එම කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පසුගිය මාර්තු 06 වැනිදා ඉන් ඉල්ලා අස්විය.
ඊට පෙර එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම ඉල්ලා අස්වූ අතර ඒ සඳහා ජනමාධ්‍ය සංවිධාන විසින් නම් කරන ලද හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩීඑන් සමරකෝන් ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කිරීමෙන් පසු මැයි මාසයේදී ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය. එහෙත් ඔහුද එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත්කළේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව උපාලි අබේරත්න ගේ පුරප්පාඩුව පිරවීම සඳහා අප්‍රේල් 01 වැනිදායින් අවසන් වන ලෙස නාම යෝජනා කැඳවනු ලැබීය.
ඒ සඳහා සුදුස්සෙකු තෝරාගෙන පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට යොමු කළේ දැයි විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න දූරකථනයට සම්බන්ධ කර ගත්තද, ප්‍රශ්නයවත් නොඅසා ඔහු කීවේ මාධ්‍ය ලේකම්ගෙන් අවශ්‍ය දෙයක් විමසන ලෙසය.
කෙසේවුවද ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ධුරය සඳහා නීතිඥ නිමල් බෝපගේ පත්කිරීමේ සුදානම ගැන වාර්තා පළවීමත් සමග ජනාධිපතිවරයාට හිතවත් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ගෙන්ද නිමල් බෝපගේ ට එරෙහිව බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.
තමන්ට පාලනය කරන්න පුලුවන් සෙවලයෝ දැම්මොත් එදාන් පසුව අනුරට මගේ සහයක් නැහැ - Uvindu Kurukulasuriya
මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
''තොරතුරු දැන ගැනීම මූලික අයිතිවාසිකමක් කිරීම සහ වෙනම පනතක් සම්මත කිරීම තමා යහපාලනය ගෙනත් අපි ලබපු එකම ජයග්‍රහණය. ඒක අපේ දීර්ඝකාලීන සටනක්. විශේෂයෙන්ම මගේ දායකත්වයත් ඒකෙ තියෙනව. මුල් කෙටුම්පතේ නොතිබිච්ච NGO ඒ පනතට යටත් කලේ මගේ මහන්සියෙන්. දේශපාලන පක්ෂ විතරයි දාගන්න බැරිවුනේ. දැන් අනුරතන්ත්‍රය යටතේ Right to Information කෙමිසම විනාශ කරන්න යනව කියල යන ඕපදූප නිසා මම මේක ලියන්නෙ. ඒකට තමන්ට පාලනය කරන්න පුලුවන් සෙවලයෝ දැම්මොත් එදාට මම නම් මේ ආණ්ඩුව වෙන මොන හොද වැඩක් කරත් කිසිම සහයෝගයක් දෙන්නෙ නැහැ.''
කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ බලය අයත්වන්නේ ව්‍යවස්ථා සභාවට - Sunanda Deshapriya
මේ අතර නිමල් බෝපගේ එකී තනතුරට පත්කිරීමට එරෙහිව Sri Lanka brief වෙබ් අඩවියේ සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය වෙබ් අඩවියේ මතු දැක්වෙන සටහන පළකර තිබේ.
''දැනට මාස තුනක් පමණ හිස්ව ඇති තොරතුරු කොමිසමෙහි සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවාදියකුව සිටි නිලධාරියකු පත් කරන්නට යන්නේ යැයි ආරංචි පැතිර යමින් තිබේ.
2014 වසරෙහි දී රාජපක්ෂ පාලනයට සේවය කරමින් සිට 2015 දී යහපාලන ආණ්ඩුවට එක් වූ මෙම පරිපාලන සේවා නිලධාරියා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.
ඔහු කලක් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලෙකම්වරයකු ලෙස කටයුතු කළ බව වෙබ් මාධ්‍යක් වාර්තා කර තිබේ.
තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූ අවස්ථාවෙහි දී ජනමාධ්‍ය ලේකම් ලෙස සිට ඇත්තේ ද ඔහුය.
දන්නා කියන මධ්‍යවේදීන්ට අනුව ඔහු තොරතුරු නිදහසට එතරම් කැමැත්තක් දක්වන අයකු නොවේ.
තොරතුරු කොමිසමේ සභාපති ලෙස හිටපු තානාපතිවරයකුගේ නම ද ඉදිරිපත් වූ නමුත් ජනාධිපතිවරයා ඔහුට කැමැත්තක් දක්වා නැති බව වාර්තා වේ.
ඩිව් ගුණසේකර පාර්ලිමෙන්තුවෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි (කෝප්) ප්‍රධානියා වූ 2014 සැප්තැම්බරයේ දී ඉදිරිපත් කරන ලද වාර්තාවක මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.
ඒ ඔහු ජාතික මානව සම්පත් සංවර්ධන සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කළ කාලයට අදාලව ය. ඔහු යටතේ අනිසි ලෙස වැය කළ මුදල් අයකර ගන්නා ලෙස 2014 සැප්තැම්බර් 12 වන දින කරන ලද පරීක්ෂනක් අනුව නියෝග කර තිබේ.
රුපවාහිනී සංස්ථාව විසින් කරන ලදැයි කියන ‘නිපුනතා හඩ’ නම් වැඩසටහනට රුපියල් මිලියන තුනකට වඩා වැය කරන ලද නමුත් එකම ක්‍රියාව වී ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කිරීම පමණක් බව එම වාර්තාවේ 62වන පිටුවේ සඳහන් වේ.
මෙවැනි දේශපාලන ලැදියාවන් සහිත දූෂණ චෝදනා එල්ල වූ අයකු තොරතුරු කොමිසමට පත් කළ හොත් කොමිසම දුර්වල වනු ඇතයි තොරතුරු අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් කණස්සල්ලට පත්ව සිටී. ජාජබ ආණ්ඩුව මේ ගැන මුනිවත රකින්නේ හොරගල් ඇහිදීමටදැයි සැක පහළ වී තිබේ.
මෙයට පෙර තොරතුරු කොමිසමේ සභාපති තනතුර දරන ලද්දේ හිටපු විනිසුරුවරුවරයකු විසිනි. එයට පෙර එහි සභාපති වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 35 වසරක පළපුරුද්දක් තිබූ අවංක නිලධාරියෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිවිල් ක්‍රියාධර ඉල්ලීම් නොසළකා මාස තුනක් පුරා තොරතුරු කොමිසමේ සභාපති තනතුර පිරවීමට පියවර ගෙන නැත. ජනාධිපති කාර්යාලයේ මේසය උඩ මෙම තනතුර පිරවීමට මාධ්‍ය සංවිධාන විසින් කරන ලද යෝජනා පුස්කමින් තිබේ.
කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ බලය අයත්වන්නේ ව්‍යවස්ථා සභාවටය. ජනාධිපතිවරයාට කළ හැක්කේ නමක් යෝජනා කිරීම පමණි.''
RTI : බෝපගේ 'මළ බෙරය' වෙනුවට ගැසිය යුතු 'මගුල් බෙර' රැසකි !! - Shalika Wimalasena
මේ අතර ලේක්හවුස් පුවත්පත් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සිළුමිණ' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස ජුලි 01 දා වැඩ බාරගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාලික විමලසේන සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තහවුරු කිරීමේ කාර්‍යයේදී තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති වගකීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ වැනි අයකු කිසිසේත්ම සුදුසු නැත.
ඔහුගේ ආශාවන් ඉටුකිරීමට කටයුතු කළහොත්, ඒ හරහා ආණ්ඩුව ඇතිකරගන්නේ දැවැන්ත කැළලකි. ඊට හේතුව මත හදන මෙන්ම ඉදිරිය දකින බහුතරයක් මේ මූලික අයිතිවාසිකමෙන් සෑහෙන වැඩ ගැනීමයි.
ඇතැම් ගැටලු මධ්‍යයේ වුවද, වසර නවයකට ආසන්න කාලයක් කොමිසම සාපේක්ෂව සාර්ථකව සිය කාර්‍යභාරය ඉටුකිරීමට වෙහෙසුණු බව කිව යුතුය.
ආන්දෝලනාත්මක උපාලි අබේරත්නත් (රනිල්ගේ පිස්සු පූසා) කොමිසමේ සභාපති පුටුවේ සිටියේය. එහෙත් කොමිසමේ අනෙකුත් සාමාජිකයන් ඔහුගේ පදවලට නැටුවේ නැත. එසේ කියා මේ ආණ්ඩුවට එවැනි අත්හදා බැලීම් කළ නොහැකිය.
නිමල් බෝපගේ යනු චෝදනා රැසක් එල්ල වූ, තොරතුරු දැනගැනීම අයිතියක් කිරීමට එරෙහිව අදහස් පළ කළ බවට ප්‍රකට අයෙකි. ඔහුට එරෙහි චෝදනා ගැන තොරතුරු රැසක් මාධ්‍යවල ලියා ඇත. ඔහු ඒවා නොදුටුවා සේ සිටියා මිස, එන්තරවාසියක් හෝ එවා නැත. ඒ ගැන ලියූ අනෙකුත් අයට ද දන්නා තරමට යවා නැත.
බෝපගේ ද මේ කොමිසමට තමන් පත්කරන්නැයි ඉල්ලා ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇත. ඒ ක්‍රමය ද පනතට අනුව ගැටලුවකි. ඉල්ලුම් පත්‍ර ගෙන්වාගැනීමක් නොව එහි ඇත්තේ නාමයෝජනා කැඳවීමක් ගැන ය.
ව්‍යවස්ථාදායක සභාව මෙතෙක් කොමිසමේ පුරප්පාඩු පිරවීමට අදාළ නම්, ජනාධිපතිවරයා වෙත එවා නැත. ඒ, එවන නම් අතරින් ජනාධිපතිවරයා විසින් කොමිසමට සභාපතිවරයකු පත්කළ යුතුය.
නිමල් බෝපගේ සහ ඔහු ඒ සභාපති පුටුවට ගෙන එන්නට ප්ලෑන් හදන අමාත්‍යංශ ලේකම්වරයකු හැසිරෙන්නේ දැනටමත් පුටුව ෂුවර් විදිහට ය.
එක්කෝ ඊට අදාළ සහතිකයක් ආණ්ඩුවෙන් ලබාදී තිබිය යුතුය. නැතහොත්, මේ ඒ මතය හැදීමකි. වර්ණපාල තියරියෙන් වැඩ කිරීමකි.
ආණ්ඩුව පත්වීමට තීරණාත්මක හයියක් වූ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ආණ්ඩුව ගැසිය යුත්තේ මළ බෙර නොවේ. මගුල් බෙර ය.
මම ඒ වෙනුවෙන් පෙනී සිටිමි !
කව්ද මේ නිමල් බෝපගේ ?
නීතිඥ නිමල් බෝපගේ තොරතුරු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබේ.
ඒ සමගම ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් ද එල්ල වෙමින් තිබේ.
මේ විවේචනයන් සම්බන්ධයෙන් නිමල් බෝපගේ මෙතෙක් සිය මතය පැහැදිලි කර නොමැත. නමුත් ඔහුට පක්ෂපාති 'වට්ස් ඇප් ' සමුහිකයක් විසින් නිමල් බෝපගේ සම්බන්ධයෙන් පලවන විවේචනයන්ට නිර්නාමිකව අදහස් පළකරමින් සිටි. ඒ අදාල සටහන් ද සමගිනි.
එවැනි අදහස්වල සංශිප්ත කරන කිහිපයක් මතු පළවේ.
නිමල් බෝපගේ යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන අතර උප දිසාපතිවරයෙකු ලෙසද, විවිධ අමාත්‍යාංශ සහකාර ලේකම්වරයෙකු හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත. එසේම රාජ්‍ය ආයතන රැසක සභාපතිධූර කිහිපයක් හොබවා ඇති ඔහු පසුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද සේවය කර ඇත.
ජනමාධ්‍ය ලේකම්ධූරයට පත්වීමෙන් පසු ඔහු විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු කිහිපයක් සමග ඔහුට එරෙහිව බරපතල විවේචනයන් ද එල්ලවිය.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ඔහු පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නොවන කණ්ඩායමක් වූ රාජපක්ෂ කඳවුර විසින් "ඒකාබද්ධ විපක්ෂය" ලෙස මාධ්‍ය හරහා පෙනී සිටිමට උත්සාහ කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමග ද ඔහුට එරෙහිව මාධ්‍ය ප්‍රහාරයක් එල්ලවිය.
ඉන්පසු ඔහු විසින් CSN නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කරනු ලැබුවේ එම ආයතනය විසින් බරපතල ලෙස බලපත්‍ර කොන්දේසි කඩ කර ඇති බව පෙන්වා දෙමිනි. එම තීන්දුවට එරෙහිව රාජපක්ෂ පාර්ශවය විසින් ගනු ලැබූ කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් යළි එය නිෂ්ක්‍රීය කිරීමට නොහැකි විය.
එසේම එවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා මාසික වාරිකය රුපියල් ලක්ෂ 7ක් වන පරිදි කුලී වාහන ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පවා අනුමත කළද එය ක්‍රියාත්මක කළ නොහැකි වූයේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස නිමල් බෝපගේ ඊට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසාය.
කෙසේ වුවද එම කැබිනට් තීරණයට අත්සන් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 2400ක් හෙවත් කෝට් 243 ක් රටට ඉතිරි කර දීමට ඔහුට හැකි වුවද එය කෙළවර වූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් උපක්‍රමික ලෙස ඔහුව අමාත්‍යංශ ලේකම් ධූරය පමණක් නොව විශ්‍රාම වැටුපට තිබූ අවස්ථාවද අහිමි කරවමිනි.
තවද තොරතුරු පනත සම්මත කිරීමේ දී හා කොමිසම පිහිටුවීමේ දී එයින් කැපී පෙනෙන රාජකාරියක් එවකට අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ඔහු විසින් ඉටුකරනු ලැබුවත්, එය රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි මෙහෙයවීමට අවස්ථාව ලබා නොදුන් නිසා ඔහුට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන ආශ්‍රිත තවත් කඳවුරක් නිර්මාණය විය.
නිමල් බෝපගේ මෙලෙස දිගින් දිගටම ඍජු තීරණ ගැනීම හේතුවෙන් ඔහුගේ එම ඉතිහාසය පිළිබඳව හොඳින් දන්නා පිරිසක්, ඔහුගේ නව පත්වීම තුළ සිය පටු න්‍යාය පත්‍රවලට කිසිදු ඉඩක් නොලැබෙන බව දන්නා හෙයින් ඔහුට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවද බෝපගෙට හිතවත් වට්ස් ඇප් සමුහිකයේ ඇතැමුන් පවසති.
මීට කලකට පෙර ඔහුට එරෙහිව එකී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු විසින්ම දියත් කරන ලද සුපුරුදු ඊනියා දූෂණ චෝදනා ව්‍යාපෘතිය අදාළ ආයතන විසින් විමර්ශනය කර බැහැර කර තිබියදීත් ඒ බව නොදන්නවාක් මෙන් යළිත් වරක් නින්දෙන් ඇහැරුන පරිදි කටයුතු කිරීම මගින් ඔප්පු වන්නේ නිමල් බෝපගේ ගේ පත්වීමට ඔහුන් තුල පවතින බිය බවද එම වට්ස් ඇප් සමුහිකයේ ඇතැමුන් පවසති.
(උපුටා ගැනීම් අවසන් )
කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ ආයතනික අඛණ්ඩතාවයට බලපාන තීරණාත්මක ගැටළු විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ එහි අනුබද්ධ සංවිධාන විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හදිසි ලිපියක් යවා ඇත.
ශ්‍රී ලංකා පුවත්පත් සංගමය සහ එහි හවුල්කරුවන් වන ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ අනුබද්ධ කණ්ඩායම්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය, මාධ්‍ය වෘත්තීය සමිති සේවක සම්මේලනය සහ දකුණු ආසියානු මාධ්‍ය සන්ධානය ඇතුළත් වේ.
2025 ජුනි 18 දිනැති ලිපියෙන් අවධාරණය කරන්නේ 2016 අංක 12 දරන RTI පනත ශ්‍රී ලංකාවේ විනිවිදභාවය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම, පුරවැසියන් බලගැන්වීම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පෝෂණය කිරීම සඳහා වඩාත් තීරණාත්මක යාන්ත්‍රණයක් ලෙස පවතින බවයි.
දූෂණය හෙළිදරව් කිරීම, ප්‍රජා ජීවිත වැඩිදියුණු කිරීම සහ අයුක්තියට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇති මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ශක්තිමත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමක් අත්‍යවශ්‍ය වේ.
සබැඳි පුවත් :
තොරතුරු කොමිසමට මාස තුනක් සභාපති කෙනෙක් නෑ; කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති



