The Leader News
BREAKING
Top Ad
පුවත්

සේවකයන් 1400කට රැකියා අහිමි කරමින් කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි

T

The Leader Desk

May 20, 2025 • 5:10 PM

සේවකයන් 1400කට රැකියා අහිමි කරමින් කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මේක දැනගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකම් වතුර ටිකක්වත් බිව්වේ නැහැ, කන්නවත් නැතුව හිටියේ." වසර 33කට ආසන්න කාලයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හලේ සේවය කළ ස්වර්ණලතා ඇතුළු සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට එක මොහොතකදී සිය රැකියා අහිමි විය.
  • ඒ, 'පූර්ව දැනුම් දීමකින් තොරව' වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ NEXT කර්මාන්ත ශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගැනීම හේතුවෙනි.
  • NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මැයි 19 වන දා රාත්‍රියේ තම සේවක සේවිකාවන්ට වට්ස්ඇප් හරහා යවන ලද පණිවුඩයක සඳහන් කර තිබුණේ, කර්මාන්ත ශාලාව වසා දමන බව ය.
  • 'සියලු විකල්ප අනුගමනය කිරීමෙන් පසුව' තීරණයක් ගත් බව සමාගම කියයි "ඉතා ම සැලකිලිමත්ව සලකා බැලීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව වහා ම වසා දමන බවට කනගාටුවෙන් නිවේදනය කරන්නෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

"මේක දැනගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකම් වතුර ටිකක්වත් බිව්වේ නැහැ, කන්නවත් නැතුව හිටියේ."

වසර 33කට ආසන්න කාලයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හලේ සේවය කළ ස්වර්ණලතා ඇතුළු සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට එක මොහොතකදී සිය රැකියා අහිමි විය.

ඒ, 'පූර්ව දැනුම් දීමකින් තොරව' වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ NEXT කර්මාන්ත ශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගැනීම හේතුවෙනි.

NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මැයි 19 වන දා රාත්‍රියේ තම සේවක සේවිකාවන්ට වට්ස්ඇප් හරහා යවන ලද පණිවුඩයක සඳහන් කර තිබුණේ, කර්මාන්ත ශාලාව වසා දමන බව ය.

 

'සියලු විකල්ප අනුගමනය කිරීමෙන් පසුව' තීරණයක් ගත් බව සමාගම කියයි

"ඉතා ම සැලකිලිමත්ව සලකා බැලීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ කටුනායක පිහිටි NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව වහා ම වසා දමන බවට කනගාටුවෙන් නිවේදනය කරන්නෙමු. මෙය අප සමාගමට ඉතා දුෂ්කර තීරණයක් වූ අතර සියලු විකල්ප අනුගමනය කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹුණෙමු," යැයි ඇඟලුම් කම්හල විසින් යවන ලද නිවේදනයේ දැක්වේ.

මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම, වසර කිහිපයක් තිස්සේ කම්හල ලාභ නොලැබීම කර්මාන්ත ශාලාව වසා දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව පාලානාධිකාරිය සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.

භාෂා ත්‍රිත්වයෙන් ම යවන ලද එම පණිවුඩයේ පිටපතක් ලැබී ඇති අතර එහි සඳහන් පරිදි කටුනායක පිහිටි NEXT ඇඟලුම් ආයතනයේ සේවකයින් 2,825 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති අතර වසා දැමීමට ගත් මෙම තීරණයෙන් ඉන් 1,416 දෙනෙකුට රැකියා අහිමි වේ.

එම ආයතනයේ වෙනත් ඒකකවල සේවය කරන සේවකයින් 1409 දෙනෙකුගේ රැකියා සුරක්ෂිත බව ද සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

බලපෑමට ලක්වූ සේවකයන්හට රැකියා සොයා ගැනීමට සහය වන බවට ද NEXT නිෂ්පාදන අධ්‍යක්ෂ ඩේවිඩ් රේ නමින් නිකුත් කර ඇති එම නිවේදනයෙන් සහතික වී ඇති අතර, රැකියාව අහිමි වන පිරිස් වෙත නීතිමය වශයෙන් හිමි වන අයිතිවාසිකම්වලට අමතරව මාස දෙකක වැටුපක් ලබා දීමට පොරොන්දු වී ඇත.

srt4w5
'මගේ වයස 56ක්. වෙන තැනක වැඩ කරන්න කාලයක් නෑ දැන්'

"ෆැක්ටරියට සීල් තියලා කියලා ළමයි කෝල් කරලා කියද්දි කොහෙ ද ඉන්නේ කියලාවත් අමතක වුණා. ඒ පණිවිඩය එද්දි අපි වැඩ ඇරිලා ගිහිල්ලා ඇඳුම්වත් ගලවලා නැහැ. ඒ ඇඳුම් පිටින් රෑ 10,11 වෙනකම් අපි ළමයි එක්ක කතා කළා මොක ද කරන්නේ කියලා," යැයි ස්වර්ණලතා යන අන්වර්ථ නමින් අප හඳුන්වා දෙනු ලබන ඇය කියා සිටියා ය.

වසර 33කට ආසන්න කාලයක් කටුනායක NEXT ඇඟලුම් කම්හලේ සේවය කරන ඇය දැන් 56 වියැති කාන්තාවක වන අතර, කුලී කාමරයක රැඳී සිටිමින් රැකියාවේ නිරත වූ ඇය ඉල්ලා සිටින්නේ, නැවත කම්හල ආරම්භ කර රැකියාව ලබා දෙන ලෙස ය.

"මට ආයේ තවත් ආයතනයකට ගිහින් වැඩ කරන්න කාලයක් නෑනේ. දැන් අවුරුදු 56යි. අපිට ආයේ කොතනවත් වැඩ කරන්න බෑනේ," යැයි කඳුළු සලමින් පැවසුවා ය.

'අන්ත අසරණ වෙලා ඉන්නේ'

"මගේ අම්ම යි, තාත්ත යි ඒ දෙන්නට ම වයස යි. අම්මා පැරලයිස් වුණා මාස දෙකකට විතර කලින් ඒ අයගේ බේත් ගන්නේ ඔක්කොම බලන්නේ මම. මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ," වසර 7කට වැඩි කාලයක් තිස්සේ කම්හලේ රැකියාවේ නිරත නාලිකා බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

ඇය මාතර ප්‍රදේශයේ සිට සේවය පැමිණ ඇති අතර දැනට කුලී කාමරයක රැඳී සිටිමින් සේවයේ නිරත වේ. සිය පවුල නඩත්තු කරනු ලබන්නේ තමන් බව ද නාලිකා කියා සිටියා ය.

'යාළුවෝ ගොඩක් ඉන්නවා බෝඩිංවල, එයාලා පව්'

දුර බැහැර සිට පැමිණ කුලී කාමරවල රැඳී සිටිමින් NEXT ඇඟලුම් කම්හලේ සේවය කළ බොහෝ සේවිකාවන් මෙම තීන්දුව හේතුවෙන් මානසික පීඩාවට ලක්ව සිටින බව එහි සේවිකාවක් වූ නිලන්ති කියා සිටියා ය.

"යාළුවෝ ගොඩක් ඉන්නවා බෝඩිංවල පව් ඉතින් එයලා. අපි නම් ගෙදර අපිට ගෙදර ගියත් ගෙදර තියෙන මොකක් හරි කරන්න පුළුවන්."

"අද උදේ ෆැක්ටරියට ගියා ම එන්න දුන්නේ නැහැ අපිට ඇතුළට, ඇතුළට කාවවත් ගන්නේ නැහැ කියලා කිව්වා," නිලන්ති කියා සිටියා ය.

'අසරණ වෙලා ඉන්න මිනිස්සු මෙහෙම එක පාරට එළියට දැම්මා ම ලොකු ප්‍රශ්නයක් වෙනවා'

කිසිදු පෙර දැනුම් දීමකින් තොරව එක්වර ම කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් කම්හලේ සේවය කළ සේවක සේවිකාවන් පීඩාවට පත්ව ඇති බව මානව විමුක්තිය උදෙසා සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරයන බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

"ළමයි ඉන්න තනි අම්මලා ඉන්නවා, ළමයි ඉස්කොලේ යන අම්මලා ඉන්නවා, අම්මලා තාත්තලා නඩත්තු කරන අය ඉන්නවා, බෝඩිංවලට ගෙවන්න ඕනේ, කඩේට ගෙවන්න ඕනේ. මේ අයගෙ අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ ලැබෙන පඩිය ප්‍රමාණවත් නැති නිසා. ෆැක්ටරියෙන් දෙන කෑම එක කාලා ආවට පස්සේ හුඟක් වෙලාවට බඩගින්නේ ඉන්නේ ඒ අය. එහෙම අසරණ වෙලා ඉන්න මිනිස්සු මෙහෙම එක පාරට එළියට දැම්මා ම ලොකු ප්‍රශ්නයක් වෙනවා."

නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක් වී මෙම ගැටලුවට මැදිහත් විය යුතු බව මානව විමුක්තිය උදෙසා සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකාව පෙන්වා දුන්නා ය.

එංගලන්ත ප්‍රධානියා සමග හමුවේදී කම්හල වසා දැමූ බව දැනුම් දීලා

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක Next Manufacturing පෞද්ගලික සමාගමේ හිමිකාරිත්වය දරනුයේ එංගලන්තයේ Next Plc සමාගම වන අතර එහි ප්‍රධානියෙකු වූ සයිමන් ෆිෂ් සමග මැයි 19 වන දා වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡාවකට කැඳවා තිබූ අතර, එහිදී සමාගම එක්වර ම කර්මාන්ත ශාලාව වසා දැමූ බව ප්‍රකාශ කළ බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් බීබීසි සිංහල සේවයට පැවසීය.

"ඊයේ ඒගොල්ලන්ගේ එංගලන්තයේ ඉන්න ප්‍රධානියා ලංකාවට ඇවිල්ලා හිටියා. එයා එක්ක හමුවක් තමයි දාලා තිබුණේ. ඒ හමුවට ගිය වෙලාවේ තමයි මේක කිව්වේ."
එම තීරණයට විරෝධය පළ කළ බව කී ඇන්ටන් මාකස් සඳහන් කළේ, සේවකයන් හා සමාගම අතර සාමූහික ගිවිසුමක් පවතින බැවින් මෙවැනි තීරණයකට එළඹීමට පෙර සමාගම සේවක වෘත්තීය සංගම් හා සාකච්ඡා කිරීමට බැඳී සිටින බව ය.

"අපි විරුද්ධත්වය පළ කරලා ඒගොල්ලෝ පෙන්වන හේතු අපි පිළිගන්නේ නැහැ කියලා කිව්වා. මේක නීත්‍යනුකූල නැහැ. ඒගොල්ලෝ මෙහෙම කරනවා නම් කම්කරු කොමසාරිස්ගේ අවසරය ගන්න ඕනේ."

සමාගමේ තීරණය දැනුම් දුන් පසුව රැස්වූ සේවකයින් මේ පිළිබඳව කම්කරු කොමසාරිස්වරයා අවධානයට යොමු කර කොමසාරිස්වරයාගේ මැදිහත්වීම ලබා ගැනීමට තීන්දු කළ බව ද නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්වරයා කියා සිටියේ ය.

එමෙන් ම මෙම සිදුවීම සම්බන්ධව ජාත්‍යන්තර මැදිහත් වීමක් හරහා කටයුතු කරන බව පැවසූ ඇන්ටන් මාකස්, මේ වන විටත් NEXT සමාගමේ මව් ශාඛාව පිහිටි එංගලන්තයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

ඇඟලුම් කම්හල වසා දැම්මේ වෘත්තීය සමිතිය නිසා ද?

ඇඟලුම් කම්හල වසා දැමීමට ප්‍රධානතම හේතුවක් ලෙස ලාභ නොලැබීම බව අදාළ සමාගම සඳහන් කරන කරුණ බැහැර කරන වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිතිය පාලනය සියතට ලබා ගැනීමට නොහැකි වීමෙන් සමාගම මෙම තීරණයට එළඹුණ බව ය.

"අපි කේවල් කෙරුවා නේ පඩිය ගැන. අපි රුපියල් 4,225ක පඩි වැඩි කිරීමක් ගත්තා මේ අවුරුද්දේ."

"ඇත්ත ම හේතුව තමයි වෘත්තීය සමිතිය, ඒගොල්ලන්ට ඕන විදියට වෘත්තීය සමිතිය හීලෑ කර ගන්න බැරි වීම."

කටුනායක නිදහස් වෙළෙඳ කලපයෙන් බැහැර වෙනත් ප්‍රදේශවල NEXT සමාගම සතුව තවත් කාර්මාන්ත ශාලා දෙකක් ඇති අතර ඒවා වසා දමා නැත.

එම කර්මාන්ත ශාලා තුළ වෘත්තීය සමිති නොමැති බවත් ඒවායේ සේවක සේවිකාවන්ට ලැබෙන ආහාර, ප්‍රවාහන හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් නොලැබෙන බව පැවසූ වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස් පෙන්වා දෙන්නේ, කටුනායක කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ද ඒ ආකාරය වැඩ කිරීමට සූදානම් නම් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යා හැකි බව අනියම් ලෙස පවසමින් සිටින බව ය.

වන්දි පැකේජ ගැන සමාගමෙන් වට්ස්ඇප් පණිවිඩයක්

මේ අතර NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව මැයි 20 වන දා සිය සේවක සේවිකාවන්හට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරමින් රැකියාව අහිමි කරන ලද පිරිස් සමාගම යෝජනා කරන යෝජනා කරන වන්දි පැකේජය ලබා ගැනීමට කැමති සේවකයින්ට ජූනි 15 හෝ ඊට පෙර ගෙවීමට සෑම උත්සහයක් ම ගන්නා බව දැනුම් දී ඇත.

එම දීමනාව භාර නොගන්නේ නම් එය ජූනි 26 වන දා සිට අවලංගු බවට සිය පණිවුඩයේ සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව කම්කරු දෙපාර්තුමේන්තුට පැමිණිලි ඉදිරිපත් කරන්නන් ද අධෛර්යට පත් වන ලෙසින් බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

"මෙම කරුණ කම්කරු කොමිසමට යොමු වුවහොත්, ඔබට TEWA (වන්දි) ගෙවීම සහ අදාළ වන වෙනත් ඕනෑ ම ව්‍යවස්ථාපිත ගාස්තුවක් පසු දිනකදී ලබා ගැනීමට පමණක් හිමිකම් ඇත," යනුවෙන් එහි සඳහන් වේ.

සමාගම යෝජනා කරන වන්දි පැකේජය වෘත්තීය සමිති සහ වෘත්තීය සමිති නොවන දෙපිරිසට ම විවෘත බවත් එහි සඳහන් වේ.

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...