වැඩි මිලට බෙහෙත් ද්රව්ය මිලට ගැනීමේ චෝදනාව මත 'දූෂණය' නමැති වරද යටතේ ඊයේ (17) අත්අඩංගුවට ගත් ශ්රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්යවරයක, කළමනාකාර සහකාර වරයකු හා තවත් සිවිල් පුද්ගලයකු තිදෙනෙකු ජූනි 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්ය වෛද්ය මහේශි සූරසිංහ විජේරත්න, එම රෝහලේ කළමනාකරුවකු වන කැකුලන්ද ලියනගේ ඉන්දික හා එම්.ඒ නිමල් රංජිත් මුතුකුඩ නමැති අය ඊයේ (16දා) රාත්රියේ මහෙස්ත්රාත්වරයාගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කඩවත ප්රදේශයේ පදිංචිකරුවකු බව කියන නිමල් රංජිත් මුතුකුඩ නමැත්තා එම වෛද්යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ සේවය කළ අයෙකු බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
ස්නායු ශල්ය වෛද්ය කටයුතු සඳහා අවශ්ය EVD (External Ventricular Drain) සහ VP SHUNT යන අයිතම, වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් හා අදාළ වෛද්යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දීම තුළින් රෝගී පාර්ශවයට පාඩුවක් කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
එමෙන් ම, "තමාට හෝ බාහිර පාර්ශවයන්ට අයුතුසහගත ලාභයක් උපයා ගැනීම මෙන් ම එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව උක්ත විශේෂඥ වෛද්යවරිය අත්අඩංගුවට ගන්නා ලදී," යනුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
EVD අයිතම 2022 වර්ෂයේදී වෛද්ය සැපයුම් අංශයේ මිල රු. 17,500ක් බවත් එහි වත්මන් මිල 46,500ක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අදාළ විශේෂඥ වෛද්යවරියගේ නිර්දේශ මත ඇය විසින් යොමු කරනු ලබන බාහිර පාර්ශව මගින් රෝගීන් එම අයිතම මිලට ගෙන ඇත්තේ රු. 120,000 සිට 250,000 දක්වා මුදලක් වැය කරමින් බව අනාවරණය වී තිබේ.
මේ වන විට මෙලෙස ශල්ය කර්මයන්ට භාජන වූ 300ක පමණ පිරිසක් හඳුනාගෙන ඇති අතර එයින් 77 දෙනෙකුගේ ප්රකාශ මේ වන විට සටහන් කරගෙන ඇත.
'ශල්යකර්මවලට භාජනය වූ පිරිසක් මිය ගිහින්'
මෙලෙස ශල්යකර්මයන්ට භාජනය වූ රෝගීන් 300 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත්, ඉන් 77 දෙනෙකුගේ ප්රකාශ සටහන් කරගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එම ප්රකාශ සටහන් කර ගත් රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් වී ඇති බව මෙන් ම ශල්යකර්මවලට භාජනය වූ සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව අල්ලස් කොමිසම පවසයි.
(මුලාශ්ර | මව්බිම + බීබීසී සිංහල )



