නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේ දී ය.
එම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...
''නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙළ පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා.
මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගණනාවක් සාකච්ඡා කරා. මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ සෑම දරුවෙක්ට ම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස යි. ''
''අපි දේශපාලනය කරමු, නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්ත්වය සමාජයට ගෙනියන්න ලෙස මම මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා.''
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර සහ ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.









