The Leader News
BREAKING
Top Ad
පුවත්

දේශබන්දු තෙන්නකෝන්ට දැන් මොක ද වෙන්නේ ?

T

The Leader Desk

July 22, 2025 • 11:53 AM

දේශබන්දු තෙන්නකෝන්ට දැන් මොක ද වෙන්නේ ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාවේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (ජූලි 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
  • එම කමිටුවේ තීරණයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇති බව මෙහිදී කතානායකවරයා පැවසුවේ ය.
  • වසරේ පෙබරවාරි මස 26 වන දා පොලිස්පති ධූරයට පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් දෙපාර්තමේන්තුව තුළ විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වූ නිලධාරියෙක් විය.
  • ඔහු පොලිස්පති තනතුරට පත් කිරීමට පෙර අවස්ථා ගණනාවක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාවේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (ජූලි 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

එම කමිටුවේ තීරණයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇති බව මෙහිදී කතානායකවරයා පැවසුවේ ය.

2023 වසරේ පෙබරවාරි මස 26 වන දා පොලිස්පති ධූරයට පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් දෙපාර්තමේන්තුව තුළ විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වූ නිලධාරියෙක් විය.

ඔහු පොලිස්පති තනතුරට පත් කිරීමට පෙර අවස්ථා ගණනාවක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට සිදුවිය. එමෙන් ම, ව්‍යවස්ථාදායක සභාවේදී ඔහු පොලිස්පතිවරයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්නගත තත්ත්වයක් මතු විය.

අද තීරණය සුවිශේෂී වෙන්නේ ඇයි?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව ලබා දුන් තීරණය ව්‍යවස්ථාමය ගමනේ ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන බව කථානායකවරයා පැවසුවේ ය.

විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 20කට අධික සංඛ්‍යාවක් විමර්ශන කමිටුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල කර තිබිණි.

පාර්ලිමේන්තුව මගින් පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් කමිටුවක් මගින් එහි නිල තීරණය ඉදිරිපත් කරන ලද පළමු අවස්ථාව මෙය බව කතානායකවරයා කියා සිටියේ ය.

"මෙම කමිටුව, සිය විමර්ශන පවත්වා, පනතේ 8(2) වගන්තියට අනුකූලව, අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට ඒකමතිකව තීරණය කර ඇත. මෙය අපගේ ව්‍යවස්ථාමය ගමනේ ඓතිහාසික මොහොතක් සනිටුහන් කරයි. පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති විධිවිධාන යටතේ පොලිස්පතිවරයෙකු ඉවත් කිරීම නිර්දේශ කරමින් මෙවැනි කමිටුවක් සිය නිල තීරණය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ජනරජ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය යි," කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.

''මෝසමක් ගෙනල්ලා ඔහුව ධූරයෙන් ඉවත් කරනවා ද නැද්ද කියලා තීරණයක් ගනිවී''

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාවේ නිල තීරණය කථානායකවරයා අද දිනයේදී දැනුම් දීමෙන් අනතුරුව ඉදිරියට සිදුවන්නේ කුමක් දැයි බීබීසී සිංහල සේවය පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළේ ය.

එහිදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙලෙස අදහස් දැක්වීය.

"පොලිස්පතිවරයෙක් ඉවත් කරන්න පාර්ලිමේන්තුවෙන් මේ වගේ තීරණයක් ගන්න පළවෙනි අවස්ථාව මේක වෙන්න ඕන. මේ කමිටු වාර්තාවේ තීරණය ගැන ඉදිරියේදී රජය තීරණය කරන දවසක පාර්ලිමේන්තුවේ විවාදයක් තියෙයි. ඊට පස්සේ මෝසමක් ගෙනල්ලා ඔහුව ධූරයෙන් ඉවත් කරනවා ද නැද්ද කියලා තීරණයක් ගනිවී ඡන්දයක් තියලා. මෝසම ගෙනල්ලා දවස් 05ක් න්‍යාය පුස්තකයේ තියෙන්න ඕන," එම නිලධාරියා පැවසුවේ ය.

දඬුවම් දෙන්න පාර්ලිමේන්තුවට පුළුවන් ද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒකමතිකව වැරදිකරු බවට පාර්ලිමේන්තු විමර්ශන කමිටුව තීරණය කර ඇත්නම් ඔහු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවා දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මෙලෙස අදහස් දක්වා සිටියේ ය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ විවිධ ඉහළ තනතුරු දරන නිලධාරීන් සහ නිලධාරිනියන් ඉවත් කරන්න පාර්ලිමේන්තුවට බලයක් හිමි වෙනවා. මෙතැනදී පොලිස්පති තනතුරෙන් අදාළ පුද්ගලයාව ඉවත් කිරීම විතර යි කරන්න පුළුවන්."

"ඒ වගේ ම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පත් කරපු පාර්ලිමේන්තු කමිටු වාර්තාව හරහා ඔහුගේ යම් ආකාරයේ අපරාධමය වැරැද්දක් ගැන කරුණු හෙළි වෙලා තියෙනව නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි එහෙමත් නැත්නම් අල්ලස් කොමිසමට හරි විමර්ශනයක් කරලා වැරදි සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන්," ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසීය.

 

අවසන් වාර්තාව මෙතැනින් බලන්න

(උපුටා ගැනීම - බීබීසී සිංහල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...