ආණ්ඩුව, විගණකාධිපතිවරයා පත් කිරීමට ආදළ ක්‍රියාවලිය සිදුකිරීමට උත්සහ දරමින් සිටින්නේ ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිව යැයි සමගි ජනබලවේගයේ සහකාර නීති ලේකම් නීතිඥ මහේෂ් පරාක්‍රම පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (25) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් පරාක්‍රම...
විගණකාධිපති තනතුරු හිස් වී දින 45 ක්
''පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා අඩු සුදුසුකම් ඇති දේශපාලන හෙන්චයියන් වෙනුවට සුදුසුකම් සහිත පුද්ගලයන් නිශ්චිත ක්‍රමවේදයන්ට අනුව ආයතනයන්ට පත් කරන බවත් දේශපාලන ඇඟිලි ගැසිම්වලින් තොරව එම ආයතනයන්ට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා දෙනු ලබනවා කියලා.
කෙසේ නමුත් ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනිව තමයි විගණකාධිපතිවරයා පත් කිරීමට ආදළ ක්‍රියාවලිය සිදුකිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින්නේ. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරමින් ඔවුන් බලය ලබාගෙන තිබෙන්නේ දේශපාලන හෙන්චයියන් නියමිත තනතුරුවලට, ආයතනවලට පත් කරන්නේ නෑ කියන පොරොන්දුව ඇතිවයි.
නමුත් විගණකාධිපති තනතුරු හිස් වෙලා දින 45 ක් ගතවන විට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ සුදුසුකම් සහිත විගණකාධිපතිවරයෙක් පත් කරන්න. විගණන සේවා සංගමය , විගණන පරික්ෂකවරුන්ගේ සංගම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයාව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විගණන සේවයේ නොසිටි පරිබාහිර පුද්ගලයෙක්ව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්න උත්සහ ගනිමින් සිටිනවා.
ආණ්ඩුව විගණනයට බය වෙලා ද...?
වර්තමාන ආණ්ඩුවට මෙම මාස කිහිපය තුළ එල්ල වුණ චෝදනා රැසක් තිබෙනවා. රතු නිවේදන නිකුත් කර තිබූ බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව වරායෙන් පිටත් කිරීම සම්බන්ධව ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. මන්නාරමේ ඉදි කිරිමට නියමිත සුළං විදුලි බලාගාරයක් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව යම් සමාගමකට ලබාදුන්න බවට ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා.
ජනාධිපති කාර්යාලයේ සිදුකළ වාහන වෙන්දේසියේ දී අඩු මිල ගණන්වලට එම වාහන තක්සේරු කරලා නියමිත මිලට වඩා අඩුවෙන් වාහන අලෙවි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. මේ චෝදනා පිළිබඳව විභාග කිරීමට නියමිත වෙන්නේ විගණකාධිපතිවරයාට.
එසේ නම් ආණ්ඩුවට හිතවත් නැති ස්වාධින පුද්ගලයෙක් විගණකාධිපති වේවි යන බය නිසා ද ආණ්ඩුව ඔවුන්ට හිතවත් පුද්ගලයෙක් විගණකාධිපති ලෙස පත් කරන්න උත්සහ දරන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා.
ඒ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජේෂ්ඨතම නිලධාරියා විගණකාධිපතිධුරයට පත් කරන්න ආණ්ඩුවට අපි බලපෑමක් සිදුකළ යුතු යි; එය සිවිල් සමාජයෙත් වගකීමක්.
ආණ්ඩුව මාලිනී ෆොන්සේකාට අපහාස කළා
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විවිධ ලැයිස්තු රටට ඉදිරිපත් කළා. ඒ ලැයිස්තුව තුළ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ පිරිසකගේ නම් ලැයිස්තුවකුත් තිබුණා. ඒ අවස්ථාවේ අපෙන් සමුගත් ප්‍රවීණ රංගවේදිනිය මාලිනි ෆොන්සේකා මැතිනියට ජනාධිපති අරමුදලින් ලබාදුන්න මූල්‍ය ආධාරයක් පිළිබඳව චෝදනා කරලා පාර්ලිමේන්තුව තුළ ඇයට බරපතළ අවමානයක් සිදුකරන්න ආණ්ඩුවේ පිරිස් කටයුතු කළා. කලාකරුවෙකුට කළ උපකාරයට ආණ්ඩුව ඉතාම නින්දිත ආකාරයට අපහාස කළා. නමුත් දැන් ආණ්ඩුව අපෙන් සමුගත් ප්‍රවීණ රංගවේදිනිය මාලිනි ෆොන්සේකා මැතිනියගේ දේහයට රාජ්‍ය ගෞරව දෙන්න කටයුතු කරමින් යනවා.
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ හෙරක් ලෙස වර්තමා ආණ්ඩුව නම් කළ ප්‍රවීණ රංගවේදිනි මාලිනි ෆොන්සේකා මැතිනියට රාජ්‍ය ගෞරව දක්වන්න කටයුතු කළේ ඇයි කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. එසේ නැතිනම් ප්‍රවීණ රංගවේදිනි මාලිනි ෆොන්සේකා මැතිනියට පාර්ලිමේන්තුවේදි සිදුකළ අපහාසය ආණ්ඩුව සමාව ගත යුතුයි.
ආණ්ඩුව, හොරුන්ගෙන් සහය ගන්නවා ද නැද්ද...?
සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමග එකතුවෙලා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිලිබඳව ආණ්ඩුව විවිධ නිර්වචන ඉදිරිපත් කරනවා. හොරු සමග එකතු වෙන්නේ නෑ කියපු සජිත් ප්‍රේමදාස ඇයි දැන් හොරු සමඟ එකතුවෙන්න යන්නේ කියලා ආණ්ඩුවේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරලා තිබුණා.
කෙසේ නමුත් ජාතික ජනබලවේගය තමයි සියලු ම දෙනා හොරු ලෙස අර්ථකතනය කළේ. ජනාධිපතිවරණයේ දී සහ පාර්ලමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුවේ සියලු දෙනා ප්‍රකාශ කළේ ස්වාධීන කණ්ඩායම් ලෙස පළාත් පාලන මැතිවරණයට තරග කරන්න සියලු දෙනා හොරු කියලා. එවැනි ප්‍රකාශ කළ ආණ්ඩුවට දැන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න ස්වාධීන කණ්ඩායම්වල සහාය ගන්න නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.
ලංකාවේ පළාත් පාලන ආයතනවලින් බහුතරයකට ජාතික ජනබලවේගයට සහ අනෙකුත් කිසිදු පක්ෂයකට සියයට 50 ට වැඩි බහුතරයක් ලැබිලා නෑ. ජාතික ජනබලවේගයට බහුතරයක් නැති නිසා අනිත් කණ්ඩායම්වලට කතාකරන්න අවස්ථාවක් නෑ. ඔවුන් ශිෂ්ටසම්පන්න දේශපාලනයක් ඇති කරන බව තමයි ප්‍රකාශ කළේ. නමුත් ඔවුන්ම හොරු කියපු පිරිස ඉදිරියට ගොස් සහාය ඉල්ලන්න නොහැකි වෙලා තිබෙනවා.
සමගි ජනබලවේගයේ වගකීම
ආණ්ඩුවට බලය පිහිටුවන්න නොහැකි පළාත් පාලන ආයතන අකර්මන්‍ය කරන්න විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගයට සිදුකිරිමට නොහැකියි. එනිසා සමගි ජනබලවේගයට වගකීමක් තිබෙන මහජන ආයතන නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරලා එම ආයතනවල බලය පිහිටුවන්න. ඒ කාර්යය තමයි සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන්නේ මහජනතාවට සේවය සැපයීමට හැකි පළාත් පාලන ආයතන පිහිටුවන්න. ඒ නිසා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවෙනවා කියලා බයේ කෑ ගැහුවාට ආණ්ඩුවට වැඩක් වෙන්නේ නෑ.''



