The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක්

T

The Leader Desk

June 17, 2025 • 11:09 AM

ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී" නාමය යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.
  • අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ දිනයේ [ජූනි 16] විභාගයට ගත් අවස්ථාවේදී ය.
  • එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
  • පෙත්සම්කාර භික්ෂුණිය අධිකරණයට කියා සිටියේ, රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්නභාවය ලැබූ භික්ෂුණියක බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට "භික්‍ෂුණී" නාමය යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ඊයේ දිනයේ [ජූනි 16] විභාගයට ගත් අවස්ථාවේදී ය.

වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

 

පෙත්සම්කාර භික්ෂුණිය අධිකරණයට කියා සිටියේ, රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ පටන් භික්ෂුණී ශාසනයක් ක්‍රියාත්මක වන බවත් තමන් එම සංඝ සභාව යටතේ උපසම්පන්නභාවය ලැබූ භික්ෂුණියක බවත් ය.

 

2013 වසරේ ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

2013 වසරේ මැයි මස 31 වන දා තමා "භික්‍ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ ද එම අයැදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කාරීය සඳහන් සඳහන් කර තිබිණි.

අවශ්‍ය නම් "සිල් මාතා" පදනම යටතේ හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලිඛිතව දැනුම් දී තිබූ බවත් පෙත්සම්කාරිය සඳහන් කළා ය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, තමන්ට "භික්ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

 

නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අර්ථකථන නීතියට අනුව "භික්‍ෂූන්" යනුවෙන් සඳහන් කරන විට භික්‍ෂුණියන් ද ඊට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේ ය. එය පිළිගත් පොදු නීතිමය සිද්ධාන්තයක් බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබිණි.

 

'කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුවීම යනු නීතිය ඉදිරියේ වෙනස් කොට සැලකීමක්'

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කළේ, පෙත්සම්කාරියට "භික්ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ය.

පෙත්සම්කාරියට භික්‍ෂුණී පදනම යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බව අධිකරණයේ මතය විය.

රංගිරි දඹුල්ල සංඝ සභාව යටතේ 1998 වසරේ සිට භික්ෂුණී ශාසනයක් ස්ථාපිතව ක්‍රියාත්මක වන බව පෙත්සමේ සඳහන් වේ.

එහෙත්, එම ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විරෝධය පළ කර නොමැති අතර, භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් වෙත පැවරී තිබේ.

නමුත් අදාළ ක්‍රියාව [භික්ෂුණී ශාසනයක් පවත්වාගෙන යාම] බෞද්ධ ක්‍රමවේදයට පටහැනි නම් රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක හිමි වශයෙන් කටයුතු කරන පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබූ බවත් මේ දක්වා එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අධිකරණයේදී අනාවරණය විය.

ඒ අනුව, නීතිමය වශයෙන් ගත් කල පෙත්සම්කාරියට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් අධිකරණයේදී අනාවරණය නොවී ය.

 

රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත කරනු ලැබ නොතිබීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතු මත පෙත්සම්කාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

 

එම කරුණ පිළිගත නොහැකි බවත් පෙත්සම්කාරිය භික්ෂුවක් වූවා නම් ඇයට මෙවැනි නීතිමය ගැටලු උද්ගත නොවනු ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

නමුත් ඇය කාන්තාවක වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුව ඇති බව හා එය නීතිය ඉදිරියේ "වෙනස් කොට" සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

මෙම ප්‍රතික්ෂේප කිරීම තුළින් වගඋත්තරකාර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන "නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය" උල්ලංඝණය කර ඇතැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ බහුතර විනිසුරුවරුන් විසින් නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබේ.

එක් විනිසුරුවරයෙක් වෙනස් මතයක

කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන විසින් නිකුත් කරන ලද තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ, මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු නොවන බව ය.

ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබිණි.

ඓතිහාසික තීන්දුවක්

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නිකුත් නොකර තිබීම හේතුවෙන් භික්ෂුණීන් වහන්සේලාට ඡන්දය භාවිත කිරීමට ද අවස්ථාවක් නොතිබිණි.

 

ශ්‍රී ලංකාවේ සිටින 8000කට ආසන්න බෞද්ධ භික්ෂුණීන් වහන්සේ නිල වශයෙන් පිළිගැනීම බුද්ධශාසන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් ඔවුන්ට ජාතික හැඳුනුම්පතක් ලබාගත නොහැකිව තිබූ බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය අනාවරණය කළේ ය.

 

ඒ අනුව, ඉහත තීන්දුව ශ්‍රී ලංකාවේ භික්ෂුණී ප්‍රජාවට සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

(මුලාශ්‍ර | aruna.lk + BBC සිංහල)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක් | The Leader