The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද?

T

The Leader Desk

April 4, 2025 • 6:17 AM

ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 මාර්තු 31 දින විධායක නියෝගයකට අත්සන් කිරීමට සූදානම් වෙමින්.
  • ඔහුට අවශ්‍ය වී ඇත්තේ, "අන්‍යෝන්‍ය තීරු බදු", එනම් අනෙකුත් රටවල් ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරන බදුවලට ගැලපෙන ආකාරයේ බදු හඳුන්වා දීමට ය.
  • අනෙකුත් රටවල් බොහෝ විට අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පනවා ඇති බවත්, "මිතුරා සහ සතුරා යන දෙඅංශයෙන් ම වෙළෙඳ හවුල්කරුවන් ඇමෙරිකාවට අසාධාරණ ලෙස සලකා ඇතැයි" තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා පැවසීය.
  • උදාහරණයක් ලෙස, රටකට සහල් ආනයනය සඳහා 10%ක බද්දක් සහ මෝටර් රථ ආනයනය සඳහා 25%ක බද්දක් පැනවිය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරටට ආනයනය කරන ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩ සඳහා තීරු බදු හෝ ආනයන බදු පරාසයන් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ඔහුට අවශ්‍ය වී ඇත්තේ, "අන්‍යෝන්‍ය තීරු බදු", එනම් අනෙකුත් රටවල් ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරන බදුවලට ගැලපෙන ආකාරයේ බදු හඳුන්වා දීමට ය.

අනෙකුත් රටවල් බොහෝ විට අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පනවා ඇති බවත්, "මිතුරා සහ සතුරා යන දෙඅංශයෙන් ම වෙළෙඳ හවුල්කරුවන් ඇමෙරිකාවට අසාධාරණ ලෙස සලකා ඇතැයි" තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඔහුගේ තර්කය වලංගු දැයි BBC Verify විසින් සොයා බැලීමක් කළේ ය.

ආනයන සඳහා රටවල් තීරු බදු පනවන්නේ කෙසේ ද?


පළමුව, ගෝලීය වෙළෙඳාමේ නීති තේරුම් ගැනීම වැදගත් වේ.

ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජික කොන්දේසි යටතේ, ආනයන මත තීරුබදු පැනවීමට රටවලට අවසර තිබේ.

ආනයනය කරනු ලබන අයිතමයන්ට අනුව එම ගාස්තු වෙනස් විය හැකි ය.

උදාහරණයක් ලෙස, රටකට සහල් ආනයනය සඳහා 10%ක බද්දක් සහ මෝටර් රථ ආනයනය සඳහා 25%ක බද්දක් පැනවිය හැකි ය.

නමුත් ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිරීති යටතේ, යම් ආනයනික භාණ්ඩයක් සඳහා තීරු බදු නියම කිරීමේදී ජාතීන් අතර වෙනස්කොට සැලකීමක් නොකළ යුතු ය.

උදාහරණයක් ලෙස, ඊජිප්තුවට රුසියාවෙන් ලැබෙන තිරිඟු සඳහා 2%ක බද්දක් සහ යුක්රේනයෙන් ලැබෙන තිරිඟු සඳහා 50%ක බද්දක් අය කළ නොහැක.

wft

මෙය ජාත්‍යන්තර වෙළෙඳාමේ "වඩාත් ම හිතවාදී රටවල්" (MFN) යන මූලධර්මය ලෙස හැඳින්වේ: රටක් සියලු ම වෙළෙඳ හවුල්කරුවන්ගෙන් භාණ්ඩ සඳහා එක ම බද්දක් අය කළ යුතු ය.

රටවල් දෙකක් තම වෙළෙඳාමෙන් වැඩි කොටසක් ආවරණය වන පරිදි නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන විට අතිරේක කොන්දේසි ඇත. මෙම තත්ත්වයන් යටතේ එම රටවල් දෙක අතර ගනුදෙනු කෙරෙන භාණ්ඩ සඳහා කිසිදු තීරු බදු පැනවීමක් කළ නොහැකි නමුත් ලෝකයේ වෙනත් සෑම රටකින් ම පැමිණෙන භාණ්ඩ සඳහා තීරු බදු පවත්වා ගෙන යා හැකි ය.

රටවල් විසින් දැනට පනවා ඇති තීරු බදු මොනවා ද?

tariffs ss
බොහෝ රටවලට විවිධ භාණ්ඩ ආනයනය කිරීම් ආවරණය වන පරිදි තීරු බදු අනුපාත පරාසයක් ඇති අතර, ඔවුන් ලෝක වෙළෙඳ සංවිධානය වෙත සාමාන්‍ය බාහිර තීරු බදුවක් ද වාර්තා කරයි, එය සියලු ම ආනයන සඳහා යොදන සමස්ත සාමාන්‍ය තීරු බදු අනුපාතය පිළිබිඹු කරයි.

2023 දී ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය බාහිර තීරු බදු සාමාන්‍යය 3.3%ක් විය.

එය බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය තීරු බදු අගය වන 3.8%ට වඩා තරමක් අඩු ය.

එය යුරෝපා සංගමයේ සාමාන්‍ය තීරු බදු අගය වන 5%ට සහ චීනයේ සාමාන්‍ය තීරු බදු අගය වන 7.5%ටත් වඩා අඩු විය.

අනෙකුත් වෙළෙඳ හවුල්කරුවන්ගේ සාමාන්‍ය තීරුබදු සමග සැසදීමේදී ඇමරිකාවේ සාමාන්‍ය තීරු බදු සැලකිය යුතු ලෙස අඩු අගයක් පෙන්නුම් කරයි.

උදාහරණයක් ලෙස, ඉන්දියාවේ තීරු බදු සාමාන්‍යය 17%ක් වන අතර දකුණු කොරියාවේ තීරුබදු සාමාන්‍යය 13.4%කි.

 

Header SF Tariffs JD
ඇමෙරිකාවේ සාමාන්‍ය තීරු බදු මෙක්සිකෝවට (6.8%) සහ කැනඩාවට (3.8%) වඩා අඩු වූ නමුත් ඇමෙරිකාව සහ මෙම රටවල් අතර වන වෙළෙඳ ගිවිසුම්වලින් අදහස් වන්නේ, ඔවුන්ට ඇමෙරිකානු අපනයන තීරු බදුවලට යටත් නොවන බව ය. ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතින දකුණු කොරියාව සඳහා ද එම අගය ම ගනී.

නමුත් පුළුල් ලෙස කිවහොත්, ඇතැම් රටවල ආනයන සඳහා ඇමෙරිකාවට වඩා ඉහළ සාමාන්‍ය තීරු බදු ඇති බව ට්‍රම්ප් පෙන්වා දීම නීත්‍යනුකූල වේ.

එම තීරු බදු එම රටවලට බොහෝ ඇමෙරිකානු අපනයනවල පිරිවැය ඉහළ නංවයි, එය එක්සත් ජනපදයට අලෙවි කරන එම රටවල අපනයනකරුවන්ට සාපේක්ෂව එක්සත් ජනපද අපනයනකරුවන්ට අවාසිදායක යැයි පැවසිය හැකි ය.

wto789789
කෙසේ වෙතත්, මෙය ඇත්ත වශයෙන් ම ඇමෙරිකාවට හානිකර අසාධාරණ වෙළෙඳාමක් ද යන්න පැහැදිලි නැත.

බොහෝ ආර්ථික විශ්ලේෂකයින් විනිශ්චය කරන්නේ, ආනයන තීරු බදුවල පිරිවැය අවසානයේ දරනු ලබන්නේ ඒවා පනවන රටේ ජීවත්වන ජනතාව විසින් බව ය. මන්ද ඒවා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට හේතු විය හැකි බැවිනි.

මෙයින් අදහස් කෙරෙන්නේ, ඇමෙරිකාවට සාපේක්ෂව ඉහළ බාහිර තීරු බදු ඇති රටවල් ඇමරිකානුවන්ට නොව තමන්ගේ ම පාරිභෝගිකයින්ට දඬුවම් කරන බවයි.

අන්‍යෝන්‍ය තීරු බදු ගාස්තු ක්‍රියාත්මක වන්නේ කෙසේද?

 

WhatsApp Image 2025 04 03 at 9.14.46 AM 1
පෙබරවාරි 10 වන දින, ට්‍රම්ප් යෝජනා කළේ ඇමෙරිකානු භාණ්ඩ සඳහා අය කරන ආකාරයට ම, එක් එක් රටින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සාමාන්‍ය තීරුබදු අය කළ හැකි බව ය.

"ඔවුන් අපෙන් අය කරනවා නම්, අපිත් ඔවුන්ගෙන් අය කරනවා. ඔවුන් 25 නම්, අපිත් 25 යි. ඔවුන් 10 නම්, අපිත් 10 යි," ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

මෙය ලෝක වෙළඳ සංවිධානයේ වඩාත් ම හිතවාදී රටවල් (MFN) යනුවෙන් හැඳින්වෙන නීති කඩ කිරීමට ඉඩ ඇති අතර, එම නීතිරීතිවලට අනුව, යම් භාණ්ඩයක් පැමිණියේ කොහෙන් ද යන්න නොසලකා කිසියම් රටක් සමාන තීරු බදු පැනවීමට කටයුතු කළ යුතු ය.

 

උදාහරණයක් ලෙස, ඇමෙරිකාව වියට්නාමයෙන් එන සියලු ම භාණ්ඩ සඳහා 9.4%ක තීරු බද්දක් සහ බ්‍රිතාන්‍යයෙන් එන සියලු ම භාණ්ඩ සඳහා 3.8%ක තීරු බද්දක් (ඔවුන්ගේ ම සාමාන්‍ය බාහිර තීරු බදුවලට සමාන) පැනවුවහොත් එය නීති උල්ලංඝණය කිරීමක් වනු ඇත.

ඉලක්කගත රට දැනටමත් යම් ආකාරයකින් ලෝක වෙළෙඳ සංවිධානයේ නීති උල්ලංඝණය කරන බව ඇමෙරිකාවට පෙන්වා දිය හැකි නම්, එම රටට එරෙහිව නිශ්චිත පළිගැනීමේ අරමුණකින් තීරු බදු පැනවීම එම සංවිධානයේ නීති යටතේ යුක්තිසහගත බව ප්‍රකාශ කිරීමට එම සංවිධානයට හැකි වනු ඇත.

නමුත් පොදු මූලධර්මයක් ලෙස අන්‍යෝන්‍ය ගාස්තු පැනවීම උල්ලංඝණයක් වීමට ඉඩ ඇත.

වෙන වෙන ම භාණ්ඩ සඳහා තීරු බදු ගැලපීම ගැන කිව හැක්කේ කුමක් ද?

 


තවත් විකල්පයක් නම්, ට්‍රම්ප්ට විවිධ රටවල සාමාන්‍ය තීරු බදු අනුපාත පමණක් නොව, තනි අයිතම සඳහා තීරු බදු පැනවීමේ හැකියාව පවතී.

උදාහරණයක් ලෙස, යුරෝපා සංගමය - ඇමෙරිකාව ඇතුළුව, සමූහයෙන් පිටත රටවලින් ආනයනය කරන සියලු ම මෝටර් රථ සඳහා 10%ක තීරු බද්දක් පනවයි.

නමුත් ඇමෙරිකාව, යුරෝපා සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුළුව ආනයනික මෝටර් රථ සඳහා පනවන්නේ 2.5%ක තීරු බද්දක් පමණි.

එය සාධාරණීකරණය කිරීමට ඇමෙරිකාවට, යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 10%ක බද්දක් පැනවීමට තීරණය කළ හැකි ය.

කෙසේ වෙතත්, ලෝක වෙළෙඳ සංගමයේ සාමාජිකයින් 166 දෙනා භාවිත කරන භාණ්ඩවල විශාල විවිධත්වයක් සහ විවිධ තීරු බදු නීති නිසා, එක් එක් රටින් ආනයනය කරන සෑම වර්ගයක ම භාණ්ඩ සඳහා වෙන ම තීරුබදු ගැලපීමට උත්සහ කිරීම ඉතා සංකීර්ණ හා කාලය ගත වන කාර්යයකි.

ට්‍රම්ප්ගේ නිල සැලැස්මේ සඳහන් වූයේ වෙළෙඳාම දුෂ්කර කරන අනෙකුත් රටවල නීති, දේශීය සහනාධාර, මුදල් වටිනාකම් සහ එකතු කළ අගය මත බදු (VAT) වැනි දේවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඇමෙරිකාවට අන්‍යෝන්‍ය තීරුබදු භාවිත කළ හැකි බව ය.

ඇමෙරිකාව භාණ්ඩ සඳහා වැට් බද්ද අය නොකරන නමුත් බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් බොහෝ රටවල් එය සිදු කරති.

මෙය තීරුබදු පැනවීම තවත් සංකීර්ණ කළ හැකි ය.

yang
දේශීය රෙගුලාසි සහ සහනාධාර වෙළෙඳාම සඳහා වැදගත් තීරු බදු නොවන බාධකයක් විය හැකි බවට ආර්ථික විද්‍යාඥයන් එකඟ වන අතර, දේශීය වශයෙන් විකුණනු ලබන සියලු ම භාණ්ඩ සඳහා වැට් බද්ද අය කරන බැවින් මෙම ගණයට නොවැටෙන බවත්, එබැවින් එක්සත් ජනපදයෙන් ආනයනය සඳහා සාපේක්ෂ පිරිවැය අවාසියක් ඇති නොවන බවත් ඔවුහු අවධාරණය කරති.

ලෝක වෙළෙඳ සංවිධානය වැට් බද්ද වෙළෙඳ බාධකයක් ලෙස ලැයිස්තුගත නොකර යි.

ඇමෙරිකාවේ තීරු බදු ඇත්තට ම අඩු වෙයි ද?

tr34634
සෑම රටක ම තීරු බදු නිවැරදිව ගැලපීමට ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ නම්, ඇමෙරිකාවට ඒවා වැඩි කිරීම පමණක් නොව, සමහර තීරු බදු අඩු කිරීමට ද සිදුවනු ඇත.

ඇමෙරිකාව ඇතැම් වෙළෙඳ හවුල්කරුවන්ට වඩා ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉහළ තීරු බදු පනවා ඇත.

නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය දැනට 10%ට වඩා වැඩි කිරි ආනයන සඳහා ඵලදායී තීරුබදු පනවයි. නමුත්, ප්‍රධාන ගෝලීය කිරි නිෂ්පාදකයෙකු වන නවසීලන්තය එහි කිරි නිෂ්පාදන ආනයන සඳහා තීරු බදු අය නොකර යි.

ඇමෙරිකාව කිරි සඳහා තීරු බදු ගාස්තු නිර්මාණය කර ඇත්තේ, විස්කොන්සින් ප්‍රාන්තයේ බොහෝ දෙනෙකු ඇතුළුව කිරි ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වුව ද, නවසීලන්තයේ කිරි අපනයනකරුවන් සඳහා වන තීරු බදු අඩු කිරීම එම ප්‍රාන්තයේ දේශපාලනඥයින්ගේ විරෝධයට මුහුණ දීමට ඉඩ තිබේ.

තනි භාණ්ඩ මත පදනම් වූ සැබවින් ම සාධාරණ ඇමෙරිකානු තීරු බදු ක්‍රමයක් මගින් එරට මෝටර් රථ කර්මාන්තයට ගැටලු ඇති විය හැකි ය.

යුරෝපා සංගමය ඇතුළු රටවලින් ආනයනික ට්‍රක් රථ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය 25%ක තීරු බදු පනවයි.

නමුත් ඇමෙරිකාව ද ඇතුළු සෙසු රටවලින් ආනයනික ට්‍රක් රථ සඳහා යුරෝපා සංගමය පනවා ඇති තීරු බද්ද 10%ක් පමණි.

 

trt567657
එබැවින්, යුරෝපා සංගමයෙන් පැමිණෙන ට්‍රක් රථ සඳහා සාධාරණ ඇමෙරිකානු තීරු බදු පැනවීමක් යන්නෙන් අදහස් වන්නේ ඇමෙරිකාවට තමන්ගේ ම ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු අඩු කිරීමට සිදුවනු ඇති බව යි.

ඇමෙරිකානු මෝටර් රථ නිෂ්පාදකයින් යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා සාධාරණ තීරු බදු පැනවීමකට සහය දැක්විය හැකි නමුත්, යුරෝපා සංගමයේ ට්‍රක් රථ සඳහා සාධාරණ තීරු බදු පැනවීමකට ඔවුන් අකමැති විය හැකි ය.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා ට්‍රම්ප් පැහැදිලි කළේ වානේ සහ ඇලුමිනියම් වැනි ඔහුගේ සැලසුම්ගත තීරු බදු කිහිපයක් අන්‍යෝන්‍ය තීරුබදුවලට ඉහළින් එකතු කරන බවත්, වෙළෙඳාමේ සැබෑ සාධාරණත්වය ඔහුගේ ප්‍රධාන ඉලක්කය නොවන බවත් ය.

(සටහන | බෙන් චූ)
BBC Verify

උපුටා ගැනීම - BBC සිංහල සේවය


සබැඳි ලිපියක්  :
ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද දමයි ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද? | The Leader