X-Press Pearl ව්‍යසනය වලක්වා ගැනීමට අපොහොසත්චීම මූලික හිමිකම් උල්ලංඝනයක් බව තීන්දු කළ විනිසුරු මඩුල්ල, නෞකා සමාගම මෙන්ම ඇතැම් රාජ්‍ය ආයතන ද එයට වගකිව යුතු බව ද නිගමනය කළේය.
2021 ජුනි මාසයේ සිදු වූ ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ඉදිරිපත්ව තිබූ මූලික හිමිකම් පෙත්සම් හතරක් විභාග කොට එම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
විදේශීය නෞකා සමාගමකට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණයකින් ලබා දුන් මේ සුවිශේෂී තීන්දුව, පදවියෙන් ඉවත්ව යන අගවිනිසුරුවරියගේ අවසාන තීන්දුව වීම ද විශේෂත්වයකි.

මේ වසරේ සැප්තැම්බර් මස 23 වෙනි දින වනවිට වන්දි මුදලේ පළමු වාරිකය භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවිය යුතු අතර, සම්පූර්ණ වන්දිය වසරක් ඇතුළත ගෙවිය යුතු බව ද අධිකරණ නියෝගයේ දැක්විණ.
විශේෂයෙන්ම ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වන්දි නඩුවක් පැවරීම වෙනුවට සිංගප්පූරුවේ නඩු පැවරීම දෝෂ සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය.
එවක නීතිපති සංජේ රාජරත්නම් ගේ නිර්දේශය ප්‍රකාර, සිංගප්පූරුවේ නඩු පැවරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනි. අධිකරණ අමාත්‍යවරයා ද ප්‍රසිද්ධියේ එම නිර්දේශය අනුමත කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළකිරීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සිංගප්පූරු නීතිඥ සමාගමක් විසින් එම නඩුව පවරනු ලැබුවේ 2023 අප්‍රේල් මාසයේදීය.
සමුද්‍රීය පරිසර අධිකාරියේ (මීපා ආයතනයේ) එවක සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර විසින් පත්කරන ලද සාමාජිකයින් 40 කට වැඩි ප්රිසකගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව 2022 නොවැම්බර් මාසයේ නිකුත් කළ දෙවෙනි අන්තර්වාර වාර්තාවට අනුව, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් ශ්‍රී ලංකාවට කරන ලද හානිය ඩොලර් බිලියන 6.4ක් ලෙසින් තක්සේරු කරනු ලැබ තිබුණි.
අඩුම තරමින් වසර දහයක්වත් එහි හානිය තක්සේරු කළ යුතු බව බොහෝ විශේෂඥයින්ගේ මතය වූ නමුත්, 2023 ජනවාරි මාසයේ සිට තවදුරටත් සිය පර්යේෂණ පවත්වාගෙන යාම පිණිස විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අනුමැතිය දී නොතිබිණ. ඒ අනුව 2023, 2024 සහ 2025 වසරවල පර්යේෂණ පවත්වා නොමැති බැවින් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පූර්ණ හානිය පිළිබඳව විශේෂඥ තක්සේරුවක් සිදු වී නැත.
හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, මීපා ආයතනය සහ එහි හිටපු සභාපතිනිය ද ව්‍යසනය සම්බන්ධයෙන් සිය ඇතැම් වගකීම් පැහැර හැර තිබෙන බවත් අධිකරණ තීන්දුවේ දැක්විණ.
නෞකා සමාගම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ දීර්ඝව කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, දිගින් දිගටම කියා සිටියේ අනතුර වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා අදාළ රජයේ ආයතන ක්ෂණික පියවර ගැනීමට අපොහොසත් වූ බැවින් ව්‍යසනය සිදු වූ බවය.

පරිසර අමාත්‍යාංශය, මීපා ආයතනය, එහි හිටපු සභාපතිනිය, ධීවර අමාත්‍යාංශය, වරාය කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු රජයේ ආයතන ගණනාවක් සහ විෂයභාර අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් පිරිසක් ද, සිංගප්පූරුවේ නෞකා සමාගම, නෞකා සමාගමේ දේශීය නියෝජිත Sea Consortium Lanka Pvt Ltd ඇතුළු විස්සකට ආසන්න පිරිසක් පෙත්සම්කරුවන් විසින් විත්තිකරුවන් ලෙසින් නම් කරනු ලැබ තිබුණි.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රමුඛ නීතිඥ පිරිසක් ද, කාදිනල් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙනුවෙන් නිල්ශාන්ත සිරිමාන්න ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ද, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ධීවරයින් පිරිසක් වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් ද, ආචාර්ය අජන්තා පෙරේරා වෙනුවෙන් නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රමුඛ නීතිඥ පිරිසක් ද, අතරමැදි පාර්ශවයන් ලෙසින් එක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ නීතිඥ හිමාලි කුලරත්න ඉදිරිපත් කළ පෙත්සම්වල නෞකා සමාගම සහ එහි දේශීය නියෝජිතයා ඇතුළු පිරිසක් වගෞත්තරකරුවන් ලෙසින් නම්කොට තිබුණ ද, කාදිනල් හිමියන් සහ ආචාර්ය අජන්තා පෙරේරා ඉදිරිපත් කළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙසින් නම් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා රජයේ ආයතන සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් පමණි.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
Fellow, Pulitzer Centre's Ocean Reporting Network




