එය වර්ග කිලෝමීටර් 1.15ක් තරම් කුඩා වුවද, යටත් විජිත පාලනය, රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා මගින් හැඩගස්වා ඇති පොහොසත් ඉතිහාසයක් එයට ඇත. පරම්පරා ගණනාවක් තිස්සේ, තමිල්නාඩු (ඉන්දියාව) සහ උතුරු ශ්‍රී ලංකාවේ ධීවරයින් එහි ජලය ඔවුන්ගේ ජීවනෝපාය සඳහා භාවිත කර ඇති අතර, එය මධ්‍යස්ථ හමුවීමේ ස්ථානයක් බවට පත් කරගෙන ඇත.
එම දූපතේ නම පැමිණ ඇත්තේ කච්චල් (වඳ) සහ තීවු (දූපත) යන දෙමළ වචනවලින් වන අතර, එය ජනාවාසවලින් තොර වීම එම නාමකරණයට හේතු වී තිබේ.
ඉන්දියාවේ රාමනාධපුර රාජධානියේ කොටසක් ලෙස සැලකුනු කච්චතිව් දූපත පසු කාලයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී අයිතිකරුවන් කවුදැයි අපැහැදිලි විය. පසුව 1974 දී ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි යටතේ ද්විපාර්ශ්වික ගිවිසුමක් හරහා එය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර කෙරිණි. එතැන් පටන් එහි ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ පවතී ද්විපාර්ශ්වික ගිවිසුම භෞමික ආරවුල විසඳුවද, කච්චතිව් දූපත කලින් කලට ඉන්දීය දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් බවට පත් වේ.
කච්චතිව් දූපතට දේශපාලන ඉතිහාසයක් තිබියදීත්, එය වඩාත් ප්‍රසිද්ධ වන්නේ එහි තිබෙන ආගමික වැදගත්කම නිසාය. මෙම කුඩා දූපතේ දෙමළ ධීවරයින් විසින් ඉදිකරන ලද වසර 120ක් පැරණි ශාන්ත අන්තෝනි දේවස්ථානය පිහිටා තිබේ. නාවිකයින්ගේ අනුශාසක සාන්තුවරයා වන පාදුවාහි ශාන්ත අන්තෝනිට කැප වූ එය ඇදහිල්ලේ සහ එකමුතුකමේ සංකේතයක් ලෙස පවතී. සෑම වසරකම, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් දහස් ගණනක් දින දෙකක උත්සවයක් සඳහා මෙම දූපතට පැමිණෙති.
සෑම වසරකම පැවැත්වෙන කච්චතිව් දේවස්ථානයේ මංගල්‍යය සුවිශේෂී වන්නේ, එය විදේශ ගමන් බලපත්‍රයක් හෝ වීසා බලපත්‍රයක් නොමැතිව රටවල් දෙකක බැතිමතුන් සඳහා විවෘත වන එකම ස්ථානය සහ කාලය වන බැවිනි. මෙම දින දෙක හැරුණු විට, ශ්‍රී ලංකා නාවික හමුදාව පමණක් එහි ස්ථානගත කර ඇත. එම මංගල උත්සවය අතරතුර, රටවල් දෙකක බැතිමතුන්ගේ ආගමික ඇදහිලි, සංස්කෘතික අංග සහ මනරම් සමාජ සබඳතා එක් වන ස්ථානයක් බවට එය පත්වේ.
මෙම ලිපිය කච්චතිව් මංගල්‍යයේ සාරය, එහි ආගමික වැදගත්කම, සංස්කෘතික ජවය සහ ජාතීන් දෙකක් අතර එය පෝෂණය කරන ගැඹුරු සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා කරයි.
කච්චතිව් වෙත අපගේ ගමන ආරම්භ වූයේ යාපනයේ කුරිකට්ටුවාන් ජැටියෙනි. එය අපේක්ෂාවෙන් පිරුණු කාර්යබහුල දොරටුවක් වී තිබිණි. අප එහි පැමිණෙන විට, කොළඹ සිට පැමිණි සීටීබී බස් රථ සහ පෞද්ගලික වාහන සිය ගණනක් ඒ අවට ගාල් කර තිබිණි. ඒ බොහෝ වන්දනාකරුවන් අලුයම් කාලයේම තම ගමන ආරම්භ කර ඇති බවට සලකුණුය.
කච්චතිව් බලා යන බෝට්ටු වෙත යොමු කරමින් දිගු පෝලිමක් අප ඉදිරිපිට විහිදී තිබුණි. ඉබි ගමනින් ඉදිරියට ඇදුණු පෝලිමෙහි රැඳී සිටි පැය දෙකකට ආසන්න කාලය, අභියෝගාත්මක වන්දනා ගමනට අවැසි ඉවසීම ප්‍රගුණ කිරීමක් බඳුය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක් එක් බැතිමතුන්ගේ විස්තර සටහන් කර ගනිමින් ඔවුන්ට බෝට්ටුව වෙත ගොඩවීමට ඉඩ දුන්හ. සියලු දෙනාට ජීවිතාරක්ෂක කබායක් ද ලැබිණි.

අපේ බෝට්ටුවේ මගීන් 50ක් 60ක් පමණ වූහ. මුලදී සියල්ලෝම ආගන්තුකයෝ වූහ. සාමාන්‍යයෙන් බස් රථ සහ දුම්රියවල හුරුපුරුදු ඝෝෂාව මෙන් නොව, මෙය ගැඹුරු මුහුදට යන ගමනක් වැනි වෙනස් ආකාරයේ හැඟීමකි අප සියලුම දෙනාගේ සිත් තුළ තිබුණේ. අප බොහෝ දෙනෙකුට, එය මෙසේ මහ මුහුද හරහා බෝට්ටුවකින් ගමන් කළ පළමු අවස්ථාව විය.
යාත්‍රාව සෙමෙන් වෙරළෙන් ඉවතට ඇදී යන විට, දුරින් පිහිටි නාගදීප දූපත සහ ඩෙල්ෆ්ට් දූපත අපට දැකගත හැකි විය. මඳ වේලාවකින් බෝට්ටුවේ සිටි අප සියලුම දෙනා එකම වන්දනා නඩයක් බවට පත් වූ විට, මුලදී පැවති නිශ්ශබ්දතාවය සංවාද සහ සිනහවෙන් බිඳී ගියේය. ඇතැම් අය බෝට්ටුවේ ඉහළ කොටසට නැග මුහුදේ අසිරිය නරඹති. තවත් පිරිසක් බෝට්ටුවේ මුණගැසුණු මිත්‍රයන් සමඟ අල්ලාප සල්ලාපයකය. තවෙකෙකු විඩාව සහ මහන්සිය හේතුවෙන් නින්දේය. නව අත්දැකීමක ආනන්දය අපට දැනෙමින් තිබිණි.
අපගේ බෝට්ටුව කච්චතිව් වෙත ළඟා වන විට, සවස 3 යි. ආසන්න වශයෙන් එය පැය හයක ගමනකි. අප ඉදිරියේ දිස් වූයේ ඈතින් නැංගුරම් ලා ඇති සිය ගණනක් බෝට්ටුවල අසිරිමත් දර්ශනයයි. ඒවායේ වර්ණවත් බඳවල් රළ මත පැද්දෙමින් තිබුණි. ශාන්ත අන්තෝනි දේවස්ථානයේ යාච්ඤාවේ සහ සැමරුමේ ඈත ශබ්ද සමඟ මුසු වූ මුහුදේ සුවඳ සුලඟ රැගෙන ආවේය. ඉන්දියානු ධජය බෝට්ටු කිහිපයක ලෙළ දුන් අතර, දිවයිනේ එක් පසකින්, සියලුම අමුත්තන්ට උණුසුම් පිළිගැනීමක් ලබා දෙන්නාක් මෙන් ශ්‍රී ලංකා ධජ ඉහළට නැගුණි. ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙම ඓතිහාසික භූමියට පා තබන විට සියලු දෙනාගේම ආරක්ෂාව සහතික කිරීමට කැප වී සිටියේය.
දූපතට ගොඩබැස ඉදිරියට යන විට යළිත් නැවතුම්පොළකි. එහිදී අප සෑම කෙනෙකුටම එදින රාත්‍රී භෝජනය සහ පසුදා උදෑසන ආහාරය සඳහා කූපන්පත් ලැබිණි. ඉන්පසු, ආගන්තුක දූපතෙහි අපේ නිදහස් සංචාරය ආරම්භ විය.

තාවකාලික නගරයක්


සාමාන්‍යයෙන් නිසරු හා පාළු ස්ථානයක් වන කච්චතිව් දූපත මංගල්‍ය සමයට ජනාකීර්ණ නගරයක් බවට පත් වෙයි. අලුතින් සකස් කරන ලද මාර්ග, ජල ටැංකි සහ සනීපාරක්ෂක පහසුකම් සහිත ඒ තාවකාලික නගරය විදුලිපහන්වලින් ආලෝකමත් විය. වන්දනාකරුවෝ, දින දෙකක සැමරුම් සඳහා රැඳී සිටීමට තැන් තැන්වල වන ලැහැබ ශුද්ධ පවිත්‍ර කරමින් කූඩාරම් ඉදි කරති. අලුත් රාජධානියකට පිවිසෙන්නාක් මෙන්, බෝට්ටුවලින් බැස, විශාල මලු සහ භාජන රැගෙන දූපත තුළට ගමන් කරන විවිධ නඩවල අය, තමන්ට රිසි තැන් සිය වාසභූමිය ලෙස තෝරාගනිති. දරුවන් හා වැඩිහිටියන් සහිත පවුලක්ද මිතුරු මිතුරියන්ගෙන් සැදුණු තවත් නඩයක්ද අප සමගම දූපත තුළට ගමන් ගත්හ. ඔවුන් පැමිණ තිබුණේ ඉන්දියාවේ රාමේශ්වරම් සිටය.

මධ්‍යහන හිරු එළියට කරවී පැමිණෙන බැතිමතුන්ට සීතල දොඩම් අලෙවි කරන කුඩා කඩයකි. එහෙත් එය රටවල් දෙකක මුදල්වලින් ගනුදෙනු කරන ජාත්‍යන්තර වෙළෙඳසැලකි. “ඉන්දියාවේ සල්ලි වලින් රුපියල් පනහයි, ලංකාවේ සල්ලි වලින් එකසිය පනහයි” දොඩම් වීදුරුවක මිල ඇසූ විට, කඩ විමියා පිළිතුරු දුන්නේය. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ සිංහල ජාතිකයෙකි. අපව උණුසුම් ලෙස පිළිගනිමින් සිසිල් බීම පිළිගැන්වූ ඔහු, අපට අවවාදයක්ද දුන්නේය. “එක දෙයක්, රෑට මේ දූපතේ ඇතුළේ ඇවිදින්න යන්න එපා. භයානක සර්පයන් ඉන්නවා.”
ජාතික හා සංස්කෘතික සංකලනය

අප කච්චතිව් දූපත තුළ ඉදිරියට ගමන් කරමින් සිටියදී, වන්දනාකරුවන් බොහෝ දෙනෙකු අතර ඇසෙන පොදු ප්‍රශ්නයක් දෝංකාර දුන්නේය: "ඔබ කොහෙන්ද?" මෙම සරල විමසුම එම අසිරිමත් දිවයිනෙහි අද්විතීය සංස්කෘතික සහ ප්‍රජා විවිධත්වය හෙළිදරව් කළේය. ඔවුන් ලබා දෙන පිළිතුරු එකිනෙකා අතර අලුත් මිත්‍රත්වයකට මග පාදයි. යාපනය, තලෙයිමන්නාරම සහ පේදුරු තුඩුව වැනි ශ්‍රී ලාංකික ප්‍රදේශවල ධීවරන් රාමේෂ්වරම්, කරෙයිකාල් සහ නාගපට්ටිනම් සිට පැමිණි ඔවුන්ගේ ඉන්දියානු සගයන් සමඟ මිතුදමෙහි බැඳෙනුයේ, උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේදී එකිනෙකා අතර පවතින පසමිතුරු බව අමතක කරමිනි. මෙම උත්සවය සඳහා පැමිණි සියලුම භක්තිකයන් තමන්ගේ අනන්‍යතාව තුළින් අලංකාර වර්ණයක්, එම භූමියට සහ ශාන්ත අන්තෝනි මංගල්‍යයට එක් කළේය.

වන්දනාකරුවන් ඉන්දියානු ට්‍රෝලර් ධීවර බෝට්ටු රාශියක්, කච්චතිව් අවට නැංගුරම් ලා තිබුණි. ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම පිළිබඳ චෝදනා හේතුවෙන් බොහෝ විට බරපතළ ගැටලු නිර්මාණය කරන මෙම ට්‍රෝලර් යාත්‍රා, උත්සවය පුරා පැතිරී ඇති එකමුතුකමේ ආත්මයට හාත්පසින්ම වෙනස් කාරණාවක් විය. විශේෂයෙන්, අත්අඩංගුවට ගැනීම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් ඉන්දියානු ධීවරයින් විසින් නිතර චෝදනා කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාව, කච්චතිව් මංගල්‍යයේදී කරුණාවන්ත සත්කාරකයින්ගේ භූමිකාව භාරගෙන තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරටේම වන්දනාකරුවන්ට කිසිදු භේදයකින් තොරව අත්‍යවශ්‍ය පහසුකම් සියල්ල සැපයූ අතර, නැංගුරම් ලා ඇති ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පවා ආරක්ෂා කළේය. ඉන්දියාව සිට පැමිණි ඇතැම් මහළු බැතිමතුන්ට බෝට්ටුවෙන් ගොඩබිමට බැස ගැනීමට අසීරු වූ අවස්ථාවන්වල නාවික හමුදාව ඔවුන්ගේ දෑත් දිගු කරමින් ඔවුන්ව ගොඩබිමට ඉතාමත් ආරක්ෂාකාරීව රැගෙන එන අවස්ථා බොහෝමයක් අපි දුටුවෙමු. දූපතට පැමිණෙන සියලු බෙදෙනාගේ ආරක්‍ෂාව ඔවුන් තහවුරු කළේය.

නාවික හමුදාවේ "සත්කාරක මෙහෙයුම" කච්චතිව දූපතේදී අපට මුණගැහුණු, කපිතාන් කසුන් විමුක්ති මහතා උත්සවය සඳහා නාවික හමුදාවේ කැපවීම
පිළිබඳව මෙසේ පැහැදිලි කළේය:
"මම සතියක් විතර හරියට නිදාගත්තේ නෑ. මාත් එක්ක නාවික හමුදා නිලධාරීන් සිය ගණනක් පසුගිය මාසය පුරා මෙම දූපතේ මෙන්න මේ උත්සවයට අදාළ පහසුකම් හැදුවා. අපි බැකෝ යන්ත්‍ර භාවිතා කර අලුතින්ම මාර්ගයක් හදලා, පානීය ජල පහසුකම් සපයලා, තාවකාලික වැසිකිළි හා නාන ස්ථාන සකස් කරලා තියෙනවා.

ඊට අමතරව අපේ නාවික හමුදාවේ වෛද්‍යවරුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්නවා. වන්දනාකරුවන් සඳහා ආහාර සැපයුම්ද අපි ලබා දෙනවා. අපගේ කාර්ය මණ්ඩලය මේ හැමදේම ඉතාමත් කැමැත්තෙන් තමයි කරන්නෙ. ඇත්තටම මේ රාජකාරිය තමයි සෑම වර්ෂයේම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරිලා තියන විශාලතම රාජකාරිය. ඊට අමතරව මේ උත්සවය ලංකාවේ ගැසට් කරන ලද ආගමික උත්සවයක් ලෙස නිල වශයෙන්ම පිළිගෙන තියෙනවා. ඉතින් හැමදේම අපි ගොඩක් පිළිවෙළට කරන්න උත්සාහ කරනවා. මේ වන විට, අපි බලාපොරොත්තු වුණාට වඩා බැතිමතුන් පිරිසක් ඇවිල්ලා තියෙනවා. ආසන්න වශයෙන් 8,500 විතර ඉන්නවා. අපි සවස හයට පස්සෙ කාවවත් මේ දූපතට ගන්නෙත් නෑ දූපතෙන් යන්න දෙන්නෙත් නෑ.”



අතීත දුක්ගැනවිලි ඉක්මවා යමින් ඇදහිල්ල හා සම්ප්‍රදායන් සමෘද්ධිමත් කළ හැකි පරිසරයක් පෝෂණය කිරීම සඳහා නාවික හමුදාවේ කැපවීම කපිතාන් විමුක්තිගේ වචනවලින් අවධාරණය කෙරිණි. නාවික හමුදාවේ සහ උත්සව කමිටුවේ, විශේෂයෙන් ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ඉමහත් උත්සාහයන් මඟින් රටවල් දෙකෙන්ම පැමිණි වන්දනාකරුවන්ට ආහාර පාන ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා ගත හැකි බව ඔවුන් සහතික විය.
අසිරිමත් වෙළෙඳ සල්පිල

ශ්‍රී ලංකාවේ ආගමික මංගල්‍ය උත්සව අවස්ථාවලදී අපට හුරු පුරුදු මාර්ගය දෙපසේ ඉදිකර තිබෙන විසිතුරු කඩ පේළි කච්චතිව් මංගල්‍යයේදීත් දක්නට ලැබිණි. මෙම කඩවල්හි විකුණන්නට තිබූ භාණ්ඩ සහ ගනුදෙනුවල ස්වභාවය, රටවල් දෙකක ජාතීන් කිහිපයක අවශ්‍යතා සහ ආශාවන්හි විවිධත්වයේ පිළිබිඹුවකි. දෙරටේම වෙළඳුන් සාම්ප්‍රදායික ඇඳුම් ආභරණවල සිට රසවත් ආහාර ද්‍රව්‍ය දක්වා විවිධ භාණ්ඩ රාශියකින් යුක්ත වෙනස් වූ සාප්පු සවාරියක අත්දැකීමක් බැතිමතුන්ට ලබා දුන්නේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මුදල් දෙකම සියලුම කඩවල්වල පිළිගනු ලබන අතර, සාපේක්ෂ අගයන් පිළිබිඹු කරන විනිමය අනුපාතයක් එහි තිබුණේය:
ශ්‍රී ලංකා රුපියල් 15 ඉන්දියානු රුපියල් 5 ට සමාන වේ.
සුවිශේෂී කාරණාවක් ලෙස අප තුළ කුතුහලයක් ඇතිකළ භාණ්ඩයක් සියලුම ශ්‍රී ලාංකික කඩවල්වල දක්නට ලැබිණි. එනම් රාණි සබන්ය. එහි රහස කුමක්දැයි අපි යාපනයේ වෙළෙන්දෙකු වන මුත්තලහි ගෙන් ඇසූ විට, ඇය මෙසේ පැහැදිලි කළාය:
"ඉන්දියාවේ ධීවරයින් ශ්‍රී ලංකාවේ රාණි සබන්වලට හරි ආසයි. ඔවුන් හැම අවුරුද්දකම අපෙන් ඒවා මිලදී ගන්නවා. ඒ වගේම ඔවුන් ලංකාවේ සැමන් මාළුවලටත් හරි කැමතියි. ඒ නිසා, අපි ඒවා යාපනයෙන් මෙහෙට අරන් ඇවිල්ල විකුණනවා. අපි රාණි සබන් කැබැල්ලක් ඉන්දියානු මුදලින් රුපියල් 50ට විකුණනවා"



උත්සව වාණිජ්‍යය මධ්‍යයේ, උත්සවයේ අධ්‍යාත්මික සාරය දීප්තිමත් ලෙස බැබලුණි. ජාතීන් දෙකක බැතිමතුන් භාෂා හෝ ජාතිකත්වයේ වෙනස්කම් නොමැතිව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වූහ.


මේ උත්සවය සඳහා පැමිණෙන බහුතරය දෙරටේම සාමාන්‍ය ධීවර ප්‍රජාවයි. ඔවුන් දෙපිරිසම සරලව දෙමළ භාෂාවෙන් කතා කිරීම හේතුවෙන් ඔවුන් අතර පහසුවෙන් සබඳතා ගොඩනැගිණි. යාපනයේ අගරදගුරුතුමාගේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් පැමිණි බිෂොප්වරුන් දක්වා ආගමික නායකයින්ගේ පැමිණීම උත්සවයේ බහු සංස්කෘතික සමගිය ප්‍රතිමූර්තිය අවධාරණය කළේය. මෙම කච්චතිව් උත්සවය, භූ දේශපාලනික සීමාවන් ඉක්මවා යමින්, වාණිජ්‍යය, සංස්කෘතිය සහ ආධ්‍යාත්මිකත්වය බද්ධ වූ අසල්වැසි ප්‍රජාවන් අතර කල් පවතින බැඳීම් පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී.
සටහන :
ශබීර් මොහොමඩ්
ලබන සතියේ:
මැදියම් රැයේ කච්චතිව් සල්ලාපය!















