තමා පිළිබඳව සිදු කර ඇති ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ද, ඒ මත පිහිටා සිදු කරනු ලබන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ, ''මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල, කොළඹ ''සිනමන් ලයිෆ්'' නිවාස සංකීර්ණයේ අති සුඛෝපභෝගී අපාර්ට්මන්ට් එකක් රුපියල් කෝටි 35 - 45 කට මිලට ගෙන'' ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇති වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනේ පළකර ඇති සටහන මතු පළවේ.
''සිනමන් ලයිෆ් නැමැති නිවාස සංකීරණයක නිවසක් මිල දී ගෙන ඇති බවට මා සම්බන්ධයෙන් වන සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචරණයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට යම් කිසි කණ්ඩායමක් විසින් කටයුතු කරමින් සිටින බවට කරනු හෙළි වී ඇත.
මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති අතර, මාගේ පක්ෂය ද මහජනතාව ද මා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබ මල් රේණුවකිනිදු හානියක් සිදුවන කටයුත්තක් මා විසින් සිදුකර නොමැති බවත් ප්‍රකාශ කර සිටිමි.
නීතීඥවරෙයක් ලෙසද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් මා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිට ඇත. එසේ වුවද එකී අයිතිය වල් වැදුණු නිදහසක් නොවන අතර, එකී නිදහස දුෂ්ඨ ලෙස අවභාවිත කිරීම එය දිනා ගැනීමට මානව ශිෂ්ටාචාරය පුරා අනේක විද කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයකි.
මා සම්බන්ධයෙන් සිදු කර ඇති දේවේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ද, ඒ මත පිහිටා සිදු කරනු ලබන ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන අතර, හදුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහි සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට නඩු පැවරීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතී.''




