The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සතුන් ගණන් කිරීමෙන් වගා හානි වැලැක්විය හැකිද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

March 17, 2025 • 10:47 AM

සතුන් ගණන් කිරීමෙන් වගා හානි වැලැක්විය හැකිද? | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් එදා ඒ වෙලාවේ වඳුරෙකු තියා මදුරුවෙකු වත් පේන්න හිටියේ නැත.
  • කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති තුමා රසවත්ව ප්‍රකාශ කළ අන්දමට සෙට් වෙන්න ඔන්න මෙන්න සිටි ලේනුන් ජෝඩු දෙකක්දැයි විපරම් කළේ උන්ට බාධා නොකර ඉවත් වෙන්න ය.
  • ඒත් එක් ලේනෙකු මා දිහා බලා ගෙන පුම්බාගෙන සිටියේ දඬු ලේනෙක් ලෙස මා රවටා සංගණනෙට ඇතුලු වීමට දෝයි මට සිතුණි.
  • ඒකා ජාතික සත්වයා ලෙස ප්‍රකාශිත සත්වයා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් එදා ඒ වෙලාවේ වඳුරෙකු තියා මදුරුවෙකු වත් පේන්න හිටියේ නැත. රඹුටන් ගහේ නම් ලේන්නු හතර දෙනෙක් සිටියෝ ය.

 



කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති තුමා රසවත්ව ප්‍රකාශ කළ අන්දමට සෙට් වෙන්න ඔන්න මෙන්න සිටි ලේනුන් ජෝඩු දෙකක්දැයි විපරම් කළේ උන්ට බාධා නොකර ඉවත් වෙන්න ය. ඒත් එක් ලේනෙකු මා දිහා බලා ගෙන පුම්බාගෙන සිටියේ දඬු ලේනෙක් ලෙස මා රවටා සංගණනෙට ඇතුලු වීමට දෝයි මට සිතුණි.. මම ඌව පයිසෙටවත් ගණන් නොගෙන “යකෝ තොපි පිම්බුවට දඬුලේන්නු වෙන්නෙ නෑ. ඒ හින්ද සංගණෙනෙට තොපිව ගන්නෙ නෑ” කියා කීවෙමි. ඌ මාවත් පයිසෙට ගණන් නොගෙන “ඒ වුණත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගැනත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා ලස්සනට කීවනෙ” කියන්නා සේ හිස වන වනා අත්තෙන් අත්තට පැන ගියේ දඬු ලේනාගේ වේගයෙනි.

 

Flickr Rainbirder Giant Squirrel Ratufa macroura

මෙවර සත්ව සංගණනයේ ගණන් ගන්නට තිබූ එක් සතෙකු වන්නේ දඬුලේනා ය.දඬුලේනා යනු එසේ මෙසේ සතෙකු නොවේ. ඒකා ජාතික සත්වයා ලෙස ප්‍රකාශිත සත්වයා ය. දඬු ලේනා ජාතික සත්වයා ලෙස නම් කර ඇත්තේ ඒ සතාගේ ඇති කඩිසර ක්‍රියාශීලී බව මුල් කර ගනිමිනි. ශ්‍රී ලාංකිකයන් කම්මැලි ජාතියකැයි පවතින ජනප්‍රවාද සැලකිලට ගෙන දඬු ලේනා බඳු කඩිසර ක්‍රියාශීලී සත්වයෙකු ජාතික සත්වයා ලෙස නම් කළේ දැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් දඬුලේනා නම් මොහොතක් වත් එක තැනක ඉන්නා සත්වයෙක් නොවේ. අලුයම නින්දෙන් පිබිදුණු මොහොතේ සිටම ඌ නිතරම ඉන්නේ කඩිසර ගමනක ය.

ගස්වල අතු දිගේ ගමන් ගන්නා දඬුලේනා විනාඩි දෙක තුනක් තුළ යාබද ගෙවතු කීපයකට ඇතුල් වෙයි. උගේ ඒ වේගවත් ක්‍රියාශීලී බව නිසා අඩුම තරමින් දඬු ලේනකු ගේ සමීප ඉරියව්වක් ෆෝන් කැමරාවකට වත් ගොනු කර ගත නොහැකි බව ළමා ළපටීහු පවා කියති. බොහෝ විට දඬුලේන්නු ජෝඩු වශයෙන් හිඳිනු දක්නට ලැබෙති. ඒ අනුව ගණනයේ දඬුලේන්නු ගණන් ගැනීම නම් බොහෝ දුරට ඩබල් ට්‍රිබල් වන්නට ඉඩ ඇත්තේ එකම දඬු ලේනා විනාඩි කීපයක් තුළ වතු දෙක තුනකට පනින සතෙකු වීම නිසාවෙනි.

 

sri lanka wildlife animal agriculture 061032 5049960 20250315211120

අප ජීවත්වන හෝමාගම ආසන්න ප්‍රදේශවල ප්‍රධාන හානිදායක සතුන් වන්නේ වඳුරන් සහ උගුඩුවන්‍ ය. මා ජීවත්වන හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ නැගෙනහිර කොටසේ විශාල වඳුරු රංචුවක් සිටිති. එහි ගහණය 25 ක් පමණ වේ. පර්චස් දහය විස්ස අතර බිම් කට්ටිවල ජීවත්වන අපගේ ඉඩම් තුනක් හතරක එකවර සංචාරය කරමින් මේ වඳුරු රැළ වගාවන් වනසති. මහා මාර්ගයෙන් දකුණු පස ඇති මාඹුල්ගොඩ වසමේ වෙනම වඳුරු රංචුවක් ද සිටිති. අප නිවෙස් පිටුපසින් ඇති වෙල් යායෙන් එගොඩ හිරිපිටිය ගමට අයිති කොටසේම තවත්‍ වෙනම රංචුවකි.

මේ වඳුරු රංචු තුන වැරදිලාවත් එකි`නෙකාගෙ බල ප්‍රදේශ උල්ලංඝණය කරමින් ගමන් කරන්නේ ද නැත. මේ නිසා අප ග්‍රාම නිලධාරි වසමේ නම් වඳුරු රංචු ගැවසෙන ප්‍රදේශ අනුව ඉන්නා වඳුරන් සංඛ්‍යාව ගණනය කිරීමේ දී විනාඩි පහක් ඇතුලත් එක් එක් ගෙවතුවල ඉන්නා වඳුරන් ගණන් ගෙන එකතු කිරීමට වඩා වඳුරු රංචු ගැවසෙන වාස කලාප අනුව ගණන් කිරීම නිවැරදිය .

මා දන්නා පමණින් වඳුරන් මුලු රටේම ගැවසෙන්නේ ඔය වාස කලාප ක්‍රමයට ය. රංචුවෙන් බැහැර වීමක්වත් ඔවුන් ගැවසෙන ප්‍රදේශයෙන් බැහැර වීමක්වත් වඳුරන්ගේ සිදුවන්නේ නැත. වඳුරන් ගේ විශේෂිත ශරීර ලකුණු පදනම් ව උන් ගැන විමසන ගැමියෝ මේ ගැන හොඳින් දනිති. මෙම නියාමය රිළවුන්ට ද එක සේ අදාල ය.

 

monkey sri lanka afp 1211344 1681986269

එනිසා රිළවුන් ගණනය කිරීම සඳහා ද පහසුම ක්‍රමය වනුයේ ආහාර සඳහා ගැවසෙන ප්‍රදේශ පදනම් කරගෙන වඳුරන් ගණනය කළ අන්දමට තොරතුරු එක්‍ රැස්කිරීම ය. එවිට ගහණයන් පිළිබඳව නිශ්චිත අවබෝධ්‍යක් ලැබිය හැක.

මොනරුන් ආහාර සඳහා නිශ්චිතව පැමිණෙන ස්ථාන තිබේ.ඒ කුඹුරු හා වගාබිම්‍ ය.එම ස්ථානවලදී දින කීපයක් තොරතුරු රැස්කරමින් අධ්‍යනය කිරීමෙන් නිශ්චිත සංඛ්‍යාව පිළිබඳව සාධාරණ නිගමනයකට ඒමට හැකියාව තිබේ.

වගාවට හානිකරන වඳුරන්, රිලවුන්, දඩුලේනුන්, මොනරුන්, වල් ඌරන්, ඉත්තෑවුන්, උගුඩුවන් වැනි සතුන් අතීතයේ මෙන් තවදුරටත් වනාන්තර ආශ්‍රිත සතුන් නොවේ. ඒ සතුන් මේ වන විට ග්‍රාමීය ගෙවතු හා ලඳු කැලෑ මෙන්ම නගර ආශ්‍රිතව ද ජීවත්වෙන සතුන්‍ ය. මේ වන විට ඔය කියූ සත්ව ගණයන්ට අයත් සතුන් බහුලවම යැපෙන්නේ මිනිසුන්ගේ කෘෂි වගාවන් වලින් මිස වනාන්තර වලින් නොවේ.

3GfV0GCMgyVwI9Hy Article Cover

හෝමාගම, පිටිපන, පනාගොඩ, හබරකඩ වල්ගම ආදී ප්‍රදේශ ආශ්‍රිතව දහසකට වැඩි මුව ගහණයක් දක්නට ලැබේ . වියලි කලාපීය සතුන් වන තිත් මුවන් මේ අන්දමින් බස්නාහිර පලාතේ නගරාශ්‍රිත ප්‍රදේශයක පැතිරී ඇත්තේ මිනිස් ක්‍රියා කාරකම්වල අනිසි විපාක ලෙසය. දැන ගන්නට ඇති පරිදි දැනට වසර විසිපහකට පමණ පෙර පනාගොඩ යුද හමුදා නිලධාරි නිවාසවල ජීවත්වූ හමුදා නිලධාරියෙකු සුරතලයට ඇති කළ මුවන් ජෝඩුවක් නිදැල්ලේ යාමේ ප්‍රතිපලයක් ලෙස මේ දැවැන්‍ත මුව රංචුව වර්ධනය වී ඇත.

පසුගිය කාලයේ මේ මුව රංචුවේ ස්වාභාවික ලෙස මියගොස් සිටි මුවන්ගේ ශරීර පරීක්ෂාවකින් හෙලිදරව් වී තිබුණේ ඒ මුවන් මියගොස් තිබුනේ ජලභීතිකාව වැළඳීමෙන් බවට ය. ඉන් තේරුම් ගතයුතු ව තිබෙන්නේ බල්ලන්ට බළලුන්ට වැළඳෙන ජලභිතිකා රෝගය එවක මුවන්ට ද වැළඳී තිබූ බවත් ය. නමුත් මුවන් මිනිසුන් සපා නොකන නිසා මුවකු ගෙන් මිනිසකුට ජල භීතිකාව වැළදුණු බවට කිසිදු වාර්තාවක නැත. එමෙන්ම එසේ අකාලයේ මුවන් මිය යාමක් මේ වන විට වාර්තා නොවීම මත ජලභීතිකා වෛරසය මේ වන විට උන් අතරේ නොමැති බවක් පෙනෙයි..

අතීතයේ වනාන්තර වල ජීවත්වූ වඳුරන් රිළවුන් දඬුලේනුන් වල් ඌරන් වැනි සතුන් මිනිස් වාසයන් ආශ්‍රිතව දිවි ගෙවීමට පටන් ගෙන ඇත්තේ අපේ ජිවිත කාලය තුළදී ය . අප කුඩා කල වල් ඌරන් හා ගෝනුන් දඩයම් කිරීමට අපේ ගම්වල දඩයක්කරුවන් තුවක්කු බැන්ඳේ හේන්වල ය. ඉත්තෑවුන් ඇල්ලීමට මල් පුඩු තිබ්බේ ද හේන් වල ය. ගමේ බිමට ඇවිත් සිටියේ කැලෑවේ රංචුවෙන් එලවා දැමූ තනි වඳුරෙකු මිස වඳුරු රංචුවක් නොවේ. රිළවුන් එකල සිටියේ ගමේ සිට කිලෝමීටර් දහයක් දොලහක් ඈත මහ වනන්තරයේ ය. ඒ අනුව අපට රිළවකු දැක ගැනීමට කැළයටම යා යුතු විය.

rilawa 12762

ඒ කාලයේ ගමේ වගා බිම්වලට හානි කිරීමට වන සතුන් ආවේ නැත. වියළි කලාපයේ ද වගාව සතුන්ගෙන් ආරක්ෂාවට පැල් රැක්කේ හේන් යායේ මිස ගෙවත්තේ නොවේ. සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ පමණ ගමේ හේන් ගොවීහු එක්ව වනන්තරයේ එක යාබදව අක්කර තිහ හතලිහක භූමිය කැලෑව කපා ගිනි තබා හේන් යාය සකසා ගනිති. මුලු හේන් යායම ආවරණය කිරීමට එක් දඩුවැටක් බඳින ගොවීන් තම තමන්ගේ හේන් කොටසේ තනන පැලේ සිට හේන් වගාව කරති. හේන් වගාවේදී ප්‍රධාන බෝගය ලෙස වී කුරක්කන් හෝ ඉරිඟු වගා කළ අතර අතිරේක බෝග ලෙස මඤ්ඤොක්කා, වට්ටක්කා, මිරිස්, අබ, තල, කොමඩු, කැකිරි පිපිඤ්ඤා ආදී බෝග වගා කළහ. කවර බෝග වර්ග වවා තිබුණත් මාස නවයක් දහයක් යන විට හේනේ පලදාව රැගෙන ගොවීහු හේන් යායෙන් ඉවත්වී නව හේන් යායකට පිවිසෙති. පැරණි හේන් යායේ නිරි අස්වැන්න හා අලුතින් පැලවෙන ළපටි ගහකොල වල දලු කොළ වන සතුන්ට ආහාර සම්පාදනයට වෙන් වේ. ඒ අනුව වන සතුන්ට ආහාර සපයමින් අත් හැර දැමූ හේන් යාය වසර හත අටක්ම ඔවුන්ගේ ආහාර ගබඩාව ලෙස ක්‍රියා කරයි. ඒ අනුව ගොවීහු නව හේන් යායේ වගා කරද්දී වන සතුන් පැරණි හේන් යායෙන් කුස් පුරවා ගත් හ. ඒ අනුව එදා ගොවියාගේ හේන් වගාව නම් වගා ක්‍රමය මගින් ගොවියාගේ ආර්ථිකයත් වනසතුන්ගේ ආහාර අවශ්‍යතාවයත් එක් වර සම්පූර්ණ කළහ.

ඉන් පසුව අදින් වසර හතළිහකට පනහකට ඉහතදී හේන් වගාව රජය මගින් තහනම් කළේ ඉන් පරිසරයට විශාල හානියක් වෙතැයි පළ වූ අදහස නිසා ය. හේන් වගාව ලංකාවේ වියලි කලාපයේ ප්‍රධාන වගා ක්‍රමයක් වූ අතර ඒ වගාවට වැඩියෙන් යට වුනේ වියළි කලාපයේ භූමිය ය. හේන් වගා කළ භූමි රජය විසින් නිවැරදිව හදුනා ගෙන මිනුම් සිතියම්වල සළකුණු කිරීම ද කර තිබුණි. හේන් කෙටීම සඳහා වෙන් වුණේ එම භූමි මිස ආරක්ෂා කළ යුතු මහ වනාන්තර නොවේ ගමට දුරින් මහ වනාන්තරයට මෙපිටින් තිබුණු ඉඩම් හේන් බිම් විය.

 

wild boar locke

හේන් වගාව තහනමත් සමඟ ගොවීහු ගම තුළට කොටු වූහ. අවසානයේ හේන් භූමිවල වසර හත අටක් ආහාර සපයා ගත් වන සතුන් ඉන්පසුව ආහාර සපයා ගැනීමට ආවේ ගොවීන් ඒ වන විට වගා කරමින් සිටි ගම් වලට ය. ඒ අනුව අදින් වසර හතලිහකට පමණ එපිට ඇරඹුණු වන සතුන් ගොවියාගේ ගෙවත්තට පැමිණ ආහාර සම්පාදනය කර ගැනීම මේ වන විට වන සතුන්ගේ ප්‍රධාන ආහාර සම්පාදන මාර්ගය බවට පත්ව තිබේ. වන අලින් ගෝනුන් වැනි සතුන් වනාන්තරයෙන් පැමිණුනත් සෙසු සතුන් බෝවෙන ස්ථාන පවා අද ගම ආශ්‍රිතව පවතී. මේ නිසා වඳුරන් රිලවුන් දඬුලේනුන් මොනරුන් වල් ඌරන් වැනි සතුන් තව දුරටත් වන සතුන් නොව ගම්බද සතුන් බවට පත්ව ඇත.

රජයට විසඳීමට ඇත්තේ මෙන්න මේ ගම්බද සත්ව ගහණයෙන් පුරවැසියන්ට සිදුවන බරපතල හානිය අවම කිරීම ය. මේ සතුන් කවර වර්ගයන්ට අයත්ද යන්න ගැන ගම් හා නගර වාසීන් පැහැදිලිව දනී. ඔවුන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේද යන්න ගැනත් ප්‍රදේශවාසීන්ට යම් අවබෝධයක් ඇත. ඒ නිසා නියෝජ්‍ය ඇමති වරයාගේ සිට එකයි දෙකයි තුනයි කියා උන් ගණන් කර කර හඳුනා ගනිමින් කල් මැරිය යුතුද? යන පැනය මතු වේ.  

මේ සතුන් අරබයා රජයට ඇත්තේ ප්‍රතිපත්තිමය තීන්දු ගෙන සතුන්ට ද බලවත් අගතියක් නොවන පරිදි පුරවැසියන් මුහුණ දී ඇති මේ ගැටලුව නිරාකරණය කිරීම ය. ඇතමුන් පහසුවෙන් ප්‍රකාශ කරන සත්ව ඝාතනය මගින් මේ ගැටලුව විසඳීම කෙසේවත් මේ යුගයට උචිත විසඳුමක් නොවේ. මේ සඳහා දීර්ඝ කාලීන ව සතුන් ගේ පැවැත්ම තහවුරු වන පරිදි මේ සතුන් යළි වන සතුන් බවට පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු ව ඇත. මහ වනන්තරවල වන අලින්, ඌරන්, මොනරුන් වැනි සතුන් සඳහා ආහාර සුලභ නොවේ. හේන් ගොවිතැන ලෙස වන සතුන්ට ආහාර සම්පාදනය කරන මිනිස් ක්‍රියාකාරකමක් හේන් ගොවිතැන ලෙස අප සංස්කෘතියට එක්ව තිබුණේ මේ නිසා ය.

0 1

මිනිසුන් හේන් කෙටුවේ තමන්ට ආහාර සපයා ගැනීමට වුණත් වක්‍රව ඉන් වන සතුන්ගේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලැබිණි. යළිත් පාලනයකින්‍ යුතු හේන් වගාව වියලි කලාපයේ ආරම්භ කර ගම් වැදී හිඳින සතුන්‍ යළි වනාන්තරයට ආකර්ශනය කර ගැනීම පටන් ගැනීම මීට ඇති එක් හොඳම උපාය මාර්ගයකි. විද්‍යාත්මක ක්‍රමවේද මඟින් මොනරුන් වඳුරන් රිලවුන් බෝවීම පාලනය කිරීම තවත් උපාය මාර්ගයකි. මේ සඳහා කාගේ හෝ කීමක් අසා විනාඩි පහක් තුළ එකයි දෙකයි තුනයි කියා සතුන් ගණනය කිරීම බඳු දැලෙන් හුලං බදන්නාක් වැනි නිශ්ඵල ක්‍රියා අවශ්‍ය වන්නේ ඇයිදැයි අපට නම් නොවැටහේ.

 


sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...