The Leader News
BREAKING
Top Ad
පුවත්

ළමා හිංසනයට අදාළ සංශෝධන පනත රටේ දරු සම්පතේ මනස දූෂණය කරනවා - විමල් වීරවංශ

T

The Leader Desk

September 29, 2025 • 4:44 PM

ළමා හිංසනයට අදාළ සංශෝධන පනත රටේ දරු සම්පතේ මනස දූෂණය කරනවා - විමල් වීරවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම ප්‍රකාශය කළේ ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ දී ඊයේ (28) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අවුරුදු16 වන විට දරුවා ගෙදරින් එළියට...?
  • "අගමැතිනි හරිනි අමරසූරිය මැතිනිය පහුගිය දවසක ගුරුවරු පිරිසක් කැඳවලා මේ සංශෝධන පනත් කෙටුම් පත ගෙන එන්නේ මේ රටේ ගුරුවරු හෝ පාසල් පද්ධතිය ඉලක්ක කොටගෙන නෙවෙයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා.
  • හැබැයි ඒ පනතින් කියන විදියට "දරුවෙකුට මානසික හිංසනය ඇති කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්" ඒ උණත් ඒ "මානසික හිංසනය" කියන එක කොහොමද අර්ථ දක්වන්නෙ කියන එකවත් මේකෙ පැහැදිලිව දක්වල නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

දිසානායක ජනාධිපතිවරයාගේ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට මහත් කඩිමුඩියේ ගෙන ආ "ළමා හිංසනයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත" තුළින් මේ රටේ දරු සම්පතේ මනස දූෂණය කරන අතර දරුවන් විනයානුකූලව ගොඩනගන්නට ගුරුවරුන්ට, දෙමව්පියන්ට හා පවුලේ සාමාජිකයන්ට තිබෙන අවකාශය නැත්තටම නැති කරමින් අනපනත්, නීතිරීති පහසුකම් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.

ඔහු මෙම ප්‍රකාශය කළේ ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ දී ඊයේ (28) පැවති  මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ


අවුරුදු16 වන විට දරුවා ගෙදරින් එළියට...?

"අගමැතිනි හරිනි අමරසූරිය මැතිනිය පහුගිය දවසක ගුරුවරු පිරිසක් කැඳවලා මේ සංශෝධන පනත් කෙටුම් පත ගෙන එන්නේ මේ රටේ ගුරුවරු හෝ පාසල් පද්ධතිය ඉලක්ක කොටගෙන නෙවෙයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒ පනතින් කියන විදියට "දරුවෙකුට මානසික හිංසනය ඇති කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්" ඒ උණත් ඒ "මානසික හිංසනය" කියන එක කොහොමද අර්ථ දක්වන්නෙ කියන එකවත් මේකෙ පැහැදිලිව දක්වල නෑ.

ඒ වගේම තමයි දරුවෙකු "අවමානය" කිරීම දඬුවම් ලැබෙන වරදක් බවට නම් කරලා තියෙනවා. හැබැයි අවමානය කියන කාරණාවට නිශ්චිත අර්ථකථනයක් නෑ.

"ශාරීරික නොවන ක්‍රියා" කියලත් මේකේ සඳහන් වෙනවා. නමුත් "ශාරීරික නොවන ක්‍රියා" කියන්නේ මොනවාද කියලා මේ පනතේ කොහේවත් අර්ථ දැක්වීමක් කරල නෑ.

ඒ වගේම තමයි මේ පනත පාසැල් පද්ධතියට බලපාන්නෙ නෑ, ගුරුවරුන්ට බලපාන්නේ නෑ, දෙමව්පියන්ට බලපාන්නේ නෑ, කියලා එතුමියගේ මනසේ තියෙන විකාර කිව්වට ''පාසල් පද්ධතියට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට බලපාන්නේ නැහැ''ය කියලා මේ පනතෙ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ.


අනුර කුමාර දිසානායකගේ, අගමැති හරිනි අමරසූරියගේ ආණ්ඩුව ''ළමා හා කාන්තා කටයුතු පිළිබඳ'' ඇමතිනී සරෝජනී පෝල්රාජ්ලාගේ "නන්න පොල්" යෝජනා හරහා මේ කරන්නට යන්නේ මෙතෙක් කලක් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් හඳුන්වා ''නව ලිබරල්වාදී න්‍යාය'' පත්‍රයට අනුකූලව අවුරුදු16 වන විට දරුවා ගෙදරින් එළියට දමා ඒ දරුවාට ලිංගික ක්‍රියාකාරකම් සඳහා නිදහස ලබාදී, එමගින් පවුල් සම්බන්ධතා නැතිකොට "පවුල" නැමැති ශක්තිමත් ඒකකය සීසීකඩ විසුරුවා දමා, එමගින් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් අතර ඇති මානුෂීය සම්බන්ධතා නැත්තටම නැති කොට ''ඔත්පල වූ මානසිකත්වයකින් යුතු විකෘති සමාජයක් බිහි කරන්න



දැනට තිබෙන නීතිය අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔබ්බුට්ස්මන්වරයකු පත් කරන්න

එමගින් එල්, ජී,බී, ටී, කියු, (LGBTQ) පන්නයේ ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය කිරීමට හා මත්ද්‍රව්‍ය  ව්‍යාපෘති දෙගුණ තෙගුණ සිව්ගුන කිරීමට මෙන්ම ගණිකා ව්‍යාපාරය වැනි පහසුවෙන් මුදල් හරි හම්බ කිරීමේ ව්‍යාපෘතිවලටද උත්තේජන සපයන සමාජයක් හා නීතිමය වටපිටාවක් රටේ බිහිවෙනවා.

අද මෙම ''ලිබරල් ප්‍රතිපත්ති'' කරපින්නාගෙන හරිනි අමරසූරියලා හා ''නන්න'' පෝල්රාජ්ලා අපේ රටේ සමාජය විපරීත කරන්නට උත්සාහ කළත් ඇමරිකානු වත්මන් ජනාධිපති ''ඩොනල්ඩ් ට්‍රම්ප්'' ප්‍රමුඛ නූතන බටහිර සමාජය එම සමාජ විකෘතියට එරෙහිව නව සටනක් ආරම්භ කර තිබෙනවා. ට්‍රම්ප් මහතා දිවුරුම් දෙද්දී "මේ රටේ ඉන්නේ ගැහැණු සහ පිරිමි" විතරයි කියා විශේෂයෙන් අවධාරණය කළේ ඇමරිකානු සමාජයේ LGBTQ ප්‍රවණතාවන්ට බරපතළ අතුල් පහරක් දෙන්න යි. "ඇමරිකාවේ ක්‍රිස්තියානි පවුල් සංස්ථාව හා සම්ප්‍රදායික චින්තනය හා හර පද්ධතිය" ස්ථාපිත කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන සටනට තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන "චාලි කර්ක්"ට පසුගියදා සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවූ බවයි.

මේ රටේ ළමයින්ට හා දරුවන්ට යම් අසාධාරණයක් අවැඩක් අගතියක් වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අලුත් නීතිරීති පනත් ගෙන එන්නට පෙර අද තිබෙන නීති රීති ප්‍රමාණවත්. දරුවෙකුට මානසිකව හෝ කායිකව යම් හිංසනයක් වන්නේ නම් ඒ ගැන පැමිණිලි කිරීමට හොඳ "ඔබ්බුට්ස්මන්" පදවියක් දැන් තිබෙන නීතිය අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ කලාප කාර්යාලවල පවා පත් කළ හැකියි. එතුමා පරීක්ෂණයක් කරලා, ගුරුවරයා ඒකෙදි වැරදි නම් ඊට අදාළව වැඩ තහනම් කරන්න පුළුවන් මාසයක් දෙකක්. ඒ විදිහට කරන්න පුළුවන්. නැතුව මේ ගුරුවරුන්වත්, දෙමාපියන්වත් උසාවි ගෙනියන්න නෙවෙයි ඕනේ.


මේකෙන් වෙන්නේ හෙට දවසේ පාසලට නොගැළපෙන විදිහට කොණ්ඩේ පාට කරගෙන ආවත්, ටැටූ කොටාගෙන ආවත්, කනේ කරාබු දාගෙන ආවත් පිරිමි ළමයි, මොන විදිහේ අවකල් ක්‍රියාවක් කළත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ගුරුවරුන්ට කිසිම හැකියාවක් නැති වෙනවා.  


රජයේ සූදානම ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අත් පා බැඳ දමන්න

දරුවන්ගේ මානසික පීඩනය හා මානසික අසහනය ඇතිවන්නේ ගුරුවරුන් නිසාවත් දෙමාපියන් නිසාවත් නොවෙයි. ඊට හේතුව කට පාඩම් කිරීමේ සංස්කෘතියට අනුව ගොඩනැගුණු අධ්‍යාපන ක්‍රමය යි. දරුවෙකුට ඉහළට යාමට ''සාම්ප්‍රදායික කලා වාණිජ විද්‍යා ගණිත හා තාක්ෂණ'' විෂය ධාරාවන්ට අමතරව ''හැකියාව'' හා ''දක්ෂතාවය''උරගා බලන අධ්‍යාපන ක්‍රමවේදයක අවශ්‍ය යි.

 අධ්‍යාපන ක්ෂේත්‍රයේ එම වෙනස්කම් ඇති නොකර මේ ආකාරයෙන් නීතිය හා අණ පනත් මගින් ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අත් පා බැඳ දමන්නට රජය මෙසේ කටයුතු කරයි නම් කොණ්ඩ වවාගෙන ටැටූ කොටාගෙන කොට ඇඳුම් ඇඳගෙන පාසැල් එන දරු පරපුරක් අනාගතයේදී බිහිවේවි.

 "ටීචර් දැන් අපට ගහන්න බනින්න හිත රිද්දන්න එන්න එපා. දැන් අලුත් පනතත් ඇවිල්ලා. එහෙම වුනොත් අපි නීතියෙන් ඇක්ෂන් ගන්නවා..." යනුවෙන් ගුරුවරුන්ට පවසා ඔලොක්කු කරන දිනය වැඩි ඈතක නෑ.

දරුවාගේ මානසික පීඩනය ඇතිවීමට හේතුව

දැන් මේගොල්ලෝ හිතන් ඉන්නේ දරුවාගේ මානසික පීඩනය ඇති වෙන්නේ මේ ගුරුවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් කියලා. දරුවාගේ මානසික පීඩනය ඇතිවෙලා තියෙන්නේ මේ කටපාඩම් කිරීමේ සංස්කෘතියට අනුව ගොඩනැගිච්ච අධ්‍යාපන ක්‍රමයෙන්. අද දරුවන්ට උඩට යන්න තියෙන්නේ මාර්ග කීපයයි: කලා, වාණිජ්‍ය, විද්‍යා, ගණිත, තාක්ෂණ. ඔච්චරයි. තාක්ෂණ කියන එකත් මෑතකදී ඇති වුණේ. මේ ගණන් කිරීම් අනුව ඔය හතර පහ හයක් විතරයි තියෙන්නේ උඩට යන්න පාරවල්. ඊට වඩා තව කොච්චර පාරවල් තියෙනවද දරුවන්ගේ හැකියාව, දක්ෂතාවය අනුව උඩට යන්න හදලා දෙන්න? එහෙම හදලා දීලා තියෙනවද? ඒ නිසා තමයි බැරි මරගාතේ මේ පාරවල් හතර පහෙන් එකක උඩට යන්න හදන්නේ දරුවෝ.

ඒ නිසා නේද අපේ දරුවෝ පීඩනයට පත් වෙන්නේ? ඒක නේද පීඩනයේ ඇත්ත පදනම? එහෙම නැතුව ගුරුවරයෙක් කරන තරවටුවක්වත්, ආදරයෙන් දෙමාපියන් කරන තරවටුවක්ද දරුවාගේ පීඩනයේ මූල බීජය? ඒ නිසා මෙතන පැහැදිලිවම තියෙනවා. අනික දරුවෙකුට වුණත් අයුක්ති සහගත ලෙස, නීතියට පරිබාහිරව පහරදීමක් කළොත්, ඒකෙන් දරුවාට හිංසනයක් වුණොත්, ඒක දැනට තියෙන නීතිය අනුවත් ඕනම කෙනෙක්ව උසාවියට ගෙනියන්න පුළුවන්. ඒක පිළිබඳ විවාදයක් නෑ. හැබැයි මේ ''මානසික හිංසනය'' කියන එක ඉදිරියට දාලා මේ හදන්නේ පාසල් පද්ධතිය නන්නත්තාර කරන්න.

දරුවා විනාශයට රැගෙන යන පනතක්


දරුවන්ට"අවුරුදු 16 පැන්නම සෙක්ස් කරන්න ඉඩ දෙන්න ඕනේ" කියලා බිමල් රත්නායක කියනවා. ඊට අමතරව ළමයාට රුපියල් 5000කුත් අතට දෙන්න ඕනේ කියලා. බිමල්ගේ දුවට මේක මුලින්ම කරන්න කියලා මම යෝජනා කරනවා. සමන්මලී කිව්වනේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා. එයාගේ ස්වාමිපුරුෂයානේ කියන්නේ 16 වෙනකොට සෙක්ස් කරන්න දෙන්න ඕන, ඊට පස්සේ රුපියල් 5000කුත් අතට දෙන්න ඕන කියලා. රුපියල් 5000ක් දෙන්නේ බීච් එකට යන්න නෙවෙයිනේ, රූම් එකට යන්නනේ. දැන් මේ මොකක්ද මේ කරන්නේ? දරුවන්ගේ මනස දූෂණය කරනවාට අමතරව  එක පැත්තකින් දරුවන් විනයානුකූලව ගොඩනගන්න ගුරුවරුන්ට, දෙමාපියන්ට, පවුලේ දෙමාපියන්ට තියෙන අවකාශය නැත්තටම නැති කරනවා. අනිත් පැත්තෙන් ඒ දරුවා විනාශයට ගෙනියන්න පුළුවන් අණපනත් නීතිරීති පහසුකම් සියල්ල රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කරනවා.


ගුරුවරු, විදුහල්පතිවරු පෝලිමේ ගිහිල්ලා ගහපු කතිරය ශාපයක් බවට පත්වෙලා

දරුවාට, විශේෂයෙන්ම ඔය වයස කියලා කියන්නේ තමන් පිළිබඳව යහපත් තීරණ ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ඔය වයස කියලා කියන්නේ ලිංගිකත්වය පිළිබඳ බොහොම බැරෑරුම් තීරණ ගන්න පුළුවන් වයසක් නෙවෙයි. ජීව විද්‍යාත්මකව වුණත් ඒ දරුවන්ගේ ශරීරය ඒකට සම්පූර්ණයෙන් සූදානම් වෙලා තියෙන වයසක් නෙවෙයි. මේ විකෘති මානසිකත්වයක් තියෙන උන්දැලා ටිකක් අද මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය කරගහගෙන ඇවිල්ලා, මේ සමාජයේ මත ඒ වසුරු හලලා, අපේ දරුවන්, පාසල් පද්ධතිය විනාශ කරන්නයි මේ හදන්නේ.

මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු පෝලිමේ ගිහිල්ලා මේ උන්දැලාගේ ලකුණට කතිරය ගැහුවා. අද ඒ කතිරය ශාපයක් බවට පත්වෙලා ඒ ගුරු දෙමාපියන්ගේ හිස මත පතිත වෙනවා, ශාපයක් බවට පත්වෙලා. මට ආරංචියි සමහර පාසල්වල දරුවෝ දැනටමත් මේ පනත ගැන දැනගෙන ගුරුවරුන්ට ඔලොක්කු කරනවා. "ටීචර්, දැන් අපිට ගහන්න බැහැ, අපිට මුකුත් කියන්න බැහැ, අපේ හිත රිද්දන්න බැහැ. දැන් අලුත් පනතක් ඇවිල්ලා, අපි එහෙම වුණොත් ඇක්ෂන් ගන්නවා". එහෙම කියන මට්ටමට දැන් දරුවෝ පත් වෙලා තියෙනවා.

පාසල් නිල ඇඳුම අවශ්‍ය නැහැ කියයි...?

ඊළඟට එන්නේ දරුවන්ට නිල ඇඳුමක් අවශ්‍යම නැහැ කියන එක. මීට කලින් ඔබ දන්නවා, ගුරුවරුන්ට සාරියම ඕනේ නෑ කියලා ආපු වෙලාවේ, ඔය ජේවීපී කට්ටිය තමයි, ජේවීපී ගුරුවරු තමයි, මම මේ කියන්නේ චන්දෙ දීපු මිනිස්සු නෙවෙයි, ඊට වඩා ක්‍රියාකාරී ජේවීපී ගුරුවරු තමයි, "ඔව්, සාරිය ඕනේ නෑ, කලිසමයි ටී-ෂර්ට් එකයි ඇඳන් ගියත් ප්‍රශ්නයක් නෑ" කියන තැනට ආවේ.

ඊළඟට එන්නේ මේකේ හරිනිලාගේ, නන්න පෝල්රාජ්ලාගේ, අනුරලාගේ, ටිල්වින්ලාගේ ඊළඟ පියවර තමයි, පාසල් නිල ඇඳුම අවශ්‍ය නැහැ කියන එක. එතකොට සුදු රෙද්ද දෙන්න ඕනෙද? නෑනේ. ඒ අතිනුත් ලාභයිනේ. එතකොට පාසල් නිල ඇඳුම ඕනේ නෑ. ඊළඟට මොකද වෙන්නේ? පාසල් නිල ඇඳුමත් ඕනේ නෑ, 16 පැන්නට පස්සේ සෙක්ස් කරන්න පුළුවන්, ඒකට සල්ලි නෑ, ආණ්ඩුව 5000ක් දුන්නත් 5000 මදි වෙන්න පුළුවන්. ඊළඟට මොකක්ද වෙන්නේ?

පාසල අවිනීත ගුහාවක් බවට පත් වෙයි...?

ඕකේ ඊළඟ අවධිය තමයි ගණිකා වෘත්තිය නීතිගත කිරීම. ඊට පස්සේ තමයි ඊළඟ දේ, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය. කන්ටේනර් පිටින් මත්ද්‍රව්‍ය ගෙනල්ලා, තමන්ගේ ආණ්ඩුව කාලෙම ගෙනාපු මත්ද්‍රව්‍ය කන්ටේනර් පස්සේ යමින් "අපි කුඩු ඇල්ලුවෝ, කුඩු ඇල්ලුවෝ, අයිස් ඇල්ලුවෝ" කියලා මැරතන් දුවන ආණ්ඩුව, තමන්ගේ ආණ්ඩුව කාලෙම 323ක් කන්ටේනර් පරීක්ෂා නොකර යවලා, ඒ කන්ටේනර්වල ඇතුළේ තිබිච්ච අයිස්, මත්ද්‍රව්‍ය, අනිත් ඒවා පස්සේ ගිහිල්ලා, ඒවා පොළොවෙන් හාරගෙන ඇවිල්ලා "මෙන්න අපි මහා වීර ක්‍රියාවක් කළා" කියලා පම්පෝරි ගහන ආණ්ඩුව.


අන්තිමට මේකේ ඊළඟ පියවර තමයි, 16න් පස්සේ ලිංගික ක්‍රියාවට දරුවා පොළඹවනවා. පාසල අවිනීත ගුහාවක් බවට පත් වෙනවා. නිවස අවිනීත ගුහාවක් බවට පත්වෙනවා. ඊළඟට දරුවන් පාලනය කරන්න බැරි වෙනවා. 16න් පස්සේ ලිංගික ක්‍රියාවලට යනවා. දරුවා විභාග පිළිබඳ අවධානයෙන් මිදිලා, ඊට පස්සේ රස්තියාදු ජීවිතයකට හැඩගැහෙනවා. රට ''හිපි කල්චර්'' එකට හැඩගැහෙනවා. ඊළඟට ඒ සංස්කෘතිය ඇතුළේ ඩ්‍රග්ස් ඕන වෙනවා, සෙක්ස් විතරක් මදි වෙනවා. ඊළඟට ඩ්‍රග්ස් පාවිච්චි කරන්න ඕන කරන මුදල හොයාගන්න, ''අඩු මිලට ශ්‍රමය විකුණන ශ්‍රම බලකායක්'' නිර්මාණය වෙනවා. දවසට ඒ මත්ද්‍රව්‍ය ටික මිල දී ගන්න ප්‍රමාණවත් මුදල විතරක් ලැබුණොත් ඇති කියලා හිතන ශ්‍රම බලකායක් නිර්මාණය වෙනවා.


මේක වසුරු නීතියක්

සූරා කෑම දෙගුණ, තෙගුණ, සිවුගුණ කරලා ගන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙනවා. මේක තමයි මේ යන්නේ. ඊළඟට ගණිකා වෘත්තිය නීතිගත කරනවා. මින් මේ මොකක්ද කරන්නේ? සමාජය බිඳ වට්ටනවා. සමාජයේ ඓතිහාසික, සංස්කෘතික පදනම සමාජයෙන් උදුරා දමනවා. 'පවුල' කියන කුඩාම සංස්ථාව, සංවිධානය සීසීකඩ විසිරුවා හරිනවා. හරිනිලාට පවුලක් නැති වුණාට, මේ රටේ සමාජ සංස්ථාව කෙරෙහි වෛරයෙන්, පිළිකුලෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් බැලීමේ තිබිච්ච සම්ප්‍රදාය ඒගොල්ලෝ නැති කරගන්න ඕන.

ඒ නිසා අපි බොහොම උවමනාවෙන් කියනවා මේ රටේ දෙමව්පියන්ට, මේ රටේ සියලුම ගුරු දෙමාපියන්ට, මේ රටේ දරුවන්ට ආදරය කරන සැමට, මේ හරිනිලා, නන්න පෝල්ලා, අනුරලාගේ, ටිල්වින්ලාගේ න්‍යාය පත්‍රයට අනුව, NGO ගැත්තන්ගේ න්‍යාය පත්‍රයට අනුව, මේ කරගහගෙන එන ''වසුරු නීති'', ''වසුරු පනත්'' අලුයම කෙළ පිඬක් වගේ ඉවත දමන්න විතරක් නෙවෙයි, ඒක පරාජයට පත් කරන්න ඉතාම බැරෑරුම්ව ක්‍රියාත්මක විය යුතුයි, ඊට ඉඩ දිය යුතු නෑ කියලා අපි අවධාරණය කරනවා.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරයි...?


එක පැත්තකින් ආරක්ෂක හමුදා හිරේ දානවා. යුද්ධය කරලා රටට සාමය උදා කර දුන්නු ආරක්ෂක හමුදා හිරේ දානවා. ජනාධිපති ජපානයට ගිහිල්ලා කියනවා හමුදා කඳවුරු ඔක්කොම අයින් කරනවා උතුරෙන්. එයාට දැන් නින්දක් නෑ හමුදා කඳවුරු අයින් කරනකන්. හැබැයි කැනඩාවේ LTTE ඩයස්පෝරාවෙන් ගහපු ප්‍රතිමාව ගැන, ස්මාරකය ගැන, මේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කරපු කතාවේ වචනයක් කියන්නේ නෑ. ලෝකෙට අදාළ පණිවිඩය ඒ කතාවෙන් දෙන්න ඕනේ. ඒක ගැන වචනයක් නෑ. ජිනීවා වල කොටි කොඩි අරගෙන විරෝධතා රැලි පවත්වනවා, නීතියට පටහැනිව තහනම් සංවිධානයක්. "ඒවට ඉඩ දෙන්න එපා" කියලා කෙඳිරි ගාන්නවත් ජනාධිපතිට පණ නෑ. විරුද්ධව හීන් කෙඳිරියක් නගන්නවත් පණ නෑ.

හමුදා සාමාජිකයෝ, හමුදාවේ හිටපු ප්‍රධානීන් හිරේ දානවා. නඩු පිට නඩු පටවනවා. විශ්‍රාම ගිය හමුදා ප්‍රධානීන් අද බියෙන්, තැතිගැන්මෙන් ඉන්නවා තමන්ව මේ උගුලට කොයි වෙලේ ගොදුරු කරගනීද කියලා. අනිත් පැත්තෙන් උතුරේ සියලු හමුදා කඳවුරු ගලවනවා කියලා ආඩම්බරෙන් කියනවා, "ඇයි, මොකද, ගලවනවා තමයි" කියලා. මෙයාට මොකක්ද ලැබිච්ච ජනවරම ඕවා කරන්න? මෙයා ආවේ ඒවා කියලද? මෙයා ආවේ තෙල් මිල බස්සනවා, අරක බස්සනවා, මේක බස්සනවා, අඩු ආදායම්ලාභීන්ට මෙච්චර ගානක් මාසිකව දෙනවා වගේ පොරොන්දු දීලා. උතුරේ හමුදා කඳවුරු ගලවනවා කියලා ආවේ නෑ මෙයා.

සමාජ සංස්ථා සියල්ල බිඳ වැටේ...?

''රණවිරු සාමූහිකය'' කියලා අටවගත්තේ, ඒවයේ කිව්වේ නෑ ඔය කතාව. ඒ නිසා ඒ රණවිරු සාමූහිකය, රණවිරු දිනය දවසේ ''රණවිරුවා'' කියන වචනය කටෙන් එළියට දාන්න කට පණ නැති ආණ්ඩුව. දැන් කතා කරනවා මේ කඳවුරු ඉවත් කිරීම ගැන. හිටපු හමුදා ප්‍රධානීන් හිරේ දානවා. ඒ නිසා හමුදාව අකර්මණ්‍ය වෙනවා, හමුදාව බිඳ වැටෙනවා.

ඊළඟට එන්නේ ගුරුවරු හිරේ දාන පනත, දෙමාපියන් හිරේ දාන පනත. අද රාජ්‍ය සේවකයෝ බිඳ වැටෙමින් තියෙනවා. රාජ්‍ය සේවකයෝ හිරේ දමලා තියෙනවා. දමන්න තවදුරටත් කුරුමානම් අල්ලනවා. රාජ්‍ය සේවය බිඳ වැටෙනවා, හමුදාව බිඳ වැටෙනවා. ඊළඟට පාසල් පද්ධතිය බිඳ වැටෙනවා. ගුරුවරු හිරේට ගෙනියනවා, දෙමාපියන් හිරේට ගෙනියනවා. 'පවුල' කියන සමාජයේ ප්‍රාථමික සංවිධානය ඒ මගින් බිඳ වැටෙනවා. මේ කරන්නේ සමාජ සංස්ථා සියල්ල බිඳ වට්ටන එක. ඒ මගින් ජාතිය බිඳ වට්ටන එක. ඒ මගින් රාජ්‍යය බිඳ දැමීම. ඒක තමයි මේ කරන්නේ. ඒකට තමයි මේ එක එක පියවර, එක පියවර අරගෙන ඉන්නේ. තමන්ව දිනවන්න සල්ලි වියදම් කරපු හාම්පුතාගේ න්‍යාය පත්‍රයට අනුව මේ ක්‍රියාත්මක වෙන්නේ.


ඒ නිසා අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන මේ ක්‍රියාමාර්ගයේ තියෙන ඉතාම බරපතලකම. රටක ආර්ථිකයක් බිඳ වැටුණොත් අමාරුවෙන් හරි ගොඩනගන්න පුළුවන්. දේශපාලන තන්ත්‍රයේ යම්කිසි බිඳ වැටීමක් වුණොත් අමාරුවෙන් හරි ගොඩනගන්න පුළුවන්, දේශපාලන සංස්කෘතියට යළි පණ දෙන්න පුළුවන්. හැබැයි සමාජයක් බිඳ වැටුණොත්, සමාජයක් සීසීකඩ පිරිහුණොත්, සීසීකඩ බිඳ වැටුණොත්, විසිරුණොත්, එහෙම සමාජයක් නැවත යථා තත්ත්වයට පත් කරන එක පරම්පරා ගානක් යන වැඩක්.


හිඟමනට වැටිච්ච රටක්වත් නොකරන වැඩක්

ftwe4r235| කාදිනල්තුමා අද ප්‍රසිද්ධියේ කියනවා මේ ආණ්ඩුව සමරිසි ප්‍රවර්ධනය කරනවා කියලා
අද කාදිනල්තුමා ප්‍රසිද්ධියේ කියනවා, එතුමන්ලා මේ ආණ්ඩුව ගැන සුභවාදී බලාපොරොත්තු තියාගෙන හිටපු උදවිය. අද කාදිනල්තුමා ප්‍රසිද්ධියේ කියනවා සමරිසි ප්‍රවර්ධනය කරනවා මේ ආණ්ඩුව කියලා. බලන්නකෝ සංචාරක අධිකාරියෙන් ඉල්ලනවා LGBTQ කට්ටියව පෝලිමේ අරගෙන එන්න ලංකාවට, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න.

අන්න අනුර දිසානායකගේ, අන්න ටිල්වින්ගේ, අන්න හරිනි අමරසූරියගේ මේ ආණ්ඩුව ගේන්න, ගේන්න LGBTQ කට්ටිය, අර දේදුනු පාට කොඩිත් අරගෙන පෝලිමේ ලංකාවට ගෙන්නන්න කියලා දැන් ආරාධනා පත්‍රය දීලා තියෙනවා. හිඟමනට වැටිච්ච රටක්වත් නොකරන වැඩක්. දැන් උන්දැලා පෝලිමේ එන්නේ රටට ආදරයටද? මේ රටේ තරුණ දරුවන්ව බිලිගන්න නෙවෙයිද? ඊට අමතරව පාරේ උන්ගේ ජවනිකා පෙන්නන්න නෙවෙයිද? එමඟින් මේ රටේ තරුණ දරුවන්ගේ ඔළුවට, ඒ ජීව විද්‍යාත්මකව එවැනි උවමනාවක් නැති, එවැනි උවමනාවක් ජීව විද්‍යාත්මකව ඇති අය ඒක කරගනී, ඒක අපිට ප්‍රශ්නයක් නැහැ, ඒක දිහා අපි පිළිකුලෙන් බලන්නේ නැහැ. හැබැයි මේ එහෙම කිසිම ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක් නැති දරුවන්ටත් ඒකට පොළඹවන්නේ නේද? ඒ උනන්දුව ඇති කරන්න නේද? ප්‍රවර්ධනය කරන්න නේද, LGBTQ කාරයෝ ගෙනල්ලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න හදන්නේ?

මුන්දැලාට තේරෙන්නේ නැද්ද ඊට වඩා විකුණන්න පුලුවන් දේවල් මේ රටේ ඕන තරම් තියෙනවා කියලා? ඓතිහාසික, සංස්කෘතික පදනමක් තියෙන රටක්; වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් තියෙන ශිෂ්ටාචාරයක්, සභ්‍යත්වයක් තියෙන රටක්. 'වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි' කියන ඓතිහාසික, සංස්කෘතික පදනම නිර්මාණය කරපු රටක්. එහෙව් රටක්, සංචාරකයෝ ඇදගන්න. දේශගුණික විවිධත්වය අපූරුවට තියෙන රටක්. කඳුකරේ එක කාලගුණයක්, තැන්නේ තව කාලගුණයක්. මහා විචිත්‍රත්වයක් තියෙන රටක්. නොයිඳුල් වර්ෂා වනාන්තර තියෙන රටක්. ජෛව විවිධත්වයේ විශාල උරුමයක් තියෙන රටක්.

රටේ ප්‍රමාණය නොදන්නා ජනපති

ජනාධිපතිත් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතාව පටන් ගන්නේ, "මම පුංචි රටක ඉඳන් ආපු ජනාධිපති කෙනෙක්" කියලා. පුංචි ඔළුවක් තියෙන, පුංචි සිතුවිලි තියෙන, පුංචි රටක පුංචි ජනාධිපති. උන්දැ දන්නේ නෑ අපිට මේ රට වගේ විශාල ගුණයක්, විශාල මුහුදු පතුලක් අයිතියි, වාණිජ තීරයක් අයිතියි. රටේ භූමියේ විශාලත්වය ඔය වර්ග කිලෝමීටර් ගාණෙන් විතරක් නෙවෙයි, ඒ මුහුදු සැතපුම් ගාණෙනුත් බලන්න ඕන. ඒක දන්නේ නෑ මේ රටේ ජනාධිපති. මේ "පුංචි රටේ" කියලා උන්දැ කියන රටේ ජනගහනය තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මීට වඩා පුංචි රටවල් වර්ග කිලෝමීටර් ගාණෙන් ලෝකේ ඕන තරම් තියෙනවා. මේක ස්වභාවික සම්පත්වලින් පුංචි රටක් නෙවෙයි. මේ දකුණු ආසියානු කලාපයේ අදත් සැලකිය යුතු මට්ටමේ යහපත් ජීවන තත්ත්වයක් තියෙන රට ලංකාව. කියනවා මේක පුංචි රටක්, මේකේ දූෂණය තියෙනවා, මම දූෂණයට විරුද්ධව සටන කරනවා, අර අප්‍රිකානු ජනාධිපති කෙනෙක්ගේ quotation උපුටා දක්වනවා. ඒවා කියනකොටම ආයේ මේ පැත්තෙන් යනවා "සංචාරකයන්ට හොඳම ගමනාන්තය ලංකාව". මේක ඔය කියන විදියේ අවුල් රටක් නම් හොඳම ගමනාන්තය වෙනවද?


සංචාරකයන්ට හොඳම ගමනාන්තය වෙච්ච රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න LGBTQ උන්ට වැඳලා එන්න කියන්න ඕනද? මේ උන්දැලාට පිස්සුද? ඒක අපි හොයා බැලිය යුතු නැද්ද? ඊළඟට බලන්න, සංචාරකයන්ට ආගන්තුක සත්කාරයෙන් හොඳම රටත් ලංකාව තෝරලා තියෙනවා. අර ඇල්ලෙන් වැටුණු බස් එකේ, එතන හිටියා, මට මතක හැටියට බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. ඇය කිව්වා, "මගේ රටේදී මම මෙහෙම දෙයක් දැකලා නෑ. මිනිස්සු ඔක්කොම තමන්ගේ ස්වෙච්ඡාවෙන් ඇවිල්ලා මේ ප්‍රපාතයට වැටිච්ච මිනිස්සු බේරගන්න දරන ප්‍රයත්නය දැකලා මගේ ඇස් උඩ ගියා, මම විමතියට පත් වුණා. එහෙම මනුෂ්‍යත්වයක් මම කොහෙවත් දැකලා නෑ." ඒවා නෙවෙයිද අපේ පුංචි රටේ, ඔය කියන පුංචි රටේ තියෙන වටිනාකම්?


ගෙදර කුණු ලෝකේ ඉස්සරහා හැලුවා

රට, ලෝකෙට ගිහිල්ලත් මතු කරන්නේ සෘණාත්මක පින්තූරේ. මම ජනාධිපති අනුර දිසානායකට යෝජනා කරනවා, ඉන්දියාවේ එයාගේ යාළුවනේ, ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ගිවිසුම් හතක් ගැහුවනේ හොරාට, තාමත් හංගගෙන තියාගෙන ඉන්නේ, "ඉන්දියාවේ අවසරය නැතුව පෙන්නන්න බැහැ" කියලා අපිට කියන්නේ. ඒ මෝදිගේ විදේශ ඇමති ගියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතන්න. අන්න ඒ විදේශ ඇමතිගේ කතාව අහන්න.

 "ඉන්දියාවේ හොරු ඉන්නවා, මම හොරු අල්ලනවා" කියලා කිව්වේ නෑ. ඉන්දියාව ගැන සෘණාත්මක පින්තූරයක් මතු කළේ නෑ. "ඉන්දියාවේ වැසිකිළි නැතුව මෙච්චර ඉන්නවා, මම ඉදිරි කාලේදී වැසිකිළි ඔක්කොම හදලා දෙනවා" කියලා කිව්වේ නෑ. "ඉන්දියාවේ කුලපීඩනයෙන් හෙම්බත් වෙලා මරාගන්නවා, මම ඒක නැති කරනවා" කියලා කිව්වේ නෑ. නායකයෙක් දැනගන්න ඕන ලෝකෙට කතා කරනකොට මොනවද කතා කරන්න ඕනේ, මොනවද නොකරන්න ඕනේ කියලා. ගෙදර කුණු ගිහිල්ලා ලෝකේ ඉස්සරහා හලන්නේ නෑ. මීට කලින් හිටපු රාජ්‍ය නායකයෝ කවුරුත් කළේ නෑ.


අන්න කියන්න තිබ්බා කැනඩාවේ හදපු ස්මාරකය ගලවලා දාන්න, ඒක ත්‍රස්තවාදයට අනුබල දීමක් කියලා. ජිනීවා වල කොඩි අරන් උද්ඝෝෂණ කරපු, විරෝධතා රැලි පවත්වපු එක නතර කරන්න, ඒවට ක්‍රියාමාර්ග ගන්න, ඒක තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් කියලා. ඒවා කියන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම යන්නේ මොන න්‍යාය පත්‍රයටද? ආන්න ඒ විදිහට සමාජය බිඳ වට්ටනවා, ජාතිය බිඳ වට්ටනවා, රාජ්‍යය බිඳ වට්ටනවා. මේක තමයි මේ න්‍යාය පත්‍රය. මේ න්‍යාය පත්‍රයට අදාළ එක පියවරක් තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එන න්‍යාය පත්‍රය. ඒ අනුව රණවිරුවන් බිලිගන්න වෙනම උසාවි හදන්නේ, වෙනම අභිචෝදක කාර්යාල හදන්නේ, වෙනම කොමිෂන් හදන්නේ. මේ ඔක්කොම කරන්නේ මෙන්න මේ න්‍යාය පත්‍රය අනුව.


ඕන වසක් විසක් පනත් කෙටුම්පත් ලෙස

මේ සමස්ත පින්තූරේ දකින්න. ඒ සමස්ත පින්තූරේ දැක්කොත් විතරයි මේ අපරාධය පරාජයට පත් කරන්න මහා ජන බලවේගයක්ව නැගී සිටින්න පුළුවන්කම ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න ඊනියා විපක්ෂයට මේ සමස්ත පින්තූරේ දකින්න හැකියාවකුත් නෑ, දැක්කත් කියන්න හැකියාවකුත් නෑ, කියන්න පණකුත් නෑ. එතන ඉඳන් නිකන් බොරු වට ''භික්කුච්චන්'' වගේ විහිලුවක් කරලා වචනයක් දෙකක් කියලා උන්දැලාත් ඉඳගන්නවා.

මහ ලොකු ඊනියා විපක්ෂයේ සියලු කල්ලි කණ්ඩායම් මේ මහ පින්තූරේ ගැඹුර දකින්නේ නෑ. දකින්න හයියකුත් නෑ. මේ ගැඹුරු ව්‍යසනය, ගැඹුරු ප්‍රහාරයේ සමස්ත පින්තූරය ජාතියට පෙන්නලා දීලා, ඒක වළක්වන්න ඕන කරන ක්‍රියාමාර්ග දන්නෙත් නෑ. ඒ පණ නැති විපක්ෂයක් තියෙන නිසා තමයි පාර්ලිමේන්තුවේ මුන්දැලාට අද පුළුවන් වෙලා තියෙන්නේ ''ඕන වසක් විසක් පනත් කෙටුම්පත් හැටියට'' ගෙනල්ලා මේ රටේ ජාතියට පොවන්න, ජාතියේ උගුරට හලන්න. ඒ නිසා මේකට ඉඩ දෙන්න නෑ.

ජාතිය විනාශය කරා ඇදගෙන යාමේ මෙහෙයුමක්

අපි ගුරු දෙමාපියන්ගෙන් ඉතා අනුකම්පාවෙන්, බැරෑරුම්ව වැඳලා ඉල්ලනවා මේ අපරාධයට විරුද්ධව ක්‍රියාමාර්ග තෝරන්න, මේ අපරාධයට එරෙහිව නැගී සිටින්න. ඒ විතරක් නෙවෙයි, මේ රටේ තමන්ගේ දරුවා ගැන ආදරයෙන් කල්පනා කරන සියලු දෙමාපියන් මේ අපරාධයට එරෙහිව නැගී සිටින්න. මේ ඒ වගේමනේ ආගමික සංස්ථාවටත් ගහනවනේ, සංඝ සංස්ථාවට ගහනවනේ. ඒකත් මේ ප්‍රහාරයේම කොටසක්. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නෑනේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වත් බෞද්ධයෙක් නෙවෙයිනේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උත්තරීතර මණ්ඩලයට දැම්මනේ බෞද්ධයෝ නොවෙන අයත්. ජයදේව උයන්ගොඩලා දැම්මනේ, බුද්ධාගමට එරෙහිව හැමදාම ක්‍රියාත්මක වෙන. ඒ දාන්නේ මේ ඔක්කොම බිඳ වට්ටන්නනේ. සංඝ සමාජය බිඳින්නනේ, සංඝ සංස්ථාව බිඳ වට්ටන්නනේ, ඓතිහාසිකව මේ රටේ ප්‍රධාන මුදුන් මුල හැටියට ක්‍රියාත්මක වෙච්ච ඒ බලය නැති කරන්නනේ.


මේ ඔක්කොම මේ රාජ්‍ය හා ඓතිහාසික, සංස්කෘතික පදනම බිඳ වට්ටවීමේ, ජාතිය බිඳ වට්ටවීමේ, විනාශය කරා ඇදගෙන යාමේ මෙහෙයුමේ එක පියවරක්. මේ ඔක්කොම පියවර එකට තියලා දකිමු. ඒ එකට තියලා දැකලා, ඒ සමස්ත මෙහෙයුම පරාජයට පත් කරන්න. මේ පරගැති හවුලට, පරගැති කල්ලියට. මේක තරම් පරගැති කල්ලියක් අවුරුදු 70ක්වත් හිටියේ නෑ. මේ තරම් පරගැති කල්ලියක්. මේක පරගැතිභාවයේ උපරිමය. ඒ න්‍යාය පත්‍රය අමු දවල් හෙළුවෙන් කරගහගෙන යන පරගැති හවුලක්, නඩයක්. ඒ නිසා මීට විරුද්ධව බරපතල ලෙස ක්‍රියාත්මක වීම සඳහා සියලු සමාජ කණ්ඩායම්, බලවේග ඉදිරිපත් විය යුතුයි.


 අපි මහනාහිමිවරුන් වහන්සේලාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අවදානම දකින්න, මේ අනතුර දකින්න. මේ රටේ සංඝ සමාජයෙන්, අපි ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගෙන් කරුණාවෙන් ඉල්ලනවා මේ අවදානම දකින්න, මේ අනතුර දකින්න. කාදිනල්තුමා ඔය සමරිසි, LGBTQ ප්‍රවර්ධනයට එරෙහිව අද විවෘතව මත පළ කරනවා. ඒ එන ප්‍රහාරය එන්නේ අපේ සමාජය බිඳින්න, පවුල බිඳින්න, ජාතිය බිඳින්න, රාජ්‍යය බිඳින්න. ඒ අනුව මේක සියලු ආගමික සංස්ථාවන් එකට එකතු වෙලා, ඒකාබද්ධ වෙලා, මේ අපරාධකාරී ගමන වළක්වන්න ක්‍රියාත්මක වෙන්න, පෙරමුණ ගන්න, එක්රොක් වෙන්න කියලා අපි මේ වෙලාවේ ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

මහ බැංකුව ස්වාධීන කරපු හේතුව

vgu5754
ඊළඟට යොමු කරන්න කැමතියි අපේ මහ බැංකු අධිපතිතුමාගේ අපූරු ක්‍රියාවක් ගැන. ඒක පිළිබඳව කෙටියෙන් කරුණු දැක්වීමක් කරලා මම මේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරනවා. ඔබ දන්නවා මහ බැංකුව රජයේ වියදම් සඳහා අවශ්‍ය කරන, අපි කියනවා භාණ්ඩාගාර බැඳුම්කර, එහෙම නැත්නම් Treasury bond, සමහරවිට කියනවා භාණ්ඩාගාර බිල්පත් කියලා. දැන් මේ භාණ්ඩාගාර බිල්පත් එක එක පොලී අනුපාතයන් යටතේ නිකුත් කරනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනවා. එතකොට ඒවා මිලදීගන්න උනන්දුව දක්වන අය මිලදී ගන්නවා. ඒවා කෙටි කාලීන බැඳුම්කර.


දැන් මේකේ අපූරු කාරණය තමයි, මහා බැංකු අධිපතිම ඒවා මිලදී ගන්නවා. දැන් මුදල් වෙළඳපොළට මහා බැංකු බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති. පොලී අනුපාතය තීරණය කරන්නෙත් ඒගොල්ලෝ. හොඳ පොලී අනුපාතයක් දාලා ඒවා මිලදී ගන්නෙත් මහා බැංකු අධිපතිගේ පවුලේ උදවිය. පුදුම රටක්නේ. මහ බැංකුව ස්වාධීන කරලා තියෙන්නේ මරු වැඩකටනේ. නන්දලාල් මහත්තයෝ, ලැජ්ජ නැද්ද? හිරිකිත නැද්ද ඔය කෝටි ගණන් ධනය තියෙද්දී, මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්නේ කලිසමයි කමිසෙකුත් ඇඳගෙනද? ලැජ්ජාවක් තියෙනවා නම් ඔය පුටුවේ එක දවසක් ඉන්න පුළුවන්ද? මේක බැඳියාවන් අතර ගැටුමක් නැද්ද?


අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ

අහිංසක රාජ්‍ය සේවකයෝ පොඩි පොඩි හේතු අල්ලගෙන හිරේ දාන ආණ්ඩුව මේවා ගැන මොකක්ද කරන්නේ? අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, පිටස්තර බලවේගවලට විතරයි වග කියන්නේ. ලැජ්ජයි නන්දලාල් මහත්තයෝ! තමුන් මේ ඊනියා ස්වාධීනත්වයක් ඇති කරගෙන, රිසි පරිදි පඩි වැඩි කරගෙන, එහෙමත් තර වෙලා, ඒත් මදිවෙලා ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පවුලේ අය දාලා මිලදී ගන්නවා.

මෙන්න බලන්න ඔහු මිලදී අරගෙන තියෙනවා ඔහුගේ පවුලේ අය Treasury bond, 2022/05/04, ඊළඟට 2024/06/06, ඊළඟට 2025, ඊළඟට 2025/03/18. මේ ඔක්කොම මේ අර්බුදයෙන් පස්සේ, කඩා වැටීමෙන් පස්සේ. ආර්ථික අවපාතයෙන් පස්සේ. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලාවේ මුන්ට රජ මඟුලක්. මේගොල්ලෝ බලනවනේ අර්බුදයෙන් තමන්ගේ ගොඩ තර කරගන්න. මොකක්ද මේකේ සදාචාරය? මේක අපරාධයක් නෙවෙයිද? මූල්‍ය අපරාධයක් නෙවෙයිද? වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකුට වගකීමක් තියෙනවද මේ විදිහට කටයුතු කරන්න?

බැඳියාවන් අතර ගැටුම්

දැන් අපි හිතමු දිසාපති කෙනෙක් හරි, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හරි රජයෙන් ලැබිච්ච මුදල් පාවිච්චි කරලා කොන්ත්‍රාත්තුවක් පිළිබඳ ටෙන්ඩරයක් දානවා, එයාගේ පවුලේ කවුරු හරි ටෙන්ඩරයට ඉදිරිපත් වෙනවා, එයාට දෙනවා. එතකොට හරිද ඒක? බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද? ඒක වැරදි නැද්ද? ඒක නීතියට අනුකූලද? ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නේද? එහෙමනම් නන්දලාල් කරලා තියෙන්නේ ඊට වඩා සිය දහස් ගුණයක බරපතල වැරැද්දක් නෙවෙයිද?


Treasury bond නිකුත් කරලා හතර වතාවක්, 2022දී දෙපාරක්. තමන්ම නිකුත් කරනවා, පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම මිලදී ගන්නවා තමන්ගේ පවුලේ උදවිය දාලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙක් මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙකුට තවදුරටත් ඔය සීට් එකේ ඉන්න කිසිම සදාචාර අයිතියක් නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොන්ත පොල්ලෝ මේවා කතා කරන්නේ නෑ, මේවා පිළිබඳව පීඩනය එල්ල කරන්නේ නෑ.


ලබන වසරේ අප්‍රේල් නැවත විශාල ආර්ථික කඩා වැටීමක් !

ඒගොල්ලෝ මොකක් හරි topic එකක් අල්ලගෙන හැමදාම විහිළු සපයනවා ඇරෙන්න, වෙන බැරෑරුම් දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් කියනවා, ඔය මහ ලොකු දූෂණ විරෝධී ආණ්ඩුවට, මහ ලොකු මහජන මුදල් ගැන අවම උනන්දුවෙන් බලනවා කියන ආණ්ඩුවට, ඒ ලොක්කන්ට අපි කියනවා, ඒවා ගැන හොයන නිලධාරීන්ට අපි කියනවා පුළුවන් නම් මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.

කොහොමද මහ බැංකු අධිපතිට පුළුවන්කම ලැබෙන්නේ තමන්ම පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම නිකුත් කරන මහා බැංකු බැඳුම්කර, කෝටි ප්‍රකෝටි ගාණක බැඳුම්කර, ඒවා මිලදී අරගෙන අධික පොලිය, ලාභය, වාසිය ගන්නේ මහා බැංකු අධිපතිගේ පවුලේ අයගේ නමින්? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වැටිච්ච රටට, හතරගාතෙන් ආර්ථික වශයෙන් වැටිලා තියෙන රටට, මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම ගියොත් නම් එන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකොට නැවත විශාල ආර්ථික කඩා වැටීමකට, පිපිරීමකට මුහුණ දෙන්න වෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නෑ. ඒක තමයි මේ යන පාරේ ඊළඟ අභියෝගය, ඊළඟ අන්තරාය. මේ උදවිය යන්නේ අර්බුදය නැමති වලෙන් තමන්ට කීයක් හරි කඩා වඩා ගැනීමේ උපාය මාර්ගයේ තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. නැතුව ආර්ථික අර්බුදයට පිළියම් දෙන්න, ඒකෙන් ගොඩ එන්න මාර්ගයක් නෙවෙයි මේ හදන්නේ.


ඒ නිසා අපිට කැතයි, ලැජ්ජයි, නින්දිතයි! මහ බැංකු අධිපතිතුමනි, ලැජ්ජාවක්, බයක් ගෑවිලාවත් තියෙනවා නම්, ඔය මාතර දික්වැල්ල පැත්තේ ඉපදුණයි කියලා කියනවා, දකුණේකම ගෑවිලාවත් තියෙනවා නම්, ඔය ටයි කෝට් ගලවලා දාලා, ඔය පුටුවට ආයුබෝවන් කියලා, නැවත අර කලින් ගිහිල්ලා හිටපු රටටම තුරන් වෙන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා. මේ විදිහේ, තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්, ලැජ්ජාවට කාරණයක්, අවමානයට කාරණයක්. ඒ නිසා අපි එතුමාට කියනවා කරුණා කරලා වේදිකාවෙන් බැහැලා යන්න කියලා. මේ කාරණා දෙක තමයි අපිට ඔබට අවධානය යොමු කරන්න තිබුණේ.''

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...