The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුරුණිය: අපේ දරුවෙක් වගේ හිටපු මහ පොළොවට වහ දුන්නු ජාතියක් අපි (2 කොටස) | ඉන්දු පෙරේරා

T

The Leader Desk

March 21, 2025 • 9:46 AM

කුරුණිය: අපේ දරුවෙක් වගේ හිටපු මහ පොළොවට වහ දුන්නු  ජාතියක් අපි (2 කොටස) | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට පෙරත් මා පැවසූ පරිදි අතීතයේ සිටියේ "ෆුල් ටයිම්" ගොවියෝ ය.
  • ගොවියන් එලෙස දිනපතාම වාගේ කුඔුර පැත්තේ ගිහින් එන්නට අමතක කළේත් නැත.
  • මීයන් නිසා මී උණ බෝවන බව විද්‍යත්මකව සනාථ කරගෙන තිබෙන කාරණාවකි.
  • සමහර විට අප නොදැන සිටියාට තියෙන්නටත් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
මීට පෙරත් මා පැවසූ පරිදි අතීතයේ සිටියේ "ෆුල් ටයිම්" ගොවියෝ ය. ගොවිතැන ම සිය ජීවිකාව කරගත් ඔවුන් තම කුඹුරු සමග පැවැත්වූයේ යාවජීව සම්බන්ධතාවයකි. වී වපුරා අවසන් වූ සැණින් පහුවදා ම වාගේ මේ ගොවියෝ  නියරවල්වල මෑ, බණ්ඩක්කා වැනි විවිධ එළවළු ජාති, කංකුන් මුකුණුවැන්න වැනි නොයෙකුත්  පළා ජාති සිටවූහ. මෙයින් කිහිප ආකාරයක යහපතක් සිදු විය.  එකක් නම් වී වැපිරූ පසු නියරේ වගා කටයුතු ද ආරම්භ කිරීම නිසා වැපිරූ වී අහුලා ගන්නට එන  කුරුල්ලන් එළවීමට මේ ගමන්ම හැකි වීම ය. එවිට එක ගමනින් වැඩ දෙකක් ඉබේම සිදු වෙයි. දිනපතා කුඹුරේ ගොයම්වල දුක සැප බලන ගමන් එළවළු වගාවටත් යහමින් කාලය යෙදවිය හැකිය. වී කරල් පැසෙන විට බතට එළවළුත් සූදානම් ය.
මා කියන්නට ගියේ ඔය කතාව නොවේ. මේ දැක්වූයේ ඊට ඌණ පූරණයකි.
 
 
මේ විදිහට හැමදාමත්  සිය කුඹුරු සමගම ඔට්ටු වූ අතීතයේ ගොවියෝ මඩට බැස්සේ අද මෙන් දෙපා වළලුකරෙනුත් තවත් අඟල් ගණනක් ඉහළට ආවරණය වන සේ බූට්ස් පැළඳ නොවේ. නිරාවරණ දෙපාවලිනි. ගොවියන් එලෙස දිනපතාම වාගේ කුඔුර පැත්තේ ගිහින් එන්නට අමතක කළේත් නැත. එදා අදට වඩා කුඹුරු ආශ්‍රිත ව මීයෝ සිටියහ. එදා උන් නිසා මී උණ නොවැළඳුණේදැයි නොදනිමු. කෙසේ වුවත් දැන් ගොවීන් ට කුඹුරට බසින්නට පෙර මී උණ මතක් කර ගන්නට සිදු ව තිබේ. දෙපා මනාව ආවරණය කරගෙන කුඹුරට බසින්නට වෙන්නේ එනිසා ය.
 
මේ පරස්පරය කුමක්ද?
 
මීයන් නිසා මී උණ බෝවන බව විද්‍යත්මකව සනාථ කරගෙන තිබෙන කාරණාවකි. ඒ ගැන වාදයක් නැත. අතීතයේත් මේ රෝගය තිබුණේද නැද්ද යන්නත් අපට කියන්නට බැරි ය. සමහර විට අප නොදැන සිටියාට තියෙන්නටත් ඇත. නමුත් රසායනික පොහොර, කෘමිනාශක ආදිය නිසා අද මී ගහණය ද අඩුව ගොසිනි. එසේ වුවද ඒ මීයන්ගෙනුත් අද මී උණ ය.
 
මට මෙහිදී සිහිපත් වන්නේ මෙම ලිපි පෙළ ලිවීමේදී මට සියලු ආකාරයෙන් තොරතුරු ලබා දෙන ⁣ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි ඉන්දික සම්පත් කියූ කතාවකි. 
 
IMG 20250321 WA0015ක්ෂේත්‍ර අධ්‍යයනයක නියැලෙන ඉන්දික සම්පත් ( ජායාරූපයේ ඉදිරියෙන්) සහ ලෝම් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අජන්ත පලිහවඩන (ජායාරූපයේ පසුපසින්) යන මහත්වරුන්
 
"අපේ තාත්තලා සීයලා විතරක් නෙවෙයි  අපේ පරම්පරාවෙම අය කුඹුරු ගොවිතැන් කරපු උදවිය. ඒ කාලෙ මී උණ ගැන අහන්න තිබුණේ නෑ. සමහර විට එහෙම ලෙඩක් ගැන හොයාගෙන තිබුණේ නැති නිසා වෙන්න ඇති. නමුත්  පස්සෙ කාලෙක ඔය ලෙඩ ගැන දැනගත්තම අපේ සීයලා ඔය ගැන දැරුවෙ වෙනමම මතයක්. මට මතකයි අපේ සීයා ඔය ගැන මෙහෙම කතාවක් කිව්වා.
 
 
IMG 20250321 WA0003
"ඉස්සර කුඹුරුවල මීයො හිටියෙ නැතුවයැ, උන්ගේ මුත්‍රා අපේ කකුල්වල වතුරත් එක්ක තැවරෙන්න නැතුවයැ.  ඇත්ත කතාව ඕක නෙමේ බොලල්ලා. කුඹුරුවලට රටින් ගෙනත් වහ ගැහුවා. ඒ වහ ඔය සත්තුන්ගෙ සරීර කූඩුවලට නොයායැ. උන්ට විස දේවල් උන්ගෙ සරීරෙන් පිට වෙන්නෙ වහ විදිහට තමා. ඒව අපටත් වහ. ඉස්සර කාලෙ අහන්න දකින්න නොතිබුණ ලෙඩ දුක් දැන් අපට අහන්න දකින්න සිද්ධ වෙලා තියෙන්නේ ඔය රට පෝරයි, කුඹුරුවලට ගහන වහ ජාති ටිකයි හින්දා. අපි බොහොම ආදරෙන් දරුවෙක් වගේ සලකපු මේ මහ පොළොවට වහ දුන්නෙ  අපිමයි. ඒවා තමයි බං අපි මේ විඳවන්නෙ"
ඉන්දිකගේ සීයා වැනි පැරණි ගැමියන් ගේ මතවල මතුපිටට නොපෙනෙන විශාල සත්‍යයක් ගැබ්වී තිබෙනු ඇත. අතීතයේ අපට මේ ගහකොළ, සතුන් සීපාවුන් මෙන්ම  මහ පොළොවේ පස, හිරු එළිය, වැස්ස, සුළඟ ඇතුළු සමස්ත පරිසරයම ⁣සමීපතම ඥාතියකු හිතමිත්‍රයකු වැනි විය. ඒ ලෙන්ගතු බැඳීම නිසාම පරිසරයේ සුළු සුළු වෙනස්කම් පවා මිනිස්සු  හොඳට දැන හඳුනාගෙන සිටියහ. සොබාදහම සහ මිනිසා අතර පැවති ඒ අන්‍යොන්‍ය සහසම්බන්ධතාව නිසාම මිනිසාගෙන් සොබා දහමටත්, සොබා දහමින් මිනිසාටත් කිසි ආරෝවක් වූයේ නැත. දෙපාර්ශවයම ඔවුනොවුන් කෙරෙහි දයාවෙන්, කරුණාවෙන් කල දවස ගෙවූහ.
 
IMG 20250321 WA0009
       
බහුජාතික සමාගම් වගාවන්ට අතපොවන්නට වූ පසු  මිනිසුන්  පුරුදු වූයේ  පරිසරය නසන්නට ය. වැඩි පලදාවක් කෙටි කාලයක් තුළ ලබා ගැනීම ම අරමුණු කර ගනිමින්  මහ පොළොව ඇතුළු සමස්ත පරිසරයට ම කළ ඒ වින කැටුම නිසා සොබා දහම දැන් මිනිසුන් හා විරසක ය. මේ සියලු දුක් කරදර ලෙඩ රෝග එම විරසකකමෙහි ප්‍රතිඵල ය. සොබා දහමට මිනිසුන් ගැන සේම, මිනිසුන්ට සොබා දහම ගැන ද පෙර තිබූ විශ්වාසය දැන් පලුදු ව ගොසිනි. වැස්ස වහින්නේ අකලට ය. තද වැසි වසින කාලයට කට්ට අව්ව ය. අව්ව කාලයට වැස්ස ය. වලාකුළු, සුළඟ, සතුන්ගේ ක්‍රියාකාරකම් ඇසුරෙන් අතීත මිනිසුන් කාලගුණය ගැන කියූ අනාවැකි දැන් පැවසීම අසීරු වී ඇත. 
       
කර මත තිබූ උදැල්ල නියර උඩින්  තැබූ පොඩි සිඤ්ඤෝ ඈත මෑත බැලුවේය. මේ කන්නයේත් කුඹුරු වැඩ පටන් ගැනීමට පෙර සුපුරුදු පරිදි පොඩි සිඤ්ඤෝ වැස්ස ළඟ එන්නේ දැයි සොයා බලන්නට අමතක කළේ නැත. ඒ සාත්තරේ දැනගන්නට ක්‍රම කීපයක්ම පොඩි සිඤ්ඤෝ දැන සිටියේ  පරම්පරාවෙන්ම ය.
 
IMG 20250321 WA0000
     
වෙල් නියරේ සිටුවා තිබූ බණ්ඩක්කා ගස්වල ළපටි කරල් ටික කපා ගන්නා ගමන්  නියරේ මීයන් බෙන හාරද්දී ගොඩ දමා තිබූ පස් ටිකක් අත්ලට ගත් පොඩි  සිඤ්ඤෝ එය පරීක්ෂා කර බැලීය. කූඹින් ගුල් සෑදීමේදී පොළොව මතුපිටට දමන කුඩා පස්  තට්ටුව වැනි පස් තට්ටු මීයන් පොළොවේ බෙන සෑදීමේදී ද කුඹුර අද්දර තණකොළ මත දමා තිබෙනු දැක ගත හැකිය.  
මෙයින් පස් ටිකක් අතට ගත් පොඩි සිඤ්ඤෝ එය ගුලි ගසා බැලුවේය. නමුත් පස් ටික ගුලියක් ලෙස එකට රොක් නොවී පුපුරා ගියේය. එසේ වන්නේ පස්වල තෙතමනය අඩුවීම නිසා ය.  එය ඉදිරියේදී වැස්ස ආරම්භ වන බවට ලකුණකි. පස්වල තෙතමනය වැඩි නම් පස් ටික  ගුලි කළ විට එය ගුලියක් සේම නොබිඳී පවතී. එසේ නම් වැස්ස වහින්නට තව කල්ගත වනු ඇත. නියර ආශ්‍රිතව මීයන්ගේ බෙන ද ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. එහි අරුත මීයන් එම බෙනවල සිට පිටතටත්, යළි ඇතුලටත් වශයෙන් නිතර නිතර එහා මෙහා ගිය බව ය. එසේ නිතර නිතර එහා මෙහා යන්නේ වැස්ස ළඟ බැවින් අලුත් බෙන සාදන්නට ඔවුන් බෙනය හරහා නිරන්තරයෙන් පිටතට ආ ගිය නිසා ය.කුඹුරු සහ නියර ආශ්‍රිතව නොව ඊට එහා ගොඩබිමට වන්නට උන්  වැස්ස එන්නට පෙරාතුව අලුත් බෙන සාදා ගැනීමට උත්සුක වන්නේ තම ආරක්‍ෂාව සලසා ගැනීමට ය . වැසි වසින විට  නියරේ බෙන තුළ සිටීම උන්ට අවදානම් වෙයි. ඒවායේ සිටින උන්ගේ දරු පැටවුන්ද වැස්සට ගසාගෙන යනු ඇත. ඊට පෙර කුඹුරෙන් එපිට ගොඩබිමේ බෙන සාදාගන්නට ඔවුන් මහන්සි වන්නේ එනිසා ය.
IMG 20250321 WA0014එකට යා වූ ගොඩබිමක් සහ කුඹුරක්. මීයන් වැහි කාලයට නියරවල සිට බෙන සාදන්නට යන්නේ මෙම ගොඩබිම්වලට ය.
 
පොඩි සිඤ්ඤෝ වැනි ගොවිතැන තම ජීවය කරගත් අතීත ගැමියන්ට තමන් වගා කරන කුඹුරත්, සමස්ත මහ පොළොවත් දරුවෙකි. ඔවුන් මහ පොළොවට උදලු පහරක් ගැසුවේත්, ගසක අත්තක් කැපුවේත් තේරුමක් ඇතිව මිස ආවාට ගියාට නොවේ. මහ පොළොවට නොරිද වූ ඔවුහු එහි වූ පුංචි වෙනස්කමක් පවා හඳුනා ගත්හ. පරිසරය කෙරෙහි මනා සංවේදීතාවයක් පැවති  පොඩි සිඤ්ඤෝලා ට මීයන් නියරවල්වල තනාගෙන තිබූ උන්ගේ බෙනවල සිට කුඹුර අද්දර ගොඩබිම තෙක් එහා මෙහා ගිය  සියුම් පාරවල් පවා හඳුනා ගැනීමේ හැකියාව තිබිණි. ඔහු ඇලවේලි සුද්ද කරන්නට සුබ නැකතක් බැලුවේත්, කරණය ගැන විපරම් කළේත් ඉන් පසුව ය.
     
වැස්ස ළඟ එන බවත්, ඊළඟ කන්නයේ වැඩ ආරම්භ කිරීමට කාලය හරි බවත් පොඩි සිඤ්ඤෝ ලා අතීතයේ සතුන් ඇසුරෙන්  දැනගත් එක් ක්‍රමයක් වූයේ මීයන්ගේ මෙම හැසිරීම් රටාවයි. අතීතයේ  කුඹුරුවල  කොතෙක් මීයන් ගැවසුණේ දැයි කිවහොත් අඳුරු වැටීගෙන එනවිට කුඹුරුවලට නොයාමට ගොවියෝ ප්‍රවේසම් වූහ. ඒ අන් කිසිවක් නිසා නොව මීයන් අල්ලාගෙන කෑම සඳහා නයින් වැනි විසකුරු සර්පයන්  අඳුරු වැටුණු පසු නිතර කුඹුරුවලට පැමිණි නිසා ය. 
 
IMG 20250321 WA0013
     
අද වන විට මේ සර්පයන්ට සහ මීයන්ට රැඳී සිටින්නට කැලෑවල් හිඟ ය. අනෙක් අතට රසායනික ද්‍රව්‍ය නිසා ද උන් සෑහෙන පමණකට පරිසරයෙන්  වඳ වී ගොසිනි. නමුත් මී උණ තිබේ. මට යළිත් මතක් වෙන්නේ ඉන්දිකගේ සීයා කී කතාව ය. 
" ඉස්සර කාලෙ අහන්න දකින්න නොතිබුණ ලෙඩ දුක් දැන් අපට අහන්න දකින්න සිද්ධ වෙලා තියෙන්නේ ඔය රට පෝරයි, කුඹුරුවලට ගහන වහ ජාතියි හින්දා. අපි බොහොම ආදරෙන් දරුවෙක් වගේ සලකපු මේ මහ පොළොවට වහ දුන්නෙ අපිමයි. ඒවා තමයි බං අපි මේ විඳවන්නෙ"
IMG 20250321 WA0002
      
 
තවත් කොටසකින් යළිත් හමුවෙමු.
 
සියලු තොරතුරු සහ ඡායාරූප සපයා දෙමින් සහාය වන ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි (LOAM) පුහුණු උපදේශක ඉන්දික සම්පත් මහතාටත්, මෙම ලිපි පෙළ සඳහා අනුග්‍රහය දක්වන එම ආයතනයෙහි සභාපති තිලක් කාරියවසම් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි.
 
සටහන : ඉන්දු පෙරේරා  
 
සබැඳි ලිපි :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...