අලුතෙන් පත්වූ ජනපති අනුර කුමාර දිසානායක ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන මේ බව සඳහන් කළේය.
විවිධ රජයන් වාර්ෂිකව ඉහළ අය වැය හිගයකට මුහුණ දුන් ඉතිහාසය සිහිපත් කළ ලේකම්වරයා එම ණය බරින් නිදහස් වීමට නම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට සාර්ථකව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය.
එලෙස රජයට දැරිය හැකි ආදායම් වියදම් මූල්‍යමය තත්ත්වයක් ඇති කරලීමේදී හැකි තරම් ජනතාවට බරක් නොවන ආකාරයට බදු ආදායම් එක් රැස් කර ගැනීම කළ යුතු බව ඔහු කීය.
රජයේ දේශීය ණය තොගය පිළිබඳව ඇතැම් දෙනා යම් යම් පෞද්ගලික න්‍යාය පත්‍ර, නිර්ධය විවේචනයන් සිදුකළද රජයක් ලෙස එය කළමනාකරණය කිරීමට යාමේදී විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව තම අදහස යැයිද ලේකම්වරයා කීය.
විවේචකයින් කුමක් කීවද එය කළමනා කරණය කරන්නේ කෙසේද යන්න ද සලකා බැලිය යුතුය
වසර 2020 සහ 2022 වසර අතර, ඉහළ වාර්ෂික අයවැය හිඟයන් මගින් පැහැදිලි වන පරිදි රජයේ ණය විශාල වශයෙන් වැඩි වී ඇත. මෙම ණය විශාල වශයෙන් සෘජුවම මහ බැංකුව විසින් අයවැය හිඟය මූල්‍ය කරණය (සරලවම මුදල් මුද්‍රණය ලෙස හඳුන්වනු ලබන) හරහා සිදු කරන ලදී. කෙසේ වෙතත් මෙය 2022 වසරේදී උද්ධමනය 70% ක් පමණ දක්වා වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ පැහැදිලි වූ පරිදි ඉතා උද්ධමනකාරී භාවිතයකි.
වසර 2023 සිට රජය විසින් මහ බැංකුව අයවැය හිඟය මූල්‍ය කරණය සඳහා ණය ලබා දීමෙන් ඉවත් කර ඇති අතර, අවශ්‍ය දේශීය ණය ගැනීම් සම්පූර්ණයෙන්ම දේශීය වෙළඳ පොළෙන් සිදු කෙරේ.
ණය ගැනීම් ඉහළ යන විට පොලි අනුපාත ද ඉහළ යන බැවින් මෙය පිරිවැයක් ලෙස පැමිණ ඇත. 2023 වසරේදී මෙම පොලී අනුපාත වැඩිවීම රජය විසින් දරනු ලැබූ ඉහළ පොලී පිරිවැයට දායක විය. ඇත්ත වශයෙන්ම, 2023 වසරේදී, පොලී පිරිවැය රජයේ ආදායමෙන් 80% ක් පමණ වූ අතර, ද. දේ. නි. යෙන් 0.6% ක ප්‍රාථමික අතිරික්තයක් තිබියදීත්, අයවැය හිඟය ද. දේ. නි. යෙන් 8.3% ක් ලෙස පැවතුණේ එබැවිනි.
කෙසේ වෙතත්, මේ වන විට, රජයේ ඵලදායී රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය කළමනාකරණයට ප්‍රතිචාර වශයෙන් පොලී අනුපාත නැවත තනි ඉලක්කම් මට්ටමට (භාණ්ඩාගාර බිල්පත් මත ප්‍රතිලාභ) අඩු වී ඇත. ආර්ථිකය වර්ධනය වන අතර සැබෑ පොලි අනුපාත අඩු මට්ටමක පවතින විට ණය බර තවදුරටත් ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර එමඟින් ණය සේවා බර තවදුරටත් ලිහිල් වනු ඇත. එබැවින් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය යටතේ ණය ආපසු ගෙවීම නවතා තිබූ කාලය තුළ නොගෙවූ ණය සහ පොලි ඉදිරි කාලයන් තුල ක්‍රමානුකූලව බෙදාහරිනු ලබන අතර එමඟින් රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය මත බර ලිහිල් වේ.
හිහ දේශීය ණය විශාල ප්‍රමාණයක් රාජ්‍ය බැංකු වැනි දේශීය ආයතන සහ සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාමික අරමුදල් විසින් දරන බැවින් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සීමාවන් තවදුරටත් පවතී. 2023 වසරේදී ක්‍රියාත්මක කරන ලද දේශීය ණය ප්‍රශස්ත කරණ මෙහෙයුම විශාල වශයෙන් රාජ්‍ය මූල්‍ය මත බර ලිහිල් කිරීමට උපකාරී විය. දේශීය ආයතන විසින් දරනු ලබන ණය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම සැලකිය යුතු ආර්ථික හා සමාජීය පිරිවැයක් ඇති කළ හැකිය.
රාජ්‍ය ආදායම, වියදම්, අයවැය හිඟය. හිඟය මූල්‍ය කරණය සහ ණය යන කරුණු සැලකිල්ලට ගත යුතු බහු විධ සාධක සහිත සංකීර්ණ හා සුක්ෂම ක්‍රියාවලියක් බව පැහැදිලි විය යුතුය. සංකීර්ණ මාතෘකා පැහැදිලි කිරීම සඳහා තනි අංකයක සරල, දෝෂ සහිත විශ්ලේෂණයක් භාවිතා කිරීම ප්‍රයෝජනවත් නොවේ. මෙවැනි සරල විග්‍රහයන් මහජනයා නොමග යැවීමට අතීතයේ දී භාවිතා කර ඇති අතර, මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ගැඹුරු ආර්ථික අර්බුදයට එක් හේතුවකි. නැවත එම වැරදි සිදු කිරීමෙන් වැළකී සිටීම සහ අපගේ විනිශ්චය වෘත්තීය විශ්ලේෂණය සහ සාක්ෂි මගින් මෙහෙයවනු ලබන බව සහතික කිරීම වැදගත් වන බවද ලේකම්වරයා කීය.
(සටහන - ජේ. මුණසිංහ)



