මෙතෙක් කෝවිඞ්-19 පිළිබඳව කෙරුණු පැහැදිලි කිරීම් අතුරින් මා ඇසූ ඉතාම වැදගත් හා විද්‍යාත්මක පැහැදිලි කිරීම කරනු ලැබූයේ ශ්‍රී ලාංකිකයෙකු වන ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ජීව තාක්ෂණ විශේෂඥයෙකු

වන ආචාර්ය සුමේද ජයසේන ය. “වක්‍රය සමතලා කිරීම” යැයි වන ඉතා ජනප්‍රිය යෙදුමෙන් ඇත්තට අදහස් කරනුයේ කුමක්දැයි ඔහු ඉතා මැනවින් පැහැදිලි කළේය. 

මෙහි “වක්‍රය” යනුවෙන් කතා වන්නේ ප්‍රස්ථාරයක වක්‍රය සම්බන්ධයෙනි. එය වයිරසයක හැසිරීම පැහැදිලි කරන්නකි. එවැනි වක්‍රයක් කොටස් තුනකට බෙදෙන්නේය. ආරම්භක කොටස පළමු ආසාධිතයාගෙන් වයිරසයේ පැතිරීම සෙමින් පටන් ගන්නා හැටි පෙන්වන්නේය. 

මේ කාලය තුල පැතිරීම පාලනය කළ හැකි අතර, එවිට ප්‍රස්ථාරය ඉහළ නොගොසින් සමාන්තරව ගමන් ගන්නේය. “වක්‍රය සමතලා කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ එවැනි පාලනයකට ය. 

වයිරසයේ ව්‍යාප්තිය එළෙසින් පාලනය නොකෙරුනු විට දෙවැන්න ව්‍යාප්තී කොටසය. එය කාලයක් පුරා වයිරසය වේගයෙන් පැතිරීම පෙන්වන “වක්‍රය” නිර්මාණය කරන්නේය. 

තෙවැන්න පසු බැසීමේ, නැතිනම් නිමාවේ කොටස ය. අවාසනාවකට ආචාර්ය ජයසේන මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය මැන ඇත්තේ පළමු පාලන කොටසින් දෙවැනි ව්‍යාප්ති කොටසට පය ගසන තැනට පැමිණ ඇති ලෙසිනි. 



“වක්‍රය” සමතලා කළ නොහැකි තත්වයක් : අප වඩාත් ප්‍රවේසම් විය යුතුයි !

එවැනි ඇඟවීමක් හමුවේ, මාර්තු 24 වන විට වූ සියයකට අධික ආසාධිත සංඛ්‍යාව තව වැඩිවීමේ ඉඩ ඇති හෙයින් අප වඩාත් ප්‍රවේසම් විය යුතුය. 

එළෙසින්ම,

රට “පූර්ණ වශයෙන් වසා දැමීමකට” ජනාධිපති ඉතා පැහැදිලිව අකමැති වූවත් වෛද්‍යවරුන්ගේ සංගමය සහ කොළඹ මැද පංතිකයින් දැඩිව ඉල්ලා සිටි ඒ පූර්ණ වසා දැමීම, කෝවිඩි-19 පැතිරීම පාලනය කිරීමට අසමත් විය. 

මාර්තු 20 වන දින සති අන්තයද ඇතුළත්ව රටටම පැනවූ ඇඳිරි නීතිය කොළඹ හැර යාමට විශාල සංඛ්‍යාවකට බල කළේය. ඔවුහු ආදායම් මාර්ග සොයා නගරයට පැමිණි දේශීය සංක්‍රමණිකයින් ලෙස අවිධිමත් ක්ෂේත්‍රයේ දෛනික ආදායම් මත නඩත්තු වූවන් වූහ. 

මාර්තු 11 වන දින ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳ වාර්තා සමග ඔවුන්ගේ ආදායම් හැකිලෙන්නට පටන් ගත් හෙයින් කොළඹ ජීවත්වීම ඔවුන්ට එතැන් සිට අතිශය දුෂ්කර විය. රට පුරා පැනවූ ඇඳිරි නීතිය, ඇත්තෙන්ම ඔවුන් කොළඹින් පිටතට විසි කරනු ලැබුවකි. 

ඒ අතර නාගරික මැද පංතිය අසීමිතව බඩු මිලට ගැනීමේ උමතුවෙන් පෙළුනාහ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට පැමිණි හඬක් නොමැති සමාජයේ පහළ ස්ථර යළි අතරමං වූහ. එවැනි අවිනිශ්චිත, ප්‍රතිවිරෝධ සහිත තත්ත්වයන් සමග “වක්‍රය” සමතලා කළ නොහැකිය.

ප්‍රජා සෞඛ්‍ය සේවා සතුවූ වැදගත්කම:

වයිරස් වසංගත පාලනය කළ හැකි ප්‍රජා සෞඛ්‍ය සේවාවන් ලංකාවේ පැවති යුගයක් තිබිණ. 1930 ආරම්භයේදී පැතිර ගිය මැලේරියා වසංගතය තුරන් කිරීම සමග රෝග වළකාලීමේදී එම ප්‍රජා සෞඛ්‍ය සේවා සතුවූ වැදගත්කම අවධාරණය කළ යුත්තකි. 

මැලේරියාවට අමතරව පැපොල, සරම්ප, බරවා, පෝලියෝව වැනි විශාල වශයෙන් පැතිරුණු රෝග අද අසන්නටවත් නැත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල සතු වූ මේ ප්‍රජා සෞඛ්‍ය සේවා බිම් මට්ටමේ ඉතා කාර්යක්ෂම, පුහුණු අතුරු සෞඛ්‍ය සේවාවන් වූ බැවිනි. 

‘60 දසකයේ දෙවන භාගය වනතෙක් ඔවුන් හරහා දියත් කෙරුණු එන්නත් හා ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර ආසියාවේ ක්‍රියාත්මක කෙරුණු ඉතාම සාර්ථක ව්‍යාපෘති ලෙස අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වාර්තාවල සටහන් තබති.

එය සහමුලින් කණපිට හැරවෙන්නට පටන් ගත්තේ අප විවෘත වෙළඳපල ආර්ථිකයට මාරුවීමත් සමග ය. අසික්කිත ලෙස විවෘත කෙරුණු වෙළඳපල ආර්ථිකයෙහි “පුරවැසියා” පාරිභෝගිකයෙකු බවට පත් කිරීමත් සමගම යෝධ ඖෂධ සමාගම් පුද්ගල සෞඛ්‍ය සඳහා විශාල අවධාරණයක් තබන්නට විය. 

ඒ සඳහා වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාවේ ප්‍රධානම හා අනිවාර්ය සාධකය ලෙස අවධාරණය කෙරුණි. රටේ සෞඛ්‍ය තත්ත්වය ගණන් බැලීමේ නිර්ණායක පවා වෙනස් කෙරුණි. රෝග වළකාලීමේ හැකියාව වෙනුවට රෝග සුව කිරීම වෙනුවෙන් “රෝගීන්, රෝහල් ඇඳන් සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව” ගණන් බලන්නට විය. 

එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමග ක්ෂේත්‍රයෙහි පැවති ප්‍රජා සෞඛ්‍ය සේවා අත හැරුණි. දසක කිහිපයකට පසු එහි බරපතලකම දැකිය හැකි වන්නේ ඩෙංගු රෝගය මර්දනය කරගැනීමට තවමත් නොහැකිව තිබීමෙනි.

ප්‍රජා සෞඛ්‍ය සේවාවන් නොමැති තාවයක් තුළ ....

ලෝක සෞඛ්‍ය සංවිධානය 2017 ජුලි 19 වන දින නිකුත් කරනු ලබූ වාර්තාවෙහි අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත උපුටා දක්වමින් කියා තිබුණේ 2017 ජනවරි 01 වන දින සිට ජුලි 07 දක්වා ඩෙංගු උණ රෝගීන් 80,732 ක් හා මරණ 215 ක් වාර්තා වූ බවය. එය 2010 සිට 2016 දක්වා කාල පරිච්ඡේදයෙහි සාමාන්‍ය හා ගත් කළ 4.3ක  ගුණයකින් වැඩි වීමකි. 

2020 ජනවාරි වන විටද මේ තත්ත්වයෙහි වෙනසක් නැත. මීට දින 06 ට පමණ පෙර මාර්තු 20 වන දින වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව 2018 වසරේ ඩෙංගු උණ රෝගීන් 51,659 ක් වාර්තාවී ඇති අතර, මේ වසරේ ජනවාරියේ සිට මෙතෙක් ඩෙංගු උණ රෝගීන් 17,868 කි. ඒ සංඛ්‍යාව දෙමසක් ඇතුළත ය.

මේ වසංගත මට්ටමේ ඩෙංගු පැතිරීම අවුරුදු 20 ට වැඩි කලෙක සිට තවමත් වළකා ගත නොහැකිව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමග ප්‍රජා සෞඛ්‍ය සේවා අතහැර දමා ඇති හෙයිනි. 

දැන් අප කෝවිඞ්-19 වසංගතයට මුහුණ දෙන්නේ 2019 ඩෙංගු උණ මරණ 90 ක් වාර්තා වූ ඩෙංගු වසංගතයද නැවත ඉතා ආසන්නයේ ඉස්මතුවන මොහොතක ය.

''කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. ''

මේ වනවිටත් අලුත් සංකීර්ණ සමාජ හා ආර්ථික අවුල් බොහෝමයකට හේතුවී ඇති කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. වසංගත පාලනය කර ගත යුත්තේ සමාජයක් ලෙස අත පය කඩා ගෙන නොවේ. එය පාලනය කරගත යුත්තේ අනවශ්‍ය තුවාල නොමැතිවය. 

එබැවින් බිම් මට්ටමේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය සේවා ව්‍යුහයක් ප්‍රමාද වූවත් වහා ස්ථාපිත කළ යුතුව ඇත. ඒ සඳහා දැනට අඩාලව පැවතියත් අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල යළි සක්‍රීය මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කර ගැනීම වඩාත්ම යහපත් විසඳුම වන්නේය. 

ඒවායේ ක්ෂේත්‍ර නිලධාරීන් නිලධාරිනියන් ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ පළපුරුද්දක්ද ඇති පිරිස් ය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හෙද පුහුණු පාසල්වල මාතෘ හා ළමා සෞඛ්‍ය පුහුණුවක් ලැබූවන් ය. ඔවුන්ට ඔවුන් සේවය කරන ප්‍රදේශයේ පවුල් හා සමීප සම්බන්ධයක් ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් “ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන්” (NIHS මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාවක් ලැබූවන් ය. 

රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 350 ට වඩා ඇත:

දැනට කෝවිඞ්-19 පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සේවය ලබා ගන්නේ ස්වයං නිරෝධායනයට යටත් කෙරුණු පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කොළඹ බලධාරීන් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයට දැන්වූ විට පමණි. එවැනි ප්‍රාථමික කාර්යන් සඳහා මෙවැනි පුහුණු පළපුරුදු ක්ෂේත්‍ර නිලධාරීන් සීමා කිරීම අපරාධයකි. 

ඔවුන් යොදා ගත යුත්තේ ප්‍රදේශයේ දෛනිකව කෝවිඞ්-19 වසංගතය නියාමනය කිරීමේ හා ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යන් සඳහාය. ඉතාම සීමිත හෝ පොලිස් බලතල ප්‍රමාණයක් පවරා ඇති ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහායද ඔවුන්ට එකතු කළ හැකිය.

මේ වනවිට, රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 350 ට වඩා ඇත. ඒ සියල්ල වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යවරියක යටතේ පරිපාලනය වන්නේය. එබැවින් රෝගියකුගේ කෝවිඞ්-19 වසංගතය පිළිබඳ පළමු පරීක්ෂණ කිරීම ඔවුන්ට පැවරිය හැකිය. එහෙත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් වහා ලබා දිය යුතු වන්නේය.  

MOH කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,700 ක් පමණ වේ. පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියන් 4,300 ක් පමණ ය. කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේදී මෙවැනි බිම් මට්ටමේ සම්පත් විශාල ප්‍රමාණයක් පැහැදිලි හා නිශ්චිත වගකීම් පැවරීමකින් තොරව අතහැර දමා තිබීම අපරාධයකි.

එබැවින් කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම සඳහා මෙලෙස මම පියවර කිහිපයක් යෝජනා කරමි.

 

අත්‍යවශ්‍ය යෝජනා 10ක් !

01. MOH කාර්යාල ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් වහා සැපයිය යුතුය. එහි සේවයේ නියුතු සියල්ලන්ට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දින 02 ක සැසි පැවැත් විය යුතු අතර, ඒ සඳහා දැනට නිවාඩු පිට ඉන්නා වෛද්‍ය පීඨ ඇදුරන්ගේ සහාය ලබාගත යුතුය. ග්‍රාම සේවා නිලධාරීන්ගේද සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදා දිය යුතු දැනුවත් කිරීමේ පත්‍රිකාද ලබා දිය යුතුය.

02. සියලු MOH කාර්යාල වලට හදිසි ඇමතුම් සඳහා වෙන් කෙරුණු විශේෂ දුරකතන අංකයක් ලබා දිය යුතුය. එය කෝවිඞ්-19 පිළිබඳව හා ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට තොරතුරු ලබාගත හැකි ලෙස විවෘතව තැබිය යුතුය.

03. කෝවිඩි-19 සම්බන්ධයෙන් පළමු පරික්ෂණ කිරීමේ සියලු පහසුකම් සියලු MOH කාර්යාල වලට වහා ලබා දිය යුතුය. එම පරීක්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ නිලධාරිනිය විසින්ම කළ යුතුය.   

04. ආසාධිත යැයි හෙළි වූ විගස එම පුද්ගලයා වහා ස්වයං නිරෝධායනයට යටත් කළ යුතු අතර එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් එම පුද්ගලයා සහ නිවසේ සෙසු පුද්ගලයින් දෛනිකව නියාමනය කළ යුතුය. (අතීත සම්ප්‍රදායක් වූ පැපොල, සරම්ප වැනි රෝගියකු නිවසේ නිරෝධායනයට තබා ඉන්නා විට අසල්වැසියන්ගේ දැන ගැනීමට නිවසේ ප්‍රධාන දොරටුවෙහි අඹ කොළ හෝ කොහොඹ කොල එල්ලා තැබීම, නැවත හඳුන්වා දිය යුතුය)

05. දෛනිකව එකතු කරනු ලබන ප්‍රාදේශීය තොරතුරු හා දත්ත අප්‍රමාදව MOH කාර්යාල වලදී පරිඝණකගත කිරීමත් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යගත තොරතුරු ගොන්න හා ජාලගත කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව එම දත්ත හා තොරතුරු ජාතික මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය හා සම්බන්ධ කළ යුතුය.

06. සියලු දිස්ත්‍රික්ක සඳහා කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීමේ කමිටු පිහිටු විය යුතුය. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු විය යුතුය. සතියකට වරක් එම කමිටුව රැස් විය යුත්තේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.

07. දිස්ත්‍රික්කයේ සියලු MOH කාර්යාලවල දෛනික කටයුතු මෙම දිස්ත්‍රික් කමිටුව විසින් සම්බන්ධීකරණය කළ යුත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරි හරහා ය.

08. දිස්ත්‍රික් මායිම්, අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවක සේවිකාවන්ට සහ ආහාර හා ඉන්ධන ප්‍රවාහනයට හැර සාමාන්‍ය ගමනා ගමනයට මසක කාලයකට වසා තැබිය යුතුය. දිස්ත්‍රික්කය තුල සාමාන්‍ය ආර්ථික හා වෙළඳ කටයුතු වෙනුවෙන් වෙළඳසල්, භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන, බැංකු සාමාන්‍ය අයුරු පවතත්වා ගත යුතුය. ඒ සමග සාමාන්‍ය ජනතාව කෝවිඞ්-19 පැතිරීම වළකා ගැනීමට අවශ්‍ය පියවර ගන්නේදැයි MOH කාර්යාල විසින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය අයුරින් නියාමන කාර්යන් පවත්වා ගත යුතුය.

09. දිස්ත්‍රික් ලේකම් විසින් කෝවිඞ්-19 වසංගතයට අදාල දිස්ත්‍රික්කයේ තොරතුරු හා විස්තර සති පතා සෑම සඳුදාවකම ඔහුගේ නිල දිස්ත්‍රික් වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.

10. පාසල්, අමතර පංති, අලුත් අවුරුදු උත්සව සහ දේශපාලන සංවිධාන කටයුතු වැනි ඉසව් මසක කාලයකට පූර්ණ ලෙස තහනම් කළ යුතුය.

ත්‍රිවිධ හමුදාවන්ගේ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය:

3 4මේ සමග අවධාරණය කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවන්ගේ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය ය. යටිතල පහසුකම් හා වෙනත් ඉදිකිරීම් කාර්යන්හි ඔවුන් පමණ කාර්යක්ෂම වෙනත් කිසිදු සංවිධානයක් නැත. දීර්ග කාලීන යුද්ධයකින් එවැනි කාර්යන් සඳහා ඔවුන් සතු කරගෙන තිබෙන්නාවූ තාක්ෂණික මෙවලම්, ශිල්පීය කුසලතා, පළපුරුද්ද, සංවිධාන හා කලමනාකරණ හැකියාව අද මේ රටේ වෙනත් කිසිවකුට මුදලට හෝ ගැනීම අපහසුය. 

එවගේම ඕනෑම අවස්ථාවකදී ඒ සම්පත් ඉතා කෙටි දැනුම් දීමකින් යොදා ගැනීමට ආණ්ඩුවට හැකිය. එබැවින් පහසුකම් වැඩි දියුණු කිරීමේදී ත්‍රිවිධ හමුදාවන් සූදානම්ව තබා ගැනීමටද ආණ්ඩුව පියවර ගත යුතුය.

මෙය ඉදිරිපත් කරනුයේ කෝවිඞ්-19 වසංගතය ඉතා වේගයෙන් සහ අවම අපහසුතා සමග පාලනය කරගත හැකි දළ සැළසුමක් වශයෙනි. එනිසා එය තව දුරටත් දියුණුකර ගැනීමේ සංවාදයක් ආරම්භ විය යුතු යැයි විශ්වාස කරන අතර, එය රජයේ ප්‍රතිපත්ති සකසන ඉහළ නිලධාරීන්ගේ සාකච්ඡා වලටද අදාල යැයි සිතමි.


(ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදී -කුසල් පෙරේරා)
2020 මාර්තු 26 

(courtesy kusalperera.blogspot.com

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්