පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදි අද (22) පැවැසීය.
මෙම වෙඩි තැබීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
ඇමතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.
"වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ඝාතනයට ලක්වුණා. මෙයින් මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙලා නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් අතර අවි ආයුධ තිබෙනවා. ගැටුම් තිබෙනවා. අද දින සිදුවුණ ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා මහජන නියෝජිතයෙක් බවට පත්වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්.
නඩු 6ක් තිබෙනවා. සිර දඩුවම් ලබා තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. ඉන්දුනිසියාවෙන් ගෙනාපු අපරාධකරුවන්ගෙන් ප්‍රකාශ අනුව මොහු සතුව ආයුධ තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට චෝදනා තිබෙනවා.
අපි කිසිසේතම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මිය යාම අගයන්නේ නෑ. මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා. කවුරු වුණත් මහජන ක්‍රියාකාරිකයෙක් බවට පත්ව තිබෙනවා. මෙයා මහජන නියෝජිතයෙක් කියන කැටගරියට නෙමෙයි පාතාල ක්‍රියාකාරිකයෙක් බවට පත්වෙනවා. මහජන නියෝජිතයෙක් ලෙස පත්කරන පුද්ගලයා නීතිගරුක පුද්ගලයෙක් නම් මෙවැනි දේවල් වෙන්නේ නෑ."
හරක් කටා එක්කත් සබඳතා පවත්වලා !!
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා', සංවිධානාත්මක අපරාධ කල්ලිවල සමීපතමයෙක් බවට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.
පොලිසිය පවසන පරිදි, ඊට හේතු වී ඇත්තේ මොහු 'ශන්ෂයින් සුද්දා' නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.
මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් 'හරක් කටා' සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන 'මිදිගම චූටි' හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.
බන්ධනාගාරගතව සිටින මිදිගම රුවන් එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකළ තිබුණි.
''ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කියකියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.'' යනුවෙන් එහි සටහන් කර තිබිණි.
සභාපතිවරයා පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා ලිපියක් යොමුකර තිබිලා
එලෙස එල්ල වූ තර්ජන හමුවේ ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.
එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.
"මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි."
කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය.
නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ සභික නීතීඥ තාරක නානායක්කාර ගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර මහතාට බව පොලිසිය පවසයි.
එයද මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.
ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ලසන්න වික්‍රමසේකර මහතාව මිදිගම රුවන්ගේ පාර්ශ්වය විසින් ඝාතනය කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04ක් විසින් සිදු කරනු ලබයි.
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.
සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.
වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ ඔවුන් අතර රැඳී සිට තිබේ.
ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.
සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි.
රැස්ව සිටි පිරිස සභාපතිවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත්, රෝහල්ගත කිරීමෙන් පසුව සභාපතිවරයා මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ලසන්ත වික්‍රමසේකර මහතා 38 හැවිරිදි වියේ පසුවුණි.
වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
ලසන්ත වික්‍රමසේකර පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද එහි සභාපතිධූරයට පත්විය.
එහිදී සභාපති ධුරය දිනාගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.
සබැඳි පුවත් :
වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට




