ඒ, නොවැම්බර් 14 වුණත්, වෙනත් දිනයක වුණත් මහා මැතිවරණය පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්දැයි දැනටමත් සියලු දෙනා දන්නා බැවිනි.
එහෙත්, නොවැම්බර් 14 වැනි දිනට මහ මැතිවරණය යෙදීම, රටේ නීතියට අනුව වැරදිය. වෙනත් විදියකින් කිවහොත්, නීතියට අනුව මහ මැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්විය නොහැකිය. එය නොවැම්බර් 15 හෝ 15ට පසු දිනයක් විය යුතුය. නොවැම්බර් 15ද, පසළොස්වක පෝය දිනයකි.
දැනගන්නට ලැබෙන පරිදි මැතිවරණ දිනය (වැරදියට) තීරණය කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අංශය විසිනි. මේ ගැන කතාබහක් පැතිරීම නිසා, ආණ්ඩුවේ දේශපාලනඥයන්ද විවිධ නීති විශාරදයන්ගෙන් විමසීමක් කර ඇති අතර, පිළිතුර ලෙස ලැබී ඇත්තේ දිනය වැරදි බවයි. එහෙත්, කිසිවකුට දිනය ගැන විරෝධයක් හෝ විශේෂ සැලකිල්ලක් නොතිබීමත් මැතිවරණ කොමිෂන් සභාව විරෝධයක් නොදැක්වීමත් නිසා, වැරදි දිනය හෙවත් නොවැම්බර් 14 දිනය ස්ථිර විය.
පහත පළවෙන්නේ, ඉකොනොමැට්ටා මහා මැතිවරණ දිනයේ වරද ගැන තැබූ ෆේස්බුක් සටහනකි.
'සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය 'අනවශ්‍ය සීමා කිරීමක්' ලෙස දකිද්දී තවත් අය ' ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්' ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි.
මට පෙනෙන විදිහට නම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනනුකුලවයි.
1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පණතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තිය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය 'නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්' විය යුතුයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණ දිනය නිවේදනය කළ 2024 සැප්තැම්බර් 24 දිනැති අංක 2403/13 දරන ඇති විශේෂ ගැසට් පත්‍රය අනුව, නාමයෝජනා කාලසීමාව වශයෙන් වර්ෂ දෙදහස් විසිහතරක් වූ ඔක්තෝබර් මස හතර වන දිනයෙන් ආරම්භව වර්ෂ දෙදහස් විසි හතරක් වූ ඔක්තෝබර් මස එකොළොස් වන දිනට අවසන් වන කාලසීමාව’ නාමයෝජනා භාරගත යුතු කාලසීමාව ලෙස නියම කර තිබෙනවා.
මේ අනුව, නාමයෝජනා කාලසීමාව අවසන් වූයේ ඔක්තෝබර් 11 සිකුරාදා දිනයි. එදින සිට සති පහකට නොඅඩු කාලයකින් පසු එළඹෙන පළමු දිනය නොවැම්බර් 15 සිකුරාදා දිනයයි. නමුත් මැතිවරණය සඳහා නියම කර තිබෙන දිනය නොවැම්බර් 14 දිනයයි. මෙය 'නාම යෝජනා කාල සීමාව අවසන් වන දිනයේ සිට සති පහකට නොඅඩු වූද සති හතකට නොවැඩි වූද දිනයක්' නෙමෙයි. ඒ අනුව, මෙම දිනය පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10 වන වගන්තියට අනුකූල නැහැ.
මැතිවරණය පෝය දිනයකද පැවැත්විය නොහැකියි. නොවැම්බර් 15 ඉල් පුර පසළොස්වක පෝයයි. ඒ අනුව, මැතිවරණය පැවැත්විය හැකි මුල්ම දිනය වන්නේ නොවැම්බර් 16 දිනයයි. එහෙත්, කිසිදු අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් මෙය ප්‍රශ්නයක් කරගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ.’.
(උපුටා ගැනීම - 2024 ඔක්තෝම්බර් 20 ඉරිදා 'අනිද්දා' පුවත්පතින්)






