ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ඉහළම මානව හිමිකම් නිලධාරියාට උතුරේ අලුතින්ම සොයාගත් සමූහ සුසානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලැබී ඇත්තේ එය අවහිර කිරීමට අවසාන මොහොත දක්වා ආණ්ඩුව දැරූ අසාර්ථක සැලසුම් සහගත වෑයම දෙමළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරාජය කිරීමෙන් අනතුරුවය.
අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස හඳුනාගෙන අධිකරණයේ අධීක්ෂණය යටතේ පවතින සුසාන භූමියට ප්‍රවේශවීම සඳහා මහේස්ත්‍රාත් අවසරය අවශ්‍ය වෙයි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වෙනුවෙන් එම අවසරය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු නොකළා පමණක් නොව ඊට තදින් බාධාකළ ආකාරය ද හෙළි කොට ඇත්තේ අධිකරණයට කරුණු දක්වා දිනාගත් අවසරයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා කැටුව චෙම්මනි සිද්ධුපත්ති සුසාන භූමියට ගිය දිවයිනේ ප්‍රමුඛතම මානව හිමිකම් නීතිඥ මණ්ඩලයක් විසිනි.
යාපනය මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් එම අවසරය සලසා දෙන විට ආණ්ඩුව ඊට විරුද්ධ වී ඇත්තේ ‘ගේට්ටුවෙන් පිටත සිට කොමසාරිස්වරයාට සුසාන භූමිය දැකබලාගත හැකි’ බව රජයේ තීන්දුව වෙතැයි දැනුම් දෙමිනි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා ආගමනයට පෙර විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබුනේ චෙම්මනි සුසාන භූමි පරිශ්‍රයට ඇතුළුවීමටත් ප්‍රදේශවාසීන්ට කතාබහ කිරීමටත් වොල්කර් ටර්ක්ට ‘අවස්ථාව සලසා දෙන’ බවයි. එහෙත් ඒ සඳහා කිසිදු නෛතික හෝ පරිපාලනමය හෝ සැලසුම් යොදා ඇති බවක් ඇමැතිවරයා පැහැදිලි කොට තිබුනේ නැත.
දැන් අනාවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ තුන්දින සංචාරයකට පැමිණි ජගත් මානව හිමිකම් ප්‍රධානියා දිවයිනට ගොඩබැසීමෙන් දින දෙකක් ගතවූ පසුවත් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය නිරීක්ෂණය කිරීමේ අධිකරණ අවසරය ඔහු වෙනුවෙන් ලබා ගැනීම සඳහා ආණ්ඩුව පියවර ගෙන නැත.
එපමණක් නොව, නිරීක්ෂණය සඳහා ප්‍රවේශවීමට මහකොමසාරිස්වරයාට සඳහා අවශ්‍ය අධිකරණ අවසරය ලබාගැනීමට දෙමළ වින්දිතයන් දැරූ උත්සාහයට පවා ආණ්ඩුව විසින් සැලසුම් සහගත ලෙස බාධා කරන ලද ආකාරය ද මානව හිමිකම් හා සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානය (CHRD) විසින් හෙළිකර තිබේ.
“මේක හදිසියේ සිද්ධවූ දෙයක් නෙවෙයි,” යනුවෙන් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් ජුනි 25 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් චෝදනා කළේය.
මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය නිරීක්ෂණයේ යෙදීමට අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග නොගත් ආණ්ඩුව ඒ වෙනුවෙන් ක්‍රියා කළ පිරිස්ද වලකාලීම වෙනුවෙන් වීරිය දැරූ ආකාරයද CHRD විධායක අධ්‍යක්ෂවරයා විස්තර කර තිබේ.
"මොකද චෙම්මනියට යාමට නම්, රාජ්‍යතාන්ත්‍රික අනුමැතිය විතරක් නෙවෙයි, යාපනය මහේස්ත්‍රාත් උසාවියේ අවසරයත් ඕනෑ. චෙම්මනි මිනි වලේ කැණීම් කටයුතු සිද්ධ වෙන්නේ යාපනය මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේයි. අධිකරණය විසින් එහි සිදුවන සියලුම සිදුවීම් අධීක්ෂණය කරනවා - භූමියේ සිදුවීම්, විශේෂඥයන් සහ පොලිසිය ඇතුළුව මෙහෙයුමේ සියලු අංශ අධීක්ෂණය කෙරෙන්නේ අධිකරණය විසිනුයි. මේකට සම්බන්ධ හැම දෙනාම දැනුවත්ව සිටි කාරණයක් තමයි මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව. එම නිසා, එම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම තිබුනේ ආණ්ඩුව සතුවයි. ඔවුන් මෙය කිරීමට පොරොන්දු වූ නමුත් ඊයේ වෙනතුරුත් රජය අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් නොකර, ඒ වෙනුවෙන් වෙහෙස වූ පුද්ගලයන්ටත් බාධා කළා."
ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් යාපනයේ මාධ්‍යවේදීන් වෙත දැනුම් දී සිටි පරිදි මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ට සමුහ සුසානය නිරීක්ෂණය කිරීම සදහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය ලබා ගැනීමට හැකි වී ඇත්තේ වින්දිත දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගේ මැදිහත්වීමෙනි.
"ඒ නිසා, කැණීම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න නීතිඥයන් හැටියට වින්දිතයන් වෙනුවෙන් අපි මුල්වෙලා ඒ අයැදුම්පත අපිම ඉදිරිපත් කරන්න කටයුතු කළා. මේක ආණ්ඩුව විසින් සම්පූර්ණ කළ යුතුව තිබු වගකීමක්. මුලින්ම ඒ ගොල්ලෝ ඒක බාර ගන්න තීරණය කරලා කාටවත් අන්තිම මොහොතේ මැදිහත් වෙන්න බැරි විදියට වැඩේ හැසිරෙව්වා."
වොල්කර් ටර්ක් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරය තුලදී ජාත්‍යන්තර අවධානයද දිනාගෙන ඇති චෙම්මනි සමුහ සුසානය නිරීක්ෂණය කරන බවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අධිකරණ අමාත්‍යාංශය හෝ කලින් ප්‍රකාශයට පත් කර තිබුනේ නැත.
වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් යාපනයේ මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේ මහ කොමසාරිස්වරයාට සමුහ සුසානය නිරීක්ෂණය සදහා අධිකරණය අවසරය ලබා දෙන මොහොත් පොලීසිය එයට විරෝධය දැක්වුයේ කොමසාරිස් වරයා සුසානයට ඇතුළු නොවිය යුතුය යන්න ආණ්ඩුවේ තීරණයක් වග දැනුම් දෙමින් බවයි.
"කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අධිකරණය අපිව විතරක් නෙවෙයි, පොලිසිය, අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරි සහ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් ගෙන්නුවා. ඒ හැමදෙනාගේම එකඟතාව ලබාගත්තාට පස්සේ තමයි, මානව හිමිකම් කොමසාරිස්වරයාට සමූහ සුසාන පරිශ්‍රය දැකබලාගැනීමට යාමේ අවසරය ලැබුනේ.එහෙම අදාළ සියලු පාර්ශවවල එකඟතාව ලබාගත්තත්, පොලිසිය මුලින්ම විරෝධයක් දැක්වූවා. ඒගොල්ලන් කිව්වේ, චෙම්මනි සමූහ මිනීවල කණින ස්ථානයට යන්න මානව හිමිකම් කොමසාරිස්වරයාට ඉඩ දෙන්න බැරිය, ගේට්ටුවෙන් එහා පැත්තේ ඉඳලා බලන්න දෙන්න පුළුවන්ය කියලයි. මේක අධිකරණයට ඉදිරිපත් කෙරුනේ ආණ්ඩුවේ තීන්දුව හැටියටයි."
ශ්‍රී ලංකාවේ සමූහ සුසාන විමර්ශන සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් යෝජනා කරමින් වින්දිතයන් විසින් දිගින් දිගටම කරන ඉල්ලීමේ යුක්ති සහගත භාවය තහවුරු කරමින් ලොවම පිළිගත් මානව හිමිකම් නිලධාරියකුට චෙම්මනිය සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ නොසැලකිල්ල නීතිඥ රත්නවේල් විසින් හඳුන්වන ලද්දේ ‘මානව හිමිකම්වලට කරන අපහාසයක්’ ලෙසිනි.
"ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. විශේෂයෙන්ම, ලෝකයේ සකල ජාතීන් නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක්. ඉහළම තලයේ රාජ්‍යතාන්ත්‍රික ධුරයක් සහ පිළිගැනීමක් සහිත ඔහුට රාජ්‍ය නායකයකුට සමාන ගෞරවයක් ලබාදී තිබෙනවා. මේ විදියට ඇතුල්වීමට ඉඩ නොදීම අගෞරවයක් පමණක් නෙවෙයි, ජාත්‍යන්තර මානව හිමිකම් නොතකා හැරීමට හෝ ඊට අපහාස කිරීමට දරන ලද උත්සාහයක් ලෙස අර්ථ නිරූපණය කරන්නත් පුළුවන් කියා අපි තර්ක කළා. කරුණු විමසා බැලීමෙන් පසු, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාටත්, ඔහු කැටුව එන නිලධාරීන්ටත්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නිලධාරීන්ටත් කැනීම් පරිශ්‍රයට ඇතුල් වී නිරීක්ෂණය සඳහා අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළා."
ජුනි 25 දා යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය නිරීක්ෂණයේ යෙදුනු වොල්කර් ටර්ක් ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට CHRD නීතිඥයන් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජිකයන්ද හා එක්ව සිටියහ.
කෙසේවෙතත්, වින්දිතයන් ඇතුළු පොදු මහජනතාව එහි ඇතුළුවීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගෙන තිබුණු පොලිසිය කැණීම් භුමියේ එජා නියෝජිතයාගේ ක්‍රියාකාරිත්වය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සුසාන භූමිය අසල දී ජුනි 25 වැනිදා ප්‍රකාශ කර තිබුනේ සමුහ මිණී වල පිළිබඳ සත්‍යය හෙළි කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිපුණතාවක් සහිත ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කර තිබුණි.
“විමර්ශන පැවැත්විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව අපක්ෂපාතී හා පරිපූර්ණ අයුරිනි. රටපුරා සමූහ මිනීවළවල් ගණනාවක් සොයාගෙන තිබේ,” යි වොල්කර් ටර්ක්ගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සටහන් කර තිබේ.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්පාදනය කරන අලුත්ම වාර්තාව ඉදිරි සැප්තැම්බරයේ ජිනීවාහි මුළුදෙන 60 වැනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.






