The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවි ද? | ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

April 11, 2025 • 5:33 AM

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවි ද? | ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි.
  • එදා ට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය.
  • ජයවර්ධනගේ සමාජාර්ථීක-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා වනු ඇත්තේ ඔහු ය.
  • ඇතැම් නායකයන්ගේ මූලිකත්වයෙන් ඇති කෙරෙන වෙනස්කම් තාවකාලිකයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදා ට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථීක-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා වනු ඇත්තේ ඔහු ය.

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

 

ඇතැම් නායකයන්ගේ මූලිකත්වයෙන් ඇති කෙරෙන වෙනස්කම් තාවකාලිකයි. අතලොස්සක් නායකයෝ චිරාත් කාලයක් පවතින වෙනස්කම් කරති. ඔවුන් විසින් සිදු කරනු ලබන වෙනස්කම්, ආපස්සට හැරවිය නොහැකි තරමේ හයිහත්තියෙන් යුක්ත වෙයි. එසේ වන්නේ, එවැනි වෙනස්කම් ආපස්සට හැරවීමට ලෝක තත්වයන් විසින් කිසි අවසරයක් නොසපයන බැවිනි.

යමක් තාවකාලිකද, දීර්ඝකාලීනද යන්නට ඇත්තේ සාපේක්ෂ අර්ථයක් පමණක් බව ඇත්ත. ලෙනින් සහ ට්‍රොට්ස්කි ඇතුළු නායකයන් කළ සමාජවාදී වෙනස අවුරුදු හැත්තෑවක් නිරුපද්‍රිතව තිබුණි. අවුරුදු හැත්තෑවක් යනු කෙටි කාලයක් නොවේ. එහෙත්, ලෝක දේශපාලනික පරිණාමයේ සමස්ත ඓතිහාසික යුගය සමග සසඳන විට එය තාවකාලික වෙනසක් පමණක්ම විය. තමන්ගෙන් පිටස්තර ලෝකයා සීග්‍රයෙන් වැලඳගනිමින් සිටි මහා ධනේෂ්වර ප්‍රවාහයට යට නොවී සිටීමට තරම් ඒ සමාජවාදී වෙනස ශක්තිමත් නොවුණි.

 

3075
එය සම්පිණ්ඩනය කළොත් මෙසේ ය: යම් රටක ඇති කෙරෙන හුදකලා වෙනසක්, පිටස්තර ලෝකයා සමග ප්‍රතිමල්ලවකාරීව තරග නොවදින තාක් කල්, නිරුපද්‍රිතව පැවතිය හැකිය. එකී වෙනස, බාහිර ලෝකයා කෙරෙහි නොව, එකී රට කෙරෙහි පමණක් බලපෑම් ඇති කෙරෙන වෙනසක් වීම ඊට හේතුවයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ පසළොස්වක පොහොය නිවාඩුව ගන්න: එම නිවාඩුව බලපාන්නේ ලාංකිකයන්ට පමණි. එබැවින්, තව චිරාත් කාලයක් එම නිවාඩුව ලංකාවේ බලපැවැත්වීමට සෑම ඉඩක්ම තිබේ. එහෙත් වරක්, අපේ පාලකයෝ තව ටිකක් ඈතට ගියහ. ඒ අනුව, සෙනසුරාදා සහ ඉරිදා සති-අන්තය වෙනුවට, පොහොය සහ පෙර-පොහොය, අපේ රටේ සති-අන්තය බවට පත්කෙරුණි. එවිට, ලෝකයේ පිළිගත් සති-අන්තය සමග අපේ සති-අන්තය ගැටුණි. එහි ප්‍රතිඵලය වුණේ, හතර පොහොය සති-අන්ත ක්‍රමය අහෝසි වී, කාලාන්තරයක් තිස්සේ ලෝකයා හැඩගැසී සිටින ඉරිදා සෙනසුරාදා සති-අන්තයට යළිත් අප මාරු වීමයි.  

 128184065 kimjongun index kcna
යම් රටක ඇති කෙරෙන වෙනසක්, ලෝකය සමග පසමිතුරු ආකාරයකින් තරග වදින විට සහ ලෝක නියාමයන්ට පරස්පර වන විට, යම් අවස්ථාවක, ලෝකයා ඉදිරියේ එම රට පරාජයට පත්වන බව එයින් කියැවෙයි. මේ කාරණය මතුපිටින් බොරුවක් කරන එක රටක් තවමත් තිබේ. ඒ, උතුරු කොරියාවයි. එහෙත්, තමන් නිවැරදි ය, ඉතිරි ලෝකයාම වැරදි ය යන්න ඔප්පු කිරීම සඳහා උතුරු කොරියාව අදටත් දරණ මිනිස් වියදම අති විශාලයි. එහිදී මතු වෙන ප්‍රශ්නය වන්නේ, එතරම් විශාල වියදමක් දරමින් අනවශ්‍ය පිස්සුවක් නඩත්තු කළ යුත්තේ මන්ද යන්නයි. විශේෂයෙන්, එම වියදම දරන්නේ, සමස්ත රටවැසියන් විසින් වීමත්, රටේ සකල ජනතාවගේ නිදහස අහිමි කිරීමෙන් වීමත් යන කාරණාවන්ද මේ සමීකරණයට ඇතුළු කළ විට, එය භයංකාර පිස්සුවක්ම වන්නේය.

ජේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථීකය ලංකාවට හඳුන්වා දුන්නේ ඉන්දියාවටත් කලිනි. 1977 දී ලංකාවේ ආර්ථීකය විවෘත කිරීම සහ ඉන් අවුරුදු දහයක් ගත වන විට සෝවියට් සමාජවාදී අත්හදාබැලීම අසාර්ථක වීමේ මුවවිටට පැමිණ තිබීම අහම්බයක් නොවේ. ඒ දෙක, එදා පැවති ලෝක ආර්ථීක ක්‍රමය තුළ, එකිනෙකට සහසම්බන්ධයි. සෝවියට් සමාජවාදී ලෝකය සමග සසඳන විට, එදා ලෝක ස්වභාවය සහ ලෝක ප්‍රවණතාව නිවැරදිව නියෝජනය කළේ ලංකාවයි. එනම්, ලෝකය ගමන් කරමින් සිටි දිසාවට ලංකාව කල්තියා හැරුණු බවයි. එතැන් පටන් අවුරුදු දොළහක් යන විට, ලෝක ක්‍රමයක් වශයෙන් සමාජවාදී කඳවුරමත් ඒ දෙසට හැරුණි.  

 

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ජේ. ආර්. ජයවර්ධන විසින් සිදු කරන ලද ඒ වෙනස, ඔහු නැතත් වෙන නායකයෙකු විසින් හෝ සිදු කරනු ඇත. මන්ද යත්, විවෘත ආර්ථීක වෙළෙඳපොළ ක්‍රමයට වෙනස්, වෙනත් විකල්පයක් ලෝකයා විසින් තවම සොයාගෙන නැති බැවිනි. එදා ඔහු එය නොකෙළේ නම් සිදු විය හැකි යැයි සිතිය හැකි එකම වෙනස වන්නේ, තවත් අවුරුදු පහක් හෝ දහයක් පමණ, තවත් විශාල වියදමක් දරාගෙන, අවසානයේ එම වෙනසම වැලඳගැනීමට සිදු වීමයි. ඒ නිසා, ඉන්දියාවටත් කලින් විවෘත ආර්ථීකයට ලංකාව පිවිසීම, ඇත්තෙන්ම ලෝකයේ අනාගතය කල්තියා දැකීම නිසා කළ හැකි වූ දෙයකි.

c eerget

 

එසේ වෙතත්, මේ කියන විවෘත වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමය, බොහෝ දෙනා හැමදාමත් මෝස්තරයට තඩිබාන කොටි හමක් වී ඇත. සමාජවාදය යනු ක්‍රමික සමාජ විකාශනයක් නොව, ඉංජිනේරු ක්‍රමයකින් පැලපදියම් කළ හැකි සහ කළ යුතු කම්මල් වැඩක් යැයි සිතන බොහෝ දෙනා කියන්නේ, අපේ රටට ජේ. ආර්. ඇති කළ ලොකුම හෙණය, විවෘත ආර්ථීකය බවයි. යම් සමාජ ප්‍රපංචයක් තමන්ට වඩා විශාල වන විට, ඒ හේතුවෙන් එම ප්‍රපංචය විස්තර කිරීමට තියා ඒ  දිසාව දෙස ඇස් ඇර බැලීමට ආයාසයක් ගැනීමට තරම්වත් නොහැකියාවක් හෝ කම්මැලිකමක් කෙනෙකුට ඇති වන විට මිනිසුන් කරන්නේ, වචනයකින් හෝ දෙකකින් ඒ සමස්ත ප්‍රපංචය 'විග්‍රහ' කිරීමට යත්න දැරීමයි.

මාක්ස්වාදය ගැඹුරින් දැනගෙන, ඒ ආශ්‍රයෙන් තමාගේ දෘෂ්ටිවාදී නැමියාව සකසාගෙන, සමාජවාදය වෙනුවෙන් සදහට පෙනී සිටින අතලොස්ස හැරුණු විට, වාමවාදී යැයි කියන අතිබහුතරය 'සමාජවාදය එකම නිට්ටාව' යැයි කියන්නේ සහ 'ධනවාදය භංග වේවා !' යැයි මොරදෙන්නේ, ඒ දෙකෙන් එකක් ගැනවත් ආතක්පාතක් නැතිව බව පෙනෙන්ට තිබේ. විවෘත ආර්ථීකයට තවමත් තඩිබාන මගේ බොහෝ යහළුවන් ලංකාව හැරගියේ, ලංකාව 'විවෘත' වීමේ ආනිශංසයෙනි. එහෙත් ඒ කිසිවෙක්, තමාගේ ඊළඟ ගමනාන්තය වශයෙන් කිසි සංවෘත (උතුරු කොරියාව, කියුබාව, එදා චීනය හෝ එදා සෝවියට් දේශයට අයත්) රටක් තෝරාගත්තේ නැත. එකෙක් නෑර ඔවුන් සියල්ලන්ම ගියේ විවෘත ආර්ථීකයන් පවතින, තඩි ධනේෂ්වර රටවල්වලටමයි. ලොකුම උත්ප්‍රාසය වන්නේ, ඒ සියල්ලන්ම පාහේ, අදටත් ලංකාවේ දේශපාලනය ගැන විනාඩියක් දෙකක් කතා කළොත්, ජේ. ආර්. නමැති 'ද්‍රෝහියා' ගැන සැරපරුෂ වවනයක් දෙකක් කීමටත් අමතක නොකිරීමයි!.

ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

vrtrtදැන්, අපේ මාතෘකාවට නැවත ආවොත්, මගේ අදහස වන්නේ, ජේ. ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විවෘත ආර්ථීකය පෙරළා දැමීමේ කිසි විභවයක්, එදාවත් අදවත් අපට නැති බවයි. මෙයින් කියැවෙන්නේ, එහි කීර්තිය/අපකීර්තිය ජේ. ආර්. ජයවර්ධනට පැවරිය නොහැකි බවයි. කීර්තිය/අපකීර්තිය පැවරීම සඳහා තනි ඒජන්තයෙකු කෙනෙකුට අවශ්‍යම නම්, ගෝලීයකරණය හෙවත් ප්‍රාග්ධනයට අත්තටු දහසක් ලැබීම නමැති අපූර්ව ප්‍රපංචය ඒ සඳහා යොදාගත හැකිය.


ඔහුගෙන් පසු 1994 දී, ඔහුගේ දෘෂ්ටිවාදී කඳවුරට අයත් නොවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කෙනෙකු බලයට පත්විය. ඇය පවා, බලයට පැමිණිමට කලින් කීවේ, විවෘත ආර්ථීකයට 'මානුෂීය මුහුණුවරක්' දෙන බව මිස, විවෘත ආර්ථීකය අහෝසි කොට, ඇගේ මවගේ පන්නයේ සංවෘත ආර්ථීකයක් ස්ථාපිත කරන බවක් නොවේ. ඊට පසු බලයට පත්, එම කඳවුරේම, එනම් ජේ. ආර්. ගේ නොවන කඳවුරේම මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂත් විවෘත ආර්ථීකය වෙනස් කරන බවක් කීවේ නැත. දැන් බලයේ සිටින්නේ, ඒ කඳවුරු දෙකටම වෙනස් ආර්ථීක මතවාදයක් පිළිබඳ ඓතිහාසික ප්‍රසිද්ධියක් උසුළන අනුර කුමාර දිසානායක ය.

 

image 4bb6bac27f
පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාව ඇතුළු රටවල් රාශියක් ඉලක්ක කරගනිමින් අලූත් තීරුබදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කෙළේය. අපේ විදේශ ඇමති විජිත හේරත්, ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය හමු වී එසේ නොකරන්නැයි ඉල්ලා සිටි බව පෙරේදා මාධ්‍ය වාර්තා කෙළේය. ඒ සමගම, ජනාධිපති අනුර කුමාර දිසානායකත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ගැන සානුකම්පික වන්නැයි ඉල්ලා ලියුමක් ලියන බවත් මාධ්‍ය වාර්තා කෙළේය. එනම්, (උස් තාප්ප සහ යකඩ වැටවල් බැඳි) සංවෘත ආර්ථීක ක්‍රමයකට නොගොස් පවතින විවෘත ආර්ථීකයේම රැඳී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ කරුණු සියල්ල මා කීවේ, ජේ. ආර්. ජයවර්ධනගෙන් පමණක් නොව, ඔහුගේ ඉඳුරා ප්‍රතිමල්ලවයන් වූ චන්ද්‍රිකා-මහින්ද වැනි 'වාමගාමී' යැයි සම්ප්‍රදායිකව පිළිගත් බල කඳවුරෙන්ද වෙනස් වන, වර්තමානයේ බලය හොබවන මාක්ස්වාදී පක්ෂයට පවා, විවෘත ආර්ථීකය නමැති යථාර්ථයට පිටුපෑමට නොහැකි බව අවධාරණය කිරීමටයි. ඒ නිසා, ජේ. ආර්. ජයවර්ධන නමැති නායකයාව, විවෘත ආර්ථීකය පිළිබඳ නඩුවේ ද්‍රෝහියෙකු කර විත්ති කූඩුවට නැංවීම, පුහු රැඩිකල් මෝස්තරයකට වැඩි දෙයක් නොවන බව කිව යුතුය.

 

විධායක කෝලම - රටේ රාළ

එහෙත් ඔහු විසින් සිදු කරන ලද දෙවැනි වෙනස හෙවත් විධායක ජනාධිපති ක්‍රමය එසේ නොවේ. එය, ඒකායන ලෝක ක්‍රමයක් නොවන බැවිනි. මුළු ලෝකයම විධායක ජනාධිපති ක්‍රමය අනුගමනය කළ යුතු බවට නියමයක් හෝ බල කිරීමක් නැත. සමහර රටවල් එසේ වන අතර, තවත් සමහර රටවල් එසේ නොවේ. ඕනෑම රටකට, විධායක ජනාධිපති ක්‍රමයෙන් පාර්ලිමේන්තු වෙස්ට්මින්ස්ටර් ක්‍රමයටත්, අවශ්‍ය විටෙක එම වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමයටත් මාරු වීමේ හැකියාව තිබේ.

ඇත්තෙන්ම ජේ. ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය ගෙනාවේ ලෝකයාගෙන් ඇති වූ තෙරපීමක් මත නොව, තමාගේ සහජ දෘෂ්ටිවාදී නැමියාවක් පෙරටු කරගෙන ය. මේ ක්‍රම දෙක අතරින්, තනි පුද්ගලයෙකු වටා බලය වඩ වඩා කේන්ද්‍රගත වීමේ වැඩි විභවයක් සහිත ක්‍රමය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමයයි.

 

හරි පාර' : ජනතාව වැල් පාලමෙන් හරි පාරට : වර්ජකයන් නිවාඩු ! - (රවී කරුණානායක)
තරුණ කාලයේ සිටම ජේ. ආර්. ගේ සිහිනය වුණේ එය බවට සාක්ෂි තිබේ. 1972 දී සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙස්ට්මින්ස්ටර් ක්‍රමය යටතේම ජනරජ ව්‍යවස්ථාව ගෙනෙන අවස්ථාවේ පවා ජේ. ආර්. ජයවර්ධන ඇයට යෝජනා කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමයකට මාරු වෙන ලෙසයි. එහෙත් ඇය එසේ නොකළාය. ඉතිං, ජේ. ආර්. තමන්ට ලැබුණු පළමු අවස්ථාවේම (1977), පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය යොදාගනිමින් එම පාර්ලිමේන්තුවේම බලය නිශ්ක්‍රීය කෙරුණු විධායක ජනාධිපති ක්‍රමයක් තුළින් තමන්ගේ තනි බලය ස්ථාපිත කරගත්තේය. එය ඔහු වැසැංගුවේ නැත. තමාට අවශ්‍ය කරන්නේ පාර්ලිමේන්තුවට වගනොකියන සහ පාර්ලිමේන්තුවට යටත් නැති, පුද්ගල බල කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම බව ඔහු ප්‍රසිද්ධියේම කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අප අහෝසි කළ යුත්තේ මන්ද යන්න ගැන මේ ලිපියේ සාකච්ඡා කළ යුතු නැත. මන්ද යත්, ඒ ගැන වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ අප සාකච්ඡා කර ඇති බැවිනි. මීට පෙර බොහෝ ලියවිලි මාර්ගයෙන් පෙන්වා දී ඇති පරිදි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට, එතෙක් මෙතෙක් රට පාලනය කළ සියලූ පාර්ශ්ව සහ කඳවුරු එකඟ වී ඇති බව පමණක් මෙහිලා සඳහන් කළ හැකිය.

 

මේ ලිපියේ මාතෘකාවේ නම සඳහන් අනුර කුමාර දිසානායකගේ පක්ෂය, මුල සිටම සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන දැඩි මතයේ ය. ඒ කෙතෙක්ද යත්, 1994 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාව (ගලප්පත්ති) මේ කාරණය නිසාම එම තරගයෙන් ඉල්ලා අස්කරගැනීමට පවා එම පක්ෂය එදා නොපසුබට විය. ඒ පොරොන්දුවට අනුව, තමන් බලයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක එදා අනුර කුමාර දිසානායකගේ පක්ෂයට ලිඛිතව පොරොන්දු වූවාය.

ඉන්පසු දිගහැරුණු ඉතිහාසය කවුරුත් දනිති. ඒ සමස්ත ඉතිහාසය සම්පිණ්ඩනය කළොත් කෙනෙකු එළැඹිය යුතු නිගමනය වනු ඇත්තේ මෙවැන්නකි: 1977 න් පසු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දී බලයට පත් වී එම පොරොන්දුව ඉටු නොකළ හැම නායකයෙකු සහ නායිකාවක්ම, ජූනියස් රිචඩ් ජයවර්ධන යනු, ලංකාවේ නූතන ඉතිහාසයේ අසහාය යුග පුරුෂයෙකු බව, ස්වකීය චර්යාවෙන්ම ඔප්පු කර ඇත. කම්මුල් රතු වන ලැජ්ජාවකින් තොරව, ඒ කිසිවෙකුට, ජේ. ආර්. ජයවර්ධන ඉතිරි කර ගිය උරුමය ගැන විවේචනාත්මක ආඩපාලි කීමේ කිසි අයිතියක් නැත. ඔවුන් සියල්ලන්ම, ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති උරුමය සෘජුවම අපරානුමත කර ඇති බැවිනි.  

ජනපතිගේ මංගල චක්‍රලේඛය තුනෙන් දෙකේ බලයේ ඇත්ත ඇති සැටියෙන්ම කියාදෙයි

 

ජේ. ආර්. ජයවර්ධන වළට ගියේ, අභියෝග දෙකක් අප ඉදිරියේ ඉතිරි කරමිනි. ලංකාවේ අනාගතයට අදාළ මුඛ්‍ය කාරණා දෙකක් පිළිබඳ තමා දැරූ මතය වැරදි යැයි හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස ඔහු අපට අභියෝග කර ඇත. එක අභියෝගයකින් ඔහු දැනටමත් ජයගෙන සිටී. දෙවැන්න, අනුර කුමාර දිසානායක සහ වෙනත් ඕනෑම කෙනෙකු විධායක ජනාධිපති පුටුවේ වාඩි වී සිටින තාක් කල්, දවසක් නෑර ඔහු අපේ මුහුණට දමා ගසනු ඇත.

මිනිසුන් මියගිය පසුවත් ජීවත් වන්නේ, ඔවුන්ගේ උරුමයක් කවුරුන් හෝ කර තියාගෙන ගියොත් පමනි. ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය සහ රනිල්, ඒ අනුග්‍රහය ජේ. ආර්. වෙනුවෙන් නොමසුරුව සැපයූහ. ඔවුන් සේම, අනුර කුමාර දිසානායකත් ජේ. ආර්. ව කරේ තියාගෙන ගියොත් වස ලැජ්ජාවකි !.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(සටහන | ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...