The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාක්ෂාව (2 කොටස) : රුපියල් විසි පහේ දවස් පඩියට රාසම්මා ට රැකියාවක් | ඉන්දු පෙරේරා

T

The Leader Desk

October 18, 2025 • 8:23 AM

රාක්ෂාව (2 කොටස) : රුපියල් විසි පහේ දවස් පඩියට රාසම්මා ට රැකියාවක් | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හරියටම උදේ 6.00 වනවිට වත්තේ සංගුවේ හඬ ඇසෙයි. ඊට පැය කාලකටවත් කලින් කංකානිලා, කනකපුල්ලේ වෙත වාර්තා කළ යුතුය. වත්තේ එක් එක් කොටස්වල වැඩ බැලිය යුතු කංකානිලා කවුද, ඔවුන් ට කම්කරුවන් කී දෙනෙක් බැගින් ලැබෙනවාද යන මේ සියල්ල සම්බන්ධයෙන් සින්නදොරේගෙන් කනකපුල්ලේට ඕඩර් ලැබේ.
  • "ඔන්නා නම්බර් මලෛ" යනු අංක 1 කොටස ය.
  • ඒ  "ඕල්රවුන්ඩර්ස්ලා" ලෙස වැඩ පෙන්වූ අයයි.
  • කණ්ඩායමේ සෙසු අයගේ හිත දිනාගෙන සිටින අතර ප්‍රශ්නයක් ඇතිවූ විට වහා ඉදිරිපත් ව ඊට විසඳුම් සෙවීමේ හැකියාවක් ද ඔවුන් සතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
කනකපුල්ලේ විසින්  එම ඕඩර් කංකානිලාට  දෙනු ලබයි. උදේ හයට පෙර කංකානිලා තමන් වෙත වාර්තා කළ පසු එම ඕඩරයට අනුව  උපදෙස් දීම කනකපුල්ලේගේ රාජකාරිවලින් එකකි.
       
"ඔන්නා නම්බර් මලෛ........කංකානි       
රෙන්ඩා නම්බර් මලෛ......කංකානි       
මූනා නම්බර් මලෛ......කංකානි     
නාලා නම්බර් මලෛ.......කංකානි" 
       
වශයෙන් දිගටම හඬනගා කියාගෙන යන කනකපුල්ලේ ගේ ඒ ඕඩරය අවසන් වන්නේ වත්තේ අවසාන කොටසේ අංකයෙනි.. "ඔන්නා නම්බර් මලෛ" යනු අංක 1 කොටස ය. මලෛ යනු වත්ත ය. (කන්ද යන වචනයට ද දෙමළ බසින් මලෛ යනුවෙන් යෙදේ.)  
     
එම අංශ  ඒ ඒ කංකානිලා වෙත පැවරිය යුතුය. ඒ අනුව
     
"වත්තේ අංක එක කොටස අසවල් කංකානිට" ආදී වශයෙන් කනකපුල්ලේ විසින් වෙන් කර පවසන්නේ ඉහත කී ආකාරයට ය.
     
සෑම මලෛ එකකටම කංකානිලා එක්කෙනෙක් බැගින් සිටී. දක්ෂ කංකානි කෙනෙකුට නම් මලෛ දෙකක වැඩ බලන්නටද පැවරිය හැකිය. ගැහැනු කංකානිලා ද සිටිති. ඒ  "ඕල්රවුන්ඩර්ස්ලා" ලෙස වැඩ පෙන්වූ අයයි. ඕල්රවුන්ඩර්ස්ලා දළු කැඩීමේදී බොහෝ වේගවත් ය. හරියටම කිව්වොත් ඇඟිලිවලට මැෂින් එකක් සවි කෙරුවාක් මෙනි. දවසට දළු කිලෝ පනහට වඩා කඩන අය ද සිටිති. දළු හඳුනා ගැනීමට ද ඔවුන් දක්ෂ ය. කණ්ඩායමේ සෙසු අයගේ හිත දිනාගෙන සිටින අතර ප්‍රශ්නයක් ඇතිවූ විට වහා ඉදිරිපත් ව ඊට විසඳුම් සෙවීමේ හැකියාවක් ද ඔවුන් සතුය. මෙවැනි අය කම්කරු තනතුරේ සිට කංකානි තනතුර  දක්වා උසස්වීම් ලබයි.
         
2517රාසම්මා ට වත්තේ වැඩ දීමට සින්නදොරේ එකඟ වී තිබිණි.
       
 "උඹට පුළුවන්ද රාසම්මෙ දළු කඩන්න? උඹ තාම පොඩි එකී නොවැ" 
         
ඇගේ අම්මා කීවේ සන්තාපයෙන් යුතුව ය. 
       
 "මට පුළුවන් අම්මා"
         
රාසම්මා සිටියේ වත්තේ රැකියාව ලැබුණු සතුටිනි.
         
කංකානි කෙනෙකුට ලැබෙන සේවකයන් වර්ග දෙකකි. ඒ මට්ට⁣ කොලොන්දු සහ පලය මලර් ලෙසිනි.
         
මට්ට කොලුන්දු යනු දළු කැඩීම සම්බන්ධයෙන් ඉමහත්  දක්ෂතාවයක් පළ කරන අයයි. දළු කඩන්නට පුරුදු වෙන අය පලය මලර් කණ්ඩායම යි. එක කංකානි කෙනෙකුට සාමාන්‍යයෙන් මට්ට කොලුන්දු කට්ටිය 15 දෙනෙක් පමණ ද, පලය මලර් කට්ටිය 20 ක් පමණ ද ලැබිණි. නමුත් මේ දළ වශයෙන් දක්වන සංඛ්‍යාවක් මිස නියත සංඛ්‍යාවක් නොවේ.
 
tea state worker
මට්ට කොලොන්දු කට්ටිය එක සතියක දළු කඩන කොටසේ ඊළඟ සතියේ පලය මලර් කණ්ඩායම දළු කැඩිය යුතුය. ප⁣ලය මලර් කණ්ඩායම එම කොටසේ දළු නිසි අයුරින් නෙළා ඇතිදැයි බලන්නටත් එක්කම ඊළඟ සතියේ එම කොටසේ නැවත දළු නෙළන්නේ මට්ට කොලොන්දු කණ්ඩායම යි. මෙලෙස වත්තේ ඒ ඒ කොටස්වලට මාරුවෙන් මාරුවට කම්කරුවන් යොදනු ලබන අතර සාමාන්‍යයෙන් සතියකට වරක් බැගින් පමණ තේ ගස්වල දළු නෙළිය යුතුයි.        
තේ ගස්වල එකම මට්ටමකට දළු නෙළීම සිදු කෙරේ. එම මට්ටම බලා ගැනීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ දිග කෝටුවකි. හැම කෙනෙකුගේම අතේ මෙම කෝටුව බොහෝවිට ම දැකගත හැකිය.
 
2543 1
       
රාසම්මා  තේ දළු නෙළන රස්සාව කෙටි කලකින් ඉතා හොඳින් ඉගෙන ගත්තාය. ඇය ඒ කණ්ඩායමේ පමණක් නොව වත්තේ ම කම්කරුවන් අතර සිටි කුඩාම කෙනා ය. ඇගේ කණ්ඩායමේ සිටි අනෙක් කාන්තාවන් මේ පොඩි එකී ගැන බලන්නට අමතක කළේ නැත. 
       
පාන්දරින්ම අවදි වී රාසම්මා ගේ අම්මා  රොටී සාදයි. ඒත් නැත්නම් කඩල, කව්පි, මුංඇට වැනි දෙයකි. මේ කොයි දේ කන්නටත් ගලේ අඹරූ රතු පාට ලුණුමිරිස හෝ කොච්චි සම්බෝලයක් ලැබේ.   රාසම්මා වැඩට යනවිට මේවා සමග කහට තේ බෝතලයක් ද ගෙන යයි. 
     
මේ කඳුකරයේ  අලුයම් කාලයට  සීතල වැඩි ය. නමුත් රාසම්මලාට ඒවා හුරු ය. වේගයෙන් දළු කඩනවිට සීතල පාළනය වෙයි. අනෙක් අතට කටට සැරට හොඳින් මිරිස් යොදා හදන ලුණු මිරිස, සැරට කන බුලත් විට යන මේවා ද ඔවුනට සීතල දරාගත හැකි උපක්‍රම වේ.  
 
12508
         
පින්න වැටුණු පැළෑටිවලත්,  තණකොළ අතරත් රැඳුණු කූඩැල්ලන්  බලා සිටින්නේ කාගේ හෝ කකුලක එල්ලී ලේ උරා බොන්නට ය. එනිසා සබන් වැනි දේවල් කකුල්වල ගාගෙන යන්නට ⁣සමහරු පුරුදු වී සිටිති. ජීවිතයේ මේ සියලු උපද්‍රව, හැලහැප්පීම් කොයිකටත් රාසම්මලා මුහුණ දෙන්නේ එය තමන්ගේ දෛවය යැයි සිතමින් නොව, වත්තෙන් එහා ලෝකයක් ගැන එකල රාසම්මලාට  අත්දැකීම් නොතිබූ නිසා ය. "දෛවය" හෝ "ලබා උපන් හැටි" වැනි මහප්‍රාණ මේ අහිංසකයන් දැන සිටියේ නැත.  
       
උදේ 10. 00 ට තේ බොන්නට විරාමයක් ලැබේ. ගස් සෙවනක වාඩිවී අනෙක් අය සමග රාසම්මා ද කෑම කා තේ බිව්වාය. තේ බොන්නට ලැබෙන්නේ පැය භාගයකි. ඒ අතරතුරේ කංකානි එහාට මෙහාට යමින් එමින්  "ඉක්මන් කරපල්ලා, ඉක්මන් කරපල්ලා. මදෑ ඔය කය්ය ගැහුවා. පරක්කු වුණොත් උඹලටම තමයි පාඩු" වැනි දෙයක් නොවරදවාම කියන්නට අමතක කරන්නේ නැත. 
     
 ⁣දළු නෙළන කම්කරුවකු අඩුම තරමින් දිනකට තේ දළු කිලෝ 18 - 20ක් පමණ නෙළිය යුතුය. එය ඔවුන් ට  ලබා දී තිබෙන ඉලක්කය යි. මෙය හඳුන්වන්නේ "නමට කඩන ප්‍රමාණය" ලෙසිනි. නමට කඩන ප්‍රමාණයට වඩා වැඩිපුර කඩන සියල්ල "කෛකාස" නම් වෙයි. තේ දළු නෙළීමෙන් පසු  සියල්ල එක තැනකට ගෙන ආ යුතුය. ඉන්පසු කංකානි ඒවා කිරා නමට තිබෙන ප්‍රමාණය සහ කෛකාස වෙන වෙනම පොතේ සටහන් කර ගනී.  සේවක අර්ථ සාධක අරමුදල සඳහා කපන්නේ නමට ගෙවන කොටසිනි. එයින් ඉතිරිය සහ කෛකාස ද එකතු කර වැටුප් ගෙවනු ලබයි.
 
12490
       
මුලදී හරියට වැඩ නුහුරු වුණත් රාසම්මා දැඩි ධෛර්යයකින් වැඩ කළාය. ඒ නිසා ඇයට ඉක්මනින් වැඩ ඉගෙන ගැනීමට හැකි විය. එකල දවසට පඩිය රුපියල් විසි පහකි. රාසම්මා ගේ පඩිය ගෙනෙන්නට ගියේ ඇගේ පියා ය.    
 
මල්ලීට සතියට විටාමිල්ක් කිරිපිටි පැකට් දෙකක් අවශ්‍ය විණි. ඒ මුදල දැරීමට හැකිවීම ගැන රාසම්මා ට  දැනුණේ  සතුටකි. ඇයට වෙනත් සහෝදරයකු හෝ සහෝදරියක සිටියේ නැත. තමන් ට වඩා වසර 11 කටත් වඩා වයසින් අඩු මල්ලීට ඇය බොහෝ ආදරය කළේ එනිසා ය. මල්ලීට කිරිපිටි අරන් දෙන්නට පමණක් ⁣නොව ගෙදර කෑමට බීමට ද රාසම්මා ඉපයූ ධනය වැය විණි. අප්පා ඇගේ පඩිය ගෙනැවිත් අම්මාට දුන්නේය. රාසම්මා අප්පාගෙන් තම  ඉල්ලුවේ නැත. තමාගේ පඩිය තමන් අතට ගැනීමෙන් නොව ඇය සතුටු වූයේ අවුරුදු 11 ක් වැනි වයසක දී උපයන්නියක වී ගෙදරට හය්යක් වීමට හැකි වීම පිළිබඳව ය. 
  
ලබන සතියේ යළි හමුවෙමු. 
 
ස්තුතිය -  මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්,  මාරිමුත්තු රුවන් යන මහත්වරුන් ට සහ පන්විල සූරිය කුමාරි මහත්මියට 
 
ඡායාරූප - මාරිමුත්තු රුවන්, ඉන්දු පෙරේරා සහ අන්තර්ජාලය 
 
 
සටහන : ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි :
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...