The Leader News
BREAKING
Top Ad
පුවත්

නටඹුන් වූ රාජ්‍ය සේවය නඟා සිටුවන්න ජනපතිගෙන් යෝජනාවක්

T

The Leader Desk

July 11, 2025 • 2:51 PM

නටඹුන් වූ රාජ්‍ය සේවය නඟා සිටුවන්න ජනපතිගෙන් යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
  • එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටියේය.
  • අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අදාළ ප්‍රතිපාදන භාවිත කරමින් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.
  • දකුණු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වසරට මිලියන 574ක් වෙන් කර තිබුණද, එයින් දැනට වැය කර ඇත්තේ රුපියල් මිලියන 23ක් පමණක් වන බවද, එය ආසන්න වශයෙන් 4%ක ප්‍රගතියක් බවද මෙහිදී අනාවරණය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග  යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්,  ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.


2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අදාළ ප්‍රතිපාදන භාවිත කරමින් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.


දකුණු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වසරට මිලියන 574ක් වෙන් කර තිබුණද, එයින් දැනට වැය කර ඇත්තේ රුපියල් මිලියන 23ක් පමණක් වන බවද, එය ආසන්න වශයෙන් 4%ක ප්‍රගතියක් බවද මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳව මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා, මෙම වසර අවසන් වීමට පෙර අදාළ ප්‍රතිපාදන ජනතා අවශ්‍යතා වෙනුවෙන් නිසි පරිදි වැය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

මහවැලි අධිකාරියට අයත් ඉඩම් නිරවුල් කිරීම ඇතුළු ඉඩම් ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර,  එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ විවිධ බලඅධිකාරින්ට සහ අයථා ගනුදෙනු සඳහා ඉඩම් ලබා දෙනවා වෙනුවට, වඩාත් සුදුසු අයට සහ ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක කටයුතු සඳහා ඉඩම් ලබා දීමේ සංස්කෘතියක් රටට අවශ්‍ය බවයි.

 එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය පිළිබඳ විධිමත් සමාලෝචනයක් සිදු කර සැලැස්මක් ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා, එය සියලු දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලැබෙන, මානව සම්පත හොඳින් කළමනාකරණය කෙරෙන සහ සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනෙන සැලැස්මක් විය යුතු බවද අවධාරණය කළේය.


හැඟීම්වලින් හෝ ඉවෙන් ගැටලුවලට විසදුම් සෙවිය නොහැකි බවත්, ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ මත පදනම්ව ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවද සඳහන් කළේය.


නිලධාරි හිඟය ඇතුළු රාජ්‍ය ආයතනවල ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, නටඹුන් වූ රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවත්, වසර 05කට පසු රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල රාජකාරී කරන පිරිසගේ රාජකාරී පහසුව වෙනුවෙන් අවශ්‍ය වාහන ලබා දීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා ‍විමසා බැලූ අතර, වනඅලි ගැටලුවට විසඳුම් ලෙස යෝජනා කෙරෙන අලි කොරිඩෝව ඉදිකිරීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් පෞදගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ කුමන පාර්ශ්වයකට අයත් වුවද එම ඉඩම් පවරා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ගැටලු මෙන්ම ධීවර වරාය ආශ්‍රිත ගැටලු සහ ඒවාට ලබා දිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡවට ලක් විය.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු ඒකකයේ වැඩ නිම කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 70ක ප්‍රතිපාදන ලබා දෙන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ඉදිරිපත් කළ ලිපියක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා, මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම ප්‍රතිපාදන වෙන් කර දීමට පෞද්ගලිකවම මැදිහත්වන බව පැවසීය.


අතීතයේ රටක සංවර්ධනය මැනීම විශාල ගොඩනැගිලි ඉදිකිරීම මත සිදු වුවද, වර්තමානයේ රටක සංවර්ධනයේ මිනුම් දණ්ඩ බවට පත්ව ඇත්තේ තාක්ෂණය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා,  ඉදිරි වසර පහ ඇතුළත රට තුළ ඩිජිටල් පරිවර්තනයක් සිදු කිරීම රජයේ මූලික සැලැස්මක් බවද පැවසීය.


ඒ වෙනුවෙන්, පුරවැසියන් තුළ සංස්කෘතික වෙනසක් ඇති කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා,  එළැඹෙන සැප්තැම්බර් මාසය රට තුළ ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සැලසුම් කර තිබෙන බවද පැවසීය.

ඩිජිටල් ලෝකය තුළ අපේ රට නව අනන්‍යතාවකින් හඳුනාගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි නව පිම්මක් සනිටුහන් කරනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් ප්‍රභා සෙනරත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද සෙනරත් විතාරණ, අතුල වෙළඳගොඩ, සාලිය සඳරුවන් මදුරසිංහ සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් ද, පළාත් පාලන ආයතනවල නියෝජිතයෝද, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහු, ආරක්ෂක අංශ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...