The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන වියට්නාමයේ සුප්‍රසිද්ධ තික් මින් තියු හිමි ට මල්වතු පාර්ශවය ප්‍රමුඛ භික්ෂුන්ගෙන් විරෝධයක්

T

The Leader Desk

April 18, 2025 • 3:07 AM

ශ්‍රී ලංකාවේ සංචාරය කරන වියට්නාමයේ සුප්‍රසිද්ධ තික් මින් තියු හිමි ට මල්වතු පාර්ශවය ප්‍රමුඛ භික්ෂුන්ගෙන් විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 10 වැනිදා සිය අනුගාමික හිමිවරුන් ඇතුළු පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි තික් මින් තියු හිමියෝ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාද චාරිකාවේ නිරත වෙමින් සිටිති.
  • වියට්නාම සංඝ සභාව විසින් තික් මින් තියු හිමි 'ව්‍යාජ' භික්ෂුවක් ලෙස ලේබල් කර ඇත.
  • බීබීසී සිංහල කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ උන්හන්සේ මෙරට දී පිළිනොගන්නා ලෙස දන්වමින් වියට්නාම සංඝ සභාව ශ්‍රී ලංකා බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත ලිඛිතව දන්වා ඇති බව ය.
  • බීබීසී සිංහල කළ විමසීමක දී බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර තහවුරු කළේ, ඔවුන් වෙත එවැනි ලිපියක් ලැබී ඇතැයි තමාව දැනුවත් කර ඇති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය 10 වැනිදා සිය අනුගාමික හිමිවරුන් ඇතුළු පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි තික් මින් තියු හිමියෝ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාද චාරිකාවේ නිරත වෙමින් සිටිති.

දිවයිනේ විවිධ විහාරස්ථානවල දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් විසින් මෙම වියට්නාම හිමිවරුන් පිරිස පිළිගන්නා අයුරු දැක්වෙන වීඩියෝ ද ඒ හිමියන්ගේ සමාජ මාධ්‍යවල පළ කර තිබේ.

තික් මින් තියු හිමියන් ආන්දෝලනයට ලක්වුයේ, වියට්නාම රජය පිළිගන්නා එකම සංඝ සභාවෙන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙනි.

වියට්නාම සංඝ සභාව විසින් තික් මින් තියු හිමි 'ව්‍යාජ' භික්ෂුවක් ලෙස ලේබල් කර ඇත.

බීබීසී සිංහල කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ උන්හන්සේ මෙරට දී පිළිනොගන්නා ලෙස දන්වමින් වියට්නාම සංඝ සභාව ශ්‍රී ලංකා බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත ලිඛිතව දන්වා ඇති බව ය.

බීබීසී සිංහල කළ විමසීමක දී බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර තහවුරු කළේ, ඔවුන් වෙත එවැනි ලිපියක් ලැබී ඇතැයි තමාව දැනුවත් කර ඇති බව යි.

ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම වියට්නාම භික්ෂූන් වහන්සේ ඇතුලු පිරිස රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් නොවන බවට අදාළ ලිපියේ සඳහන් කර ඇති බවට තමන් වෙත දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා පැවසීය.

screenshotදිවයිනේ විවිධ විහාරස්ථානවල දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් විසින් මෙම වියට්නාම හිමිවරුන් පිරිස පිළිගන්නා අයුරු දැක්වෙන වීඩියෝ ද ඒ හිමියන්ගේ සමාජ මාධ්‍යවල පළ කර තිබේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක බීබීසී සිංහල වෙත පැවසුවේ, මෙම පිරිස සංචාරක වීසා ලබා ගෙන දිවයිනට පැමිණ ඇති බවයි. "එහෙම එන්න පුළුවන් නේ, පාස්පෝට් තියෙනවා, වීසා ගහලා තියෙනවා."

කෙසේවෙතත්, ජර්මනියේ බර්ලින් විහාරාධිපති පූජ්‍ය පැලෑනේ ධම්ම කුසල හිමි බීබීසී සිංහල වෙත පැවසුවේ, මෙම වියට්නාම කණ්ඩායම දිවයිනට පැමිණීමට පෙර සිට ම තමන් බලධාරීන් දැනුවත් කළ ද අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොගත් බවය.

"මේ අය රටට ඇවිල්ලා ඉවරයි, එන දවසේ මම කිව්වා, බෞද්ධ කටයුතු කොමසාරිස්ට, අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ නේ. එයාලා කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. මේ රටට ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්."

"මේ කට්ටිය රඟපෑමක් වගේ කරන්නේ. මේ කට්ටිය එහේ සංඝ සමාජයට එරෙහිව වගේ යන්නේ. විරුද්ධ මතයක් දරමින් බුදුවරු වගේ හැඟීමක් තමා මිනිස්සුන්ට දෙන්නේ. ඔය කට්ටියත් එක්ක ගිහි පිරිසක් ඉන්නවා. එයලා යූටියුබ් වලින් ප්‍රචාරය යවලා, ලෝකේ ගොඩක් තැන්වල වියට්නාම් අය ඉන්නවානේ ලෝකේ හැම තැනක ම වගේ. ඒ අයගෙන් මුදල් එකතුකරන එක තමා කරන්නේ. ලොකු ඕර්ගනයිසේෂන් එකක්"

"ඒ කට්ටිය පයින් අවිදින එක කරන්නේ. පන්සල්වලට ගිහිල්ලා ලංකාවේ මිනිස්සු ඒ කට්ටියට ගෞරවා කරනවා කියලා ලෝකයට යවනවා. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. ඒ බෞද්ධ රට අපිව පිළිගන්නවා කියන එක තමා එලියට දෙන්නේ. එතකොට වියට්නාම රජය සහ එහෙ ඉන්න හාමුදුරුවෝ අපිත් එක්ක කළ කිරෙනවා. එහෙන් ප්‍රතික්ෂේප කරපු කට්ටිය අපි පිළිගන්නවා වගේ" පූජ්‍ය පැලෑනේ ධම්ම කුසල හිමියෝ බීබීසී සිංහල වෙත පැවසූහ.

ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධ හිමිවරුන් විරෝධය දක්වන්නේ ඇයි?

theroවියට්නාමයේ ජනප්‍රිය මෙන්ම ආන්දෝලනාත්මක හිමි නමක් වන තික් මින් තියු හිමියන්ගේ ශ්‍රී ලංකා සංචාරයට මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධය එල්ල වී තිබේ. පසුගිය 10 වැනිදා සිය අනුගාමික හිමිවරුන් ඇතුළු පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි තික් මින් තියු හිමියෝ මේවන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාද චාරිකාවේ නිරත වෙමින් සිටිති.

බීබීසී සිංහල කළ විමසීමක දී මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් පැවසුවේ, මෙම වියට්නාම පිරිසගේ ශාසන විරෝධී කටයුතුවලට ඉඩ නොදෙන ලෙස දන්වමින් වියට්නාමයේ බුද්ධ ශාසන දෙපාර්තෙමේන්තුවේ සභාපති හිමියන් විසින් මල්වතු මහනාහිමිගෙන් වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ය.

මේ පිරිස 'භික්ෂූ වේෂධාරීන්' බව ත්, මොවුන් බෞද්ධ විනයට අනුව පැවිදි වූ අය නොවන බවට ත්, එහි සඳහන් බව නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ සඳහන් කළහ.

ඒ අනුව මල්වතු විහාර පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරල්වරයාගෙන් ඉල්ලා ඇත්තේ, මෙම 'වියට්නාම පිරිස' පිළිබඳ කරුණු පරීක්ෂා කර ආගමන විගමන පාලක ජනරාල්වරයා හරහා වීසා කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසය.

එමෙන්ම මොවුන්ගේ පාද චාරිකාව වැළැක්වීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, මල්වතු මහනායක හිමිපාන්ගෙන් ලද ලිපිය අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ය.

පාද යාත්‍රාවේ නිරත වෙමින් වියට්නාමය කැළඹූ මේ හිමියන් කවුද?

44 හැවිරිදි තික් මින් තියු හිමියෝ මීට පෙර ලාඕසය සහ තායිලන්තය යන රටවල ද සංචාරය කළහ.

එහෙත් වියට්නාම බෞද්ධ සංඝ සභාව (VBS) අවධාරණය කර සිටින්නේ, "තික් මින් තියු " බෞද්ධ භික්ෂුවක ලෙස පිළිනොගන්නා බව ය. වියට්නාම බෞද්ධ සංඝ සභාව යනු, එරට රජය විසින් නිල වශයෙන් පිළිගන්නා ලද එක ම බෞද්ධ සංවිධානයයි.

සත්‍ය වශයෙන් ම, තික් මින් තියු හිමියන් තමන් භික්ෂුවක ලෙස හෝ වියට්නාමයේ බෞද්ධ සංඝයා වහන්සේ යටතේ ඇති කිසිදු විහාරස්ථානයකට හෝ ආයතනයකට අනුබද්ධ වන බවට ප්‍රකාශ කර නැත. ඒ වෙනුවට උන්වහන්සේ, තමා හඳුන්වන්නේ "බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට උත්සහ කරන පුද්ගලයෙකු" ලෙස ය.

තික් මින් තියූ හිමියන් සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇති අතර, උන්වහන්සේ සංචාරය කරන සෑම ස්ථානයක් ම පාහේ මාධ්‍ය ආවරණය කරමින් විවිධ ක්‍රියාකාරීන්, සමාජ මධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරණයක් කරනු ලබයි.

පාවහන් නොමැතිව ඇවිදීම, පිණ්ඩපාතයෙන් ජීවත් වීම, වනාන්තරවල, ලඳු කැළෑවල හෝ සුසාන භූමිවල සෙවණක් සෙවීම සහ සියලු භෞතික දෑ කෙරෙහි ඇති ඇලීම අත්හැරීම හේතුවෙන් තික් මින් තියු හිමියන් වියට්නාමය පුරා වේගයෙන් ජනප්‍රියත්වයට පත්විය.

| BBC සිංහල සේවය


මේ පුවතට සම්බන්ධ තවත් විස්තර


පාද යාත්‍රාවේ නිරත වෙමින් වියට්නාමය කැළඹූ මේ භික්ෂුන් වහන්සේ කවුද?

තික් මින් තියු හිමි: 'ආදරය බිය උපදවනවා, මම ආදරයෙන් නිදහස් වීමට පුරුදු වෙනවා'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ සංචාරය කරන වියට්නාමයේ සුප්‍රසිද්ධ තික් මින් තියු හිමි ට මල්වතු පාර්ශවය ප්‍රමුඛ භික්ෂුන්ගෙන් විරෝධයක් | The Leader