සජිත්, නිර්මලාට ස්තුති කරයි
මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගය කරමින් සිය කතාව ආරම්භ කර ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමග සමීපව සම්බන්ධ වීමෙන් මෙම ශක්ති ගොඩනැගීමේ වැදගත්කම සඳහන් කළා ය.
එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව ද අවධාරණය කළා ය.
එසේම 2022 අර්බුදය අතරතුර ඉන්දියාව ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ස්තූතිය පළ කර සිටි අතර තනි ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් පැවසී ය.
තව ද කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ අගය කළ විපක්ෂ නායකවරයා සාපේක්ෂ ස්ථාවරත්වය තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙන බව ද පැවසීය.

ඉන්දියා- ශ්‍රී ලංකා කාර්මික කලාපයක්
විනිවිද පෙනෙන සහ විශ්වාසය පදනම් කරගත් සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහි දී එකඟ විය. ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා- ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථය ගැළපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියේය.
ඉන්දියාවේ ආකෘතිය අනුගමනය කරමින් නවෝත්පාදන, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ පර්යේෂණ සහ ව්‍යාපාර අංශ සමග ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේ ය. අන්‍යෝන්‍ය ගෞරවය සහ දිගුකාලීන හවුල්කාරිත්වය මත ගොඩනගා ඇති ඉන්දියාව සමග සමීප ආර්ථික සහ සංස්කෘතික සබඳතා සඳහා තම පක්ෂය වන සමගි ජන බලවේගය කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවේ පැවසී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දියානු නිල සංචාරයට ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රකට ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා ද එක්ව සිටියි.




