The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රින්ස් ගුණසේකර : 'අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව" යළි ජනගත කිරීම | ලයනල් බෝපගේ

T

The Leader Desk

December 22, 2024 • 2:44 PM

ප්‍රින්ස් ගුණසේකර : 'අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපැවසූ කතාව" යළි ජනගත කිරීම | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාල්ල දිස්ත්‍රික්කයේ කතළුවේ ඉපදුණ ප්‍රින්ස් සහෝදරයා 1960 මාර්තුවේ මුලින්ම හබරාදූව මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වී, 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් යලිත් තේරී පත් වුනා.
  • කෙසේ වෙතත්, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතත්, ඒ යටතේ පවත්වන්නට යෙදුණු නඩු විභාගත් සම්බන්ධයෙන් පාලක සභාග ආණ්ඩුවේ නායකයන් සමඟ ඇති වුන ගැටුම් හේතුවෙන් ඔහු ස්වාධීන මන්ත්‍රීවරයෙක් බවට පත් වුනා.
  • ප්‍රින්ස් සහෝදරයාගේ මතවාදී විකාශනය දෙස බැළුවොත්, 1950 ගණන්වල පැවතුන පැරණි වාම දේශපාලනයෙන් පටන් ගෙන ඔහු 1970 දශකයේ දී ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ව කටයුතු කරන තත්වයට වෙනස් වුනා.
  • දී, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ රැජිනගේ රජය පෙරලා දමන්නට කුමන්ත්‍රණය කරන ලද බවට පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


හිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි,

දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහු විසින් ලියන ලද අගනා කෘතිය යළි ජනගත කරන මෙම සුවිශේෂී අවස්ථාවේ පණිවිඩයක් ලබා දෙන්නට මට කරන ලද ආරාධනාව ගැන ප්‍රින්ස් සහෝදරයාගේ දියණිය, ගේෂ්ණි ගුණසේකර මහත්මියට මගේ කෘතඥතාවය පළ කරනවා.

WhatsApp Image 2024 12 14 at 3.22.03 PM 2
ගාල්ල දිස්ත්‍රික්කයේ කතළුවේ ඉපදුණ ප්‍රින්ස් සහෝදරයා 1960 මාර්තුවේ මුලින්ම හබරාදූව මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වී, 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් යලිත් තේරී පත් වුනා. කෙසේ වෙතත්, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතත්, ඒ යටතේ පවත්වන්නට යෙදුණු නඩු විභාගත් සම්බන්ධයෙන් පාලක සභාග ආණ්ඩුවේ නායකයන් සමඟ ඇති වුන ගැටුම් හේතුවෙන් ඔහු ස්වාධීන මන්ත්‍රීවරයෙක් බවට පත් වුනා.

ප්‍රින්ස් සහෝදරයාගේ මතවාදී විකාශනය දෙස බැළුවොත්, 1950 ගණන්වල පැවතුන පැරණි වාම දේශපාලනයෙන් පටන් ගෙන ඔහු 1970 දශකයේ දී ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ව කටයුතු කරන තත්වයට වෙනස් වුනා. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු නොකඩවා පෙනී සිටියා. ලංකාවේ දේශපාලන භූමියේ මෙන්ම නීති ඉතිහාසයේ ඔහු ප්‍රධාන චරිතයක්.

1971 පටන්, ප්‍රින්ස් සහෝදරයා සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරවලට සම්බන්ධ වී කටයුතු කලා. බාලා තම්පෝ සහෝදරයා, ක්ෂමා ජාත්‍යන්තරයේ ඇවබරි සාමිවරයා වගේ තවත් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එක්ක සහයෝගයෙන් කටයුතු කළ ඔහු ලංකාව පුරා දියත් කර තිබුන රාජ්‍ය මර්දනය පිළිබඳව කරුණු සොයා බැළුවා.

1972 දී, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ රැජිනගේ රජය පෙරලා දමන්නට කුමන්ත්‍රණය කරන ලද බවට පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා. ප්‍රින්ස් සහෝදරයාත්, අනෙකුත් නීති කණ්ඩායමුත් කොමිසමේ නීත්‍යානුකූල භාවය ගැන ප්‍රශ්න කොට විරෝධය පළ කර සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට කොමිෂම ඉදිරියේ පෙනී සිටීම තහනම් කෙරුණා. මේ සදාචාරාත්මක නිර්භීත කටයුත්ත අවධාරණය කරන්නේ යුක්තිය සඳහා ඔහු තුල තිබුන කැපවීම යි.

frgte45t4
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදෙන්නට තිබෙන අයිතිය වෙනුවෙන් ඔහු දිගටම පෙනී හිටියා. කතළුවේ තිබුන ඔහුගේ පාරම්පරික නිවස අපගේ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නට ඉඩ හැර තිබුනා. 1982 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මූලස්ථානය වුනේ රොස්මිඩ් පෙදෙසේ තිබුනු ඔහුගේ නිවස යි. සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ම විනාශ කර දමා, වසර හයකින් පාර්ලිමේන්තු කාලය දික් කර ගත් අපකීර්තිමත් “ලාම්පු - කළ ගෙඩි” ජනමත විචාරණයට එරෙහිවත් ප්‍රින්ස් සහෝදරයා පෙත්සමක් ගොනු කළා.

නව පරම්පරාවේ මානව හිමිකම් නීතිඥයින් සමග ඔහු කරන ලද වැඩ කටයුතු වලින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ මර්දනය ගැන කරුණු ඉස්මතු කලා. ප්‍රින්ස් සහෝදරයාගේ බාල සොහොයුරියගේ පුත්‍රයා වූ කාංචන අබේපාල මෙන්ම චරිත ලංකා පුර සහ විජයදාස ලියනාරච්චි වැනි සහෝදරවරු ගැන මේ අවස්ථාවේ සඳහන් කිරීමට මා කැමතියි. අසූව දශකයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වුනු අයගේ ඕනෑ එපා කම් වෙනුවෙන් ඔවුහු පෙනී සිටියා. රජයේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය එන්න එන්නම උත්සන්න වුනා. 1989 වන විට නීතිඥයින් 15 දෙනෙකුට වැඩි දෙනෙක් ඝාතනය කර තිබුනා. මේ අවස්ථාවේ ඔවුන්ව සිහිපත් කර අපගේ ප්‍රණාමය පල කර සිටීම අපේ යුතුකමක් ලෙස මා කල්පනා කරනවා.

1980 ගණන්වල අග භාගයේ දී රාජ්‍ය හමුදාවලින් එල්ල වුන තර්ජන උත්සන්න වීම නිසා ප්‍රින්ස් සහෝදරයාටත් ඔහුගේ පවුලේ අයටත් ශ්‍රී ලංකාව හැර යන්නට සිද්ධ වුනා. රටින් පිටත හිටියත් ඔහු මානව හිමිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් දිගටම කටයුතු කලා.

dye565
ඔහු රචනා කල "A Lost Generation: Sri Lanka in Crisis: The Untold Story" නමැති කෘතිය ලංකාවේ පැවති අඳුරු යුගය පිළිබඳ ඉතිහාස කතාවක්. 1977 සිට 1990 දක්වා සිදු කෙරුණ දේවල් පිළිබඳ ගැඹුරු වාර්තාවක් එයින් ඉදිරිපත් කෙරෙනවා. ඔහු ඒ කාලයේ සිටි ජනාධිපතිවරුන් නම් කොට ඇත්තේ සහමුලින්ම බලය අල්ලා ගැනීම සඳහා අසීමිත කෑදර කමින් පෙළුණු සීරියල් මිනීමරුවන් ලෙසට යි. 1982 වංචනික ජනමත විචාරණය, 1988-89 දී කරන ලද ම්ලේච්ඡ ක්‍රියා සහ ඒ කාලයේ පැවති රාජ්‍ය මර්දනය වැනි දේ වලින් ගහන ලංකාවේ දේශපාලන ගමන් මඟ පිළිබඳව මෙම කෘතිය බොහෝ කරුණු දක්වා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන ලද 1983 කළු ජූලි සංහාරය, දිවයිනේ ඉතිහාසයේ බරපතල වගේම තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කලා. රජය මැදහත් වී දෙමළ ජනයාට එරෙහිව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය කඩතුරාවක් වශයෙන් යොදා ගෙන ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය, සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තහනම් කලා. මෙම සංහාරයෙන් පසු විමුක්ති කොටි සංවිධානය අතිශයින් ශක්තිමත් එකක් බවට පත් වුනා.

රජය ජනතා විමුක්ති පෙරමුණ මර්දනයට ලක් කරමින්, භීෂණය රට පුරා දියත් කරමින් ඊට එරෙහිව පනවා තිබුන තහනම දිගටම පවත්වා ගෙන ගියා. රජයේ ඒ ක්‍රියාකාරිත්වය තමයි අවසානයේ දකුණේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වයට මඟ පෑදූයේ. ඊට සමාන්තරව දෙමළ ජන ප්‍රජාවත් ද භීෂණයට ලක් කෙරුණා. එයින් උතුරු නැගෙනහිර ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරය තව තවත් ශක්තිමත් වුනා. මේ මර්දනය සදහා දකුණේ දී යොදා ගත් ප්‍රා, කළු බළල්ලු, කහ බළල්ලු වැනි රාජ්‍ය අනුග්‍රහය ලද, දඬුවම් නොමැතිව ක්‍රියාත්මක වුන ඝාතක කණ්ඩායම් පිළිබඳව ප්‍රින්ස් සහෝදරයාගේ කෘතියෙන් කරුණු හෙළිදරව් කර තිබෙනවා.

සංහාරය පටන් ගත් සැණින් රෝහණ සහෝදරයා යටි බිම් ගත වුන බව අප දන්නවා. දේශපාලනිකව මම ඔහු ගත් තීරණයට එකඟ වුනේ නෑ. මක්නිසාද, කළු ජූලි සංහාරය පිටු පස හිටියේ ජනතා විමුක්ති පෙරමුණ ය යනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබුන මතය ජනතාව තුල තහවුරු කර ලන්නට එයින් ඉඩකඩ සැළසෙන නිසා.

sertw45d

යටි බිම් ගතව සිටීමෙන් බලාපොරොත්තු වුන දේශපාලන අරමුණු ඉටු කර ගන්නට නොහැකි බව ප්‍රින්ස් සහෝදරයාටත් තේරෙන්නට ඇති. ආණ්ඩුව මවා තිබෙන චිත්‍රය වලංගු බවට පත් වනු ඇතැයි යන බියෙන්, පක්ෂය විවෘත තලයට ගෙන එන්නට රෝහණ සහෝදරයා පොලඹවා ගැනීමට ඔහු උත්සාහ දරන්නට ඇති. ඒ අනුව, අසූව දශකයේ මැද ප්‍රින්ස් සහෝදරයා බුලත්සිංහල දී රෝහණ සහෝදරයා හමු වී මුළු රැයක් ම ඒ ගැන සාකච්ඡා කර තිබෙනවා.

පසුකාලීන සිදුවීම්වලින් පෙනෙන්නේ රෝහණ සහෝදරයා ප්‍රින්ස් සහෝදරයා විසින් කරන ලද කරුණු දැක්වීම පිළි නොගත් බව යි. ඒ වන විටත් පක්ෂ නායකත්වය විකල්ප ක්‍රියාකාරී සැලැස්මක් ගැන තීරණය කර තිබුන බව රෝහණ සහෝදරයා ප්‍රින්ස් සහෝදරයාට දන්වා තිබෙනවා. ප්‍රින්ස් සහෝදරයාට ඒ අවස්ථාවේ ඇති වුන බලාපොරොත්තු කඩ වීම තේරුම් ගන්නට පුළුවන්. නමුත් ඔහුගේ උත්සාහයෙන් පිළිබිඹු වන්නේ පැවතුන තත්වය සාමකාමී අන්දමින් විසඳා ගන්නට ඔහු තුල තිබුනු අපේක්ෂාව යි.

ප්‍රින්ස් සහෝදරයාගේ වැඩ කටයුතු නීතිමය වශයෙන් පෙනී සිටීමේ සිට රජයේ අනිසි බලය යොදා ගැනීම්වලට අභියෝග කිරීම දක්වා විහිදී ගියා. උදාහරණයක් වශයෙන්, වංචාකාරී ජනමත විචාරණයට එරෙහි නඩුවේ දී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ඔහු, ඒ ජනමත විචාරණයේ දී කරන ලද දූෂණ හා ප්‍රචණ්ඩ කටයුතු හෙළිදරව් කලා.

ප්‍රින්ස් සහෝදරයා සතුව තිබූනේ ප්‍රගතිශීලී වාමාංශික පරමාදර්ශවලත්, සිංහල ජාතිකවාදයේත් සම්මිශ්‍රණයක්. එහෙත්, යුක්තිය වෙනුවෙන් ඔහු තුල පැවතුන නිර්භය කැපවීම ඔහුට පුළුල් අන්දමේ ගෞරවයක් ලබා දුන්නා.

ඔහුගේ ජන්ම ශත සංවත්සරයත්, "අහිමි පරම්පරාවක්: ශ්‍රී ලංකාව අර්බුදයේ: නොපවසන ලද කතාව" නමැති කෘතිය යළි ජනගත කිරීමත් අපට අවස්ථාවක් ලබා දී තිබෙනවා, වරප්‍රසාද ලත් සුළු පිරිසක ගේ දේශපාලන හා ආර්ථික අවශ්‍යතා රැක දෙන්නට ශ්‍රී ලාංකික තරුණ පරම්පරා බිල්ලට ගත් ඒ යුගය ගැන ආපසු මෙනෙහි කර බලන්නට. 1987-89 නැඟිටීම පිළිබඳ රාජ්‍ය අනුග්‍රහය හෝ රාජ්‍ය අනුමැතිය ලැබූ නොයෙක් කතා වෙනුවට ප්‍රින්ස් සහෝදරයාගේ කෘතියෙන් ඒ කුරිරු යථාර්ථයන් පිළිබඳව කරන විචාරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහුගේ උරුමයට ගරු කළ යුත්තේ ඔහුගේ ජන්ම ශත සංවත්සරය සමරන මේ මොහොතේ අප මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෝකයක් උදා කර ගන්නට කැප වීමෙනු යි. ඔහුගේ ජීවිතය අපට යලි යලිත් මතක් කර දෙන්නේ නොකඩවා ධෛර්යමත් ව සිටීමේත්, මිනිසත්බව රැක ගැනීමේත් ඇති වැදගත්කමයි.

ප්‍රින්ස් ගුණසේකර සහෝදරයා සතු ව තිබුනු දේශපාලන හා නීතිමය අත්දැකීම් සම්භාරය, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම වග විය හැකි රජයක් බිහි කරන්නට උත්සාහ දරන වත්මන් ආණ්ඩුව හමුවේ අමිල වටිනාකමක් දරන්නට බොහෝ ඉඩකඩ තිබුනා.

අවසාන වශයෙන්, ප්‍රින්ස් සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය සහ ඔහුගේ කෘතිය යළි ජනගත කිරීමේ මෙම අවස්ථාව සංවිධානය කිරීමට ගේෂ්ණි ගුණසේකර මහත්මිය දරන ලද උත්සාහය සැබවින්ම අගය කරන්නට කැමතියි.

බොහොම ස්තුතියි.

(2024 දෙසැම්බර 19 වන දා)


පසුසටහන :

කාල සීමාවට අවනත වීම සදහා මගේ කතාවෙන් ඉවත් කිරීමට සිදු වුන පහත සදහන් කොටස මෙහි ඇතුළත් කරන්නට කැමතියි:

මෙහිදී ටිකකට මාතෘකාවෙන් ඉවතට ගියොත්. අනෙක් හඬවල් වලට සවන් දෙනවාට වඩා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රින්ස් සහෝදරයා වැනි අයට ඇහුම්කන් දී කලින් විවෘත දේශපාලනයට එන්නට තීරණය කලේ නම්, තම නායකයන් ද ඇතුළුව දස දහස් ගණනක ගේ ජීවිත බේරා ගන්නට හැකි වෙන්නට තිබුණා. දැවැන්ත ජීවිත හානිය හා විනාශය ත්, එයින් ඇති වුනු භීෂණය ත් වළකා ගත හැකිව තිබුණා. මෙම ඓතිහාසික තත්වයන් තුළ ජේ ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ පාලනය රඟ දක්වා තිබෙන වංචා සහගත ප්‍රචණ්ඩ භූමිකාව හෙළිදරව් කොට ජනතා විමුක්ති පෙරමුණට තරඟකාරී දේශපාලන තත්වයක් අත් කර ගන්නට තිබුණා. කෙසේ වෙතත්, දැන් ඒ සියල්ල ඛේදජනක ඉතිහාසයක් වී අවසාන යි. එහෙත් මෙයින් ස්වයං විවේචනාත්මකව ඉගෙන ගත හැකි සහ ඉගෙන ගත යුතු බොහෝ මාහැඟි පාඩම් තිබෙනවා.

lIONAL bOPAGEආචාර්ය ලයනල් බෝපගේ | Lionel Bopage
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව

lionel.bopage@gmail.com

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...