එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒමේ ස්ථාවරය යථාවත් කිරීම සඳහා මෙම පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
සජබ යෝජනාවට ප්‍රතිචාරයක්
එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් මිට දින කිහිපයකට පෙර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබිය.
කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න එම කමිටුවේ සාමාජිකයන් වේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගියදා ප්‍රකාශකර සිටියේ, එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයක් බවයි.
එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබිණ.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් පවසයි.




