The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුරුණිය : කුලියක් මලියක් නැතිව එකිනෙකා සහයෝගයෙන් කළ වී වගාව (3 කොටස) | ඉන්දු පෙරේරා

T

The Leader Desk

April 4, 2025 • 12:08 PM

කුරුණිය : කුලියක් මලියක් නැතිව එකිනෙකා සහයෝගයෙන් කළ වී වගාව (3 කොටස) | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ගම් ප්‍රදේශයේ සිටි මහ ගොවියා පොඩි සිඤ්ඤෝ ය.
  • මහ ගොවියා ලෙස ගම්මුන් හැඳින්වූයේ වී වගාව පිළිබඳ මනා අත්දැකීම් ඇති, අනෙක් ගොවියන්ට උපදෙස් දෙන්නට තරම් පාරම්පරික දැනුමෙන් පොහොසත්, එනිසා ම නායකත්ව ලක්ෂණවලින් යුතු, වයසින් පරිණත පුද්ගලයෙකි.
  • ඒ හැරුණු විට මහ ගොවියා ද ෆුල් ටයිම් ගොවියෙක් ම ය. ඊළඟ කන්නයේ වැඩ පටන් ගන්නට කාලය එළඹ ඇති බව පාරිසරික සහ දේශගුණික ලක්ෂණ ආදියෙන් තහවුරු කරගත් පොඩි සිඤ්ඤෝ ගමේ කඩේට ගියේ අනෙකුත් ගොවියන්ට පණිවිඩ යවන්නට සිතාගෙන ය.
  • පණිවිඩේ යවහංකො කාට කාටත් දැනගන්න" "හොඳමයි පොඩි සිඤ්ඤෝ අයියේ" කුඹුරු වැඩ යනු රාජකාරියක් ලෙසින් නොසැලකුණු ඒ කාලයේ ගම්මුන්ට එය තමන්ගේ දෙයක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ ගම් ප්‍රදේශයේ සිටි මහ ගොවියා පොඩි සිඤ්ඤෝ ය. මහ ගොවියා ලෙස ගම්මුන් හැඳින්වූයේ වී වගාව පිළිබඳ මනා අත්දැකීම් ඇති, අනෙක් ගොවියන්ට උපදෙස් දෙන්නට තරම් පාරම්පරික දැනුමෙන් පොහොසත්, එනිසා ම නායකත්ව ලක්ෂණවලින් යුතු, වයසින් පරිණත පුද්ගලයෙකි. ඒ හැරුණු විට මහ ගොවියා ද ෆුල් ටයිම් ගොවියෙක් ම ය. 
     
ඊළඟ කන්නයේ වැඩ පටන් ගන්නට කාලය එළඹ ඇති බව පාරිසරික සහ දේශගුණික ලක්ෂණ ආදියෙන් තහවුරු කරගත් පොඩි සිඤ්ඤෝ ගමේ කඩේට ගියේ අනෙකුත් ගොවියන්ට පණිවිඩ යවන්නට සිතාගෙන ය.
 
Antique travel photographs of Sri Lanka: Natives from Colombo
     
"පොඩි සිඤ්ඤෝ අය්යා මොකෑ අද උදැහැනැක්කෙ?"
     
"කහට එකක් දාපන්කො ගුණේරිස් මල්ලියෙ" කියමින් පොඩි සිඤ්ඤෝ ඉදිරිපස එල්ලා තිබූ පුවාලු කැනෙන් ගෙඩියක් කඩා ගත්තේය. ඉන්පසු විස්කිරිඤ්ඤා බෝතලයේ මූඩිය හැර එයින් ද එකක් ගෙන පිල මත වාඩි විය. 
       
"කවද දිහාටද කන්නෙ වැඩ පටන් ගන්න හිතන් ඉන්නෙ පොඩි සිඤ්ඤෝ අය්යෙ? මෙදා පාර අපේ දෙනියෙ කෑල්ලත් වපුරන්න ඕනෙ කියල මාමණ්ඩි ඊයෙ කියනව මං අහගෙන"
       
"මම මේ ආවෙත්‍ කන්නෙ වැඩ පටන් ගන්න පණිවිඩේ කියාගෙන යන්න තමයි. හෙට ඇලවේලි සුද්ද කරන්න නැකතට වැඩ පටන් ගන්න ඕනෙ. පණිවිඩේ යවහංකො කාට කාටත් දැනගන්න"
       
"හොඳමයි පොඩි සිඤ්ඤෝ අයියේ"
 
ploughing the rice fields
 
කුඹුරු වැඩ යනු රාජකාරියක් ලෙසින් නොසැලකුණු ඒ කාලයේ ගම්මුන්ට එය තමන්ගේ දෙයක් විය. එනිසා ගමේ හැමදෙනාගේම කුඹුරු වැඩවලට පංගුබේරුවක් නැතුව හැමදෙනාම උදව් වූහ. ඒ කිසි කුලියකට මලියකට නොවේ. මහගොවියා කුඹුරු වැඩ ආරම්භ කරන දිනය බොහෝවිට කීවේ ගමේ කඩේට ය. මොන ආකාරයකින් හෝ කටින් කට පණිවිඩය ගිය පසු නියමිත දින නියමිත වෙලාවට සියලු දෙනා කුඹුරුවලට එකතු වෙයි. 
IMG 20250404 WA0000
 
වර්තමානය වන විට මෙම කාර්යය කරන්නට මහ ගොවියන් නොමැත. දැන් සිදුවන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් කන්න රැස්වීම පැවැත්වීම ය. එය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, කෘෂිකර්ම උපදේශක, ග්‍රාම නිලධාරී, ගොවි ජන සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් වැනි නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් එනම් ගොවි මහතුන් ගේ සහභාගිත්වයෙන් සිදුවේ. එහිදී කතා කරන්නේ ඊළඟට වපුරන කාලසීමාව සහ මීට අදාළ නොයෙකුත් ගැටලු ආදිය ගැනයි. 
       
ගමේ මහ ගොවියා වූ පොඩි සිඤ්ඤෝ ගේ පණිවිඩයට අනුව ගොවියෝ දහඅට දෙනෙකු පසුදින නියමිත වෙලාවට එක් කුඹුරකට රැස් වූහ. සියලු දෙනාම සඳහා එදින සුබ නැකතට වැඩ ආරම්භ කිරීමට තීරණය කරගනු ලැබිණි. වැඩ ආරම්භ කිරීමේ සංකේතයක් ලෙස සෑම ගොවියෙකුම තමන්ට අයත් කුඹුරෙහි සුබ දිසාවට සහ සුබ හෝරාවට අනුව පළමු උදලු පහර ගැසීම සිදු කරයි. මෙහිදී විශේෂයෙන් නැකතක් බැලීමක් සිදු නොකරන අතර ලිතට අනුව සුබ හෝරාව තෝරා ගැනීම බොහෝ විටම සිදුවේ. 
 
IMG 20250404 WA0001
තමන්ගේ කුඹුරු තනිව කර ගැනීමේ සිරිතක් ඒ කාලයේ තිබුණේ නැත. ගමේම ගොවියෝ එකතු වී සියලු දෙනාගේම කුඹුරු වැඩවලට උදව් වෙති. ගොවියන් සිටින්නේ හා පස් හය දෙනෙක් වැනි සුළු ප්‍රමාණයක් නම් සියලු දෙනා එකතු වී මුලින් එක් අයෙකුගේ කුඹුරක වැඩ අවසන් කිරීම සිදුවේ. ඉන්පසු සියලු දෙනාම පිරිසෙහි සිටින තව කෙනෙකුගේ කුඹුරක වැඩ අවසන් කරනු ඇත. මේ ආකාරයට එක දිගට පිරිසෙහි සිටින සියලු දෙනාගේම කුඹුරුවල වැඩ අවසාන කිරීම එකල සිදුවිණි. 
 
පොඩි සිඤ්ඤෝලා අයත් වූයේ එවැනි අන්‍යොන්‍ය බැඳීමෙන් ගැමියන් එකිනෙකා ජීවත් වූ අතීත සමාජයට ය. එනිසා ඔවුන් කුඹුරු වැඩ කළේ එකට ය. පිරිස වැඩි නම් කුඹුරු ප්‍රමාණය ද වැඩි වන නිසා ඔවුහු කට්ටි වශයෙන් බෙදී දිනකට කුඹුරු කිහිපයක වැඩ අවසන් කළහ.
       
සියලු දෙනා එක්ව මුලින් කරන්නේ කුඹුරු යාය දෙපැත්තේ තිබෙන ඇල, වේලි හෙවත් නියර සහ කුඹුරේ වැඩිපුර ඇති ජලය පිටකර හරින පිටවාන හොඳින් පිරිසිදු කිරීම ය. කුඹුරු කොටා සකස් කිරීම ආරම්භ කරන්නේ මේ මූලික කටයුතු ටික අවසන් කිරීමෙන් පසුව ය.
 
ze57u6
       
කුඹුරෙහි වැඩ කරන පිරිසට කෑම රැගෙන එන්නේ එදිනට වැඩ කරන කුඹුරෙහි හිමිකරුගේ ගෙදරිනි. කුඹුරේ හිමිකරු නොමැතිව සෙසු අය එම කුඹුරෙහි වැඩ කරන්නේ නැත. 
       
එදා පොඩි සිඤ්ඤෝ ගේ කුඹුරේ වැඩ කරන දවසයි.  
 
ලීලාවතී උදෙන්ම අවද වී යහමින් පොල්කිරි යොදා කිරිබතක් පිසුවාය. ලොකු කැට කපා ඇතුළතට මනාව කෙසෙල් කොළ අතුරන ලද හතරැස් ගැඹුරු තල් කොළ පෙට්ටියෙහි කිරිබත් ටික අඩුක් කළාය. හොඳින් සෝදා ලුණු වතුර ටිකක දමාගත් වියලි මිරිස් කරල් ටිකත්, රතු ලූනුත් තව වුවමනා අඩු වැඩියත් එකතු කර ගලේ අඹරා ගත් ලුණු මිරිසද තවා ගත් කෙසෙල් කොළයකට දමා හතරට නවා කිරිබත් ටික උඩින් තැබුවාය. කහට තේ සහිත පෝච්චියත්, කිතුල් හකුරු කෑලි ටිකත් වෙනම දමා ගත් ලීලාවතී ට මේවා රැගෙන යාම සඳහා අත්උදව්වට ආවේ අල්ලපු ගෙදර රොසලින් අක්කා ය. ලීලාවතී ගේ දෝනියන්දෑ දීගතල ගොස් ටික කලකි. දැන් ඈ ගැබ්බර ය. ඇඹුල ගෙනියන්න අත්උදව්වට අහළක පහළකින් කොල්ලෙක් කුරුට්ටෙක්වත් සොයා ගත නොහැක්කේ එය සතියේ දිනයක් වූ නිසා ය. උන් මේ දවස්වල උනන්දුවෙන් ස්කෝලේ යති. 
z4565
 
"මේ දවස්වල ඉස්කෝලෙ විස්කෝතු බෙදනව⁣නෙ. ඉතින් උන් ඉස්කෝලෙ වරද්දන්නෙ නෑ" රොසලින් කීවේ කිරිබත් සහිත තල්කොළ පෙට්ටිය ඉහට ගනිමිනි.
       
හැට, හැත්තෑව දශකවල පාසල් දරුවන්ට ආණ්ඩුවෙන් නොමිලේ ලැබුණු දිවා ආහාරයක් වූයේ විස්කෝතු ය. ඊටත් පෙර හතරැස් උස බනිස් ගෙඩියක් ලැබිණි. මේ බනිස් ගෙඩියේ උඩ සහ යට හොඳින් රෝස් වී තිබූ අතර මැද සුදු පැහැ විය. 
       
බනිස් ගෙඩිය අභාවයට ගොස් ඊළඟට පැමිණි මේ විස්කෝතු වර්ගය "ඇදිහැස බිස්කට් " නමින් හැඳින්විණි. ලොකු පොලිතින් උරවල විස්කෝතු අසුරා තිබූ අතර ඒවා බහා තිබූ ලොකු කාඩ්බෝඩ් පෙට්ටිවල මෙලෙස සටහන් වී තිබිණි.
 
470485072 1122428356094703 8588130455824174871 n
       
"අධ්‍යාපන සේවා අමාත්‍යාංශය
         
ඇදිහැස විස්කෝතු  
         
ඇමරිකා එක්සත් ජනපදවාසීන්ගෙන් පරිත්‍යාගයකි"
     
අපේ මාතෘකාව වෙනත් මානයකට යොමු වුවත් මෙහි සඳහන් කළ යුතුම තොරතුරු ටිකක් තිබේ. 60, 70 දශකවල ඉතා දුෂ්කර පලාත්වල නැති බැරි දරුවන් ⁣හට ඇදිහැස විස්කෝතු ප්‍රධාන ආහාරයක් වී තිබිණි. පාසලේ විවේක කාලයට එක දරුවෙකුට විස්කෝතු අට බැගින් ලැබිණි. මේ විස්කෝතු අටෙන් කීපයක් තම බාල සහෝදරයන්ට සහ මවට කුසගිනි නිවා ගැනීම සඳහා ගෙනයන දරුවෝ ද එම අතීතය තුළ සිටියහ. පාසලේ විස්කෝතු ඉවර වෙන තුරු නොවරදවා පාසල් ගොස් විස්කෝතු නැති දිනවල පාසල් නොයා ගෙදරට වී තම දෙමාපියන්ගේ ගොඩමඩ ගෙඩිතැන්වලට උපකාර වන දරුවෝ එවැනි දුර බැහැර දුෂ්කර පාසල්වල එකල හිඟ නොවූහ. මේ නිසාම විස්කෝතු නැති කාලවලට එකම ළමයෙක්වත් පාසලට නොපැමිණීම නිසා එම දිනවලට වසා තිබෙන කුඩා පාසල් ඈත දුෂ්කර ප්‍රදේශවල පැවති බව කිවහොත් කිසිවකු විශ්වාස නොකරන්නට පුළුවන. නමුත් එය සත්‍යයකි. දුෂ්කර සේවයට ගුරු පත්වීම් ලබා පැමිණ සිටි නාගරික ප්‍රදේශවල ගුරුවරුන් මේ කාලයට ගමේ ගියේ ඉගෙන ගන්නට පාසලට දරුවන් නොපැමිණෙන නිසා ය.
 harvesting
 
දරුවන්ව වයස අවුරුදු දාහතර වනතෙක් අනිවාර්යෙන්ම පාසල් යැවිය යුතු බවට නීතියක් එකල පැවතියේ නැත. එනිසා දරුවන් පාසල් නොගොස් ගෙදර නතර වීම ගොවිතැන් වැඩ තිබූ කාලයට දෙමාපියන්ට ලොකු හයියකි. දෙමාපියන් ඊට හරස් නොවුණේ ඔවුන්ට දරුවන් සම්බන්ධයෙන් මහලොකු බලාපොරොත්තු නොතිබූ නිසා ය. ඒ කාලයේ මිනිසුන් අතර මහත් පිළිගැනීමකට ලක් වූ වෘත්තීන් වූයේ ගුරු වෘත්තිය, හෙද වෘත්තිය, පොලිස් සේවය වැනි දෑ ය. එසේම ලංගම බස් මිස පෞද්ගලික බස් කියා දෙයක් නොතිබූ ඒ කාලයේ ලංගම බස් රියදුරා සහ කොන්දොස්තරවරයා ගමේ ප්‍රභූන් අතරට අයත් විය. ගම්වල විශේෂ උත්සව අවස්ථාවන්හි ඔවුන් ද ප්‍රධාන ආරාධිතයෝ වූහ. මෙවැන්නක් විශේෂයෙන් සඳහන් කරන්නේ එම වෘත්තීන් හෑල්ලු කරන්නට නොවේ. අතීතයේ සහ වර්තමානයේ පවතින වෙනස ඔබට අවබෝධ කරගන්නට ය. එවැනි රැකියාවන් පවා තම දරුවන්ට දුරස් යැයි සිතූ දෙමාපියන් දුලබ නොවූ ඒ කාලයේ වෛද්‍ය වෘත්තිය වැනි වෘත්තියක් ඔවුන්ගේ සිහින අතර කොතැනකවත් නොතිබෙන්නට ඇත.
       
පොඩි සිඤ්ඤෝලා ගේ ගමේ ද බහුල වශයෙන්ම සිටියේ ගොවිතැන තම ජීවනෝපාය කරගත් අහිංසක ගැමියෝ ය. සරල අල්පේච්ඡ ජීවන රටාවකට හුරු වී සිටි මේ ගැමියන්ට ගොඩගසා ගත් මුදල් නොතිබිණි. ඒ වෙනුවට තිබුණේ මුදල් කළ හැකි බවබෝග ය. අටුවේ වී ටික තිබේ. කොරටුවේ එළවළු පලතුරු ආදිය තිබේ. වෙළඳපලෙන් ගෙනෙන්නට සිදුවන්නේ කරවල, මාළු, ලුණු, කුළු බඩු ටික සකසා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි දෑ පමණි. මයිසූර් පරිප්පු එතරම් වැදගත් දෙයක් ලෙස නොසැලකුණේ කඩල, කව්පි, මුං ආදී තවත් නොයෙකුත් ධාන්‍ය වර්ගවලින් අඩුවක් නොවූ නිසා ය. මුහුදට කිලෝමීටර් දෙක තුනක් ආසන්නයේ ජීවත් වූ අය එකල ලුණු ද මුහුදු වතුරෙන් තමන්ම සාදා ගත්හ. ( ඒ ගැන ඉදිරි සතියක කතා කරමු.)
 
v2
       
උදේ කෑම කුඹුරට රැගෙන ගිය ලීලාවතී ගෙදරට විත් ලහි ලහියේ දවල් ඇඹුල පිසින්නට පටන් ගත්තාය. සාමාන්‍යයෙන් දවල් ඇඹුලට වට්ටක්කා පිපිඤ්ඤා වැනි එළවළුවකින් සෑදූ හොදි වර්ගයක්, එළවළුවකින් සැකසූ මාළුවක් (මෙහිදී මාළුව යන්නෙන් අදහස් කරන්නේ ව්‍යංජනය හෙවත් කරිය යන්නයි. නිදසුන් ලෙස බෝංචි මාළුව, කොස් මාළුව, පොළොස් මාළුව ආදී වශයෙන් අතීතයේ ගැමියෝ ව්‍යවහාර කළහ.) පලා මැල්ලුමක්, මාළු හෝ කරවල වැනි දෑ එකතු වේ.
       
සවසට කිතුල් හකුරු සමග තේ කහට ය.
 
IMG 20250404 WA0002
labukataවර්තමානයේ ආහාර සමඟ නොවරදවාම බීමට වතුර ද කුඹුරට රැගෙන යා යුතුය. නමුත් අතීතයේ වතුර ගෙනයාමට අවශ්‍ය නොවිණි. ඇලට ඉහත්තාවෙන් එන උල්පතක් වැනි කුඩා දිය කඩිත්තක් හොඳින් හාරා පිරිසිදු කරගන්නේ ඇලවේලි සකසනවිටම ය. ඉන්පසු එයින් ඔවුහු ලබු කැටය පිරෙන්නට වතුර පුරවා ගනිති. සෑම ගොවි නිවසකම පාහේ එකල ලබු කැටයක් වැරදුනේම නැත. ගොවි වැල නමින් හඳුන්වන ඝනකම් වැල් වර්ගය වේලා සකස් කරගත් පසු එය ලණුවකටත් වඩා සවිමත් ය. එම වැලෙන් එල්ලාගෙන යා හැකි ආකාරයට උරයක් මෙන් සකසා ලබු කැටය එහි බහාලනු ලබයි. කුඹුරේ තමන් වැඩ කරන ආසන්නයේ නියරෙහි ගැසූ කූඤ්ඤයක ගොවියා මෙම ලබු කැටය එල්ලා තබයි. මෙහි ඇති විශේෂත්වය නම් එවැනි තද අව්වකදී පවා ලබු කැටයේ ජලය සිසිල්ව පැවතීම ය. දැන් ලබුකැට නැත. ඇලවල් ආසන්නයේ දිය කඩිතිවල වතුර බීමට සුදුසුද නැත. ඒ නිසා බීමට නොව,කෑමට පෙර දෑත් සෝදා ගැනීමටවත් ඇලවල්වල, පිටවාන්වල ජලය ගැන විශ්වාසයක් නැත. ඒ පිරිසිදු පරිසරය අපවිත්‍ර කළේ අපම ය. ඒ කළ අරියාදුකම්වලට එමෙන් සිය දහස් ගුණයක වන්දි විවිධාකාර වූ සුව කළ නොහැකි ලෙඩ රෝග මගින් අපි පරිසරයට ගෙවමින් හිඳිමු.
 
ලබන සතියේ යළිත් හමුවෙමු.
 
පැරණි හෙළ වී වගාව සම්බන්ධ සියලු තොරතුරු සහ ඡායාරූප සපයා දෙමින් සහාය වන ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයෙහි (LOAM) පුහුණු උපදේශක ඉන්දික සම්පත් මහතාටත්, මෙම ලිපි පෙළ සඳහා අනුග්‍රහය දක්වන එම ආයතනයෙහි සභාපති තිලක් කාරියවසම් මහතාටත් බෙහෙවින්ම ස්තූතියි.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...