The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ

T

The Leader Desk

June 30, 2025 • 4:01 PM

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේවි කුසුමාසන චිත්‍රපටය තනා ඇත්තේ ලක් ඉතිහාසයේ සුප්‍රකට චරිත දෙකක් වන කුසුමාසන දේවිය හා විමලධර්මසූරිය ලෙසින් කන්ද උඩරට රජවූ කොනප්පු බණ්ඩාර නම් වංශාධිපතියා වටා බැඳුනු කතා පුවත මතය.
  • ඉතිහාස පුවතක් මත චිත්‍රපටයක් තැනීමේදී ප්‍රේක්ෂකයන් චිත්‍රපටයට ආකර්ෂණය කරගැනීමට ඉතිහාස පුවතේ සැබෑ කරුණු වලට හානි නොවන ලෙස, යම් වෙනස්කම් කොට එය ඉදිරිපත් කිරීම ලොව පිළිගත් චිත්‍රපට තැනීමේ මුලධර්මයකි.
  • මෙය ඉන් මතු සැබෑ ඉතිහාස කරුණු සිදුවූ අයුරු ඉදිරිපත් කිරීමේදී, විවිධ තැන්වලදී ගැටළු ඇතිකරනු ඇත.
  • ශාන්ත ලෝරන්ස් නගරය දේවි කුසුමාසන ආරම්භවන්නේ කොළඹ ශාන්ත ලෝරන්ස් නගරය ලෙස සඳහන් වන උපසිරැසි සහිත දර්ශනයකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


දේවි කුසුමාසන චිත්‍රපටය තනා ඇත්තේ ලක් ඉතිහාසයේ සුප්‍රකට චරිත දෙකක් වන කුසුමාසන දේවිය හා විමලධර්මසූරිය ලෙසින් කන්ද උඩරට රජවූ කොනප්පු බණ්ඩාර නම් වංශාධිපතියා වටා බැඳුනු කතා පුවත මතය.

ඉතිහාස පුවතක් මත චිත්‍රපටයක් තැනීමේදී ප්‍රේක්ෂකයන් චිත්‍රපටයට ආකර්ෂණය කරගැනීමට ඉතිහාස පුවතේ සැබෑ කරුණු වලට හානි නොවන ලෙස, යම් වෙනස්කම් කොට එය ඉදිරිපත් කිරීම ලොව පිළිගත් චිත්‍රපට තැනීමේ මුලධර්මයකි. එසේම යම් ඉතිහාස පුවතක් මත පසුබිම්ව, ප්‍රබන්ධ කල කතා පුවතක් තනා ඉදිරිපත් කිරීමද, එවන් පිළිගත් සම්ප්‍රදායකි.

එසේ වුවත් මේ අවස්ථා දෙකෙහිදීම ඉතිහාස පුවතට බරපතල ලෙස වෙනස් කරුණු චිත්‍රපටයක ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ඉතිහාසඥයන්ගේ යුතුකමකි.එයට හේතුව ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් වන චිත්‍රපටවල සඳහන් ඉතිහාස සඳහන්වන කරුණු සැබවින්ම ඒ අයුරින් සිදුවුයේ යැයි එය නරඹන ප්‍රේක්ෂකයන්ගේ සිත්තුලන් තූල තැන්පත්වන නිසාය. මෙය ඉන් මතු සැබෑ ඉතිහාස කරුණු සිදුවූ අයුරු ඉදිරිපත් කිරීමේදී, විවිධ තැන්වලදී  ගැටළු ඇතිකරනු ඇත.

දේවි කුසුමාසන එවන් බරපතල වැරදි ඓතිහාසික කරුණු රැසක් සහිත චිත්‍රපටයකි.

cbdfgvfg
ශාන්ත ලෝරන්ස් නගරය

දේවි කුසුමාසන ආරම්භවන්නේ කොළඹ ශාන්ත ලෝරන්ස් නගරය ලෙස සඳහන් වන උපසිරැසි සහිත දර්ශනයකිනි. පෘතුගීසින් කොළඹ  කිසිවිටකත් ශාන්ත ලෝරන්ස් නගරය ලෙස හැඳින්වුයේ නැත. ඔවුන් හැමවිටම කොළඹ හැඳින්වුයේ කොලම්බෝ (Columbo) ලෙසිණි. කෝටෝ, කිවුරෝස් පියතුමා,කොරයා,රිබෙයිරෝ වැනි පෘතුගීසි වංශකතාකරුවන් හෝ ලංකාව පිළිබඳව පෘතුගීසින් අතර හුවමාරුවූ ලිපි කිසිවක හෝ ඔවුන් කොළඹ ශාන්ත ලෝරන්ස් නගරය ලෙස හඳුන්වා නැත.

1505 දී මාලදිවයින අසල මුස්ලිම් නව කොල්ලකමින් සිටියදී චන්දමාරුතකට හසුව ලංකාවට අහම්බෙන් ගොඩබට ලොරෙන්සෝ ද අල්මේදා කපිතාන්වරයා, කෝට්ටේ රජුගේ අවසරය මත අද දවස කොටුව නාවුක මුලස්ථානයව පවතින ස්ථානයේ කඳුගැටයේ, ශාන්ත ලෝරන්ස් නමින් දේවස්ථානයක් තැනූ බව නම් කෝටෝ හා කිවුරෝස් සඳහන් කරයි.

ලංකාවේ දේශපාලඥයන් මෙන්ම, තම නමට සමාන නමක් ඇති ශාන්තුවරයෙකුගේ නම මේ දේවස්ථානයට යෙදුවහොත් එය චිරාත් කාලයක් පවතිනු ඇතැයි ඔහු සිතන්නට ඇත. පැල්පතකට වඩා විශාල නොවන්නට ඇති මේ දේවස්ථානයට පියතුමෙකු නොසිටියේය. මාසයකින් මේ ස්ථානයේ ගබඩාවක් පමණක් තැනූ ලොරෙන්සෝ ද අල්මේදා පෘතුගීසින් එහි කිහිපදෙනෙකු නවත්වා, ඔවුන් සමඟ සිටි වින්සෙන්ටේ පියතුමාද සමඟ නැවත ඉන්දියාවට ගියේය.

1507 වසරේ ඊජිප්තු නාවුක බලඇණියක් සමඟ ඉන්දියාවේදී සමඟ සටන් වදිමින් සිටියදී මියගිය ලොරෙන්සෝ ද අල්මේදා තම නැවත් සමගම මුහුදෙහි ගිලුණි. ඒ වනවිට කොළඹ පෘතුගීසින් තැනු ගබඩාවෙන් කිසිදු ලාබයක් නොලැබෙන නිසා හා එහි සිටි පෘතුගීසින් කිහිපදෙනාට කොළඹ වැසියන් නිතර  ගුටිබැට දෙන නිසා, 1507 වසරේදීම තම ගබඩාව වසා දමා කොළඹින් යාමට පෘතුගීසීහු තීරණය කළහ.

වසර දහයක කාලයකට පසු පෘතුගීසින් කොළඹ කුඩා කොටුවක් තැනුවේ 1517 වසරේදීය. ඔවුන් මෙය නම් කලේ '"ශාන්ත බාබරා" බලකොටුව ලෙසයි. එය "නෝසා සෙන්හොරා ඩස් වර්ටියුඩිස්" (සත්ගුණයේ අප ස්වාමිදූ) යනුවෙන්ද හැදින්වුණු බව කෝටෝ හා කිවුරෝස් පවසයි. ශාන්ත බාබරා යුධ භටයන්, යුධ ආයුධ හා පුපුරන ද්‍රව්‍ය භාර යැයි පෘතුගීසින් සැලකූ ශාන්තුවරියයි. කොළඹ වැසියන්ගෙන් දිනපතා සිදුවූ හිරිහැර නිසා හා කෝට්ටේ හමුදාවේ පහරදීම් නිසා පෘතුගීසීහු මේ කොටුවද 1524 දී ගලවා දමා එහි ආයුධ ඉන්දියාවට ගෙනයන ලදී.

157 colombo fort pic 1| පෘතුගීසීන් 1517 දී කොළඹ ඉදිකරන ලද මුල්ම කොටුව (පෘතුගීසි සිතුවමකි)
ඉන්පසු 1554 දක්වා අවුරුදු 30 කාලයක් කොළඹ පෘතුගීසි බලකොටුවක් නොතිබිණි. 1554 වසරේදී පෘතුගීසින් සෑදු කොටුව ඔවුන් හැඳින්වුයේ කොළඹ කොටුව ලෙස මිස ශාන්ත ලෝරන්ස් නගරය ලෙස නොවේ. එසේම මේ කතාව ආරම්භවන 1590 වසර වනවිට පෘතුගීසීන් ලංකාවට පයගසා අවුරුදු 85 ක් ගතවී තිබුනද, ඔවුන්ට ඒ වනවිටත් වත්මන් කොළඹ 1(කොටුව)  ප්‍රදේශයෙන් පිට කිසිදු භූමියක් අයිතිව නොසිටියේය. වත්මන් කොළඹ නගරයේ ඉතිරි ප්‍රදේශ 1565 දක්වා කෝට්ටේ රාජධානියද, ඉන්පසුව සීතාවක රාජධානියද යටතේ පැවතියේය.    

සතුටින් සිටින කොළඹ වැසියෝ

xcvbcghn

දේවි කුසුමාසන හි ඊළඟ දර්ශනය කොනප්පු බණ්ඩාර ඇන්ඩ්‍රි නම් පෘතුගීසි කපිතාන්වරයෙකු සමඟ කොළඹ අවන්හලක කමින් බොමින් සිටින දර්ශනයකි. මෙහි පෘතුගීසින් රස මසවුලෙන් යුතු සාදයක් පවත්වමින් සිටින අතර කොනප්පු බණ්ඩාර තම අතීත කථාව ඇන්ඩ්‍රිට පවසයි.

කෝටෝගේ විස්තරයේ ඇති සැබෑ ඉතිහාස පුවතට අනුව කොනප්පු බණ්ඩාර කොළඹ කොටුවේ සිටියේ මේ චිත්‍රපටයේ සඳහන් අයුරින් 1590 වසරේ නොව 1587 වසරේය. ඔහු ඒ වනවිට දොම් ජුවාම් ද ඔස්ට්‍රියා ලෙස බෞතිස්ම වී සිටි බව චිත්‍රපටයේ සඳහන්වන පුවත නිවැරදිය. එසේ වුවත් 1587 වසර සීතාවක රාජසිංහ 40,000 හමුදාවක් හා කාලතුවක්කු 200 ක් රැගෙන කොළඹ කොටුව වටලා දිවා රෑ එයට පහර එල්ලකරමින් සිටි කාලයයි. 1587 වසරේ මැයි මස 29 වෙනි දින ඇරඹුණු කොළඹ කොටුවේ වටලෑම  මාස අටකට පසු 1588 පෙබරවාරි 21 වෙනි දින අවසන් විය.මේ කාලය කොළඹ කොටුවේ පෘතුගීසින්ට සාද කෙසේ වෙතත් එදිනෙදා ආහාරවේල හා වතුර පවා හිඟ කලක් විය.

මේ වටලෑමේදී  දොම් ජුවාම් ද ඔස්ට්‍රියා කන්ද උඩරට මුදලි ලෙස කෝටෝ හඳුන්වන හඳුන්වන කොනප්පු බණ්ඩාර පෘතුගීසි හමුදාවේ දේශීය නායකයෙකු ලෙස කොළඹ කොටුවේ කොටුබැම්මේ සාඕ සැබෙස්ටිඕ මුරකොටුවේ සිට සැන්ටෝ ඇන්ටෝනියෝ මුරකොටුව  දක්වා කොටස රැකීය. මේ කොටස වත්මන් ඕල්කොට් මාවතේ පාලම අසල කොටුව දෙසට ඇති ප්‍රදේශයට සමපාතවේ.  

කෙසේ හෝ කොළඹ කොටුවේ සිදුවන මේ මනඃකල්පිත සාදයේදී කොනප්පු බණ්ඩාර තම අතීත කතාව ඇන්ඩ්‍රිට පවසයි.

කොනප්පු බණ්ඩාරගේ පෙම්වතිය

bdfgdfg

කොනප්පු බණ්ඩාර පවසන අතීත කතාව අනුව ඔහු කන්ද උඩරට සිටියදී කන්ද උඩරට කරලියැද්දෙගේ රජුගේ දියණියවූ කුසුමාසන දේවිය සමඟ පෙම් සබඳතාවයක් ඇතිකරගෙන සිටියේය.

සීතාවක හමුදාව විසින් කරලියැද්දේ රජු උඩරට මුදලිවරයෙකුවූ  කොනප්පු බණ්ඩාරගේ පිය වීරසුන්දර බණ්ඩාරගේ උදවු ඇතිව බලයෙන් පහකර හැරි බවට චිත්‍රපටයේ එන සඳහන සත්‍යයකි.මී වැව විත්ති පොතට අනුව 1579 වර්ෂයේදී රාජසිංහ රජු කරලියැද්දේ රජු පලවාහැර පේරාදෙණියේ විජේසුන්දර බණ්ඩාර රජකමට පත්කළ බව සඳහන් වන අතර එය සිදුවුයේ 1580 වර්ෂයේදී බව සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේත්, 1582 දීත් බව කිවුරෝස් පියතුමාත්  සඳහන් කරයි. එනිසා 1579-1582 අතර කාලයක මේ සිදුවීම විය.  

එයට පෙර සීතාවක හමුදාවෝ වසර පහකට අධික කාලයක් කන්ද උඩරට අල්ලා ගැනීමට පහර දෙමින් සිටියහ. මේ ආක්‍රමණයට මුහුණදීමට පෘතුගීසි ආධාර ලබා ගැනීමට කරලියැද්දේ රජු ප්‍රසිද්ධයේ කිතුනුවෙකුව නැවත රාජාභිෂේකය ලබා ගත්තේය. මේ නිසා කරලියැද්දේ සමඟ උරණවූ උඩරට වංශාධිපතියන් ඔහු අතහැර සීතාවක පාර්ශවයට හැරී රජු බලයන් පහකළේය. අවසානයේදී රාජසිංහ රජු මුළු කන්ද උඩරටම යටත් කරගත් නිසා කරලියැද්දේ රජු, තම මුළු පවුලද, තවත් ඇමතිවරුන්ද,  කපිතාන් ඇන්ටෝනිඕ ෆෙයෝ ගේ යටතේ සිටි පෘතුගීසි සෙබලුන් 150 ක්ද, ඇන්ඩ්‍රි ද සෝසා පියතුමාද  සමඟ ත්‍රිකුණාමලයට පලාගියේය.

ත්‍රිකුණාමලයේදී රජුටද, බිසවටද, ඔවුන්ගේ පුත් කුමරුවන් දෙදෙනාටද වසූරිය රෝගය වැලඳි ඔවුහු එයින් මියගියහ. මියයාමට පෙර රජු තම බෑනනුවෙකුවූ යමසිංහ බණ්ඩාර තම රාජ්‍යයේ අනුප්‍රාප්තිකයා ලෙස නම්කර, ඔහුට ඒ වනවිට වයස වසරක් වූ සිටි තම දූ කුමරිය භාරකළ බව කියුරෝස් පියතුමා පැහැදිලිවම ලියයි.(කිවුරෝස් පිටුව 705) පසුකලක දෝන කතරිනා (කුසුමාසන දේවිය) ලෙස ප්‍රසිද්ධ වුයේ මේ කුමරියයි. කුසුමාසන දේවිය උපත ලද්දේ 1579 හා 1581 අතර කාලයක බව, පසුකාලීන සිදුවීම් රැසකින්ද පෙනීයයි.

ත්‍රිකුණාමලයේ සිට  යාපනයට ගිය යමසිංහ බණ්ඩාර අනාථ දරුවෙකුවූ ඇය එහි යුවරජෙකු වූ පුවිරාජ රාජම්ගේ භාරයේ තබා,  ගෝවයට ගියේය. එහිදී ඔහු දොම් ෆිලිප් ලෙස බෞතීස්ම ලැබීය.තම මුලු පවුලම අහිමිවූ සැබෑ ලෙසින්ම නූතන පටාචාරාවක්වු මේ කුමරිය අවසානයේදී හදාවඩා ගත්තේ මන්නාරම කොටුවේ,ගේබ්‍රියෙල් කොලකෝ හා ඔහුගේ බිරිඳවූ කතරිනා ද ආබෘ පෘතුගීසි පවුල විසිනි.ඉතා ශුෂ්ක පරිසරයක පිහිටා ඇති මන්නාරමේ කුඩා පෘතුගීසි බලකොටුවේ මේ කුමරිය ස්නානය කරන අන්දමේ සුවඳපැන් වලින් යුත් නාන තටාක තිබුනේ යැයි විශ්වාස කිරීම අපහසුය.

1587 දී හමුදා නායකයෙකු ලෙස කොනප්පු බණ්ඩාර කොළඹ කොටුව රකින විටද, කුසුමාසන දේවියගේ වයස යන්තම් අවුරුදු 8-10 ක් වුවා පමණි. එනිසා කන්ද  උඩරට සිටියදී කොනප්පු බණ්ඩාර  ඇය සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ගෙනයාමට කිසිදු ඉඩක් නැත.

එසේම මේ චිත්‍රපටයේ සඳහන් අන්දමට කුසුමාසන දේවියගේ මුලු පවුලම මියගියේ කොනප්පු බණ්ඩාර තම අතීත කතාව 1590 දී  පැවසූ පසුව නොව, ඔවුන් 1589-1582 අතර කාලයේ කන්ද උඩරටින් පලාගිය අලුතය.  

දෙවනගල රතනාලංකාර හිමි

xvrefd

මේ චිත්‍රපටයේ දෙවනගල රතනාලංකාර නම් හිමි නමක් වරක් ගලක් මතුපිටින් ඉහලට  ගොස් වචන කිහිපයක් පවසන අතර, තවත් වරක ගලක් මතුපිටින් පහලට බසිමින් සෙංකඩගලින් පලායයි. චිත්‍රපටයේ විනාඩියකට සීමාකරන මේ හිමිනම ඇත්ත වශයෙන්ම කරලියැද්දේ රජු බලයෙන් පහකිරීමේ සිට,  කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රජු බවට පත්කරන තුරු, උඩරට දේශපාලන භූමිකාව තිරය පසුපස සිට මෙහෙයවූ මතභේදාත්මක චරිතයයි. මේ නායක හිමිනම ගම්පොල රාජගුරු ධර්මකීර්ති නම් තවත් කන්ද උඩරට නායක හිමිනමක් සමඟ එක්ව 1582  සිට 1594 දක්වා කල ක්‍රියාවලිය විග්‍රහ කරනවිට ඔවුන්ගේ සිත්තුල කන්ද උඩරට, පහතරටින් වෙන්වූ ස්වාධීන සිංහල බෞද්ධ රාජ්‍යයක් තැනීම අරමුණ  තිබුණු බව වැටහේ.

සීතාවක රාජසිංහ තම හමුදා බලයෙන් වීරසුන්දර බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යයේ භාරකරු ලෙස පත්කල පසු එතෙක් ස්වාධීන රාජ්‍යයක්ව පැවති කන්ද උඩරට සීතාවකට යටත් රාජ්‍යයක් විය. ඒ වනවිට සීතාවක රාජසිංහ රජු ශිව  භක්තියට ආකර්ෂණය වී සිටියේය. කන්ද උඩරට හැකි ඉක්මනින් නැවත ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීමට සීතාවක රාජසිංහ රජු දුර්වල කිරීම වීරසුන්දර බණ්ඩාර, දෙවනගල රතනාලංකාර හිමි හා ගම්පොල රාජගුරු ධර්මකීර්ති හිමිගේ මූලික සැලසුම විය.  

සීතාවක රාජසිංහ රජුට ධර්ම නම් එක් පුත් කුමරෙක් සිටි බව ප්‍රධාන වංශකතා කිසිවෙකවත් සඳහන් නොවුනත්, සීතාවක රාජසිංහ රාජ්ජ කාලය හා මීවැව විත්ති පොතේ සඳහන් වේ.මේ ධර්ම කුමරු 1586 වර්ෂයේදී මරා දැමිණි.මේ කුමාරයා මරාදැමුවේ වීරසුන්දර බණ්ඩාර හා දෙවනගල රතනාලංකාර විසින් සැපයූ ඔත්තුවක් මත, පෘතුගීසින් විසින් යැයි,සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේ සඳහන් වේ. මේ පොත ලියා ඇත්තේ එකල සීතාවක විසූ බෞද්ධ හිමි නමක් වන සිටිනාමලුවේ ධර්මපාල හිමි නමයි.

මේ හා සමගාමීව මේ පිරිස විසින් රාජසිංහ රජු තම පිය මායාදුන්නේ මැරූ පිතෘ ඝාතකයෙකු යැයි කියවෙන බොරුව  හිතාමතා පැතිරවූ බව, සීතාවක රාජසිංහ රාජ්ජ කාලය හා මීවැව විත්ති පොතේ සඳහන් වේ. මේ කරුණු සඳහන් මීවැව විත්ති පොතද බෞද්ධ සඟ පරපුරක් විසින් ලියන ලද්දකි. රාජසිංහ රජුගේ පිය මායාදුන්නේ මියගියේ, අවුරුදු අසුවක් ආයු වළඳා, තම පුතුට කිරුල පළඳා, වසර දෙකකට පසුවය. එනමුත් අදටත් ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන රාජසිංහ රජු පිතෘඝාතක ආනන්තරීය පාපකර්මය කල පාපියෙකු යන බොරුව සීතාවක රාජධානියේද, කන්ද උඩරටද ජනතාව පැතිරවූයේ මේ පිරිසයි. එනිසා රාජසිංහ රජු ජනතාවගේ පිළිකුලට භාජනය විය.  

 මේ නිසා සීතාවක රාජසිංහ රජුට පක්ෂ හා විපක්ෂ ලෙස සංඝ සමාජය බෙදුණු අතර ස්වභාවයෙන්ම දරුණු පුද්ගලයෙකුවූ රාජසිංහ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්ට හිරිහැර කිරීමටද, විහාරගම් රාජසන්තක කිරීමටද පටන්ගති. ඒ සමඟම රාජසිංහ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්වහන්සේලා මරා දැමූ බවට කටකතා පැතිරෙන්නට වූ අතර, මෙය ඔහුගේ ජනතා බලය තවත් අඩු කළේය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පොතේ  සඳහන් වන්නේ රජු තමන්ට විරුද්ධ භික්ෂුන්වහන්සේලාට හිරිහැර කල නමුත්, මරා නොදැමූ බවයි.  

වීරසුන්දර බණ්ඩාර මැරීම
weerasundara bandar killd pic 2| වීරසුන්දර බණ්ඩාර මරාදැමීම (ඕලන්ද සිතුවමකි)
රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාර මරාදැමීමට තීරණය කළේ තම පුත් ධර්ම කුමරුන් මැරූ පලිය ගැනීමට හා ඔහු දෙවනගල රතනාලංකාර  එක්ව පැතිරූ කටකතා නිසා මිස, චිත්‍රපටයේ පෙන්වන ආකාරයට කුසුමාසන දේවියට කන්ද උඩරටින් පලායාමට ඉඩ සැලසූ නිසා නොවේ. රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාර සීතාවක නුවර අසල ගොලෑබොක්ක ප්‍රදේශයේ (අදද අවිස්සාවේල්ලේ තල්දුව ප්‍රදේශයේ මෙනමින් ස්ථානයක් ඇත)  වීදියක වලක කැන, එය තුල උල් සවිකර එය මතුපිටින් වසා එය තුලට වීරසුන්දර බණ්ඩාර වට්ටවා මැරීය.මේ දරුණු ක්‍රියාවෙන් පසු දෙවනගල රතනාලංකාර හිමි පලාගොස් ශ්‍රී පාදස්ථානයේද, විහාරස්ථානවල සැඟවී තම මෙහෙයුම දිගටම ගෙන ගියේය.

මේ සිදුවීම් වන්නේ 1586 වසරේ නිසා වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් වෙත පලායන්නේ 1586 පසුව විය යුතුය. ඔහු කන්ද උඩරටින් මන්නාරමටත්, එතැනින් ගෝවයටත් ගොස්, කොළඹ කොටුව රැකීමට කොළඹට ඒමේ කාලය වසරකට වඩා වැඩිවිය නොහැක. ඇතැම් විට මන්නාරමේදී ඔහුට එවිට වයස අවුරුදු 8 ක් පමණ වයසැති කුසුමාසන කුමරිය මුණගැසෙන්නට ඇති.

කොනප්පු බණ්ඩාර ගෝවේ මැරයෙකු මරාදැමීම

මේ චිත්‍රපටයේ ඇති කොනප්පු බණ්ඩාර ගෝවේදී පෘතුගීසි මැරයෙකු මරාදැමීම සත්‍යයකි. එසේම චිත්‍රපටයේ සඳහන් ආකාරයටම කොනප්පු බංඩාර අගංම්පොර ශූරයෙකු බව රාජාවලියේ සඳහන් වේ.

දොම් ෆිලිප් යමසිංහ බණ්ඩාර කන්ද උඩරට බලයට පත්වේ

xcbfdgfgh

1588 පෙබරවාරි මස 4 වෙනි දින කොළඹ කොටුව රාජසිංහ රජුගෙන් මුදාගැනීමට ගෝවයෙන් හමුදා සෙබළුන් 600 රැගත් යාත්‍රා 18 ක් කොළඹ බලා පිටත්වූ අතර, මෙයින් එක යාත්‍රාවක් භාර කපිතාන්වරයෙක් වූයේ කරලියැද්දේගේ බෑණනුවන්වූ දොම් ෆිලිප් කන්ද උඩරට කුමරුය. එනිසා මේ යමසිංහ බණ්ඩාර චිත්‍රපටයේ පෙන්වන අයුරේ නිකමෙකු විය නොහැකිය.

රටපුරා පැතිරුණු වසංගත රෝගයක් නිසාත්, අතිරේක පෘතුගීසි බලඇණි කොටුවට පැමිණි නිසාත්, සීතාවක හමුදාව 1588 පෙබරවාරි මස කොළඹ වටලෑම නැවතීය. ඒ වනවිට කොළඹ කොටුවත්,මන්නාරම කොටුවත්,යාපා පටුනත් හැරුණු කල මුළු ලංකාවම තම අණසකට යටත් කරගෙන සිටි සීතාවක රාජසිංහගේ රජුගේ පරිහානිය ඇරඹුණේ එතැන් සිටයි.

1591 වසරේ දොම් ෆිලිප් යමසිංහ බණ්ඩාර කන්ද උඩරට රජකම ගැනීමට පෘතුගීසීන් සමඟ මන්නාරමින් සෙංකඩගල බලා ගමන් ඇරඹීය.කොනප්පු බන්ඩාර,යමසිංහ බණ්ඩාරගේ පුත් දොම් ජුවාම් කුමරු, කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝ, දුවාර්ටේ කැනොන්කා හා ෆ්රැන්සිස්කෝ ද ඔරියන්ටේ පියතුමන්ලා දෙදෙන මේ ගමනට එක්විය.

මන්නාරමේ සිට සත් කෝරලය හරහා මේ පිරිස මාතලේ දිස්ත්‍රික්කයේ  වහකෝට්ටේට පැමිණි පසු යමසිංහ බණ්ඩාර කන්ද උඩරට රජු ලෙස අභිෂේක කෙරිණි. මේ දෙදෙනා කන්ද උඩරටට ගමන් කරමින් සිටින විට ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් සංඝයාවහන්සේලාද, රදලවරුන්ද, රටවැසියන්ද මොවුන් සමග එක්වීමට පටන් ගති. මේ බව පෙන්වන චිත්‍රපටයේ කොටස සත්‍යයකි.

මොවුන් මහවැලි ගඟ තරණය කිරීමට ගන්නොරුව අසලට පැමිණිවිට තමන් රාජසිංහ රජුගෙන් ගලවා ගැනීමට පැමිණි ගැලවුම් කරුවන් පිරිසක්සේ උඩරට ජනතාව මේ හමුදාව පිළිගත්හ. එනිසා කන්ද උඩරට යුවරජුව සිටි රාජසිංහ රජුගේ දියණියවූ මැණික් බිසෝ බණ්ඩාරගේ පුත් රාජසුරිය කුමරු  රාජසිංහ රජුගේ මුනුබුරු රාජසූරිය සීතාවකට පලා ගියේය.එනිසා කිසිම ලේ වැගිරීමකින් තොරව සෙංකඩගලට පිවිසීමට මොවුන්ට හැකිවිය.  

කඩු සටනිකින් නොව, වසදී මරා දැමුණු යමසිංහ බණ්ඩාර

දොම් ෆිලිප් යමසිංහ බණ්ඩාර ටික කලක් කන්ද උඩරට පාලනය කල පසු, යම් අයෙකු විසින් ඔහු වසදී මරණයට පත්කරන ලදී. ඔහු මැරුණේ මේ චිත්‍රපටයේ පෙන්වන අයුරින් කොනප්පු බන්ඩාර සමඟ කඩු සටනකින් නොවේ. ඔහු මරණයට පත්වූයේ 1591 වසරේ මිස 1592 වසරේ නොවේ.

ඒ සමඟම නගරයෙන් පලාගිය කොනප්පු බණ්ඩාර කන්ද උඩරට සිටි පෘතුගීසි භටයන්ට ආහාරපාන නොදීමට කන්ද උඩරට ජනතාව පෙළඹවිය. මෙයින් පීඩාවට පත්වූ කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝ, ෆ්රැන්සිස්කෝ ද ඔරියන්ටේ පියතුමා කොනප්පු බණ්ඩාර හමුවට යවා ඔහුට තදින් දොස් පැවරීය. එවිට කොනප්පු බණ්ඩාර පියතුමාට පවසා සිටියේ කපිතාන් ජාඕ ෆර්නාඕ ද මේලෝ ද සම්පායෝගේ යටි අදහස කන්ද උඩරට රාජධානිය අත්පත්කර ගැනීම බවත්, ඒ අරමුණ ඉෂ්ඨ කරගැනීමට යමසිංහ බණ්ඩාරට වසදීම මැරීම ඔහුගේම ක්‍රියාවක් බවත්ය. මෙනිසා තමන් සෑම් පායෝට විරුද්ධවීමට තීරණය කළබවද කොනප්පු බණ්ඩාර පියතුමාට පැවසීය.

මේ සාකච්ඡාට අසාර්ථකවූ නිසාත්, මේ වනවිට තමන් සමඟ සිටි 400 ක  පමණ පෘතුගීසි භට පිරිස ආහාර හිඟයෙන් හා රෝගයන් නිසා පීඩාවට පත්ව සිටි නිසාත්, මන්නාරමට පසුබැසීමට කපිතාන් සෑම් පායෝ තීරණය කළේය. දැඩි පිඩාවන්ට මුහුණ දෙමින්  තම සෙබළුන්, පියතුමන්ලා, යමසිංහ බණ්ඩාරගේ පුත් දොම් ජුවාම් කුමරු සමඟ කපිතාන් සම්පායෝ 1591 සැප්තැම්බර් මාසයේදී, නැවත මන්නාරමට පැමිණියේය.

Ajith Amarasinghe Dr(සටහන | විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
(සමාජ- ඉතිහාස විශ්ලේෂක)
Amarasinghe_ajith@yahoo.com

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

(අනිද්දා පුවත්පතේ පළවු ලිපියකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...