය පිළිබඳව ය.
" ඇත්තටම මොකක්ද?බං මේ රටට වෙන්න යන්නේ?"එලෙස සිය කතාව අරඹන ඔහු ඒ වන විට රටේ පැවති බොහෝ දේවල් පිළිබඳ කතා කළේ අරුචියකිනි. රූපවාහිනියේ ආගමනය පිළිබඳව කවදත් නොකැමැත්තකින් කතා කළ කිරිවත්තුඩුව එය හැඳින්වූයේ "ගෙවල් ඇතුළටම ගෙනැවිත් වස පෙවීමක්"ලෙසිනි. සැබවින්ම මේ කාලය වන විට රට යම් කිසි පෙරළියකට ලක්වෙමින් තිබූ අතර එතෙක් පැවැති සමාජ සාරධර්ම වෙනුවට බහුලත්වය, විවිධත්වය, සුඛෝපභෝගිත්වය, මහන්තත්වය වැනි නිසරු සමාජ පුරුෂාර්ථවලට වැඩි ඇගයුමක් ලැබී තිබිණි. කිරිවත්තුඩුව, තිලක් සමග සමාජයේ පැවති මෙම උඩුයටිකුරු වීම් පිළිබඳව ඉතාමත් සන්තාපයෙන් යුතුව කතා කළේය.
"ඔන්න බලපන් මල්ලී අන්තිමට රටම කාබාසිනියා වෙලා හැඳි ගෑවිලා ගිහින් තමයි මේ ගමන නතර වෙන්නේ"
"කිරි අයියට පුළුවන්නේ ඕවා ගැන ලියන්න"
"පිස්සුද බං? උකුණෙකුට පුළුවන්ද කළු ගලක් පෙරළන්න. මට හිතුනොත් මම මේ ඔක්කොගෙන්ම අයින් වෙනවා"
එදා තිලක් සමග එලෙස පැවසූ කිරිවත්තුඩුව එන්න එන්නම වර්ධනය වූ මෙම කලකිරීම මතින් දෝ පසුකාලීනව මාධ්‍යවලින් පවා ඈත් වී මිය යනතෙක්ම නිහඬ දිවියක් ගත කරමින් සිටි බව දැන ගන්නට ලැබිණි.
මෙවන් පෙරළියක් පැවති සමාජයක අපූරු අත්පත්‍රිකාවක් තිලක් ගේ නෙත ගැටුණේ අහම්බෙන් වාගේ ය. ගල්කිස්ස මහ හෝටලය මගින් නිකුත් කරන ලද ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තිබූ එම වර්ණ අත්පත්‍රිකාවෙහි සඳහන් ව තිබුණේ මෙවැනි අදහසකි.
ඒ, කන්ද උඩරට රජවාසලෙහි රජු සහ කවටයා වූ අන්දරේ අනුභව කළ ආහාර පාන ගල්කිස්ස මහ හෝටලයෙහි සෑම සතියකම එක් දිනයක දේශීය හා විදේශීය සංචාරකයන් උදෙසා පිළියෙළ වන බවයි.
කන්ද උඩරට රජවාසලෙහි රජු සහ කවටයා වූ අන්දරේ අනුභව කළ ආහාර පාන ගල්කිස්ස මහ හෝටලයෙහි සෑම සතියකම එක් දිනයක දේශීය හා විදේශීය සංචාරකයන් උදෙසා පිළියෙළ වන බවයි.
ඒ කාලයේ විශාල ගොඩනැගිලි සහිත තරු පන්තියේ හෝටල් කොළඹ බිහිවීමත් සමඟ ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිට පැවති සම්භාවනීය ගණයේ හෝටල් වන කොළඹ ගාලුමුවදොර හෝටලය, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය, තැප්‍රොබේන් හෝටලය, මහනුවර ක්වීන්ස් හෝටලය, ගල්කිස්ස මහ හෝටලය වැනි හෝටල් කෙරෙහි පෙර පැවති ජන අවධානය යම් පමණකට ගිලිහී ගොස් තිබිණි. එවැනි තත්වයක් තුළ ගල්කිස්ස මහ හෝටලය සිය අලෙවි ප්‍රවර්ධන මාර්ගයක් ලෙස වුව ද මෙබඳු ක්‍රම අනුගමනය කිරීම මොන තරම් අගනේදැයි තිලක් කල්පනා කළේ කාලයේ වැලිතලාවෙන් වැසී යමින් පැවති අපේ පැරණි උරුමයන්ට මෙමගින් නව පණක් ලැබෙන නිසා ය.
රැජිණ වැනි කාන්තා පුවත්පතකට මෙය නම් වටිනා ප්‍රවෘත්තියකි. තිලක් වහාම ගල්කිස්ස මහ හෝටලයට දුරකතන ඇමතුමක් දී මේ පිළිබඳව විමසා සිටියේ ය.
"ඔය වැඩේ කරන්නෙ මිස්ටර් පබ්ලිෂ්. ඔයාල ඇවිත් එයාව හම්බ වෙන්න. සේරම විස්තර එයාගෙන් දැනගන්න පුළුවන්"
තිලක්ට ගල්කිස්ස මහ හෝටලයෙන් ලැබුණු පිළිතුර එයයි.
1991 දෙසැම්බර 20දා රැජිණේ පළවූ පබිලිස් ද සිල්වාගේ ලිපිය සහිත පේපර් කටිං එකක්
රැජිණ උප කර්තෘ වශයෙන් කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් මල්ලවාරච්චි එවකට සරසි පුවත්පතට සම්බන්ධ වී සිටි අතර විජය පුවත් පත් සමාගමට සම්බන්ධව සිටි අනුර එස්. පී. පෙරේරා නම් මාධ්‍යවේදියකුත්, ප්‍රථම වරට කාන්තාවකුත් රැජිණ කර්තෘ මණ්ඩලයට එක්වී සිටියහ. රැජිණ ට බාහිර ලේඛිකාවන් කිහිප දෙනෙකුම ලිපි සැපයුවත් කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස ඊට සම්බන්ධ වූ ප්‍රථම කාන්තාව වන ඇය පද්මිණී කිඳෙල්පිටියයි. ඇය පුවත්පතේ සංස්කරණ කටයුතු උදෙසා තිලක්ට මහත් සහයෝගයක් දෙමින් සිටිය දී කෙටි කලකින්ම රාජ්‍ය අංශයේ රැකියාවක් ලැබ රැජිණෙන් සමුගෙන ගියාය.
තිලක්, ගල්කිස්ස මහ හෝටලයට යාමේ කාර්යය අනුරට පැවරුවේය.
"මිස්ටර් පබ්ලිෂ් කියලයි කිව්වෙ. අමුතු නමක්. සුද්දෙක් වෙන්න ඇති සමහරවිට. කමක් නෑ කවුරු වුණත්. අනුර ගිහින් මේ වැඩේ කරගෙන එන්න." තිලක් අනුරට උපදෙස් දුන්නේය.
අනුර ආපසු පැමිණියේ සෑහෙන තොරතුරු රැසක් රැගෙන ය.
තිලක් අනුර එස්. පී පෙරේරා සමග
"ඒ සුද්දෙක් නෙමෙයි තිලක් මහත්තයා. කළුම කළු සිංහලයෙක්.ඒ වගේම මාර හොඳ මනුස්සයෙක්. ජාතික ඇඳුම ඇඳලා හිටියේ. අඩු තරමින් සෙරෙප්පු දෙකක්වත් දාලා හිටියෙ නෑ. කෝකියෙකුට වඩා පරණ අහිංසක ගැමියෙකුගෙ පෙනුම තියෙන හරිම ප්‍රියමනාප මනුස්සයෙක්. පරණ දේවල් ගැන මාර දැනීමක් තියෙන්නේ."
ආපසු පැමිණි අනුර පබ්ලිෂ් මහතා ගැන මහත් පැහැදීමකින් දීර්ඝ විස්තරයක් කළේය.
"හෝටලයෙ අය පබ්ලිෂ් කියලා කිව්වට ඒක නෙමේ නම."
"එහෙනම්?" තිලක් ඇසුවේ විමතියෙනි.
"එයාගෙ ඇත්ත නම පබිලියෙස් ලු. හෝටලේ අය කියන්න පහසුවට වෙන්න ඇති පබ්ලිෂ් කියන්නේ"
ප්‍රවීණතම සූපවේදියකු වූ පබිලිස් සිල්වා
මෙම සූපවේදියාගේ ගති ලක්ෂණ ගැනත්, ඔහුගේ දැනුම පිළිබඳවත් අනුර කතා කළේ විශාල පැහැදීමකිනි. කෙසේ වුව ද හෝටලයේ අලෙවි ප්‍රවර්ධනය සලකා නොව, දේශීය දේ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් "ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෑම මේසය සියැසින් දුටුවෙමු" යන පින්තූර සහිත විශේෂාංගය 1991 දෙසැම්බර් 20 සිකුරාදා රැජිණ පුවත්පතේ පළ කරනු ලැබිණි. එහිදී සූපවේදී පබ්ලිෂ් මහතාගේ නම පළ කරනු ලැබුවේ ඔහුගේ අනුදැනුම මත සැබෑ නම වූ පබිලියෙස් ද සිල්වා ලෙසිනි. ඒ අනුව මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද සුපතල, අප රටේ ප්‍රවීණතම සූපවේදියකු වූ පබිලිස් සිල්වාගේ මුල්ම පුවත්පත් ලිපිය පළ කළේ තිලක් විසින් රැජිණ පුවත් පතේ බව සනාථ කළ හැකිය.
කන්ද උඩරට රාජ්‍යයේ එවකට පැවැති, දැන් බොහෝ විට අපට අසන්නටවත් නොමැති ආහාර වට්ටෝරු රාශියක් පිළිබඳව සූපවේදී පබිලියෙස් දැන සිටියේය. ඉන්පසු දිගින් දිගටම රැජිනට එවැනි සාම්ප්‍රදායික කෑම වට්ටෝරු විශේෂාංගයක් "රජ කාලේ කෑම බීම" ලෙසින් සතිපතා පළ කරන ලද අතර නිවර්තනා පෙරේරා යන අන්වර්ථ නාමයෙන් එම ලිපි පෙළ දිගින් දිගටම ලිව්වේ අනුර ය.
එවකට සිරස රූපවාහිනිය පැවතියේ නැත. ඒ වෙනුවට එම ආයතනයේ පැවතියේ එම්ටීවී රූපවාහිනී චැනලය යි. එහි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස කටයුතු කළ සනත් නන්දන දිනක් තිලක්ව අමතා පබිලිස් ගේ ලිපි පෙළ ගැන ප්‍රශංසාත්මකව කතා කර තමන් විසින් එම්ටීවී රූපවාහිනියෙහි නිෂ්පාදනය කරන "ලිය තඹරා" කාන්තා වැඩසටහනට ඔහුව සම්බන්ධ කර ගත හැකිදැයි තිලක්ගෙන් විමසීය. තිලක් එම උපකාරය කළේ බොහෝ කැමැත්තෙනි. ඊට සතියකට හමාරකට පමණ පසු ලිය තඹරා වැඩසටහනට පබිලිස් සිල්වා සම්බන්ධ කරගෙන තිබිණි. ඒ පබිලිස් ගේ ප්‍රථම රූපවාහිනී වැඩසටහනයි. මුල් කාලයේ රැජිණ පුවත්පතේ පබිලියෙස් ද සිල්වා නමින් ඒ මහතාගේ නම භාවිතා වුණද පසු කලෙක පබිලිස් සිල්වා නමින් ඒ මහතා ප්‍රකට විය. ඉන්පසු දිගින් දිගටම පබිලිස්ව පුවත්පත් සහ රූපවාහිනී වැඩසටහන්වලටද සම්බන්ධ කරගැනිණි. ඒ මහතා අතිශයින්ම ප්‍රකට වූ පසු මුලින්ම ඔහු මාධ්‍යයකට සම්බන්ධ කරගත්තේ තමන් යනුවෙන් සමහර පුවත්පත් කතුවරියන් ප්‍රසිද්ධියේ පවා ප්‍රකාශ කර තිබුණත් සැබෑව නම් ඒ ගෞරවය හිමි වන්නේ රැජිණ පුවත්පතට බව ඉහත සඳහන් කාල රාමුව අනුව සනාථ කළ හැකිය.
ඒ කාලයේ රැජිණට පාඨක කාන්තාවන්ගේ ලිපි නිරන්තරයෙන් ලැබිණි. ජංගම දුරකතන නොතිබූ නිසා අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රකටම මාධ්‍ය වූයේ ලියුම් ලිවීමයි. තමන්ගේ ගැටලු නිරාකරණය කරගැනීමට ගුප්ත විද්‍යාව පසුපස ගොස් අමාරුවේ වැටුණු කාන්තාවන්ගේ එම දුක්ගැනවිලි ඇතුළත් ලිපි මේ අතර සුලභ විය. ඔවුහු මිල මුදල්, රන් ආභරණ වැනි දේවල් පමණක් නොව ඇතැම් විට චරිතය පවා මේ හොර සාස්තරකරුවන් නිසා අහිමි කරගෙන සිටියහ. මෙවැනි කූට පුද්ගලයන්ගේ ගැටවලට හසු වීම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ඉතා වැඩි ය. අහුන්ගල්ලේ ඛේදවාචකය පිළිබඳව පුවත්පතකට ලියා ගැනීමට නොහැකි වූ එම මියගිය දරුවන්ගේ කේන්ද්‍ර පිළිබඳ විස්තර ද මනසෙහි තැන්පත් වී පැවති නිසා ඒ වන විට සමාජයේ ලොකු කතිකාවතක්ව පැවති මෙම ගුප්ත විද්‍යා ඛේදවාචකය පිළිබඳ තනිව ගොස් රහසේ තොරතුරු විපරම් කිරීමට තිලක් ඉටා ගත්තේය.
තිලක් ගුප්ත විද්‍යා අධ්‍යයනයකට ගිය අවස්ථාවක්
ඔහු එම ගමන් ගියේ කලිසමක්, ටී ෂර්ට් එකක් ඇඳ සාමාන්‍ය සෙරෙප්පු යුවළක් පය ලා සාස්තර ඇසීමට එන සාමාන්‍ය මිනිසෙකු පරිද්දෙනි. ඇතැම් විට ඔහු පැය ගණන් වරු ගණන් එවැනි ස්ථානවල ගත කළේය. මෙබඳු ස්ථාන ගණනාවකටම ගොස් උකහා ගත් තොරතුරු අනුව පැහැදිලි වූයේ සාස්තර කියන්නන් අනුගමනය කරන්නේ එකම රටාවක්, එසේත් නැත්නම් ක්‍රමයක් බව ය.
තිලක් මේ වන විට මනාව පසක් කර ගෙන හිඳින අන්දමට මුලින්ම ඔවුන් කරන්නේ තම ගනුදෙනුකරුවාගේ මනසට කරුණු හතරක් පහක් එකවර පිවිසුවාලීම ය.
තිලක් ගේ විශ්ලේෂණයට අනුව ඔවුන් වැඩිපුරම අසන්නේ පොදු ප්‍රශ්න කිහිපයකි. මෙවැනි තැනක පිහිට පතා යන්නේ අනිවාර්යෙන්ම ගැටලුවක් තිබෙන කෙනෙක් නිසා මේ අය විමසන ප්‍රශ්නවලින් කුමක් හෝ එකක් නැත්නම් කිහිපයක් වුවද ඔවුන්ගේ ගැටලුවට අදාළ වනු ඇත. මෙලෙස ප්‍රශ්න විමසා ගනුදෙනුකරුවාගේ කටින්ම ඔහුගේ ප්‍රශ්නය ගැන දැන ගන්නා සාස්තරකරුවාට හෝ කාරියට ඉතා පහසුවෙන් දිගින් දිගට යමින් මොනවා හෝ කියා අර අසරණ වී සිටින පුද්ගලයාගෙන් සෑහෙන ගාණක් "කොටා ගැනීම" වැඩි මහන්සියකින් තොරවම කළ හැකි ය.මෙලෙස තමන් හමුවට ඉදිරිපත් වන බහුවිධ සාධක එකිනෙක ඉවත් කොට අවසානයේ සැබෑ සාධකය පමණක් ගොනු කර ගැනීම අනුයාත බැහැරලීම (Process of elimination ) ලෙස හැඳින්වෙන බව ඔහු පසුව දැන උගත්තේ ය.
ඒ අනුව මෑණිවරුන් ලෙස හඳුන්වා ගත් සාස්තරකාරියන් ගෙන් සාස්තරයක් අසන්නට යාම පසුව ඔහු ගේ විනෝදාංශයක් බවට පත් විය. මුලින් නොම්මරයක් ලබාගන්නා තිලක් තමන්ගේ වාරය පැමිණෙන්නට ආසන්නව තිබියදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි කුඩා ටේප් රෙකෝඩරයද කාටත් හොරා ක්‍රියාත්මක කරගනියි.
ඔහු ඇතුළට ගිය පසු ආවේශ වූ සාස්තරකාරිය හෙවත් මෑණිවරුන්
හොර සාස්තරකරුවන්ගේ ගැටවලට හසු වීම පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ඉතා වැඩි ය.
"තාම ඔය ප්‍රශ්නෙන් බේරුමක් නෑ නේද දරුවා? ඔව් නම් ඔව් කියපන්. නෑ නම් නෑ කියපන්"
තිලක්ගෙන් විමසූ පළමු පැනය එය විය.
" නෑ"
"ප්‍රාණයක් සම්බන්ධ යමක් පෙන්නුම් කරනවා දරුවා. ඔව් නම් ඔව් කියපන්, නෑ නම් නෑ කියපන්"
"නෑ"
"මේක භූමියට සම්බන්ධ කාරණාවක් දරුවා. ඔව් නම් ඔව් කියපන්, නෑ නම් නෑ කියපන්"
"භූමියකට නම් සම්බන්ධ නෑනෙ"
තමන් එසේ කී එවන් එක් අවස්ථාවක සාස්තරකාරියට තරමක් කේන්ති ගිය බව තිලක්ට පෙනිණි.
"එහෙනම් දරුවා මොකක් ගැනද ඔය අහන්නේ?"
"මගෙ මේ මල් පැල වගයක් නැති වෙලා මෑණියො;ඒකයි " තිලක් බොහෝ අවිහිංසක ලීලාවක් මවාගෙන පැවසුවේ කිසිසේත්ම සත්‍යයක් නොවූ මුසාවකි.
"ඉතින් දරුවෝ මල් පැල තියෙන්නේ භූමියේනෙ"
සාස්තරකාරිය පැවසුවේ පිටත සිටින අයට ද ඇසෙන සේ හඬ නගා ය.
"ඒවා තිබුණේ පෝච්චිවල. පෝච්චි පිටින්මයි අරගෙන ගිහින් තියෙන්නේ"
"ඔය දරුවට මෙච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද?. පෝච්චි තියෙන්නේ භූමියේ නෙමෙයි නම් වෙන කොහෙද?"
"නෑ,මෑණියෝ ඒවා නම් තිබුණේ භූමියෙ නෙවෙයි වහලෙ එල්ලලා; ඒකයි"
"පුතේ උඹට පෙරේත දිෂ්ටියක් තියෙනවා. ඒකයි ඔහොම බහු බූත විකාර කියවෙන්නේ. උඹේ මවු පාර්ශවයේ මළගිය ප්‍රාණකාරයෙක් උඹට වැහිලා ඉන්න බව පෙන්නුම් කරනවා"
මෙම සාස්තරකාරිය සමඟ මෙලෙස කරන කතා බහෙන් තිලක් සිත ඇතුළතින් භුක්ති වින්දේ මහත් වූ ආශ්වාදයකි. නමුත් ඔහු බොහෝ අහිංසක ලීලාවක් මවාගෙන එතැන සිටගෙන සිටින අතරේ හිස නොහරවා ඇස් කොනින් පමණක් දෙපස සිටින අය දෙස බලන්නට අමතක කළේ නැත. ඔවුන් තිලක් කෙරෙහි මහත් අනුකම්පාවෙන් දුක් මුසුව බලා සිටිනු තිලක්ට පෙනිණි.
මේ අතර මළගිය ප්‍රාණකාරයන් ගෙන්වන බවට ප්‍රසිද්ධ ව තිබූ තැනක් දොම්පෙ ප්‍රදේශයේ පැවතියේය. එය එකල කොයි තරම් ප්‍රසිද්ධ දැයි කිවහොත් උදේ පාන්දරින් නොම්මරයක් ලබා ගැනීම සඳහා එම දේවාලය අසල තිබූ පාළු නිවසක රාත්‍රියේ පැමිණ සමහරුන් නතර වී සිටින බවද දැනගන්නට ලැබිණි.
එක්තරා දිනෙක තිලක් ද මෙම ස්ථානයට ගියේය. කෙසේ හෝ නොම්මරයක් ලබාගෙන තිලක්ටද දේවාලය ඇතුළට යාමට අවස්ථාව ලැබිණි. මෙහිදී ද ඔහු ඇතුළට ගියේ කාටත් නොදැනෙන සේ සාක්කුවේ තිබූ කුඩා ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කරගෙන ය.
මළගිය ප්‍රාණකාරයන් ගෙන්වන බවට ප්‍රසිද්ධ ව තිබූ තැනක් දොම්පෙ ප්‍රදේශයේ පැවතියේය.
"මිය ගිය ප්‍රාණකාරයෙක් ව සිහියේ තියා ගන්න දරුවා"
තිලක්ට එසේ කී සාස්තරකාරිය තම අතේ වූ කුඩා සීනුව සොළවමින් මොන මොනවාදෝ දොඩවන්නට වූවා ය.
"පුතේ, පුතේ මං ආවා පුතේ උඹ ළඟට"අනතුරුව ඇය වෙතින් නැඟුණේ මහලු කාන්තා හඬකි.
තිලක්ට අපූරු නුවණක් පහළ විය.
"අනේ; මේ පුංචි අම්මා නේද?"
තිලක් ඇසූවේ දුක් මුසු ලෙස ය. ඔහු මෙහිදී පුංචි අම්මා යැයි කීවේ හිතා මතාම ය. පුංචි අම්මා යනුවෙන් අමතන්නට ඔහුට කිසිවකු සිටියේ නැත. ඔහුගේ මවට බාල සහෝදරියක් නොමැත. එසේම පියාට බාල සහෝදරයෙක් නොසිටි නිසා තිලක්ට බාප්පා කෙනෙකු නොමැති වීම මත ඒ අයුරින් හෝ ඥාතිත්වයෙන් පුංචි අම්මා කෙනෙක්වත් නොසිටියේය. සමීප ඥාතීන් අතර ද පුංචි අම්මා යනුවෙන් විශේෂයෙන් ඇමතූ කෙනෙක් ඔහුට සිටියේ නැත. නමුත් සාස්තරකාරිය දැන් ඔහුගේ කෙමනට හසුවී සිටියි.
"අනේ පුතේ පුතා මාව අඳුන ගත්තා නේද? මං උඹේ පුංචි අම්මා තමයි" එසේ කියමින් ඇය හඬන්නට පටන් ගත්තාය. ඇය තවදුරටත් නොමග යැවිය යුතු යැයි කල්පනා කළ තිලක් ද හැඬුම් ස්වරයෙන්ම,
"අනේ පුංචි අම්මේ, පුංචි අම්මා මහරගම ඉන්න කාලේ මට බලන්න එන්නවත් බැරි වුණා" යැයි පැවසුවේ ඊළඟට සාස්තරකාරිය තමාට දෙන පිළිතුර ගැන දැනගෙනම ය.
තමා කෙරෙහි අනුකම්පාවෙන් ඒ සමහරුන් දෑසට නැගුණු කඳුළු පිසදා ගන්නා අයුරු ඇස් කොනින් ඔවුන් දෙස බැලූ තිලක් දුටුවේය.ඒ අනුව ඔහු ද යටි තොළ කණ පිට ගසා කට ඇද කර ගත්තේ ය.
"අනේ, ඔව් පුතේ මම පිළිකාවක් හැදිලා ගොඩක් දුක් වින්දා මහරගම ඉස්පිරිතාලෙ"
තිලක්ගේ එල්ලය නිවැරදි විය. ඔහු මහරගම යැයි කීවා මිස පිළිකාවක් ගැන කීවේ නැත. රෝහලක් ගැන කීවේත් නැත. නමුත් තිලක් හඬන ස්වරයෙන් මහරගම යැයි කී කල ඔහුව විශ්වාස කළ සාස්තරකාරිය පිළිකාවක් සහ පිළිකා රෝහල ගැන පූර්ව නිගමනයකට එළඹුණා ය. තමාට කවදාවත් නොසිටි පුංචි අම්මා කෙනෙක් පිළිකාවක් වැළඳී මහරගම පිළිකා රෝහලේ දුක් විඳ මියගිය කතාවක් තමා විසින් දක්වන ලද ව්‍යාජ තොරතුරු ඔස්සේ සාස්තරකාරිය විසින්ම නිර්මාණය කරගෙන හිඳී. එපමණකින් නොනැවතුණු ඇය සාස්තර ඇසීම පිණිස පැමිණ සිටි අනෙකුත් ජනයාට ද ඇසෙන සේ එය දක්වන්නීය. තමා කෙරෙහි අනුකම්පාවෙන් ඒ සමහරුන් දෑසට නැගුණු කඳුළු පිසදා ගන්නා අයුරු ඇස් කොනින් ඔවුන් දෙස බැලූ තිලක් දුටුවේය.ඒ අනුව ඔහු ද යටි තොළ කණ පිට ගසා කට ඇද කර ගත්තේ ය.
"අඬන්න එපා පුතේ මං ආවේ උඹට උදව් කරන්න.මොනවද මගෙන් කෙරෙන්න ඕනේ" සාත්තර කාරිය කාන්තා කට හඬකින් කීවා ය.
"මට ලොකු මස්සිනාගෙන් බේරෙන්නම බෑ පුංචි අම්මේ"
තිලක් එසැනින් තවත් ලොකු බොරුවක් ගොතා කීයේ හැඬුම් ස්වරයෙනි. ඔහුට එලෙස ලොකු මස්සිනා ලෙස හඳුන්වන්නට කෙනෙක් සිටියේ ද නැත.
"මං දන්නවා මගේ පුතේ, ඕකා ඒ කාලෙත් උඹලට කිසි හොඳක් කළේ නෑනේ"
එසේ කී සාස්තරකාරිය තමන්ට අවශ්‍ය තැනට පැමිණියේ ඊළඟට ය. ඇය තිලක්ට මෙසේ කීවාය.
"අනේ පුතේ මං දැන් ඉන්නේ බොහොම නරක තැනක. මට ඉස්සෙල්ලා පින් දීලා මාව මේ ආත්මයෙන් ගලව ගනින්. ඊට පස්සේ මං සුගතියකට යනවා. එතකොට මට පුළුවන් උඹට උදව් කරන්න. උඹල ඉතින් ඔය මළ ඉලව් දාන නම් දුන්නා තමයි. ඒත් ඒවායින් තඹේක වැඩක් වුණේ නෑ බං මට"
"මොකක්ද පුංචි අම්මේ මගේ අතින් කෙරෙන්න ඕනේ?"
"පත්තිනි මෑණියන්ට පූජාවක් තියන්න ඕනෙ. ඊට පස්සේ ඒ පින් මට අනුමෝදන් කළාම මම මේ ආත්මයෙන් මිදෙනවා"
"පත්තිනි මෑණියන්ට පූජාවක් තියන්න ඕනෙ. ඊට පස්සේ ඒ පින් මට අනුමෝදන් කළාම මම මේ ආත්මයෙන් මිදෙනවා" එසේ කී සාස්තරකාරිය නොතේරෙන බසින් මොනවාදෝ කියමින් තත්පර ගණනක කෙටි කාලයක් වේගයෙන් වෙව්ලමින් දඟලා ඊළඟට නින්දෙන් පිබිදුණාක් මෙන් සාමාන්‍ය තත්ත්වයට පත්විය.
"කොහොමද දරුවා සාත්තරේ හොඳට කියවුණාද?" ඇය ඇසුවේ සාමාන්‍ය කටහඬිනි
" අනේ ඔව් ඔව් මෑණියෝ"
"මොනවද කියවුණේ?"
"පත්තිනි පූජාවක් කරන්න කිව්වා"
" අප්පා! එහෙමද?එහෙම නම් ඒක කොහොම හරි කර ගන්න" ඇය පැවසුවේ මහත් බැරෑරුම් පෙනුමක් මුහුණේ මවා ගනිමිනි.
"එහෙමයි"
" හොඳයි පුතේ එහෙනම් පූජාවට අවශ්‍ය බඩු ලයිස්තුව ලියව ගන්න. විස්තර එතනින් කියයි"
එසේ පැවසූ ඇය ඊළඟ නොම්මරයට කතා කළ අතර තිලක් කුඩා ඩෙස්ක් එකක් තබාගෙන වාඩිවී බඩු ලයිස්තු ලියමින් සිටින තැනැත්තා වෙත ළං විය.
තිලක් විස්තරය කී පසු ලියන්නා සිහින් දිග කඩදාසි තීරුවක දීර්ඝ බඩු ලැයිස්තුවක් ලිවීය.
තිලක් විස්තරය කී පසු ලියන්නා සිහින් දිග කඩදාසි තීරුවක දීර්ඝ බඩු ලැයිස්තුවක් ලිවීය.
" මේ බඩු හොයා ගන්න එක හරියටම පිරිසිදුවටම කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩේ එච්චර සාර්ථක වෙන්නෙ නැතිවෙයි. එහෙම වුණොත් ඉතින් මෑණියන්ටත් හොඳ නෑ. මෙහෙන් බඩු ටික සේරම හොයලා කරන්නත් පුළුවන්. ඒකට මුදලක් අය කරනවා. අපි ඒවා ගැන හොඳින්ම දන්න නිසා පිරිසිදුවට ටක්කෙටම වැඩේ කරනවා."
" එහෙම නම් ඒ විදිහට කරමු. මටත් ඕනේ වැඩේ හරියටම කරගන්න තමයි" තිලක් මෝඩ සිනාවක් මවාගෙන කීවේ එයට ලියන්නා දෙන පිළිතුර කුමක් විය හැකිදැයි දැනගන්නා අටියෙනි.
"ඒක තමයි කරන වැඩේ හරියට කරගන්න එපායැ නේද?
"බඩු ටිකට කීයක් යනවද?"
තිලක් ඊළග ට ඇසීය.
ඊට ඒ තැනැත්තා දුන් පිළිතුර හරියටම තිලක්ට දැන් මතක නැතත් එය රුපියල් 4872 ක් වැනි ඇද ගණනක් බව ඔහුට අනුමාන වශයෙන් මතකයක් තිබේ. ඔවුන් මෙසේ රවුම් ගණනක් නැතිව ඇද ගණනක් පවසන්නේ බඩුවලට යන නියම මුදලම පමණක් අය කළ බවට ගනුදෙනුකරුවන් ට ඒත්තු ගන්වන්නට ය. එමගින් ගනුදෙනුකරුවන් තුළ විශ්වාසයක් ඇති කර එ තුළින් තම අවංකභාවය පෙන්නුම් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. කෙසේ වුවද ඔවුන්ගේ බඩු ලයිස්තුවට යන මුදල පමණක් අද කාලයේ හැටියට නම් රුපියල් විසි දහස ඉක්මවනු ඇත. ඔවුන් පවසනුයේ එම බඩුවලට යන වියදම හැරුණු කොට මෑණියන් පූජාව සඳහා කිසිදු මුදලක් අය නොකරන බව ය. මතුපිටින් ගනුදෙනුකරුවන්ට එසේ ඇඟෙව්වද, ඔවුන් ඒ වන විටත් තමන්ට අවශ්‍ය ගසා කෑමේ සැලසුම ක්‍රියාත්මක කොට හමාර ය.
"එහෙම නම් දැන් බඩුවලට ඇඩ්වාන්ස් එකක් දීලා යනවද?අපිත් ඕඩර් කරලා ගෙන්නා ගන්නත් එපායැ" ලියන්නා ඇසීය.
"අද නම් සල්ලි ගෙනාවෙ නෑ. මම හෙට උදෙන්ම අනිවාර්යෙන් එන්නම්"
"ඔව් පුළුවන් තරම් ඉක්මනට කරගන්න එක තමයි හොඳ. ඕවා කල් දදා ඉන්න එකෙන් තමන්ටමයි එක එක විපත්ති සිද්ධ වෙන්නේ"
ලියන්නා කීවේ බොහොම ගාම්භීර මුහුණක් මවා ගනිමිනි.
ඊට ටික කලකට පසු තිලක් මේ විස්තරය ඇතුළත් කොට පුවත්පතකට ලිපියක් ලිව්වේ මෙවැනි බොරුකාරයන්ට හසුව තමන්ගේ පිච්චිය නැති කරගනිමින් තවත් කබලෙන් ළිපට වැටෙන අහිංසක මිනිසුන් කෙරෙහි හට ගත් දැඩි අනුකම්පාව නිසාම ය.
ටික දිනකින්ම තිලක්ගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ලැබිණි.
ටික දිනකින්ම තිලක්ගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ලැබිණි.
"මොනවද බල්ලෝ තෝ මේ පත්තරවලට ලියන්නේ"
ඇගේ මුල් වචන කිහිපයෙන්ම ඇය දොම්පේ සාස්තරකාරිය බව තිලක් හඳුනා ගත්තේ ඒ හඬ කුඩා ටේප් රෙකෝඩරයෙන් යළි යළිත් අසා තිබූ බැවිනි. ඇය කෙසේ හෝ තම නිවසේ දුරකථන අංකය සොයාගෙන ඇති සේ ය.
"අප්පට සිරි...මේ... අපේ කාලි අම්මානේ" තිලක් සිනාවක් පාමින් කීයේ ඇය කෝප ගන්වන්නට ය.
"පර බල්ලා තොගෙ.......(ඇය අමු තිත්ත කුණුහරුපයක් කීවාය.) තෝ හිතුවද යකෝ පත්තරේට ලියුම් දාලා මට කෙළින්න? තෝ දැනගන් මම තොට කරන දේ .........(කුණුහරුපයකි).තව වැඩි දවසක් නොගිහින් තෝ මැරෙන්නෙ කුණු වෙලා පණුවෝ ගහලා ලේ බඩ ගිහින්..... (තවත් කුණුහරුප වැලකි)"
මේ ආදී වශයෙන් කුණුහරුප ගණනාවක් සමගින් මුසුකොට ඇය කී සියලු වදන් තිලක් අසා සිටියේ සිනාසෙමිනි. ඔහු තුළ ඇගේ වදන් සම්බන්ධයෙන් කිසිදු කෝපයක් ඇතිවූයේ නැත. ඒ වෙනුවට දැනුණේ ඇය කරනු ලබන මෙම වංචාකාරී ක්‍රියාවලට තමන් ලියූ පුවත්පත් ලිපියෙන් කොතරම් පහර වැදී ඇතිදැයි යන ආත්ම තෘප්තිය ය. ඉන් වසර ගණනකට පසු නිකමට මෙන් මෙම සාස්තරකාරිය පිළිබඳ තොරතුරු සොයා බැලූ තිලක්ට දැනගත හැකි වූයේ ඇය වියපත් වීමටත් පෙරම රෝගී වී සෑහෙන කාලයක් බොහෝ දුක් විඳ මියගොස් ඇති බව ය.
ලබන සතියේ යළිත් හමුවෙමු.