මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.
| "බස් එක බ්‍රේක් පාර ගහනකොට රෝල්වෙලා ගිහින් හෙළකට පෙරළුණා"
මේ අතර, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 52 දෙනෙකු නුවරඑළිය, පේරාදෙණිය, නාවලපිටිය, මහනුවර සහ ගම්පොළ රෝහල්වල ප්‍රතිකාර ලබන බව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අප වාර්තාකරුට තහවුරු කර තිබේ.
සුළු තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද ඔහු පැවසීය.
මෙම අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටින බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියි.
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මෙම බස් රථය ඊයේ අලුයම 4.30ට පමණ නුවරඑළිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.
මෙම අනතුර සිදුවූයේ, රම්බඩඇල්ල ප්‍රදේශයේ චෙන්කල්අඩි - පේරාදෙණිය මාර්ගයේ 42-43 කිලෝමීටර් කණු අතර පිහිටි පියසේන නමැත්තෙකුට අයත් වෙළෙඳසලක් ආසන්නයේ පිහිටි වංගුවක් අසලදී බව පොලිසිය පැවසීය.
| අනතුරින් මියගිය පිරිස අතර බස් රථයේ රියැදුරු ද සිටියි
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය පවසයි.
| බස් රථය කොත්මලේ, රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත
මේ අතර, මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම බස් රථ අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.
| අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල්වලට ඇතුළත් කර ඇත
'බස් එක ස්පීඩ් ආවා ටිකක්... ඇවිල්ලා බ්‍රේක් පාර ගහනකොට වම් පැත්තට බස් එක ඇඹරුණා'
අනතුරින් දිවි ගලවාගත්, බස් රථයේ ගමන් කළ අයෙකු සිය අත්දැකීම විස්තර කරමින් පැවසුවේ: "බස් එක ස්පීඩ් ආවා ටිකක්... ඇවිල්ලා බ්‍රේක් පාර ගහනකොට වම් පැත්තට බස් එක ඇඹරුණා, ඊට පස්සේ රෝල් වෙලා ගිහිල්ලා ඇළට වැටුණා," යනුවෙනි.
"විනාඩියක් විතර මට ගියා ගලවා ගෙන එන්න. 12ක් විතර ගත්තා ඒ වෙලාවේ උඩට. උඩට අරන් අමාරු නැති කට්ටිය පැත්තකින් තියලා පොඩි කට්ටිය අරන් මම ආවා හොස්පිටල් එකට," ඔහු වදිදුරටත් පැවසීය.
දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලෙහි රැකියාවේ නිරත අයෙකු වන ඔහු රාජකාරී නිමවා නිවාඩු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
'සමහර අය කියනවා වම් පැත්තේ ඉස්සරහා රෝදේ හුළං මදි වෙලා තිබ්බා කියලා'
| 'මට හිතෙන්නේ වට 3-4ක් වගේ පෙරළිලා අඩි 50-60ක් වගේ පහළට ගියා. මම බස් එකේ ඉස්සරහා සීට් එකේ හිටියේ. මට ලොකු තුවාල නැහැ'
අනතුරට පත්වූ බස් රථයේ ගමන් කළ තවත් මගියෙකු තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කළේ ය.
"බස් එක නොර්මල් ස්පීඩ් එකේ ආවා. ඩ්‍රයිවරුත් කිසි ම ප්‍රශ්නයක් නැතිව එළවගෙන ආවා. මෙතන වංගුව තියෙනවා. වංගුව ලොකුවට නැති වුණත් ඒක ගන්න කොට වම් පැත්තට බස් එක ඇල වෙලා තිබ්බේ. සමහර අය කියනවා වම් පැත්තේ ඉස්සරහා රෝදේ හුළං මදි වෙලා තිබ්බා කියලා. ඒ වගේ ම බස් එකේ ලෝඩ් එකත් හිටියා.
ඒ එක්ක ම බස් එක පෙරළුනා. මට හිතෙන්නේ වට 3-4ක් වගේ පෙරළිලා අඩි 50-60ක් වගේ පහළට ගියා. මම බස් එකේ ඉස්සරහා සීට් එකේ හිටියේ. මට ලොකු තුවාල නැහැ. ගමේ අය එකතු වෙලා බස් එකේ හිටපු අය ඉක්මනට අරන් ඉස්පිරිතාලෙට අරන් ගියා. බස් එක පොඩි වෙලා තිබ්බ නිසා හිරවෙලා ඉන්න අය බේර ගන්න ටිකක් අමාරු වුණා. සිද්ධිය වෙද්දී බස් එකේ පුද්ගලයින් 70කට වැඩිය හිටියා," අනතුරෙන් දිවි බේරා ගත් එම පුද්ගලයා වැඩිදුරටත් පැවසීය.
| BBC සිංහල සේවය



