The Leader News
BREAKING
Top Ad
පුවත්

ලුණු හිඟය: මුහුදෙන් වටවූ ශ්‍රී ලංකාවේ වෙළෙඳසල්වල ලුණු රාක්ක හිස් වුණේ ඇයි?

T

The Leader Desk

May 17, 2025 • 5:13 PM

ලුණු හිඟය: මුහුදෙන් වටවූ ශ්‍රී ලංකාවේ වෙළෙඳසල්වල ලුණු රාක්ක හිස් වුණේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනිත් කඩවල්වල ලුණු නැති නිසා මම ඒ පැකට් දෙක ම ගත්තා.
  • දැන් ඒ කඩෙත් ලුණු ඉවර යි." ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ලුණු හිඟය මධ්‍යයේ ලුණු සොයා ගැනීමට ඇති අසීරු තත්ත්වය පිළිබඳව ඉනෝකා නමැති ගෘහණිය බීබීසි සිංහල සේවයට විස්තර කළේ එසේ ය.
  • මේ අතර, සංචාරක අවන්හලක් පවත්වාගෙන යන ළහිරු පැවසුවේ, පවතින ලුණු හිඟය හේතුවෙන් වැඩි මිලට ලුණු මිල දී ගැනීමට තමන්ට සිදුවූ බව ය.
  • ඒ අනුව, 2024 දෙසැම්බර් මාසයේදී වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය මුල් වරට ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය සඳහා අවසර දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනිත් කඩවල්වල ලුණු නැති නිසා මම ඒ පැකට් දෙක ම ගත්තා. දැන් ඒ කඩෙත් ලුණු ඉවර යි."

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ලුණු හිඟය මධ්‍යයේ ලුණු සොයා ගැනීමට ඇති අසීරු තත්ත්වය පිළිබඳව ඉනෝකා නමැති ගෘහණිය බීබීසි සිංහල සේවයට විස්තර කළේ එසේ ය.

මේ අතර, සංචාරක අවන්හලක් පවත්වාගෙන යන ළහිරු පැවසුවේ, පවතින ලුණු හිඟය හේතුවෙන් වැඩි මිලට ලුණු මිල දී ගැනීමට තමන්ට සිදුවූ බව ය.
"රෙස්ටෝරන්ට් එකට ලුණු ඕන ම යි. ඒත් දැන් අපි බඩු ගන්න කඩවල එක්කෝ ලුණු අඩු යි. නැතිනම් ඇත්තෙ ම නැහැ. ලුණු නැතිව අපි කොහොම ද කෑම විකුණන්නේ. ඉතින් වෙන දා ගන්නවට වඩා ගාණක් දීලා, වෙන දා ගන්නවට වඩා ලුණු ටිකක් අර ගත්තා."

මේ අතර, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක හිමිකරුවන්ගෙන් ද ලුණු හිඟය සම්බන්ධයෙන් අදහස් විමසීමක් කළෙමු. ඔවුන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත දැක්වේ.

"ලුණු නෑ කොහෙවත්. හිඟයක් තියෙනවා. වහිනව කියල කියනවා. අපිට නම් රස්නෙයි."

"ඊයෙ වෙනකම් අපි ළඟ තිබුණා. අද නම් නෑ. ලුණු නෑ කියනකොට පැකට් දෙක තුන ගෙනියනවා."

"ලුණු නෑ. අන්තිමට වික්කෙ රු. 300 ගාණෙ."

"ලුණු කොහෙවත් නෑ. ලුණු තියෙන්නෙ හඳේ"

|  "ලුණු කොහෙවත් නෑ. ලුණු තියෙන්නෙ හඳේ"
දූපතක් වන ශ්‍රී ලංකාව සාගරයකින් වට වී පැවතිය ද, රටේ ජනතාව ලුණු හිඟයකට මුහුණ පෑමේ අවදානමක් මතුව තිබුණේ, පසුගිය වසරේ අග භාගයේ සිට ය.

ඒ අනුව, 2024 දෙසැම්බර් මාසයේදී වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය මුල් වරට ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය සඳහා අවසර දුන්නේ ය.

කෙසේ වෙතත්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මීට මාසයකට පමණ ඉහතදී අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව විවෘත කිරීමට එක්වෙමින් මෙසේ පැවසීය.

"අපේ බලාපොරොත්තුව තමයි රටේ ජනතාවගේ අවශ්‍යතාවට සම්පූර්ණ ලුණු ටික නිෂ්පාදනය කරලා ඒ වගේ ම වැඩි නිෂ්පාදනය වැඩි කාලයක් යන්න කලින් අපනයන අදායමට, අපේ රටේ ආදායමට, ඩොලර් අදායමට එකතු කරන එක."

අමාත්‍යවරයා ලුණු අපනයනය කිරීමේ සැලසුම් ගැන එලෙස පැවසුව ද, වත්මන් ආණ්ඩුවට තමන් බලයට පත්වූ දා සිට දෙවතාවක් ම ලුණු ආනයනය කිරීමට සිදුවිය.

වෙළෙඳපොළේ පවතින ලුණු හිඟය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ජූනි මස 10 වන දා දක්වා ලුණු ආනයනය කිරීමට අවසර ලබා දීමට මැයි 15 වන දා නව රජයේ කැබිනට් මණ්ඩලය දෙවන වරටත් අනුමැතිය ලබා දී තිබේ.

කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මේ හරහා අවස්ථාව සලසා දී ඇත.



2015 සිට 2019 දක්වා ලුණු ආනයනය කිරීම්

කෙසේ වෙතත්, ලුණු ආනයනය කිරීම මීට පෙර ද අවස්ථා රැසකදී සිදුව තිබේ.

2020 වසරේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් එවක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ලුණු ආනයනය පිළිබඳව අසන ලද පැනයකට අනුව ශ්‍රී ලංකා රේගුව ලබා දී ඇති දත්ත උපයෝගී කර ගනිමින් හිටපු අමාත්‍යවරයා පිළිතුරු ලබා දී තිබේ.

ඒ අනුව, 2015 සිට 2019 දක්වා කාලයේදී මෙරටට ආනයනය කර ඇති සමස්ත ලුණු ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 68,197කි.

ඒ සඳහා දැරීමට සිදුව ඇති සම්පූර්ණ වියදම රුපියන් මිලියන 1,108ක් බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.

2024 වසරේ ලුණු නිෂ්පාදනය අඩු වුණත් හිඟයක් ඇති නොවුණේ ඇයි?

 |  ලුණු ලේවායක්
වර්තමානයේ පවතින ලුණු හිඟයට ඍජුව බලපා ඇත්තේ, අයහපත් කාලගුණි සාධක බව ලංකා ලුණු සංස්ථාවේ සභාපති ඩී. නන්දතිලක බීබීසි සිංහල සේවයට පැවසීය.
ලංකා ලුණු සංස්ථාව 2024 වසරේදී ලුණු මෙට්‍රික් ටොන් 125,000ක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තු කළ ද, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නිෂ්පාදනය කිරීමට හැකි වූයේ, මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බව ද සභාපතිවරයා පැවසීය.

"නමුත් ඒ අවුරුද්දට බලපෑම්ක් වුණේ නැහැ. මොක ද 2023 අවුරුද්දේ නිෂ්පාදනය කරපු ටොන් හැට දාහක විතර තොගයක් තිබුණා අපි ගාව."

'2025 පෙබරවාරි මාසයේ ලුණු ඉවර වුණා'

rt34534fg
පසුගිය වසරේ ලුණු නිෂ්පාදනය අඩු වීම 2025 වසරේදී ලුණු හිඟයක් ඇති වීමට බලපෑ බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

"මේ අවුරුද්දේ පටන් ගන්නකොට අපිට තිබුණේ ටොන් දහ දාහක විතර බොහොම පොඩි ස්ටොක් එකක්. ඒක මාස දෙකකටවත් ප්‍රමාණවත් වුණේ නැහැ. පෙබරවාරි වෙනකොට ලුණු ඉවර වුණා."

එම හිඟය පියවා ගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කැබිනට් අනුමැති මත මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කෙරිණි.

'මේ අවුරද්දේ ජනවාරිත් වැස්සා, පෙබරවාරිත් වැස්සා, මාර්තුත් වැස්සා'

"අපි ලුණු ගන්න ඔක්කොම ලෑස්ති කරල, පාත්තිවල වතුර බැඳල අපි බලාපොරොත්තු වුණා මාර්තු 20 වෙනකොට ලුණු කඩන්න පුළුවන් කියලා. සමාන්‍යයෙන් මාර්තු කියන්නේ හම්බන්තොටට හොඳට පායන කාලයක්. නමුත් මේ අවුරද්දේ ජනවාරිත් වැස්සා, පෙබරවාරිත් වැස්සා, මාර්තුත් වැස්සා. අර ලුණු මිදීගෙන එනකොට ආයේ වහින්න ගත්තා."

එවැනි තත්ත්වයක් තුළ සුපුරුදු පරිදි ලුණු නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වූ බව පවසන ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා මෙවැනි තත්ත්වයක් ඇති වූයේ, වසර 20කට පමණ පසුව බව ද බීබීසි සිංහල සේවයට පැවසීය.

වෙළෙඳපොළේ යම් ලුණු හිඟයක් පැවතිය ද එය කළමනාකරණය කරගත හැකිව තිබූ නමුත් ලුණු අවසන් වේ යැයි බියෙන් පාරිභෝගිකයන් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු මිල දී ගැනීම හේතුවෙන් හිඟය වැඩි වූ බව සභාපති ඩී. නන්දතිලක සඳහන් කළේ ය.

ලංකා ලුණු සංස්ථාව ඇණවුම් කරනු ලැබූ ලුණු තොගය ලබන සතිය වන විට මෙරටට පැමිණෙන බැවින් මෙම ගැටලුව පහව යනු ඇති බවට සභාපතිවරයා විශ්වාසය පළ කළේ ය.

srt456gt|  ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය කෙරෙන ලේවායන්

'ලුණු හිඟයක් ඇති වෙන්නේ නැහැ පරිභෝජනයට කොහොම හරි දෙනවා'

මෙවර ලුණු ටොන් 40,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් ලංකා ලුණු සමාගමටත්, මෙට්‍රික් ටොන් 20,000ක් ජාතික ලුණු සමාගමටත්, මෙට්‍රික් ටොන් 10,000ක් කරවල නිෂ්පාදනය සඳහා ධීවර අමාත්‍යංශයටත් ලෙස බෙදී යන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

"ලුණු හිඟයක් ඇති වෙන්නේ නැහැ පරිභෝජනයට කොහොම හරි දෙනව. ඒ නිසා අනියත බියක් ඇති කරගෙන ලොකු තොග අරගෙන යන්න එපා. ඒක වෙළෙඳපොළට ලොකු හානියක්," ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.


හිඟයක් ඇති වුණේ 'සැලසුමක් නැති නිසා'

ලුණු හිඟයක් ඇති වීමට හේතුව සැලසුම්වල පවතින දුර්වලතා සහ පර්යේෂණ සිදු නොකිරීම බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දෙයි.

"අපි ළඟ තියෙන්න ඕන කොපමණ දෛනික ඉල්ලුමක් තියෙනවා ද?, මාසික ඉල්ලුම කොපමණ ද?, එතකොට අවුරුද්ද පුරා ම මෙහෙම තියෙනවා ද? සීසන් ලුණු ඉල්ලුම වැඩි වෙනවා ද?, අඩු වෙනවා ද?, සහ මොන කාලයේ ද මේවා වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නේ? කියන දේවල්. ඒ කියන සැලසුම් නැති හින්දා තමයි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ."

"දැනට තියෙනවා ඩෙන්සිල් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනය. අන්න ඒ වගේ පොදුවේ සියලු දේවල්වලට පර්යේෂණය කරන්න යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි පොල්තෙල් කොහොම ද එන්නේ, බිත්තර සැපයුම අඩු වැඩි වෙන්නේ කොහොම ද? කියලා හොයලා බලලා ඒ පර්යේෂණ තුළින් ඇමැතිවරුන්, ආයතනවලට මේ අමාත්‍යංශවලට උපදෙස් දෙන්නේ," යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා පැවසීය.

'පිටරටින් ගේනවා හැර විකල්පයක් නැහැ'

ඉදිරියේදී යළිත් මෙවැනි අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී ලුණු නිෂ්පාදනය අඩාළ වුවහොත් එයට මුහුණ දීමේ ඉදිරි සැලසුම් පිළිබඳව බීබීසි සිංහල සේවය ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයාගෙන් විමසා බැලීය.

"හදිස්සියේ හරි මේ වගේ කාලගුණ තත්ත්වයක් ආවොත් ඇත්තට ම විකල්පයක් නැහැ ලුණු නිෂ්පාදනය කරන්න. පිටරටින් තාවකාලිකව ලුණු ගෙන්වනවා හැර විකල්පයක් නැහැ." ලංකා ලුණු සංස්ථාවේ සභාපති ඩී. නන්දතිලක වැඩිදුරටත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ලුණු පරිභෝජනය සහ නිෂ්පාදනය

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් බවට ඇස්තමේන්තු කර තිබේ.

එහෙත්, කාලගුණික හේතු මත වාර්ෂිකව එම ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

උදාහරණයක් ලෙස හම්බන්තොට ලුණු ලේවාය ආශ්‍රිතව මේ වසරේදී ලුණු මෙට්‍රික් ටොන් 100,000ක නිෂ්පාදනයක් ඇස්තමේන්තු කර ඇති අතර, එම ඇස්තමේන්තු අනුව මේ වසරේ මේ වන විට නිෂ්පාදනය කර තිබිය යුතු ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25000 ඉක්මවිය යුතු ය.

එහෙත්, මේ වසරේ මෙතෙක් නිෂ්පාදනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,000ක් පමණක් බව ඔහු පැවසීය.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...