The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

T

The Leader Desk

November 18, 2025 • 4:10 AM

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (බීබීසී සිංහල සේවයේ වාර්තාවකි) ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නොවැ.
  • බෞද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් ඉදි කිරීමක් කිරීමෙන් පසු එදින රාත්‍රියේ එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබිණි.
  • එහිදී ස්වාමින් වහන්සේලා විසින් එම පන්සල 1951 වසරේ සිට පැවත එන්නක් බවත්, අභියාචනාධිකරණයේ ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර ඇති බවටත් පවසන ආකාරය වීඩියෝ දර්ශන පෙළක සඳහන් වේ.
  • කෙසේ වෙතත්, මේ වන විට එම ස්ථානයේ නැවත බුදු පිළිමය තැන්පත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එම පිළිමයේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයෙන් එය ඉවත් කළ බවත් එය නැවත එම ස්ථානයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

(බීබීසී සිංහල සේවයේ වාර්තාවකි)

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නොවැ. 16 බෞද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු ඇතුළු කණ්ඩායමක් විසින් ඉදි කිරීමක් කිරීමෙන් පසු එදින රාත්‍රියේ එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබිණි.

එහිදී ස්වාමින් වහන්සේලා විසින් එම පන්සල 1951 වසරේ සිට පැවත එන්නක් බවත්, අභියාචනාධිකරණයේ ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර ඇති බවටත් පවසන ආකාරය වීඩියෝ දර්ශන පෙළක සඳහන් වේ.

එම ඉදිකිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර පොලීසිය එම ස්ථානයට පැමිණ බුදු පිළිමය රැගෙන යාමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත්, මේ වන විට එම ස්ථානයේ නැවත බුදු පිළිමය තැන්පත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති අතර, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එම පිළිමයේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයෙන් එය ඉවත් කළ බවත් එය නැවත එම ස්ථානයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ය.

නමුත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල වෙත අදහස් පළ කරමින් කියා සිටියේ, එම පන්සලට අයත් භූමියේ ඇති හෝටලයක් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ඉදි කර ඇති නිසා එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර මෙලෙස එම ස්ථානයේ නැවත ස්වාමීන් වහන්සේලා විසින් ඉදිකිරීමක් ආරම්භ කළ බව ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම ඉදිකිරීම සිදු කිරීමට අවශ්‍ය නම්, අදාළ ක්‍රමවේදය ඔස්සේ අවසර ලබා ගැනීමට හැකියාව ඇති බව ය. එම ක්‍රමවේදය යටතේ ඉදිකිරීම් ආරම්භ කළේ නම් මෙවැනි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට ඉඩ තිබූ බව ද ඔහු පැවසීය.

සිදු වූයේ කුමක් ද?

නොවැ. 16 ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් සහ තවත් පුද්ගලයන් පිරිසක් පැමිණ එම ස්ථානයේ කොන්ක්‍රීට් කණු සිටුවා ඉදි කිරීමක් ආරම්භ කර තිබිණි.

එම ස්ථානයේ පන්සලක නාම පුවරුවක් ද සවි කර තිබූ අතර එහි, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරස්ථානය ලෙසත්, එහි ලියාපදිංචි අංකයකුත් සඳහන්ව ඇත.

එහි පන්සලේ ආරම්භය ක්‍රි. ව. 1951 ලෙස සඳහන්ව තිබේ.

රාත්‍රිය වන විට එම ස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් ද තැන්පත් කර තිබූ අතර, එම ස්ථානයේ ඉදි කිරීම නිසි අවසරයකින් තොරව සිදු කළ එකක් බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් සිදු කර ඇති බවටත් එම ඉදි කිරීම් ඉවත් කර ගන්නා ලෙසත් දැනුම් දෙන වීඩියෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්පසුව රාත්‍රියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම ස්ථානයෙන් බුදු පිළිම වහන්සේ ඉවත්කරගෙන යාමට කටයුතු කරන ලදී.

ඉලංගෙයි තමිල් අරසු කට්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මේ සම්බන්ධයෙන් X පණිවුඩ කිහිපයක් ද නොවැම්බර් 16 දිනයේ නිකුත් කර තිබිණි.

"ත්‍රිකුණාමලයේ කිසිදු අනුමැතියකින් තොරව නව විහාරස්ථානයක් ඉදිකරමින් පවතින බව වාර්තා වී තිබේ. අද අලුයම භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙරළට පැමිණ ඉදිකිරීම් ආරම්භ කළහ. නීතිය ක්‍රියාත්මක වේ යැයි බලාපොරොත්තුවෙන් වෙරළ සංරක්ෂණ නිලධාරීන් දැනටමත් පොලිස් පැමිණිල්ලක් ගොනු කර ඇත. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමට පටහැනිව වැඩ නතර කරන ලෙස භික්ෂුවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන පොලිස් නිලධාරියෙකු ලෙස පෙනෙන අයෙකු වීඩියෝ දර්ශනවල දැකිය හැකි නමුත් අද රාත්‍රී 8 වන විට ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතී," යැයි එහි සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් නිකුත් කර තිබූ X පණිවුඩයක්
'ඉවත් කරන්න උත්සහ කළේ පන්සල් භූමියේ ඇති නීතිවිරෝධී හෝටලයක්'


මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාරගෙන් විමසීමක් සිදු කරන ලදී.

එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, එම භූමිය එම පන්සලට අයත් නමුත් එම භූමියේ ඉදි කර ඇති නීති විරෝධී හෝටලයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආසන්න කාලය තුළ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටි බව ය.

"එතන පන්සලක් තියෙනවා. අපට පන්සලත් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. පන්සලේ ඉඩමේ මීටර් 70ක පමණ දුරින් පන්සල මගින් හදලා තියෙනවා රෙස්ටුරන්ට් එකක්. ඒක පර්මිට් අරගෙන හදපු එකක් නෙවෙයි."

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ රටේ ඕනෑම තැනක එවැනි ඉදි කිරීමක් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයක් වන අනවසර, නීතිවිරෝධී ඉදි කිරීම කඩා ඉවත් කිරීමට අවශ්‍ය නියෝගයක් ලබාගෙන ඇති බව ය.
"ඉඩම අයිති පන්සලට වුණත්, වෙරළ තීරයේ ඉදිකිරීම් කරද්දී වෙරළින් මීටර් 10ක් ඈතින් ඉදි කිරීම් කළ යුතුයි. නමුත් මේ හෝටලය හදලා තියෙන්නේ වෙරළෙන් මීටර් 4ක විතරක් දුරින්. ඒ වගේ ම ඒක තව විශාල කරන්නත් කටයුතු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේට නීත්‍යනුකූල ලියවිලි සහිතව දැනුම් දීලා තියෙනවා," ඔහු විස්තර කළේ ය.
එම ස්ථානයට ත්‍රිකුණාමලය මහා නගර සභාවට අයත් ට්‍රැක්ටර් සහ ඩෝසර් රථයක් පැමිණ තිබූ අතර, පන්සල විනාශ කිරීම සඳහා එම පැමිණි බවට පවසමින් එම ස්ථානයේ රැඳී සිටි පිරිස එයට දැඩි විරෝධයක් දැක්වූහ.

කෙසේවෙතත් මහාචාර්ය ටර්නි ප්‍රදීප් පැවසුවේ ඊයේ දිනයේ එම හෝටලය කඩා දැමීම සඳහා එම ස්ථානයට අවශ්‍ය පිරිස් ගිය බව ය.

"කලින් ම මම හාමුදුරුවන්ට කියලා තිබුණා තියෙන නීති සීමාව යටතේ තියාගෙන ඉදි කරන්න කියලා. ඒ අනුව ඒ රෙස්ටුරන්ට් එක කඩලා දාන්න තිබුණේ ඊයේ දිනයේ. ඒ සඳහා තමයි කටයුතු කරමින් හිටියේ. නමුත් එතන නැති ප්‍රශ්නයක් ඇති වුණා ආසන්න දින කිහිපයේ හාමුදුරුවන් වහන්සේලා එකතුවෙලා ඉදි කිරීමක් කරන්න පටන් අරන්."

'ඔප්පුවක් තියෙන ඉඩමක හාමුදුරුවන්ට පිළිමයක් තැන්පත් කරන්න බැරි ද?'

නව ඉදිකිරීම සිදු කළ ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කළේ එම භූමිය පූජා භූමි ඔප්පුවක් සහිත ඉඩමක් බව ය.

"මේක පූජා භූමි ඔප්පුවක් තියෙන ඉඩමක්. එතකොට මේ ඔප්පුවක් තියෙන ඉඩමක හාමුදුරුවන්ට පිළිමයක් තැන්පත් කරන්න බැරි ද? ඔප්පුවක් තියෙන ඉඩමක පිළිමයක් තැන්පත් කිරීම වරදක් ද? මේ සියලු කරුණු මම පොලිස්පතිතුමාට පැමිණිලි කරලා තියෙනවා," යනුවෙන් එම ස්ථානයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේ නමක් බීබීසී සිංහල වෙත අදහස් දක්වන ලදී.

"පක්ෂයක් විපක්ෂයක් අපට නෑ. දේශපාලන හැඟීමක් අපි තුළ නෑ. ත්‍රීකුණාමලයේ ප්‍රමාණයක් තමයි බෞද්ධයන් ඉන්නේ. ඒ අය තමයි මේ විහාරස්ථාන රැකගෙන ආවේ. මේ වෙලාවේ නිරවුල් ඔප්පුවක් සහිත ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වුණා," එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකු බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

කෙසේවෙතත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ ඒ සඳහා පළමුව ස්වාමීන් වහන්සේ විසින් නිසි අවසරයක් ලබාගෙන තිබුණේ නම් කිසිඳු ගැටලුවකින් තොරව එම ස්ථානයේ එම කටයුත්ත කරගෙන යාමට ඉඩ තිබූ බව ය.

"හාමුදුරුවෝ කඩිමුඩියේ දිවා රෑ නොබලා එතන ඉදිකිරීම් කරගෙන ගියා. බෞද්ධ ආගමේ වුණත්, කතෝලික ආගමේ වුණත්, ඉස්ලාම් ආගමේ වුණත් නිසි අවසරයකින් තොරව කරනවා නම් ඒක ඉවත් කරන්න සිදු වෙනවා. හාමුදුරුවෝ සතියක් වගේ ඉවසලා නිසි විදිහට පර්මිට් එකක් අරගෙන මේ වැඩේ කළා නම් මේ වගේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ," ඔහු පැවසුවේ ය.
"මේ වගේ වෙලාවක මිනිස්සු කෝප ගැන්වීම සහ මිනිසුන් නොමග යැවීම වැරදි යි. මේ හෝටලය හදලා තියෙන්නේ පන්සල් භූමියේ වුණත් අපි ලබා දීලා තිබුණු කොන්දේසි කඩලා. ඒක පන්සලක වෙන්න ඕනේ ආගමික දෙයක් නෙවෙයි. රට වටේ ම ඒ වගේ තැන් තමයි කඩාගෙන යන්නේ. අද උදේ ඒක කඩන්න ගියාම හාමුදුරුවන් සමාජ මාධ්‍යයේ දැම්මේ පන්සල කඩන්න යනවා කියලා," වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, හෝටලය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට අභියායචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවට විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ත්‍රීකුණාමලය කාර්යාලයට දැනුම් දී ඇති බව ය.

එම පෙත්සම මේ සතියේ විභාගයට ගන්නා බැවින් අධිකරණ තීන්දුව අනුව කටයුතු කිරීමට සිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේ ය.

'කිසිඳු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු කළේ නෑ'

මේ අතර ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔවුන් කිසි විටෙකත් ස්වාමීන් වහන්සේලාට හෝ ජනතාවට පහර දීමක් නොකළ බවට ය.

කෙසේවෙතත් විහාරධිපති ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් ඊයේ දිනයේ දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූහ.

එහි සඳහන් වන ආකාරයට, "මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇත."

"මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වූ" නිසා "යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කල හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිමය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත," ගෙන ගිය බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

ත්‍රීකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා  සම්බන්ධව ඇති වූ නොසන්සුන්තාවයක් දැක්වෙන විඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.

2025.11.16 වන දින ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රීකුණාමලය නගරයේ  වෙරළ ආරක්ෂක  කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරීතුමා ඇතුළු පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසද දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇත.

මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇත.  

මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත. මෙම ප්‍රදේශයේ සියළු ජාතින් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කල හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවා ගෙන ඒමට කටයුතු කර ඇත.

2025.11.16 වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලිසිය වෙත යොමු කරන ලද පැමිනිල්ලට අනුව සිදු කරමින් පවතින අනවසර ඉදි කිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වුනු පිරිස කලහකාරී ලෙස හැසිරීමේදී එය පාලනය කිරීමට පොලිසිය විසින් කටයුතු කල ද කිසිඳු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු කර නොමැත.

තවද, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශවයන් එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරුතර මහ සංඝරත්නයට සහ දායක සභාවට භාර දී ඇත.

මේ සම්බන්ධව 2025.11.17 වන දින ත්‍රීකුණාමලය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට  නියමිතය
 
police addශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
'මේ ප්‍රශ්නය පිටුපස දේශපාලන බලපෑමක් තියෙනවා'

මේ අතර පසුගියදා [නොවැ. 16] දිනයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමු වූ අතර, විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ සම්බන්ධයෙන් සිට විරෝධය පල කරන ලදී.

එයට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේ එම පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ය.

"පසුගියදා [නොවැ. 16] රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමයක් සම්බන්ධයෙන් පොලීසියට වාර්තාවක් ලැබිලා තිබුණා. ඒ වාර්තාවේ සඳහන් වෙලා තිබුණේ ඊයේ රාත්‍රියේ තැන්පත් කරන ලද බුදු පිළිමය සම්බන්ධයෙන් කඩාකප්පල්කාරී සිදුවීමක් සම්බන්ධයෙන්, ඒ පිළිමයට හානියක් සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව ඒ බුදු පිළිමය ඉවත් කරලා ආරක්ෂාව සහතික කරලා තියෙනවා," අමාත්‍යවරයා පැවසුවේ ය.

"ඊය‌ේ [නොවැ. 17] දිනයේ අපි පොලීසියට දැනුම් දුන්නා ඒ බුදු පිළිමය එම විහාරස්ථානයෙන් ම තැන්පත් කරන්න කියලා. ඊය‌ේ දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා."
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එම භූමියේ අනවසර ආපන ශාලාවක් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ලක් සිදු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් පොලිසිය නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ය. එමෙන් ම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන අධිකරණ කටයුතුවල තීන්දු අනුව කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර එම අදාළ පන්සල ඉදි කර ඇති ස්ථානය වෙත ගිය ජාතික ජන බලවේගයේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන වෙත එහි රැඳී සිටි පිරිස් දැඩි විරෝධයක් දක්වන ලදී.

පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ මෙම සිදුවීම පිටුපස දේශපාලන බලවේගයක් ඇති බව ය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු හිටපු මන්ත්‍රීවරියකගේ ආපන ශාලාවක්

"පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන මම ප්‍රථමයෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේ ම මේ සියලු කාරණා පිටිපස්සේ දේශපාලන බලවේගයක් තියෙනවා කියලා අපි දන්නවා. මේ භූමියේ ම හිටපු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරියකගේ ආපන ශාලාවක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ගිය අවස්ථාවේදී තමයි මේ ප්‍රශ්නය මේ විදිහට වර්ධනය වුණේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"මේක තවදුරටත් විධිමත් වෙලා තිබුණා නම් හොඳයි. ඒ වගේ ම දේශපාලනිකව මේක වෙන පැත්තකට හරවන්න සංවිධානාත්මකව පිරිසක් මැදිහත් වුණ බව අපි දන්නවා," ඔහු පවසයි.
"රටේ මට ඉඩමක් තිබුණත් මුහුද අයිනේ, මීටර් 10ක පටියක් කිසි ම ඉදි කිරීමක් කරන්නේ නැතිව තියන්න ඕනේ. ආදී කාලීන පන්සලක් එතන තියනවා. අපි එතනට අතවත් තියලා නෑ," වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.


(උපුටා ගැනීම | බීබීසී සිංහල )

අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරිකා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්' | The Leader