අද බොහෝ දෙනෙක් නොදන්නා ලංකා දේශපාලනයේ ඒ කෲර අඳුරු යුගය ගැන ලියූ මේ ඉංග්‍රීසි කෘතියේ දෙවන මුද්‍රණය පාඨකයන් අතට පත් කරන්නට ප්‍රීන්ස් ගුණසේකර මහතාගේ කනිටු දියණිය ගේෂනී ගුණසේකර කටයුතු කරමින් සිටින්නී ය. ඒ, ප්‍රීන්ස් ගුණසේකර මහතාගේ සියවන වන ජන්ම දිනය අනුස්මරණය කිරීම වෙනුවෙනි.
එම ජනගතකිරීම සිදුකෙරෙන්නේ 2024 දෙසැම්බර් 19 වෙනි දින සවස 5.30 ට පදනම් ආයතනයේ දී ය.
මේ කෙටි සටහන ඒ මානව හිතවාදී මිනිසා පිළිබඳව ය.
මුග්ධ පාලකයකුට එරෙහිව
අතුරුදන් කිරීම් මෙන්ම අබිරහස් ලෙස මරා දැමීම් දිනපතා අත් දකින්නට ලැබුණ සිදුවීම් බවට පත් වෙමින් තිබිණ. අහිමි කළ තරුණ දූ පුතුන් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ‘‘හබයාස්කෝප්’’ නඩු පැවරූ නීතීඥවරුන් ද දිනෙන් දින ඝාතනයට ලක්වූහ. නීතීඥ විජේදාස ලියනාආරච්චි, චරිත ලංකාපුර ඇතුළු රටපුරා නීතීඥයින් 15 දෙනෙකුට වැඩි පිරිසක් පිරිසක් 89 අග වන විට ප්‍රේමදාස ආණ්ඩුව විසින් ඝාතනය කරන ලදී.

ප්‍රීන්ස් ගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු වූ නීතිඥ කාංචන අබේපාල ඝාතනය කරමින් ආණ්ඩුව අවසාන සංඥාව ද ඔහුට නිකුත් කරමින් “නවත්වපන් උඹේ මානව හිමිකම් නඩු’’ යැයි පැවසූහ. මෙකල ප්‍රීන්ස් ගේ පුද්ගලික හිතවතුන් බොහෝ දෙනෙකු ඔහුට ප්‍රවේශම්ව සිටින්නැයි ඉල්ලා සිටි විට ඔහු එම අභියෝගාත්මක කාර්යට උර දුන්නේ “මරනව නම් මරා දමපුදෙන්’’ යැයි පවසමින් සිය ජීවිත තර්ජන නොතකමිනි. ඔහු දිනපතා අතුරුදහන් වූවන් වෙනුවෙන් ‘‘හබයාස්කෝප්’’ නඩු රැගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ තම දිවිය පරදුවට තබමිනි.
එහෙත් 1989 අග එක් හිමිදිරි උදෑසනක හිරු උදා වෙන්නටත් පෙර කොළඹ රොස්මිඩ් පෙදෙස අංක 7 නිවස ඉදිරිපිට බ්‍රිතාන්‍යය තානාපති ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ගේ නිල රථය නතර විය. ඔහු එහි පැමිණ තිබුණේ නිල දැනුම් දීමක් හෝ ආරාධනාවක් ද නොමැතිව ය. තානාතිපති ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් නිවසේ සීනුව නාද කරන්නට සූදානම් වෙත්ම නිවස තුළ සිට එළියේ ඉදිරිපස දෙස බලා සිටි ප්‍රීන්ස් ගුණසේකර ඔහු ඉදිරියට පැමිණ තිබුණේ තානාපති තුමාගේ හදිසි පැමිණීම ගැන විමසීමට ය. එහෙත් ඊට පෙර තානාපති ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් ප්‍රීන්ස් ගුණසේකර දකිත්ම දැඩි අනතුරක සේයාවකින් යුතුව කතා කරන්නට විය.
“ප්‍රීන්ස් මොකද උඹ ප්‍රේමදාස ගෙන් මැරුම් කන්නද ගෙදරට වෙලා බලාගෙන ඉන්නෙ ? උන් උඹ විතරක් නෙවි පවුලෙ ඔක්කොමත් මරලා දාන්න ඉඩ තියෙනව, ඉක්මනටම රටින් පිටවෙන්න ඕන.’’
“ඔව් ගැලැඩ්ස්ටන් මම දන්නවා. ඔක්කොම මරනවනම් මම විතරක් ඇයි බේරෙන්නෙ? මරනවා නම් මරලා දාපු දෙන් කියල මම ඉන්නෙ.’’
“ප්‍රීන්ස් මේ අහපන් මම කියන දේ... උඹ වටිනා මිනිහෙක්, ඒ නිසයි මම උඹේ ගෙදරට ම ආවෙ. මේ සිද්ද වෙන අපරාධ ලෝකෙට කියන්න උඹ ජීවත් වෙන්න ඕන. එංගලන්තයට ගිහින් උඹට කරන්න ඕන තරම් දේවල් එහේ තියෙනව. එහේ ගිහින් නිදහසේ ඉතුරු ටික ජීවත් වෙයන්. පාස්පෝට් අරගෙන පවුලෙ කෙනෙක් එවන්න තානාපති කාර්යාලයට.’’
ඉහත සඳහන්ව ඇත්තේ ප්‍රීන්ස් ගුණසේකර මහතා මිය යන්නට වසර කිහිපයකට පෙර ඔහු මා සමග පැවසූ ඔහුගේ ම මතක වදන් ය.
ප්‍රේමදාස-රන්ජන් භීෂණය ගුවන් තොටුපොළ වෙත...?
තානාපති ඩේවිඩ් ගැලැස්ටන් ප්‍රීන්ස් හමුවී ගතව ගියේ දින දෙක තුනක් වෙන්නට ඇත. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු තානාපති නිල රථ කිහිපයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා විය. ඒ ප්‍රීන්ස් ගුණසේකර ගේ ආරක්ෂාවට ය. කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රීන්ස්ට අනතුරක් විය හැකි බවට ඒ වෙද්දී ඔවුන්ගේ සැකයට ලක්ව තිබිණ. ප්‍රීන්ස් සමග ඔහුගේ වැඩිමහල් දියණිය ද බ්‍රිතාන්‍ය බලා යාමට එක් වූවාය.
ප්‍රීන්ස් හා දියණිය ලංකා මැදිකරගෙන ගිය තානාධිපතිවරුන් දෙදෙනා ගුවන් තොටුපළ ආගමන හා විගමන සීමා ද පසුකර ගොස් අදාළ ගුවන් යානය වෙතට ම ඔවුන් ගමන් කළේ තානාපති වරප්‍රසාද යටතේ ය. ප්‍රීන්ස්ගේ එක් බෑගයක් තිබුණේ ඇමරිකානු තානාපති අතෙහි ය. ප්‍රීන්ස් අතට බෑගය නැවත ලබාදීම සිදුව තිබුණේ අදාළ අසුන්වල ප්‍රින්ස් ගුණසේකර මහතා සහ ඔහුගේ වැඩිමහල් දියණිය අසුන් ගැනීමෙන් ද පසුව ය. ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාව පසුකර යන තෙක්ම තානාතිපතිවරුන් දෙදෙනා ගුවන් තොටුපළහි රැඳි සිට ඇත. මෙදින ඇමරිකන් තානාපති ප්‍රීන්ස් ගේ උපකාරයට පැමිණ තිබුණේ ඩේවිඩ් ගැල්ස්ටන් කල පුද්ගලික ඉල්ලීමක් හේතුවෙනි. ප්‍රේමදාස-රන්ජන් භීෂණය එතරම්ම බිහිසුණු බව ඩේවිඩ් ගැල්ස්ටන් දැන සිටියහ. තමන්ට කෙසේ වෙතත් ඇමරිකානු තානාපතිට අත තියන්නට තරම් ප්‍රේමදාස මෝඩ පියවරක් නොගනු ඇතැයි ගැල්ස්ටන් කල්පනා කලා විය හැකි ය.
එදා ප්‍රීන්ස් රැගෙන ගිය ඒ බෑගයේ තිබූ වටිනා ලියකියවිලිවල සඳහන් වූ සියල්ල ඉංග්‍රීසි බසින් පොතක් ලෙසින් 1998 දී පාඨකයන් හට ලැබෙන්නට සැලැස්වී ය. පසු කාලයේ මා කිහිප විටක්ම ප්‍රින්ස් ගුණසේකර මහතාගෙන් මෙම පොත සිංහලෙන් ප්‍රකාශයට පත් නොකළේ මන්දැයි විමසී ය.
“මට ඕන වුනේ ලංකාවෙ දේශපාලන අපරාධ ගැන ලෝකෙට කියන්න, විශේෂයෙන්ම සිංහල නොදන්න පිරිසට ඒක ගැන කියන්න. කැමති කෙනෙක් ඉන්නවනම් කවද හරි ඒක සිංහලට පරිවර්තනය කරාවි’’
බ්‍රිතාන්‍යය තානාපතිවරයා හට පිටුවහල් නියෝගයක්

89 අග රටින් පිටව ආ ප්‍රීන්ස් 2018 වසරේදී මිය යන තෙක්ම ඔහු නැවත ලංකාවට නොගියේ ය. එදා ප්‍රීන්ස්ට ලංකාවෙන් පලා යන්නට උපකාර කළ බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ගැල්ස්ටන් ද පසු අවස්ථාවක ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මෝඩ උදහසට ලක්විය. බ්‍රිතාන්‍යය තානාපතිවරයා වහාම ලංකාවෙන් පිටව යායුතු බවට ප්‍රේමදාස නියෝග කළේය. වරක් ප්‍රීන්ස් ගුණසේකර මහතාගේ නිවසේ දී හමුවූ ඩේවිඩ් ගැල්ස්ටන් මහතා ප්‍රේමදාස ජනාධිපතිගේ මෝඩ නියෝගය ගැන සිහිපත් කරමින් උපහාසාත්මක ලෙසින් සිනහා වූවා මතකය. ප්‍රේමදාස - රන්ජන් පාලන සමයේ ජීවිත අවදානමට මුහුණ දී සිටි නීතීඥවරුන් 40 කට වැඩි පිරිසක් මෙකල ජාත්‍යන්තර ඇමනෙස්ටි සංවිධානයේ උපකාරයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූහ.
ජවිපෙ පරම හතුරෙක් ජවිපෙ වෙනුවෙන්
1982 ජනමත විචාරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් රෝහණ වීජේවීර සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ඉදිරිපත් වූ නිර්භීත නීතීඥවරයා ඔහු ය. කලක් ජනතා විමුක්ති පෙපෙරමුණේ මාරාන්තික දුෂ්ටයාව සිටි නීතිඥ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මෙකී නඩුවට පෙනී සිටියේ ද ප්‍රීන්ස් ගේ ඉල්ලීම නෙසලකා හැරිය නොහැකි බැවිනි. 1983 කළු ජූලියේ දී හදිසි නීතිය යටතේ ප්‍රීන්ස් ගුණසේකර ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා සහ එහි ක්‍රියාකාරිකයින් 17 දෙනෙක් පමණ පිරිසක් රහස් පොලිසියේ හතරවෙනි තට්ටුවේ මාස ගණනාවක් පුරා රඳවාගෙන සිටියහ.
1956 පිලිප් ගුණවර්ධන ගේ මහජන එක්සත් පෙරමුණෙන් වාමාංශික දේශපාලන ආරම්භ කළ ප්‍රීන්ස් ගුණසේකර ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස ද කිහිප වතාවක් ම පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.
A Lost Generation සිංහල පරිවර්ථනය “අහිමි වූ පරම්පරාවක නොකී කතාවක්” නමින් ඔබට නුදුරු අනාගතයේ දී පරිශිලනය කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇත. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලබන්නේ ඉන්දීය ලේඛක නාරායන් ස්වාමි ගේ “ලංකා කොටින්ගේ පරාජය“ කෘතිය පරිවර්තනය කළ චානක තිලකරත්න විසිනි.
(සටහන - ගාමිණී මුතුකුමාරණ)



