''දේවස්ථානයක පියතුමා රවටා සමලිංගික විවාහයක් කරලා! - කාන්තාවන් දෙදෙනකු විවාහ වෙලා! එක කාන්තාවක් රැවුලක් හදාගෙන! ''
''ලිංගික අධ්‍යාපනය දෙන්න ඉස්කෝලවල කොන්ඩම් බෙදන්න යෝජනා කරලා! ''
''කාගෙද මේ යෝජනා? කෝ අපේ සංස්කෘතිය? කෝ සභ්‍යත්වය? ''
''මේවා වහාම නවත්වන්න! ඇඟ විකුණගෙන කන්න ඉඩ දෙන්න බෑ!''
මොනම රජයකටවත් අපේ රට වනචාරි යුගයකට ගෙනියන්න ඉඩ දිය නොහැකිබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි අවධාරණය කර සිටියි.
රටේ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා තීරණ රටේ ඉහළම තනතුරු දරන කෙනා දන්නේ නැතිව ඇතැයි කියා තමන් වහන්සේ විශ්වාස කරන බවද උන්වහන්සේ පැවසුහ.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ එබව පැවසුයේ, පසුගියදා දිව්‍ය පූජාවකට සහභාගි වෙමිනි.
රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට දැඩි ලෙස හානිකර බව පැවසු උන්වහන්සේ, ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළේය.
පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල් මගින් “වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න ඉඩ නොදෙන” බවයි. ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ලෙස විවේචනය කළහ.
“කවුද මේ පිස්සු කතා, මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ?. මේ අපේ රට! මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද? ” යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කළහ.
මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
යම් විදියකින් ඔහු මේ කාරණා නොදන්නේ නම් වහාම ඒවා නවත්වන ලෙස උන්වහන්සේ බලකර සිටියහ.
ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ අනාවරණය කර සිටියහ.
ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණෝ පවසා සිටියහ.
“අපේ ඇඟ විකුණලා අපිට රට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ” උන්වහන්සේ අවධාරණය කළහ.
සමහර ක්‍රිස්තියානි යැයි කියාගන්නා රටවල් වල සංස්කෘතිය මේ වන විට විනාශ වී ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු කසාද බැඳීම, හෝමෝන ගෙන රැවුලක් හදාගෙන කසාද බැඳීම වැනි ක්‍රියා කසාද ජීවිතයක් ලෙස ගත කළ හැකිද යන්න ප්‍රශ්න කරමින් මේවා “විහිළු” ලෙස උන්වහන්සේ හැඳින්වූහ.
රටේ සංස්කෘතිය පිරිහීමට ලක් කරන මෙම ක්‍රියාකාරකම් කරන රජයේ නිලධාරීන් වහාම ඉවත් කළ යුතු බවත් ඔවුන් එම පුටුවල තබා අපේ සමාජය පිරිහීමට ලක් කිරීමට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
විශේෂයෙන්ම බුද්ධාගමයේ සිද්ධාන්ත අනුව අවුරුදු දහස් ගණනක් තිස්සේ හැදුණු සංස්කෘතියක් අප රට සතු වන අතර, එම සංස්කෘතිය ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය බව උන්වහන්සේ කියා සිටියහ.
“දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස” ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ “අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්” බව උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.




