ශ්‍රී ලංකාවෙන් හමු වු අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන ලෙස බලකරමින් යාපනයේදී විරෝධතාවයක්
දියත් කර තිබේ.
එම විරෝධතාවයට පෙර දිනයේ දෙමළ ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුවේදී පෙන්වා දී තිබුනේ කැනීම් කටයුතු ආරම්භ කර තිබෙන චෙම්මනි සමූහ සුසානයේ කිසිදු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම නිසා සාක්ෂි විනාශවීමේ අවදානමක් පවතින බවයි.
යාපනයේ, චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානය ඉදිරිපිට ජුනි 05 වැනි බ්‍රහස්පතින්දා පෙරවරුවේ විරෝධතා දියත් කළ උතුරු, නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමය (ARED) රජයට බල කර තිබුනේ සමුහ මිනි වලේ කැනීම් කටයුතු ජාත්‍යන්තර අධීක්ෂණය හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව සිදු කරන ලෙසයි.
හංගන්න එපා, හංගන්න එපා, වර්ග සංහාරය සගවන්න එපා, ඕන ඕන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන, ආදී සටන් පාඨද ඔවුන් අත වු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
“මෙය හුදෙකලා සිද්ධියක් නොවේ. ඒ පිළිබඳ පරීක්ෂණ සහ කැනීම් යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ විස්තීර්ණ සත්‍යය හෙළි කරගැනීමට උපකාරී වනු ඇත,” යි ARED සභාපතිනි යෝගරාසා කනගරංජිනී සහ ලේකම් ටී සෙල්වරානි ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
මැයි 15 වැනිදා කැනීම් ආරම්භ කළ යාපනයේ චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයෙන් මේ වන විට අඩුම තරමින් පුද්ගලයන් දහ අට දෙනකුට අයත් අස්ථි හදුනාගෙන ඇති අතර පස් දෙනකුට වැඩි පිරිසකගේ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.
එම සමුහ සුසානයේ අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් ජුනි 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැඩි දුරටත් පෙන්වා දී තිබුනේ කැනීම් කටයුතු සදහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නුදුරේදීම නතර වීමේ අවදානමක් පවතින බවයි.
"මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරියාට විමර්ශන කිරීම සඳහා වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය ඇත්තෙන්ම දවස් විස්සක්වත් කල් පවතින්නේ නැහැ. ඉතිං ඊළඟට වැඩ කටයුතු කල් දැම්මට පස්සේ සල්ලි නැති උනොත් ඒගොල්ලෝ වැඩ කටයුතු නවත්වන්නයි යන්නේ."
සිරුරු සිය ගණනින් වළ දමා ඇති බවට අධිකරනයේම තොරතුරු හෙළිවූ සමුහ සුසානයක වැදගත්කම අධිකරණ අමාත්‍යවරයාට පැහැදිලි කර දුන් නීතිඥයකුද වන ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සමුහ සුසානයේ කැනීම් කටයුතු වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දීමට මැදිහත්වන්නැයි අධිකරණ අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා තිබුනි.
" ඔබ හොඳාකාරව දන්නවා ඇති 1996 දී ඒ ප්‍රදේශය සමූහ මිනීවළක් කියලා ප්‍රකාශයට පත් කරලා තිබුණා. මොකද, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවේ චුදිතයා කිව්වා ඒ පළාතේ සිරුරු 600 කට වැඩිය වලදමා තියෙනවා කියලා. මං හිතනවා මේක සත්‍යය අනාවරණය කරගැනීම සම්බන්ධයෙන් ඉතාම වැදගත් කියලා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේකට මැදිහත් වෙලා අදාළ ප්‍රතිපාදන ලබාදෙන්න කියලා.
පාර්ලිමේන්තුව හමුවේ දෙමළ ජනතා නියෝජිතයා තව දුරටත් අවධාරණය කර තිබුනේ ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරනවා සේම සමුහ සුසානයේ සාක්ෂි වල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමද අත්‍යවශ්‍ය කරුණක් බවයි.
"මේක සමූහ සුසාන භූමියක් කියලා ප්‍රකාශයට පත් කරන්න. එතකොට අපිට පුලුවන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හෝ සල්ලි ලබාගන්න උදව් කරන්න කැමති අයගේ හෝ සහායෙන් අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් අපිට උදව් කරන්න පුළුවන්. ඒ වාගේම සාක්ෂිවලට ඇඟිලි ගහන්නේ නැති වීම සහතික කිරීම සඳහා ඒ පරිශ්‍රයට ආරක්ෂාව සැලසීමත් අවශ්‍යයි. "
චෙම්මනි සමූහ සුසානයේ පරීක්ෂණ නිර්බාධිතව පවත්වාගෙන යාමට මැදිහත් වන ලෙස දෙමළ ජනතා නියෝජිතයා කළ ඉල්ලීම ඉටු කිරීමට ස්ථිර වශයෙන්ම පියවර ගන්නා බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී සහතික විය.
"මම ඒ කාරණය වහාම විමර්ශනයට ලක් කරනවා. මං දන්නවා මේ වැඩ සඳහා අමාත්‍යාංශය මුදල් වගයක් වෙන් කරලා තියෙනවා කියලා. ඒක ප්‍රමාණවත් නැතිනම් මොකක්ද කරන්න පුළුවන් කියලා අපි බලමු. ඒත්, ඔබ කියන දේ වැදගත්කම මට තේරෙනවා. ඒ අනුව මම කටයුතු කරන්නම්. ඒ වගේම, වඩා හොඳ ප්‍රතිචාරයක් තව දින කීපයකින් ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා."
වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානයේ දෙවැනි අදියරේ, කැනීම් කටයුතු ජුනි 02 දා සිට සිදු කෙරෙමින් පවති.

මෙම පුවතට අදාල තවත් විස්තර
හිස්කබල් හතක් පාදාගත් උතුරේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් දිගටම






