"සුබ දිසාව උතුර. රාහු කාලය උදේ 7.32 සිට දවල් 8.59 දක්වා" ලිත දෙස බලාගෙන පොඩි සිඤ්ඤෝ තමාටම කියා ගත්තේය.
මේ කන්නයට හා හා පුරා කියා ඇල වේලි සුද්ද කරන්නට යන්නේ අද ය. පොඩි සිඤ්ඤෝ යළිත් ලිත පරීක්ෂා කරන්නට වූයේ "කරණය" සොයා ගන්නට ය. ඇලවේලි බඳින්නට, සීසාන්නට, වපුරන්නට හොඳ කරණයක් හසු වුවහොත් වැඩේ "ගොඩේ ගොඩ" ය. පොඩි සිඤ්ඤෝ ලිත පීරමින් මේ මහන්සි වෙන්නේ ඒකට ය.
"වැඩේ හරි" පොඩි සිඤ්ඤෝ ට ඉබේම කියවිණි.

කිතුල් හකුරු කෑල්ලක් සමග බෙලෙක් කෝප්පයට පිරවූ කහට එකක්ද රැගෙන පොඩි සිඤ්ඤෝ ගේ බිරින්දෑ ලීලාවතී කුස්සිය පැත්තේ සිට මතු වූවාය.
"ඔහේ මොකෑ මේ තනියෙන් හිනා වෙන්නෙ?"
"ලියද්දෙ වැඩ පටන් ගන්න දිවි කරණයක් හම්බ වුණානෙ ළමයින්නෙ අම්මෙ"
"හොඳයි නොවැ එහෙනම්" ලීලාවතීගේ මුහුණේ ද සිනා කටක් පිරී ගියේය.

මීට දශක කිහිපයකට පෙර බහුජාතික සමාගම් විසින් අපේ රටේ වී වගාවද ඇතුළු ස්වභාවික ගොවිතැන ආක්‍රමණය කිරීමට පෙර, මෙකී පොඩි සිඤ්ඤෝලා වැනි අපේ රටේ ගැමි ජනතාව අතර පැවතියේ පරිසරය හා බැඳුණු, පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයකි. ඒ තුළ පරිසරය විනාශ වූයේ නැත. කෘමි සතෙකුගේවත් ජීවිතවලට අතුරු ආන්තරාවක් වුණේ නැත. මිනිසා මෙන් ම කුහුඹුවා පවා මේ මහපොළොවේ කොටස්කාරයන් ය. එනිසා මිනිසුන් මෙන්ම සියලු තිරිසන් සතුන්ද, ගහකොළ ද, ගංගා ඇල දොල ආදී පරිසරයට අයත් අනෙකුක් සියලු අංගයන්ද සොබා දහමේ දරුවෝ ය. එනිසා අප මිනිසුන් වූ පළියට අනෙක් සියල්ල අපට ඕනෑ හැටියට වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට සොබා දහම අවසර දී නොමැත. අප එලෙස හිතුවක්කාර වන්නට වන්නට සොබා දහම අපට එරෙහිව නැගී සිටීම ද නොවැළැක්විය හැකිය. අපි දැන් අප කළ වැරදිවලට සොබාදම් මෑණියන් දෙන දඬුවම් භුක්ති විඳිමින් සිටින්නෙමු.
පොඩි සිඤ්ඤෝ පැවසූ "කරණය" තුළ සැඟව ඇත්තේ අපූරු කතාවකි. අපේ ගැමියෝ ගමන් බිමන් පිටත්ව යාමට පෙරත්, නොයෙකුත් සුබ කටයුතුවලදී මෙන්ම හේන් කුඹුරු වගාවන්වලදීත් සුබ දිසාව, රාහු කාලය වැනි දේවල් කෙරෙහි උනන්දු වූහ. ඒ හැරුණුවිට ගොවියන් තවත් විශේෂයෙන් සොයා බැලූ කරුණක් වූයේ මේ "කරණය" යි.
මනුෂ්‍යයන්ට රැකවරණ ඇති මුත් සතුන්ට එවැනි විශේෂ රැකවරණයක් නැත. කරණය යනු සොබා දහම විසින් සතුන්ට රැකවරණ පිණිස වෙන්කර දී ඇති කාලයයි. ඒ අනුව සිංහ කරණය, දිවි කරණය, ඌරු කරණය, ගව කරණය, කුකුල් කරණය ආදී වශයෙන් සතුන්ට ආරක්ෂාව සඳහා වෙන් කළ කරණ තිබේ. අපට මෙන් ඔරලෝසුවේ වෙලාව ගැන හැඟීමක් නැතත්, ඔවුන්ට කාලය පිළිබඳ හැඟීම ජානගතව ම පවතී. කරණ සෑදුණේ ඒ විදියට ය.
ඌරු කරණ, ගව කරණ, කුකුල් කරණ ආදී වූ වගාවන්ට හානි කරන සතුන්ගේ කරණයක් සහිත අවස්ථාවක වගාවක් ආරම්භ කළහොත් නිසැක ලෙස ම එම වගාවට කුමන ආකාරයකින් හෝ හානි පැමිණෙයි. නමුත් සිංහයන්, වලසුන් වැනි සතුන් වගාවන්ට හානි කරන්නේ නැත. සිංහයන් අපේ රටේ නොමැති වීම වෙනම කතාවකි. නමුත් සිංහයන්ටද කරණයක් තිබේ. එනිසා වී වගාව ගැන සැලකුවහොත් එහි "ඇල වේලි සුද්ද කිරීම, සී සෑම, වැපිරීම වැනි ප්‍රධාන කටයුතු තුන සිංහ හෝ දිවිකරණයක දී කළහොත් නැවතත් අස්වැන්න කපා ගන්නට බලාගෙනම මිස ඊට කලින් නම් කුඹුරට යා යුතු නැතැ" යි අතීත ගැමියන් අතර කියමනක් තිබිණි. එපමණටම ඔවුන්ට තමන්ගේ වගා ක්‍රම සහ පරිසරයෙහි හැසිරීම් ගැන විශ්වාසයක් පැවතියේය. හැමවිටම ඒ දෙක අතර අතීතයේ පැවතුණේ යාව ජීව සම්බන්ධතාවයකි. මෙවැනි අතීත උපහැරණ කතා මතුකර දක්වන අවස්ථාවල දී "මේවා ඉස්සර මිනිස්සු කිව්වේ කට කහනවට නෙමේ" යනුවෙන් අදටත් බොහෝ දෙනා පවසති. මේ කතාව ගැන කියන්නට තියෙන්නේත් ඒ ටිකම ය.
හැම සුබ වෙලාවක්ම යෙදෙන්නේ ඉර අවරට යන්නට පෙර උදය වරුවේ ය. එනම් දිවා 12. 00 ට පෙර යි. පොඩි සිඤ්ඤෝ ද දිවි කරණය වෙලාවේ නමෝ විත්තියෙන් අලුත් කන්නයට තම කුඹුරේ පළමු උදලු පහර ගැසුවේය.

අපේ රටේ රජ කාලයේ පටන් පැවත ආ දේශීය වී වර්ග ප්‍රමාණය ගණනින් තුන්දහසක් පමණ වන බව පැවසේ. එයින් මේ වනවිට පරම්පරාවෙන් පරම්පරාවට සංරක්ෂණය වෙමින් පැවත එන වී වර්ග තුන්සියයක් පමණ ඇති බව පැවසෙන අතර මෙයින්ද ගොවි කණ්ඩායම් අතර හුවමාරු වෙමින් වගාවන් ලෙස පැවත එන්නේ පාරම්පරික දේශීය වී වර්ග එකසිය පනහක් වැනි ප්‍රමාණයක් පමණි.
අතීතයේ අපේ රටේ ගොවිතැන සිය ජීවිකාව ලෙස තෝරාගත් ගොවියන් "ෆුල් ටයිම්" ගොවියෝ ය. වර්තමානයේ නම් ගොවිතැන කරන අයගෙන් අතලොස්සක් දෙනෙකුට හැර අනෙක් සෑම දෙනෙකුටම එය "පාට් ටයිම් ජොබ් එකක්" පමණි. ගොවිතැන ෆුල් ටයිම් කරන කාලයේ කන්නයේ වගාව ආරම්භ කරන විට කුඹුරේ පළවෙනි පස් පිඩැල්ල කපන්නේත්, වී ඉහින්නේත්, වී පුරන්නේත් කුඹුරේ අයිතිකාරයාම ය. වී පිරීම ලෙස හැඳින්වූයේ කුඹුරේ පළමු ගොයම් අහුර කැපීම යි.

කුඹුරේ ම පැත්තක තෝරා ගත් කුඩා කොටසක වී තවානක් දමා එය දින විසි එකක් තබා ඉන්පසු එම පැළ ගලවා එම ගොයම් කොළවල කෙළවර කඩා ක්ෂේත්‍රයෙහි සිටුවීම අතීතයේ පැවති ක්‍රමයකි. මෙහිදී ගොයම් කොළයෙහි කෙළවර කඩා දැමූ පසු එම කොටස් මඩට යට කරන්නේ පොහොර වන්නට ය.
මේ තවාන් ක්‍රමය අද ද අනුගමනය කෙරෙන අතර එය බිත්තර වී අපතේ යාම වළක්වා ගැනීමේ ඉතා හොඳ ක්‍රමයකි. ( මේ නවීන තවාන් ක්‍රම පිළිබඳ අපි පසුව කතා කරමු.)
මේ හැරුණු විට කුඹුර පුරා වී ඉසීමේ ක්‍රමය ගොවියන් කළේ එක්තරා රිද්මයකට ය. ඒ අනුව බල්ලාගේ හෝ බළලාගේ අඩියෙන් පොළොව වැසෙන ප්‍රමාණයට වී ඇට එකක් හෝ තුන හතරක් වැටෙන සේ ඉසින අතර එය ගාණට මිම්මට සිදු කරන ආකාරය පළපුරුදු ගොවියෝ දැන සිටියහ.

යල කන්නයේ දී ගොයම් පැළවල පඳුරු දැමීම අඩු ය. එයට හේතුව පොළොවේ වතුර තිබීමයි. ගොයම් ගසේ පාදම කොටස වැසෙන්නට වතුර තිබුණොත් ගසේ පඳුරු දමන්නේ නැත. ඒ නිසා යල කන්නයේදී ගොයම් පැළ සිටුවන්නේ ළං ළං ව සිටින්නට ය. නමුත් මාස් කන්නයේ දී පොළොවෙහි වතුර මට්ටම අඩු නිසා පැළ පඳුරු දමන බැවින් පැළ එකිනෙක දුරින් සිටවන්නට සිදුවෙයි. පොඩි සිඤ්ඤෝලා කළේත් මෙහෙම ය. අදත් එහි වෙනසක් නැත.
එසේ වුවද පසුකාලීනව බහුජාතික සමාගම් අපේ ගොවියන්ට බලෙන් ම හුරු කළ රසායනික පොහොර සහ පලිබෝධනාශක ඉක්මවා යන්නට අපේ ගොවීහු අසමත් වූහ. නමුත් පොඩි සිඤ්ඤෝලාගේ වැනි පැරණි පරම්පරාවේ උදවියත්, පාරම්පරික ගොවිතැනට ඇල්ම දක්වන සහ එහි අගය හඳුනාගත් අලුත් පරම්පරාවේ අතලොස්සක් දෙනාත් දේශීය කාබනික ගොවිතැන තවමත් කරගෙන යති.
මේ අයගේ තොරතුරු කතා කරන්නට ලබන සතියේ යළි හමුවෙමු.
ඡායාරූප සහ තොරතුරු සොයා ගැනීමට උපකාරී වූ ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි (LOAM) පුහුණු උපදේශක ඉන්දික සම්පත්, මේ සඳහා අනුග්‍රහය දැක්වූ එම ආයතනයෙහි සභාපති තිලක් කාරියවසම් යන මහත්වරුන්ට ස්තුතියි.