The Leader News
BREAKING
Top Ad
පුවත්

''මෙය සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක්'' - අගමැතිනිය

T

The Leader Desk

September 28, 2025 • 3:48 PM

''මෙය සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක්'' - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී ය.
  • මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යෑම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය.
  • අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (27)  අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී ය.

එම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

පාසල් හෝ ගුරුවරු පමණක් ඉලක්ක කළ පනතක් නොවේ

"මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික  සහ මානසික දඬුවම් පිළිබඳ ප්‍රශ්නයක්.  පාසලේ විතරක් නෙවෙයි,  ඔබ දන්නවා පොලිසිය විසින් පරිවාසය භාරයට ගත්ත දරුවන්ට, ආයතනගත දරුවන්ට, අතරමං වෙච්ච දරුවන්ට වගේ ම  සමාජයේ ඉන්න සියලු ම දරුවන්ට එල්ල වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒක ශාරීරික වත්, මානසික වත් සිදු වෙනවා.  

සමාජයේ වැඩිහිටියන්ගෙන් නැත්නම්  වගකිව යුතු අයගෙන් ඒ දරුවන්ට සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා. මේක පාසල් ඉලක්ක කරගෙන නැත්නම් ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳ සංශෝධනයක්.  

ශාරීරික දඬුවම් පිළිබඳ වත් මානසික හිංසනය පිළිබඳ වත් විශේෂයෙන් ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය භාරයේ ඉන්න දරුවන්, පරිවාස භාරයේ ඉන්න දරුවන් යන මේ සියලු දෙනා ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්, මේක.  මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා නමුත් දැන් ඇති වෙලා තියෙන සංවාදය තමයි අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යෑම සඳහා දරුවන්ට දඬුවම් කරන්න ම බැරි වෙනවා, කිසි ම දඬුවමක් කරන්න බැරි වෙනවා කියන කාරණය.


අපි  දඬුවම් දෙන එක කොතනින් වත් නතර කරලා නැහැ. විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැහැ.  හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරිකව වද හිංසා දීම තුළින් පමණයි, එහෙම නැත්නම් ඔවුන්ව මානසික ව වට්ටලා විතරයි කියලා... අන්න එහෙනම්  අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ... මම හිතන්නෙ අපිට කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විවාදය තව දික් කරලා තියෙන්නෙ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්.


අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න ධනාත්මක දේවලුත් තියෙනවා, කරන්න කියලයි. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නෙ නැතුව වද හිංසා නොකර පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු.  මීට වඩා අපේ සමාජය තුළ අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා.

අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා

අපේ සමාජය තුළ ඔබ අද පොලිස් වාර්තා අරගෙන බලන්න. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා බලන්න... අපේ රටේ ආර්ථික අර්බුදයක් පමණක් නෙවෙයි, සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒ අර්බුද තුළ ගැටුම් කියන්නෙ ප්‍රධාන ම අර්බුදයක්.  ඕනෑ ම සමාජයක ගැටුම් තියෙන නමුත් අපේ සමාජයේ ගැටුම් නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා. ඒකයි, ගැටලුව.

ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ගෘහස්ථ හිංසනය හිතන්න බැරි විදියට ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා. අපේ පරම්පරාවේ අය නවක වදය ගැන හිතන කොට තවමත් හිතන්නේ ඉතා ම ප්‍රේමණීය විදිහටනේ. ඒ අපේ වයසෙ අය ලබපු අත්දැකීම් එක්ක. ඒත් අද නවකවදය  ළමයින්ට  දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා.  අපේ සමාජයේ ගැටුම් අපි නිරාකරණය කරන ප්‍රධාන ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවට පත් වෙලා තියෙනවා.


ඔබේ දරුවන්ගෙන් කතා කරලා අහන්න නේවාසිකාගාරවල වෙන සිද්ධීන් ගැන.  ප්‍රචණ්ඩත්වය එතන තියෙන්නේ. ආයතන තුළ තරුණ තරුණියන් අතරේ, පන්සල් පල්ලි කෝවිල්වලත් මේ තත්ත්වයන් නිර්මාණය වෙමින් යනවා. එක අතිශයින් ම භයානකයි.  එතකොට අපි ගැටුම් නිරාකරණය කිරීම ප්‍රචණ්ඩත්වය තුළින් කළ හැකියි කියලා පිළිගන්න සමාජයක් බවට පත් වෙලා ද? එහෙමනම් ඒක ඉතා බරපතළයි. ඒක ශිෂ්ට සම්පන්න නෑ මීට වඩා දියුණු තැනකට සමාජය ගෙනයාම අත්‍යවශ්‍ය යි."

 

මෙම වැඩසටහනේ දී අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක...

''ගුරු ගීතයේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා''

"අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සහ පාසල් සම්බන්ධයෙන් කියන්න වෙන දෙයක් තියෙනවා.  ඒ තමයි පාසල් පවත්වාගෙන යෑම සඳහා ඉතා විශාල අරගලයක විදුහල්පතිවරුන් නියැළිලා ඉන්නවා කියන එක. බොහෝ වෙලාවට ළමයින්ගෙන් සල්ලි එකතු කරන දේවල් අපිටත් වාර්තා වෙනවා. දවසක් මම ලේකම්තුමාටත් කතා කළා මේ ගැන. චක්‍රලේඛත් නිකුත් කරලා තියෙනවා. පාසල් සංවර්ධන සමිතිත් තියෙනවා. ඒවට සල්ලිත් ගන්නවා. පාසලේ වැඩ කරන්නත් තියෙනවා. දැන් ඒවා  යම් කෙනෙකුට අල්ලසක් විදිය පේන්නත් පුළුවන්.  ඒ නිසා ඒවා ඇත්තට ම විධිමත් කරන්න ඕනේ. ඔබට ගත හැකි දේවල් සහ ගන්න බැරි දේවල් ලෙස. මොකද එහෙම නැත්නම් අවංක ව තමන්ගේ ඉස්කෝලෙ හදන්න ඕන කියලා කියන ගුරු ගීතයේ වගේ ඉන්න විදුහල්පතිවරුන් අමාරුවෙ වැටෙනවා. ඒක නිසා ඒවා හදන්න ඕනේ. එතකොට අපිටත්  ඇයි  වැඩි දේවල් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්.

 ළමයි ඉස්කෝලේ දාන ඒකත් ඇත්තට ම අපිට එක පැත්තක ඉඳන් බලන්න බෑ. විදුහල්පතිවරුන්ට තියෙන වැඩි ම චෝදනාව ළමයි ඉස්කෝලේ දාන්න සල්ලි ගන්නවා කියන එක. එතකොට ළමයි ඉස්කෝලේ දාන්න සමහරුන් සල්ලි දෙනවා. සල්ලි දීලා ළමයි ඉස්කෝලේ දාගත්ත අය කවදා වත් අපිට පැමිණිලි කරලත් නැහැ, මගේ ළමයා ඉස්කෝලෙට දැම්මේ සල්ලි දීලා කියලා. හැබැයි  ඒ අයත් කියනවා ලංකාව මාර දූෂිතයි, ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න වත් බෑ සල්ලි දෙන්නේ නැතුව කියලා. එතනත්  මානුෂික ප්‍රශ්නයක් තියනවා. ඒ නිසා ඒකට 'සිස්ටම්' එකක් හදන්න ඕනේ අනිවාර්යයෙන්.

ghrtyryg


සබැඳි ලිපි :

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...