The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා

T

The Leader Desk

October 10, 2025 • 10:03 AM

රාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිරු සැඟව යන්නට ඔන්න මෙන්න ය. කඳු වසාගෙන සිටින වනාන්තර, අන්ධකාරය ගමට කැඳවාගෙන එමින් පැවතියේය. ලයිමේ කොල්ලෝ කුරුට්ටෝ තවම සෙල්ලමේ යෙදී හිඳිති. ගෙයි තිබූ ප්ලාස්ටික් පුටුවක් ගෙන කුඩා ඉස්තෝප්පු කෑල්ල මත තබාගත් රාසම්මා එහි වාඩිවී විටක් ඒදන්නට වූවාය.
  • අලුත් පරම්පරාවේ බොහොමයක් වත්තෙන් පිට ලෝකය සොයා යන්නට රුචි බැවින් වැඩිහිටියන් තරම් ම ඔවුන් විටවලට හුරුවී නැති බව පෙනේ.          සිය ජීවිතයේ හැත්තෑව දශකයේ අග භාගය පසු කරමින් සිටින රාසම්මා දැන් සිටින්නේ අසූවෙනි වියේ දොරකඩ ය.
  • කටේ දමා ගත් විට ඉක්මනින් ඉක්මනින් සපන්නේ එහි රසයට ඇති හුරුව නිසාම ය.
  • රාක්ෂාව වත්ත අතීතයේ ⁣ගම්මුන් හඳුන්වා ඇත්තේ රාජගෙ වත්ත ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
රාසම්මාගේ කටත් දිවත් රතු ම රතු ය. යොවුන් වියේ සිට ම විට කෑම ඇගේ පුරුද්දකි. මේ ලයිම්වල අලුත් පරම්පරාව විට කෑම අඩු වුවත් ඊට කලින් පරම්පරාවල විට නොකන කෙනෙක් නැති තරම් ය. අලුත් පරම්පරාවේ බොහොමයක් වත්තෙන් පිට ලෝකය සොයා යන්නට රුචි බැවින් වැඩිහිටියන් තරම් ම ඔවුන් විටවලට හුරුවී නැති බව පෙනේ. 
       
සිය ජීවිතයේ හැත්තෑව දශකයේ අග භාගය පසු කරමින් සිටින රාසම්මා දැන් සිටින්නේ අසූවෙනි වියේ දොරකඩ ය. විටක් ඒදා හක්කේ තබාගත් රාසම්මා එය සෙම්න් සෙමින් සපන්නට වූවාය. තරුණ කාලයේ දළු කඩන රස්සාව කරද්දී නම් දවසට විට පහ, හයක්වත් වුවමනා වේ. කටේ දමා ගත් විට ඉක්මනින් ඉක්මනින් සපන්නේ එහි රසයට ඇති හුරුව නිසාම ය. නමුත් දැන් ඒ හපන්කම් කරන්නට දත්වලට බැරි ය. දකුණතේ දබරැඟිල්ලත්, මැදඟිල්ලත් කටේ දෙකෙළවරින් තබාගෙන ඇය සුරුස් ගා කෙළ පහරක් මිදුලට විද්දාය. 
 
රාසම්මා
       
"ආ....රාසම්මා නැන්දා ..." යි කියාගෙන ලැයිමේ තරුණයකු ඇය පසු කරගෙන යන්නට ගියේය. රාසම්මා සුපුරුදු සිනාවෙන් මුව සරසාගෙන බලා සිටියාය.   
 
මේ රාසම්මා වෙසෙන රාක්ෂාව තේ වත්තේ ලයිමකි. රාක්ෂාව වත්ත අතීතයේ ⁣ගම්මුන් හඳුන්වා ඇත්තේ රාජගෙ වත්ත ලෙසිනි. ඊට හේතුව මෙම තේ යායෙහි අතීත හිමිකරු රාජා නමින් හඳුන්වන ද්‍රවිඩ ජාතිකයකු වීම බව තතු සොයා බැලීමේදී හෙළි කර ගත හැකි විය. කෙසේ වුවත් දැන් එය රාක්ෂාව වත්ත ය. එම ගමත් රාක්ෂාව ය.        
මහනුවරින්, වත්තේගම හරහා පන්විලට පැමිණ එතැනින් කබරගල, අරත්තන, බඹරගල, හුළුගඟ ආදී බස් ගමන් ගන්නා මාර්ගයේ කිලෝ මීටරයක පමණ දුරක් පැමිණි කල රාක්ෂාව වත්ත ළඟින් බසින්නට පුළුවන.
 
panwila
     
1972 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජය විසින් ගෙන එන ලද සේරු භූමි පනත මගින් පෞද්ගලික හිමිකරුවන්ට තබාගත හැකි උපරිම භූමි ප්‍රමාණය අක්කර 50කට සීමා කර ඉතිරි ඉඩම් රජයට පවරා ගැනීමේ දී රාජගෙ වත්ත හෙවත් රාක්ෂාව වත්ත ද රජයට පවරා ගැනිණි. ඒ අනුව දැන් මෙම තේ වතුයාය රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වන අතර රාක්ෂාව තේ කම්හල පෞද්ගලික හිමිකරුවකුට අයත් බව ද පැවසේ. 
     
රාක්ෂාවෙහි ලයිම් පහකි. 
 
laym
කෝවිල ළඟ ලයිම කෝවිල් ලයිම ය. කංකානිලාගේ නිවාස ආසන්නයේ ඇති ලයිම බංගලා ලයිම වේ. වතුර පීල්ලක් ආසන්නයේ පිහිටි ලයිම පීලි ලයිම යි. පන්විල තානායම ආසන්නයේ ඇති ලයිම රෙස්ට්‍ හවුස් ලයිම ය. ඔවුන් එය හඳුන්වන්නේ "රෙට්ටවුස්" ලයිම ලෙසිනි. ප්‍රේමදාස ජනාධිපතිවරයා උදාගම් සංකල්පය යටතේ ඉදි කරවන ලද උදාගම, ගම්උදා ලයිම ය.        
රාසම්මා වෙසෙන්නේ බංගලා ලයිමේ ය. කුඩා පේළි නිවාස හතලිහකින් පමණ සමන්විත වූ බංගලා ලයිමට රාක්ෂාව තේ කම්හල අසලින් කොන්ක්‍රීට් පාරේ උඩට යා යුතුය. මුල් කාලයේ මේ ලයිමට මෙතරම් ගෙවල් තිබී නැත. නමුත් පවුල්වල දරුවන් විවාහ වූ පසු ඒ අලුත් පවුල් පදිංචි වන්නේ ත් ලයිමේම ය. මේ පවුල්වල දරුවෝ ද බොහෝ වෙති. වත්ත හැර ඔවුන් ට යන්නට තැනක් සෙවීම දුෂ්කර ය. පුළුවන් හැම ආකාරයටම ගෙයි ඉඩක් ඇති කොතැනකින් හෝ පලයක් බා ගෙන ඔවුන් පදිංචි වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ඔවුන් පරම්පරා ගණනක් තිස්සේ කඹුරන්නේ මේ වතුවලට ය. තේ ගස් ඔවුන්ගේ ජීවිත උකසට ගෙන ඇත. 
       
මේ තත්ත්වය වෙනස් වෙමින් පවතින්නේ දැන් ය. අලුත් පරම්පරාව දැන් දැන් වත්තෙන් පිට ජීවිතය සොයා යමින් සිටිති. ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්නේ ලෝකය ම එක ගමක් කරමින් සිටින නවීන තාක්ෂණය යි. විශේෂයෙන් ම නවීන තාක්ෂණයේ අසිරිමත් නිමැවුමක් වූ ස්මාර්ට් ජංගම දුරකථනය යි.
 
wathu web
       
රාක්ෂාව වත්තේ දැන් දිවි ගෙවූවද, රාසම්මා රාක්ෂාවේ කෙනෙක් නොවේ. ඇය මහනුවර පොත්තපිටියේ ය. උපන්නේත්, විවාහ වනතුරු ජීවත් වුණේත් පොත්තපිටියේ තේ වත්තක ය. ඇගේ පියා එම තේ වත්තේ කම්කරුවෙකි. අසීරුවෙන් සිංහල කතා කරන රාසම්මා කියූ ආකාරයට ඇගේ පියා ගේ රාජකාරිය වී තිබුණේ තේ වත්ත උදලු ගෑම ය. 
       
"අපේ අම්මගෙ ඇස් පේන්නෙ නෑ" රාසම්මා ඒ අදහස කැඩුණු සිංහලෙන් පැවසුවාය.
       
"ඒ කියන්නේ අන්ධයිද?'
       
"යාන්තමට හෙවනැල්ල වගේ පේන්නෙ"
       
රාසම්මා ඇගේ දුක්බර ළමා විය වෙත මා කැටුව ගියාය.
       
10508පවුලේ වැඩිමහල් දරුවා වූ රාසම්මා අකුරු කළේ මැණික්හින්නේ පාසලකිනි. නමුත් රාසම්මා ට පස්වෙනි ශ්‍රේණියෙන් පසු පාසල් යාමට ඉඩක් ලැබුණේ නැත. දිළිඳුකම එක හේතුවකි. අනෙක් හේතුව ඇයට වයස අවුරුදු 11 ක් වනවිට ඇගේ මව තවත් දරුවකු බිහි කිරීම ය. 
       
මවගේ දෑස නොපෙනෙන බැවින් තම කුඩා මල්ලීගේ සියලු වැඩකටයුතු කළේත්, මල්ලීව බලා ගත්තේත් රාසම්මා ය. තාත්තා කම්කරුවකු ලෙස වැඩ කර ලබා ගත් සොච්චම් පඩිය සතර දෙනෙකුට ජීවත් වන්නට ප්‍රමාණවත් වුණේ නැත. මල්ලී අම්මාගේ පියයුරුවල එල්ලී උරමින් හිඳ මඳ වෙලාවකින් බෙරිහන් දෙන්නට පටන් ගන්නේ ඒවායේ කිරි නොවූ නිසා ය. ඔහුට හිස් සෝඩා බෝතලයකට සූප්පුවක් ගසා කොත්තමල්ලි වතුර ටිකක් පොවන්නට රාසම්මා වෙහෙසෙයි. කුසගිනි වැඩිකමට ඇතැම් විටෙක කොත්තමල්ලි වතුර බිව්වත් බොහෝවිට ඔහු කළේ බෝතලය අතින් තල්ලු කරමින් කිරි ඉල්ලා හැඬීම ය. මේවා දකින විට රාසම්මා ගේ සිත වාවන්නේ නැත. ඇය ට කළ හැකිව තිබූ එකම දෙය වූයේ වත්තේ වැඩට යාම පමණි. නමුත් අවුරුදු 11 ක දැරියකට වත්තේ රස්සාවල් දෙන්නේ කවුද?       
 
බොහෝදුර කල්පනා කළ රාසම්මා බොරු වයසක් කියා වත්තේ සින්නදොරේගෙන් වැඩ ඉල්ලන්නට තීරණය කළාය. රුපියල් දහයක් උපයා ගන්නට ලැබුණොත් ඒ රුපියල් දහය දී සමූපෙන් මල්ලීට විටාමිල්ක් පැකට් එකක් ගෙන යා හැකිය.   
හිතට දිරි ගත් රාසම්මා පසුදාම ගියේ වත්තේ කංකානි ළඟට ය. සින්නදොරේ ළඟට කෙළින්ම යන්නට කුඩා ඇයට බැරි ය. 
       
" කංකානි, සින්නදොරේ ට කියලා මටත් හෙට ඉඳලා දලු කඩන්න දෙන්න පුළුවන් ද?"
       
කංකානි මේ දැරියගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වාත්, යළි පාදාන්තයේ සිට කේසාන්තය දක්වා ආපස්සටත් විමසුම් සහගතව බැලීය. 
       
"උඹ තාම පොඩි එකී. උඹ කොහොමද රස්සා කරන්නෙ?" කංකානි නොසැලකිලිමත් ලෙස විමසීය.
       
"මම පොඩි නෑ . මට අවුරුදු 14 ක්" 
       
"පලයන් කෙල්ලෙ යන්න. උඹලට දෙන්න රස්සා නෑ"       
 
"අනේ කංකානි එහෙම කියන්න එපා. අපේ අම්මට ඇස් පේන්නෙ නෑ. මල්ලිට කිරි නැතුව අඬනවා. සමූපෙන් විටාමිල්ක් එකක් ගන්න ඕනෙ. මට දළු කඩන්න පුළුවන්. කංකානි සින්නදොරේට කියන්නකො"
2543
       
රාසම්මා පින්සෙණ්ඩු වූවාය.
       
"කෙල්ලෙ උඹගෙ අප්පා කෝ"
       
"වත්ත උදලු ගාන වැඩේ තමයි අප්පා කරන්නෙ?"
       
වත්ත උදලු ගාන කම්කරුවකුගේ වැටුප කීයදැයි කංකානි දනී. ඔහු නැවත වරක් රාසම්මා දෙස විමසුම් සහගත ව බැලීය. සිරියාවන්ත කෙලි පැටික්කියකි. අවුරුදු 14ක් වෙන්නට නම් බැරි ය. නමුත් ගෙවල්වලම දරුවන් ප්‍රසූත කළ මේවායේ දරුවන් ට උප්පැන්න සහතික නැති බව කංකානි දනී. කෙසේ වුවද මල්ලීට විටාමිල්ක් පැකට් එකක් ගන්නට දලු කඩන රස්සාවක් හොයන අහිංසක අක්කා කෙනෙකි. 
 
Peasant in the vegetable garden
       
"හ්ම්, හෙට උදේ වරෙන්කො එහෙනම් සංගුව ගහන වෙලාවට. මම සින්නදොරේ ළඟට උඹව යවන්නම්" 
     
ප්‍රීතියෙන් ඉපිලෙමින් රාසම්මා ගෙදර දිව්වාය. 
       
පසුදින උදෑසනින් ම ඇයට සින්නදොරේ හමු වීමට අවස්ථාව ලැබිණි.
 
ලබන සතියේ යළි හමුවෙමු. 
 
ස්තුතිය - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, මාරිමුත්තු රුවන් යන මහත්වරුන් ට සහ පන්විල සූරිය කුමාරි මහත්මියට 
 
ඡායාරූප - මාරිමුත්තු රුවන්, ඉන්දු පෙරේරා සහ අන්තර්ජාලය 
 
සටහන : ඉන්දු පෙරේරා
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...