The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

April 7, 2025 • 6:31 AM

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය රාජ කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ 71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු බද්දක් අය කිරීමට නියමිතය.
  • GSP සහනය යටතේ අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග 3000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ද නව තීරු බද්ද අය කෙරේ.
  • අමෙරිකාවෙන් ලංකාවට කෙරෙන ආනයනයන්ගේ  වටිනාකම වන්නේ ඩොලර් මිලියන 360 කි.
  • ඒ අනුව  ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක, අපනයන හා ආනයනය අතර වෙළඳ පරතරයක් නිර්මාණය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යළිත් වරක් බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝ දිනෙක පෙන්වා දුන්නේ, ලංකාවේ අපනයනය හා ආනයනය වෙළඳ පරතරය පියවා ගැනීමට මෙම තීරු බද්ද ක්‍රියාත්මක කරන බවය.

GSP සහනය යටතේ අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග 3000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ද නව තීරු බද්ද අය කෙරේ.
 imports and exports

ඇමෙරිකාව වෙත කෙරෙන මුළු අපනයනය වටිනාකම ඩොලර් බිලියන තුනකි. අමෙරිකාවෙන් ලංකාවට කෙරෙන ආනයනයන්ගේ  වටිනාකම වන්නේ ඩොලර් මිලියන 360 කි. ඒ අනුව  ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක, අපනයන හා ආනයනය අතර වෙළඳ පරතරයක් නිර්මාණය වේ. මෙම සියයට 88 ක් වූ වෙළඳ පරතරය මගින් ඇමෙරිකාවට සිදුවන පාඩුව පියවා ගැනීම නව තීරු බදූ  ප්‍රතිපත්තියේ අරමුණ ය.

ලංකාවේ විශාලතම ගැනුම්කරුවා වන්නේ ඇමෙරිකාව වන අතර මෙරට සමස්ත දළ අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 12 න්, බිලියන 3 ක් පමණ උපයන්නේ ඇමෙරිකාවට කෙරෙන අපනයන මතය. එය සියයට 25 ක් පමණ වේ.  

 

ජනපති ට් රම්ප්ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ජනාධිපති ට්‍රම්ප් ගේ තවත් ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් ලංකාවට අමතරව ඇමෙරිකානු වෙළඳ පොළ මත යැපෙන කාම්බෝජය (49%), ලාඕසය (48%), මැඩගස්කරය (47%), වියට්නාමය (46%), මියන්මාරය (44%)  බංග්ලාදේශය (37%) යන රටවල් මෙම නව බදු මගින් වැඩි ම බලපෑමට ලක්වන රටවල් වේ.

එක්සත් රාජධානියේ භාණ්ඩ සඳහා 10%ක තීරු බද්දක් පැනවෙන අතර, යුරෝපා සංගමය[ 20%], ඉන්දියාව [ 26%], චීනය [34%], සහ ජපානයට [24%]ක තීරුබදු පනවා ඇත.  එය අවමය සියයට 10 සිට උපරිමය සියයට 50 දක්වා වූ බද්දකී.

ඇඟළුම් කම්කරුවෝ අවදානමක

 

ඇඟළුම්
ලංකාවෙන් වැඩි වශයෙන්ම ඇමෙරිකාවට අපනයනය කරනු ලබන්නේ ඇඟළුම් නිපැයුම්ය. නව තීරු බද්ද සියයට 44 හේතුවෙන් එම ඇඟළුම් නිෂ්පාදනවල මිළ ඇමෙරිකානු වෙළඳ පොළේදී ඉහල යනු ලැබේ.

ගැනුම්කරුවන් අඩු මිළක් ඇති ඇඟළුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් ලංකාවේ ඇඟළුම්වලට පවතින ඉල්ලුම පහත වැටෙනු නිසැකය. එය මෙරට ඇඟළුම් කර්මාන්තයට මෙන්ම, එහි නියැලී සිටින කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි ප්‍රබල පහරක් එල්ල කරනු ඇත.

ඇන්ටන් මාකස්

'' දැනටමත් ඇඟළුම් කර්මාන්තකරුවෝ ලාභ ශ්‍රමය තියෙන, මීට වඩා බදු සහන දෙන අප්‍රිකානු රටවල් කරා ගිහින් ඉන්නේ. මේ තීරු බදු අයකිරීමෙන් ඔවුන්ට ගැටළුවක් වෙන්නේ නැහැ. 'බ්‍රෑන්ඩඩ්' ඒවා නිසා ඔවුන්ට අවුලක් නැහැ. ක්‍රමානුකූලව ඕඩර්ස් ටිකත් අප්‍රිකාවට ගෙනිහින් `මේඩ් ඉන් ඇෆරිකා`` කියලා එයාලගේ ව්‍යාපාර කරගෙන යයි. නමුත් බරපතල අර්බුදය එන්නේ ඇඟළුම් කම්කරුවන්ට. මෙහෙ කර්මාන්ත ශාලා වැහෙන්න ගත්තොත්, කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතාව ගැන ප්‍රශ්න මතු වෙනවා.'' නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත ඇඟළුම් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිතියක් වූ නිදහස් වෙළඳ කලාප හා පොදු කම්කරු සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාකස් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව ආණ්ඩුව බරපතල මැදිහත්වීමක් කළ යුතු බවය.  

මහ පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලාව දළ වශයෙන් කම්කරුවෝ 25,000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඇමෙරිකානු නව බදූ ප්‍රතිපත්ති හරහා ලංකාව තුල රැකියා අර්බුදයක් නිර්මාණය විය හැක.

''මේක කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. අපිට දැනට කියන්න බැහැ ආණ්ඩුව මේ තත්වය හමුවේ මොනවගේ තීන්දුවක් ගනීවි ද කියලා. හැබැයි  විසදුම් සඳහා තියෙන ඉඩකඩ නම් සීමිතයි. ඇඟළුම් අත්හැර වෙනත් කර්මාන්ත වලට ප්‍රමුඛතාව දෙන්නත් පුළුවන්. තරඟකාරිත්වය වැඩි කරලා මේ තත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඒකට මේ `සප්ලයි චේන්` එකේ රැඳී නොයිඳ වෙනත් පැති බලන්න ඕනේ.`` වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් අවධාරණය කරයි.

IMF ඉලක්ක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකාව එළඹි ගිවිසුම අනුව 2027 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ක අපනයන ආදායමක් සාක්ෂාත් කරගත යුතු බවට ඉලක්කයක් ලබා දී ඇත. ඒ පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම වෙනුවෙනි. මේ වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කි. ඉලක්කය සපුරා ගැනීමට තවත් ඩොලර් බිලියන 4 ක් වැඩි කරගත යුතුය.

 

garment 25.04.03

විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන ඇඟළුම් කර්මාන්තය, ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්ති හමුවේ බිඳ වැටුන හොත් රට තවත් අර්බුදයකට යනු ඇත.

ඇඟළුම් කර්මාන්තය රැක ගැනීමට නම් කම්කරුවන්ගේ ජිවන තත්වය යහපත් කලයුතුය. දැනට කර්මාන්තයේ නියැලී සිටින බොහෝ රටවල කම්කරුවන් සේවය කරන්නේ අවම අයිතීන් යටතේය.

''කම්කරු නීති හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝක කම්කරු සංවිධානයේ සම්මුතීන් ගැන සැලකිල්ලක් නැහැ. වෘත්තීය සමිති හදන්න, සංවිධානය වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ හින්දා තමයි අපි වගේ රටවල ඇඟළුම් කර්මාන්තයට  `DIRTY CLOTHES` කියන්නේ. GSP සහනය යළි ලබාගන්න ගිහින් පොරොන්දු වුනු දේවල් වත් ඉටු කරන්න මේ හාම්පුතුන් ක්‍රියා කළේ නැහැ.''

ඇන්ටන් මාක්ස් ට අනුව කම්කරුවාට යහපත් වටපිටාවක් නිර්මාණය කිරීම තුලින් ඇඟළුම් ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට තරඟයක් දිය හැක.

 

ජනපති අනුර

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම නව තීරු බදු නිසා පැන නැගිය හැකි ගැටලු ගැන ගැඹුරින් අධ්‍යයනය කර ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කරන්නට කමිටුවක් පත් කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබූ මෙම කමිටුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී  වැනි ඇඟළුම් කම්හල් හිමිකරුවන් ද සමන්විතවේ.

''මේ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම වඩා වැදගත්. අර්බුදය සොයා බලන්න පත් කළ කමිටුවට රාජ්‍ය නිලධාරින්, ආර්ථික විශේඥයින්, මාස් එකේ අමලීන්, බ්‍රැන්ඩික්ස්  එකේ  ඕමාර්, ජැෆර්ජි වගේ ගාමන්ට් හිමිකරුවෝ ඉන්නවා. නමුත් කම්කරුවෝ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ මේ කමිටුවට නැහැ.``

ඇඟළුම් කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය නායක ඇන්ටන් මාකස් ට අනුව වෘත්තීය සමිති නියෝජනයක් මෙම කමිටුව තුල නොමැති වීම බලවත් අඩුවකි.

juky job

``අන්තිමට මේ කමිටු නිර්දේශ යන්නේ කම්කරුවාගේ පිටින් තමයි. ව්‍යාපාරිකයන්ට ඕනේ ඔවුන්ගේ වැඩ කොහොම හරි, කොහෙදී හරි කරගන්න. ඒ හින්දා කම්කරුවන්ගේ ප්‍රශ්න එයාලට අදාළ නැහැ. මේකත් ඉතිං ඇඟළුම් කම්කරුවන්ගේ පිටින් යාවි.


ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස්  මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...